සාමඤ්ඤ ඵල සුත්‍රය - 2017.pdf

කතෘ :
නිකපිටියේ ගුණරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
2017
මුද්‍රිත වර්ෂය :
2017
පිටු ගණන :
216
බාගත කිරීම් ගණන :
559
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-06-06
ගොනුවේ ප්‍රමාණය :
1.2 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 109

සාමඤ්ඤ ඵල සූත්‍රය යනු දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රය ඇසුරින් පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථයකි. මෙම කෘතිය 2017 වර්ෂයේදී නා උයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතිය මගින් ධර්මදානය පිණිස මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

පරම පූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේට සිදු කළ ගුරු උපහාරයක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී ඇත. සූත්‍ර නිදානය, ප්‍රථම ධර්ම සංගායනාව, අජාසත් රජුගේ කථා පුවත, ෂඩ් ශාස්තෘවරුන්ගේ වාද සහ භික්ෂුවක් විසින් අප්‍රමාදීව ලබන සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵල ආදී කරුණු රැසක් පාලි අටුවා ටීකා මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහි විස්තර කෙරේ.

පුදමි ගුරු පූජාව විලසින...

නිරිඳු අජසත් - යුතුව සැඳැ සිත්... දිනක ගොයුම්ගොත් - - සමිඳු සොයා ගොස්...

පැවිදි දිවියකින් - ලබන ඵලය කිම්... ඇසුව පැනයකින් - සමිඳු දෙසුව දම්...

සැදැහැ සිත් පටන් - යුතුව පිළිවෙළින්... කෙටිව මග නිවන් - - සදන මග එලින්...

සියලු දුක තුරන් - කරන නිවන තෙක්... දෙසුව පැවිද්දෙන් - - ලබනතුම් ඵලයන්...

සමණ ඵල සුතුරින් ...

මේ උතුම් දම්කඳ - - සිතට අරගෙන සොඳ... වඩමු ගුණ මද මද - - දමන තෙක් දුක් කන්ද සිඳබිඳ...

වත්මනෙහි වැඩසිටි - නා උයනෙ අප මාහිමි... ලෙසින් ගුණයට රුසි - - වෙලා අගුණය නිතර පටහැනි...

බඹ සුර නරන් විත් - නමකරයි කරනුට සිත්... සිල්ගුණ කඳ මහත් - වූ නිසයි මනුලොවේ සිටියත්...

සමිඳු දිවි පුරා පැතිරුණ - සමණ ගුණ වනා කියමිණ... සුසැදි මේ ගත කුළුණින - පුදමි ගුරු පූජාව විලසින...

සාධු සාධු සාධු...

හැඳින්වීම

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“අප්පමාදරතො භික්ඛු - පමාදෙ භයදස්සි වා, අභබ්බො පරිහානාය - නිබ්බානස්සෙව සන්තිකෙති”

අප්‍රමාදයෙහි ඇලුණා වූ, ප්‍රමාදයෙහි භය දක්නා සුලු භික්ෂුව පිරිහීමට යෝග්‍ය නොවේ. නිවන සමීපයෙහිම සිටියේ වෙයි. (අං: ව: නි: චක්ක ව: අපරිහානිය සුත්ත)

ඇවිදින සත්වයන්ගේ පා සටහන්වලින් ඇත් පා සටහන මහත් වේ ද, කූළු ගෙයක පරාල සියල්ලට කැණිමඩල ප්‍රධාන වේ ද, සුවඳ මුල් වර්ග අතර කලුවැල් සුවඳ අග්‍ර වේ ද, සුවඳ හර අතර රත් සඳුන් සුවඳ අග්‍ර වේ ද, සුවඳ මල් වර්ග අතර ද සමන් පිච්ච මල් සුවඳ අග්‍ර වේ ද, ලොව රජවරු අතර සක්විති රජහු අග්‍ර වේ ද, තාරකාවන්ගේ ආලෝකයන්ට වඩා චන්ද්‍රාලෝකය අග්‍ර වේ ද, සරත් කාලයෙහි පහ වූ වලාකුළු ඇති අහසෙහි සූර්යයා අන්ධකාරය නසා සියලු ආලෝකයන්ට අග්‍ර වේ ද, සමුද්‍රයට ගලා බස්නා ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, ආදී මහා ගංගාවන්ට මහා සමුද්‍රය අග්‍ර වේ ද, එසේම මේ ලෝකයෙහි යම්තාක් කුසල ධර්මයෝ වෙත් ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තේ වේ. අප්‍රමාදයෙන්ම රැස් වන්නේ වේ. ඒ කුසල ධර්මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨ ද, අග්‍ර ද වේ යැයි කියනු ලැබේ.

දිනක් පසේනදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මිනිසුන්ට මෙලොව පරලොව දෙකෙහි වැඩ සිදුකර දෙන එකම ධර්මයක් ඇත්තේ දැ යයි ඇසූ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ, ඇත්තේ ය මහරජ, ඒ අප්‍රමාදය යැයි වදාළ සේක.

අප්‍රමාදය සීල පූර්ණය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයෙහි පමණ දැනීම, නිදි වැරීම ආදී වූ උසස් ශාසන ප්‍රතිපත්තීන් පූර්ණයට ද උපකාර වන්නා වූ ප්‍රධාන ධර්මය වේ.

අජාසත් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සසුන් පැවිද්ද ලැබූ භික්ෂූන් වහන්සේට මෙලොවදීම දැකිය හැකි සාමඤ්ඤ ඵලයක් දැක්විය හැකි දැ, යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ සාමඤ්ඤ ඵල එකුන් විස්සක් (19) දක්වමින් භික්ෂුවකට මෙලොවදීම අප්‍රමාදී විහරණයෙන් ලැබිය හැකි ඵලයන් වදාළ සේක.

මේ ලෝකයෙහි බුදු සසුනක ඇති භික්ෂු ප්‍රතිපදාව හා සමාන ගාම්භීර වූ ද, උත්කෘෂ්ට වූ ද, ප්‍රතිපදාවක් තවත් නැත. එම ශාසන ප්‍රතිපදාවෙහි අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක ආදී මහ රහතන් වහන්සේලා හා අනෙකුත් ආර්යය මහෝත්තමයන් වහන්සේලාම අග්‍ර වෙති.

සම්බුද්ධ ශාසන පැවිද්ද ලැබූ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා අතර සසුන් පැවිද්ද ලැබූ සම්බුද්ධත්වය පිණිස නියත විවරණ ලැබූ මහ බෝසතාණන් වහන්සේලා හා සමාන කිසිවෙකු නැත. සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය - විනය මනාව ප්‍රගුණ කොට සසුන් පිළිවෙතෙහි මනාකොට හැසිරෙමින් අන්‍යයන්ට ද ඒ සඳහා උපකාර වෙමින් නිමල බුද්ධ වචනය ලොවට කියා දෙමින් ධර්ම දේශනා පවත්වමින් සසුන් පිළිවෙත මනාව හසුරුවන්නේ මහ බෝසතාණන් වහන්සේලාම ය.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාළ පරම පූජනීය මහෝපාධ්‍ය, රාජකීය පණ්ඩිත, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහා ස්වාමින් වහන්සේ ගේ නොසැලෙන අව්‍යාජ තේජවන්ත පැවැත්මෙන් ද, තත් සංස්ථාව බැබළවමින් අලංකාරමත් කළ මහෝපාධ්‍ය මහා කම්මට්ඨානාචාර්යය, ත්‍රිපිටකධරාචාර්යය, පරම පූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහා ස්වාමින් වහන්සේ ගේ උත්කෘෂ්ට ප්‍රතිපත්තිකාමී පරමාදර්ශී පැවැත්මෙන් ද ඒ බව මනාව පැහැදිලි වන්නේම ය.

අති පූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී මෙම 2017-09-07 දිනට වසරක් පිරීම නිමිත්තෙන් නා උයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතිය මගින් කළ ආරාධනයෙන් භික්ෂු ජීවිතයක හරය පැහැදිලි කරමින් දේශනා කොට වදාළ මෙම අගනා ධර්ම ග්‍රන්ථය මෙලෙස සකස් කරනුයේ ගුරු උපහාර පූජාවක් වශයෙනි. මෙම ග්‍රන්ථය පරිපූර්ණ ලෙස සැකසීමට මාස ගණනක් දිවා රෑ වෙහෙසීමෙන් සිදුකරගත් අප්‍රමාණ කුසලස්කන්ධය පරම පූජනීය මහෝපාධ්‍ය, රාජකීය පණ්ඩිත, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහා ස්වාමින් වහන්සේට ද, මහෝපාධ්‍ය මහා කම්මට්ඨානාචාර්යය, ත්‍රිපිටක ධරාචාර්යය, පරම පූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහා ස්වාමින් වහන්සේට ද සමත්‍රිංශත් පාරමී ගුණ සුවසේ සපුරා මතු ලොව්තුරු බුදුබව ලබන්නට හේතු වේවා. එසේම යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධානාචාර්යය පරම පූජනීය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින් වහන්සේ, නා උයන ආරණ්‍යයෙහි වැඩසිට අපවත් වී වදාළ අති පූජනීය විගොඩ බෝධිරක්ඛිත මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට සුවසේම ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන්සුව ලබන්නට හේතු වේවා.

පරම පූජනීය අග්ගමහා කම්මට්ඨානාචාර්යය ඌ ආචිණ්ණ සයාඩෝ මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන ප්‍රතිපත්තිකාමී මහ සඟ රුවණට ද, ශ්‍රී ලංකාද්වීප ප්‍රතිපත්ති ශාසනයෙහි චූඩාමාණික්‍යය බඳු වූ නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ප්‍රධානාචාර්යය අති පූජනීය මීගොඩ මහා ස්වාමින් වහන්සේට ද, ආරණ්‍යය සේනාසනයෙහි කෘත්‍යාධිකාරී ප්‍රධාන කම්මට්ඨානාචාර්යය අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද මහා ස්වාමින් වහන්සේට ද, අනෙකුත් මහ සඟරුවනට ද, ලංකාවාසී වූ ද, ලෝකවාසී වූ ද සියලු මහසඟරුවණට ද සසුන් කෙත බැබළවමින් සුවසේ පිළිවෙත් සපුරා නිවන් සුව ලබන්නට හේතු වේවා. මෙම ධර්ම ග්‍රන්ථය සැකසීමට ආරාධනා කළා වූ ද, මුද්‍රණය සඳහා ධන පරිත්‍යාග කළා වූ ද නා උයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ නිලධාරී මණ්ඩලය ප්‍රධාන සාමාජික සියලු දෙනාට ද සියලු ප්‍රාර්ථනා ජයගෙන සුවසේ නිවන්සුව ලබන්නට හේතු වේවා!. සදේවක ලෝකවාසී සියලු සත්නට ද ලෞකික ලෝකෝත්තර සියලු සමයක් ප්‍රාර්ථනා ජය ගැනීමට හේතු වේවා. මහා සංඝරත්නයට දානෝපස්ථානාදියෙන් මහෝපකාරීව සිටින දායක කාරකාදී සැමට ද, උපකාරක අනුග්‍රාහක සැමට ද සුව සේ නිවන්සුව ලබන්නට හේතු වේවා. මෙම ග්‍රන්ථය මනාව මුද්‍රණය කර දුන් මුද්‍රණාලයාධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයට ද, මේ සඳහා දායකත්වය දැරූ පින්වතුන්ට ද සියලු ප්‍රාර්ථනාවන් ජය ගෙන නිවන්සුව ලැබීම පිණිස ම හේතු වේවා!

“සද්ධම්මො චිරං තිට්ඨතු!”

මෙයට සසුන් ලැදි,
නිකපිටියේ ගුණරතන හිමි.
නා උයන ආරණ්‍යය,
පන්සියගම,
මැල්සිරිපුර.

ප්‍රස්ථාවනාව

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“යො ච සමෙති පාපානි - අණුං ථූලානි සබ්බසො, සමිතත්තා හි පාපානං - සමණොති පවුච්චතීති.” (ධම්මපද, ධම්මට්ඨ වග්ග)

“යම් භික්ෂුවක් කුඩා මහත් පාපයෝ සර්වප්‍රකාරයෙන් සන්සිඳුවයි ද, එසේ පාපයන් සන්සිඳ වූ බැවින් (ඒ උතුමන් වහන්සේ) ශ්‍රමණයෙකු යැයි කියනු ලැබේ”

කල්ප කෙල ලක්ෂ ගණන් කල් ලෝකය පවතියි. පවතින ඒ ලෝකය තුළ මිනිසා, සතා, සිවුපාවා, ගස්, වැල් හටගනියි. නැසෙයි. තව තව විවිධ ලෙස හටගනියි. එසේ ඇතිව නැතිව යන දේවල් අතර ඉහළ අගයකින් යුත්, වටිනා දුර්ලභ වස්තු ද පහළ වේ. සඳුන් ගස ඉතා වටනේ ය. එහෙත් සෑම කැලයක ම සඳුන් ගස් නැත. ගල්කැට තිබූ පමණින් ඒ සෑම එකක් ම මැණික් වන්නේ නැත. ගජමුතු ඉතා වටින දෙයක් වුව ද, සෑම ඇතෙකුගේ ම ගජමුතු නැත. එලෙස ම උතුම් මනුෂ්‍ය ලෝකයෙහි මිනිසත් බව ලබා ඉපදුණු පමණින් සෑම මිනිසෙකුට ම කල්‍යාණ මිත්‍රයෙකු විය නොහැකි ය. එබඳු කල්‍යාණ මිත්‍රයන් අතරෙහි ද, සත්වයන් කෙරෙහි මහත් වූ කරුණා - මෛත්‍රී - අනුකම්පා ගුණයෙන් යුතු බෝසත් ගුණ ඇති උතුමන් ද අති දුර්ලභ ය. ඊටත් වඩා පරම දුර්ලභ වූ ලොවට හිත ඇති එකම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නම් තුන් ලෝ ගුරු වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය.

ලෝකයෙහි අති දුර්ලභව පහළ වී ලොව ඇති සැබෑ සත්‍ය ධර්මය ඉස්මතු කොට සදේවක ලෝ සතුන්ට පෙන්වා අවිද්‍යා අඳුර මකා සත්වයන්ට සදාකාලික සැනසුම් සුවය උදාකර දෙන්නේ තථාගතයන් වහන්සේලාම ය. ඒ උත්තම ධර්මය ලොවට දේශනා කර සැබෑ ශාසනයක් පිහිටුවීමෙන් සිවු පිරිස් සකස් වෙති. ඒ සිවු පිරිස් අතර කල්‍යාණ මිත්‍ර සසුන් පැවිද්ද ලැබූ ශ්‍රමණයන් වහන්සේ මත මුළු බුදු සසුනම පවතින්නේ ය. ඒ මහ සඟරුවන ශ්‍රී සද්ධර්මය පිහිටීමට, ප්‍රචලිත කිරීමට, ධර්මය රැකීමට, ඉදිරියට පවත්වා ගැනීමට උපකාර වන ප්‍රධාන පිරිස වේ. එලෙස කිරීමට ද සැබෑ ලෙස ශ්‍රමණ බැවින් පිහිටි ශ්‍රාවකයෙකු විය යුතු ය.

සැබෑ ශ්‍රමණභාවය ඇතිකර ගැනීමට හැකි මාර්ගය සම්මා සම්බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. ඒ වනාහී සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂා ධර්ම මාර්ගයයි. එම උතුම් ධර්ම මාර්ගයට පිවිස ක්‍රම ක්‍රමයෙන් සැබෑ ශ්‍රමණ ඵල හෙවත් පැවිදි දිවියේ උතුම් ප්‍රතිඵල තුළින් පැවිදි සැපයෙන් සැනසීමට ද, කෙළවර සියලු කෙලෙස් නැසීමෙන් පරම සැපය වන නිවන් සුවයත් සාක්ෂාත් කරගන්නා ආකාරය පිළිවෙලින් මෙම ශ්‍රමණ ඵල සූත්‍ර දේශනාවෙන් මනාව පෙන්වා දී ඇත්තේ ය. ගිහි සම්පත් හැර සසුන් ගතවන ශ්‍රමණයන් වහන්සේ පළමුව පිරිසිදු සීලයෙන් යුතුව තම ජීවිතය තුළ සීල පාරිශුද්ධිය ඇතිකර ගත යුතු ය. ඒ නිමල සීලය පිහිටා ආධාර කරගෙන සිත සමාහිත කරගත යුතු ය. ඒ අතර පියවරෙන් පියවර ප්‍රඥාව දියුණු කරගත යුතු ය. එලෙස මුහු කරවන ලද ප්‍රඥාව තුළ පිහිටාගෙන නිවන් මග ඉදිරියට අනුගමනය කළ විට ශ්‍රමණ භාවයේ උසස්ම සුවය විඳ ගැනීමට හැකි වන්නේ ය. එයින් මෑත ඒ මාර්ගයෙහි ගමන් කිරීමෙහි දී සීලයෙන් ශක්තිමත් වීමේ ඉතා වටිනා ප්‍රතිඵල විඳීමට හැකි වන්නේ ය. සමාධියෙන් ශක්තිමත් වූ විට එය වඩාත් ප්‍රකටව දැනෙන්නේ ය. ප්‍රඥාව දියුණු වූ විට ගෙවෙන නිමේෂයක් පාසා අවබෝධයෙන් නුවණින් සියලු දේ තුළ සැබෑ තතු දකිමින් ඉතා සැහැල්ලුවෙන් සියලු කටයුතු කළ හැකි වන්නේ ය. ඉතිරි නැතිව සියලු කෙලෙස් සහමුලින් උදුරා දැමූ ශ්‍රමණ දිවිය ශ්‍රමණ ඵලයෙහි උත්තම ස්වභාවය යි. එම උතුම් මාර්ගය වැඩීම ම දෙවියන් සහිත බඹුන් සහිත සමස්ත ලෝක ධාතුවට ම උතුම් ආශිර්වාදයක් ශාන්තියක් වන්නේම ය. ඒ උත්තම ශ්‍රමණ ඵලය උදාකර ගැනීම පිණිස මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුල සිට ක්‍රමානුකූලව පැවිද්ද ගතකළ යුතු ආකාරය පෙන්වා දුන් ආකාරයට ම පාලි, අට්ඨකථා, ටීකා හා සංගෘහිත ග්‍රන්ථ හා තමන් වහන්සේ ගේ ශ්‍රමණ අත්දැකීම් පාදක කොටගෙන සකසන ලද මේ උත්තම ග්‍රන්ථය කාලීන ව ඉතා වැදගත් සත්කාරයක් සේ ද, සසුනට කරන උතුම් ධර්ම සංග්‍රහයක් සේ ද වටනේ ය. මේ සත්කාරයෙහි වටිනාකමට තවත් කාරණයක් ඇත. එනම් මීට වසරකට පෙර අපවත් වී වදාළ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ශ්‍රමණ ගුණයෙන් පරතෙරට පැමිණියා වූ මහ බෝසත් ගුණයෙන් පිරිපුන් වූ දහස් සංඛ්‍යාත දෙස් විදෙස් සඟ පිරිසට මෙන් ම මුලු මහත් ලෝකයාට ම උතුම් පින් කෙතක් වූ මනා ශ්‍රමණ ඵලයන්ගෙන් අනූන වූ නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ වර්ෂ පූර්ණ පුණ්‍යෝත්සවය වෙනුවෙන් ගුරු පූජාවක් විලසින් ඒ උතුම් ජීවිතයේ පැවதியා වූ ගුණ කඳ විවරණය කිරීමක් ලෙසින් ද මෙම ග්‍රන්ථය එළි දැක්වේ.

සියලු පැවිදි පිරිසට ම විශේෂයෙන් තම පැවිදි දිවියේ අරුත් බව වැඩිකර ගැනීමට රසාලිප්ත වූ පැවිදි දිවියක් ගෙවන්නට හැකි පමණින් හෝ පරිශීලනය කළයුතු ධර්ම කොට්ඨාශයන් මෙහි අඩංගු වේ.

මෙලෙස කාලීන ව ඉතා වැදගත් වටිනා ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කළා වූ පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේට තවත් මෙවැනි වූ උතුම් සද් කාර්යයන් සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සහ අප සැමගේ ආශීර්වාදයෙන් ධර්ම ඥානය, භාවනා ඥානය සත, සහස්‍ර ගුණයෙන් වැඩි දියුණු වේවා. සියලු ශාසනික අභිමතාර්ථයන් සමෘද්ධ වේවා යැයි ආශීර්වාද කරමි.

ග්‍රන්ථය සම්පාදනයට සහය වූ සැමටත්, මුද්‍රණ වියදම් දරණ සැමටත්, මුද්‍රණය සිදුකරන සැමටත් සුව සේ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා. දෙවියන් සහිත ලෝකයාට ම උතුම් නිවන් මග විවර වේවා යැයි ඉතා සිතින් ආශීර්වාද කරමි.

“උතුම් ශ්‍රමණ ගුණ තුළින් සම්බුදු සසුන පන්දහසක් කල් පවතීවා!”

“චිරං තිට්ඨතු සද්ධම්මො - ධම්මො හොන්තු සගාරවා”

මෙයට ශාසන ලැදි,
පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද මහා ස්ථවිර,
නා උයන ආරණ්‍යය,
පන්සියගම,
මැල්සිරිපුර.