පරමාර්ථ ධර්ම සංග්‍රහය 2 - බණ්ඩාරවෙල ධම්මවිජය හිමි 2024.pdf

කතෘ :
බණ්ඩාරවෙල ධම්මවිජය හිමි
ප්‍රකාශිත වර්ෂය :
2024
මුද්‍රිත වර්ෂය :
2024
පිටු ගණන :
796
බාගත කිරීම් ගණන :
677
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-06-16
ගොනුවේ ප්‍රමාණය :
5.4 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 399

පරමාර්ථ ධර්ම සංග්‍රහය (දෙවැනි වෙළුම) යනු පූජ්‍ය බණ්ඩාරවෙල ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන ධම්මසංගණීප්‍රකරණය පිළිබඳ ගැඹුරු සහ විස්තරාත්මක අධ්‍යයන කෘතියකි. පෙළ දහම, අටුවා (අට්ඨසාලිනී) සහ ටීකා ග්‍රන්ථ ඇසුරු කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

මෙම වෙළුම මඟින් ධම්මසංගණී ප්‍රකරණයෙහි චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්ඛේප කාණ්ඩය සහ අට්ඨකථා කාණ්ඩය ඇතුළු පරමාර්ථ ධර්ම විභාගය සවිස්තරව විග්‍රහ කෙරේ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ ඡේද අංක පාදක කරගනිමින් කාමාවචර, රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර කුසල් සිත්, විපාක සිත්, අකුසල් සිත් මෙන්ම විවිධ නය ක්‍රම සහ රූප ධර්මයන් ද මෙහි පැහැදිලි කර දී තිබේ.

  • කාමාවචර, රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර කුසල නිර්දේශය
  • චතුක්ක, පංචක, සෝළසක්ඛත්තුක හා අභිභායතන ආදී නය ක්‍රම
  • අකුසල සහ අහේතුක/සහේතුක විපාක විඤ්ඤාණ විග්‍රහය
  • රූප සමුද්දෙසය, භේදය හා රූප ප්‍රවෘත්ති ක්‍රමය
  • නික්ඛේප කාණ්ඩය සහ මාතිකා විග්‍රහය

මෙම කෘතියේ ප්‍රථම මුද්‍රණය 2024 මැයි මස වැලිවේරියේ ඉසුරු ප්‍රින්ටර්ස් ආයතනය මඟින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

පෙරවදන

අභිධර්ම පිටකයෙහි ග්‍රන්ථ හතකි. එයින් පළමුවැන්න ධම්මසංගණීප්‍රකරණය යි. අභිධර්ම පිටකය ම එක ම සූත්‍රයක් වේ. මුල සිට ම අග දක්වා ම සම්බන්ධ වේ. බුදුරජාණන් වහන්සේ හත්වැනි වස් කාලය දෙව්ලොවට වැඩම කොට එහි දී මෙම අභිධර්ම දේශනය වදාළ සේක. දින අනූවක් ගත වූ බව සනාථ ය. මෙම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අති විශාල පිරිසක් මාර්ගඵල නිවන් සුව ලදහ.

ධම්මසංගණීප්‍රකරණය සියලු දෙනා විසින් උගත යුතු ය. පරමාර්ථ ධර්ම සියල්ල පැහැදිලි කරනු ලබන දේශනයකි. චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ පරමාර්ථ පිළිබඳ ව විස්තරාර්ථ අඩංගු ය. මෙහි පරමාර්ථ ධර්ම විස්තර කිරීමේ දී අසූනවයක් වූ චිත්තයෝ ද දෙපනස් චෛතසිකයෝ ද සත්විස්සක් වූ රූප ධර්මයෝ මැනවින් විස්තර කරනු ලද්දාහු ය. පළමු කාමාවචර මහා කුසල් සිත ගත් කළ එම සිතෙහි පහළ වන්නා වූ සැට පහක් වූ පරෝපණ්ණාසක ධර්මයෝ එනම් ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා ආදී ධර්මයෝ මැනවින් උද්දේස, නිද්දේස, පටිනිද්දේස නයින් බෙදා දක්වමින් හාත්පසින් මනාකොට දේශනා කළ සේක. එකී ධර්ම කොට්ඨාස අඩංගු ග්‍රන්ථය ධම්මසංගණීප්‍රකරණය නමි.

සිවුපිළිසිඹියා ප්‍රාප්ත වීමට නම් යමෙක්ට අභිධර්මය ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය වේ. ගැඹුරු නුවණක් ලබා ගැනීමට ඉවහල් වන බව මෙයින් කියවේ. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශාසන අතරින් අභිධර්ම පිටකය ප්‍රඥා ශාසනය වේ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සියලු දෙනා විසින් ම මෙම ධම්මසංගණීප්‍රකරණය උගත යුතු ය. මනා සිහි කල්පනාවකින් කටයුතු කිරීම සඳහා මෙම අභිධර්මය ඉතා ප්‍රයෝජනවත් ය. චිත්ත කාණ්ඩය, රූප කාණ්ඩය, නික්ඛේප කාණ්ඩය, අට්ඨකථා කාණ්ඩය යන සතර වැදෑරුම් ධර්ම කොටස් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වන ආකාරයෙන් මෙම ධර්ම ග්‍රන්ථය සකස් වී තිබීම සතුටට කාරණයකි.

පූජ්‍යපාද බණ්ඩාරවෙල ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින් පරමාර්ථ ධර්ම සංග්‍රහය නමින් අභිධර්ම ග්‍රන්ථයක් සකස් කොට පාඨක ඔබ අතට පත්කොට ඇත. මෙය වනාහි එහි දෙවැනි කාණ්ඩය වේ. ලේඛක ස්වාමින් වහන්සේ විසින් පෙළ අටුවා අනුව යමින් ගුරු උතුමන්ගේ ද ඇසුර උපකාරය ලබමින් විශාල වෙහෙසක් දරා මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත. මෙම ග්‍රන්ථය එක වරක් කියවා තේරුම් ගැනීමට අපහසු ය. කීපවරක් කියවා තේරුම් ගත යුතු වේ. අභිධර්ම චන්ද්‍රිකාව, අභිධර්ම මාතිකා හදාරා මෙම ග්‍රන්ථය හැදෑරීම පහසු වේ.

ලේඛක ස්වාමින් වහන්සේ වන පූජ්‍යපාද බණ්ඩාරවෙල ධම්මවිජය ස්වාමින්වහන්සේ විසින් සිදු කරන ලද මෙම උතුම් කාර්ය ගැන විශේෂයෙන් සතුටු වෙමි. තෙරුවන් සරණින් නිරෝගී සුව දිගාසිරි පතමි. සියලු සම්‍යක් ප්‍රාර්ථනා සඵල වේවා! යැයි ආශිර්වාද කරමි. නන් ආකාරයෙන් උපකර කළා වූ සියලු දෙනාට ද ආශිර්වාද ප්‍රාර්ථනා කරමි.

මෙයට, ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ මහා ස්ථවිර

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ මහා ස්ථවිර

ප්‍රස්ථාවනාව

“ධම්මසංගණිං විභංගඤ්ච කථාවත්ථුඤ්ච පුග්ගලං ධාතුයමකං පට්ඨානං අභිධම්මොති වුච්චති.”

“ධම්මසංගණි, විභංග, කථාවත්ථු, පුග්ගලපඤ්ඤත්ති, ධාතුකථා, යමක, පට්ඨාන” යන සප්තප්‍රකරණයන්ගෙන් ශෝභමාන වූ පිටකය අභිධර්මය වේ.

අභිධර්ම වචනාර්ථය

“අභිවිසිට්ඨො ධම්මො අභිධම්මො” අතිශයින් විශිෂ්ට ධර්මය අභිධර්මය යි. එනම් සූත්‍ර විනය යන පිටකයන්ට වඩා අතිරේක වශයෙන් විශේෂාර්ථ දක්වමින් දේශිත පරමාර්ථ ධර්මය අභිධර්මය නම් වේ.

“යං එත්ථ වුද්ධිමන්තො, සලක්ඛණා පූජිතා පරිච්ඡින්නා; වුත්තාධිකා ච ධම්මා, අභිධම්මො තෙන අක්ඛාතො.”

මෙයින් “අභි” යන උපසර්ග පදය යෙදෙන අර්ථ සැලකීමේ දී වෘද්ධි අර්ථ (වැඩි යමක්), සලක්ෂණාර්ථ (ලක්ෂණ සහිත), පූජිත (පිදිය යුතු), පරිච්ඡින්න (පිරිඳිනා ලද) - අතිරේක ධර්මය අභිධර්මය යනුවෙන් දත යුතු ය.

“අයං අභිධම්මො නාම කෙන පභාවිතො” (මේ අභිධර්මය තෙම කවරෙක් විසින් ප්‍රගුණ කරන ලද්දේ වෙත් ද?)- බුද්ධාභිනීහාරය පරිපූර්ණය පිණිස ප්‍රගුණ කරන ලදී. කත්ථ පරිචිතො (කොතැන්හි මුහු කරවන ලද ද?) - පුරාතන ජාතක චරිතයන්හි මුහු කරන ලදී. කත්ථ අධිගතො (කොතැන්හි අවබෝධ කරන ලද්දේ ද?) - බෝධිදුම මූලයේ තුදුස් රියන් වජ්‍රාසන මූලයේ දී ය. කදා අධිගතො (කවදා අවබෝධිතද?) - වෙසක් පුන් පොහෝ දිනයේ දී කෙන අධිගතොති (කවරකු විසින් අධිගමනය කළේද?) - සර්වඥයන් වහන්සේ විසිනි. කත්ථ විචිතො (කොතැන්හි රැස් කරන ලද ද?) - බෝ මැඩ දී ය. කදා විචිතො (කවදා රැස් කරන ලද ද?) - රතනඝර සතියේ දී ය. කේන විචිතො (කවරකු විසින් රැස් කරන ලද ද?) - සර්වඥයන් වහන්සේ විසිනි. කත්ථ දේසිතො (කොතැන්හි දේශනා කරන ලද ද?) - තව්තිසාවෙහි පරසතු මුල පඬුඇඹුල් අසුනේ දී ය. කස්සත්ථාය දේසිතො (කා සඳහා දේශනා කරන ලද ද?) - දෙවියන් සඳහා ය. කිමත්ථං දෙසිතො (කුමක් පිණිස දේශනා කළේ ද?) - චතුර්ඕඝ තරණය පිණිස. කෙහි පටිග්ගහිතො (කවුරුන් විසින් පිළිගන්නා ලද ද?) දෙවියන් විසිනි. කෙ සික්ඛන්ති (කවුරු එහි හික්මෙත් ද?) - සේඛයෝ හා කල්යාණ පෘථග්ජනයෝ හික්මෙති. කෙ සික්ඛිතසික්ඛා (හික්මීම කවරහු සම්පූර්ණ වූවෝ ද?) - මහ රහත්හු වෙති. කෙ ධාරෙන්ති (කවහු දරත් ද?) - පරම්පරාවෙන් පරම්පරාවට ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව දරයි. කස්ස වචනං (කාගේ වචනයක් ද?) - තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ය. කෙනාභතො (කවුරුන් විසින් ගෙනෙන ලද ද?) - දඹදිව සාරිපුත්තා දී ථෙර පරම්පරාවෙන් හා ලක්දිව මහින්දාදී ථෙර පරපුරෙනි.

ධම්මසංගණී පාළිය

පරමාර්ථ ධර්ම මඤ්ජරියෙහි ප්‍රථම ප්‍රකරණය වනුයේ ධම්මසංගණී නාමයෙන් හඳුන්වනු ලැබේ. “කුසලාදයො ධම්මා එත්ථ සංගයිහන්ති ධම්මසඞ්ගණී” - කුසලාකුසලාදි වශයෙන් පරමාර්ථ ධර්මයන් එහි දී සංග්‍රහ කරනුයේ ඒ ධම්මසංගණී නම් වේ. එය ප්‍රධාන කොටස් සතරකින් පරිපූර්ණ ය.

“චිත්තවිභත්ති රූපඤ්ච, නික්ඛෙපො අත්ථජොතනා ගම්භීරං නිපුණං ඨානං, තම්පි බුද්ධෙන දේසිතං.”

මෙහි ධම්මසංගණීප්‍රකරණය ගම්භීර සියුම් ඥාණයෙන් ප්‍රකාශිත චිත්ත විභත්ති, රූප විභත්ති, නික්ඛේප අට්ඨකථා යන කාණ්ඩ සතරකින් හා සාතිරේක බණවර තෙළෙසකින් නිම කළ වදාළ සේක. එයට අත්ථසාලිනී අට්ඨකථා, මූලටීකා, අනුටීකා, අත්ථ යෝජනා වැනි පරිවාර ග්‍රන්ථයන්ගෙන් ශෝභමාන වූ අතිශයින් සප්තප්‍රකරණයට ම බැස ගැනීමේ මාතෘ නය ක්‍රමය හෙවත් මාතිකා නය විභාගය ඉතා මැනවින් එහි දී දේශනා කළ සේක.