විසාඛුපොසථ සූත්‍රය - 2018.pdf

කතෘ :
නිකපිටියේ ගුණරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
2018
මුද්‍රිත වර්ෂය :
2018
පිටු ගණන :
149
බාගත කිරීම් ගණන :
439
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-06-06
ගොනුවේ ප්‍රමාණය :
1006 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 75

විශාඛුපොසථ සූත්‍රය යනු අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් විශාඛුපොසථ සූත්‍රය සහ එහි අටුවා විස්තර පාදක කරගනිමින් පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථයකි. නා උයන ආරණ්‍ය සේනාසනයේ පොහොය දිනවල සිල් සමාදන් වන පින්වතුන්ගේ ප්‍රයෝජනය සඳහා නා උයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ ආරාධනයෙන් මෙම කෘතිය සම්පාදනය කර 2018 වර්ෂයේදී ධර්ම දානය පිණිස මුද්‍රණය කර ඇත.

සූත්‍ර නිදානය, ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ ඓතිහාසික පසුබිම, විශාඛා මහෝපාසිකාවගේ චරිතාපදානය, ගෝපාලක, නිගණ්ඨ සහ ආර්ය උපෝසථ යන ත්‍රිවිධ උපෝසථ විග්‍රහය මෙම කෘතියෙහි සවිස්තරව අන්තර්ගත වේ. විශේෂයෙන්ම බුද්ධානුස්සති ආදී අනුස්සති භාවනාවන් වැඩිය යුතු ආකාරයත්, අෂ්ටාංග උපෝසථ ශීලයේ එක් එක් ශික්ෂාපදයන්හි ගැඹුරු අර්ථ විවරණයත්, උපෝසථ සිල් සමාදන් වූවන් විසින් කළ යුතු සහ නොකළ යුතු කථා පිළිබඳවත් මෙහි මනා ලෙස පැහැදිලි කර දී තිබේ.

පෙරවදන

“සබ්බ දානං ධම්ම දානං ජිනාති”

“ධර්ම දානය සියලු දානයන් පරදවා ජයගනී”

බුදුරජානන් වහන්සේ වදාළ ධර්මය දේශනා කිරීම ද, කරවීම ද, දහම් පොත් බෙදාදීම ද ධර්ම දානයට අයත් වන්නේය. අනිත් සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් ය.

පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේ නා උයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ ආරාධනය මත සකස්කර ඇති මෙම විශාඛුපොසථ සූත්‍ර දේශනාව පෙළෙහි කෙටි දේශනයකි. පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින්වහන්සේ අට්ඨකතා අනුසාරයෙන් වැදගත් කරුණු රාශියක් එකතුකර මෙම දහම් පොත සකස් කර ඇති ආකාරය ඉතා ප්‍රශංසනීය ය. පොත් කීපයක් පෙරලා දැනගත යුතු කරුණු රාශියක් මෙම දහම් පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් දැනගත හැක. මෙම දහම් පොත කියවද්දී මට දැනුනේ කුඩා ධර්ම විශ්වකෝෂයක පිටු පෙරලන්නා සේ ය. පූජ්‍ය ගුණරතන ස්වාමින් වහන්සේට මෙවැනි දහම් පොත් තව තවත් ලිවීමට අවස්ථාව ලැබේවායි ආශිංසනය කරමි. මෙම දහම් පොත පරිශීලනය කරන සැමටම අත්වන දහම් දැනුම නිවන් පිණිසම හේතුවේවා. මෙම ධර්ම දානමය කුසලය පූජ්‍ය ගුණරතන ස්වාමින් වහන්සේට නිවන් අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා. හැදූ වැඩූ දෙමාපියන්ටත් මෙම කුසලය අත්පත් වීමෙන් නිවන් අවබෝධ කරත්වා.

මෙම දහම් පොත සකසා මුද්‍රණය කළ මුද්‍රණාලයාධිපතිතුමාත් සේවක මණ්ඩලයත් නිවන් අවබෝධ කරත්වා.

මේ වගට සසුන් ලැදි, පූජ්‍ය මීගොඩ සංඝසෝභන ස්ථවිර 2018-03-19.

පූජ්‍ය මීගොඩ සංඝසෝභන ස්ථවිර
2018-03-19.

හැඳින්වීම

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“ද්වේ’මානි භික්ඛවෙ දානානි, ආමිසදානඤ්ච, ධම්මදානඤ්ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානන්ති”. (ඛු: නි: ඉති: ති: නි: දාන සූත්‍රය)

මහණෙනි මේ දාන දෙකකි. ආමිස දානය හා ධර්ම දානයයි. මහණෙනි මේ දාන දෙක අතරින් මේ ධර්මදානය අග්‍ර වන්නේය.

දිය යුත්ත දානය නම් වේ. එයින් චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලන්පස බෙහෙත් පරිෂ්කාරාදිය දන්දීම ආමිස දානය නම් වේ. ඒවා තණ්හා දිට්ඨි ආදියෙන් ස්පර්ශ කළයුතු බැවින් ආමිසයයි කියනු ලැබේ.

ඒ ආමිස චේතනාවෙන් පරිත්‍යාග කළයුතු බැවින් ආමිස දානය නම් වේ. මේ ආමිස වනාහී සියලු දානයන්ගේ නිධානය හෙවත් මුල හේතුවයි. සියලු සම්පත්තීන්ගේ මුලයයි.

මෙලොව යමෙක් මේ කුසලධර්මය, මේ අකුසලධර්මය, මේ වැරැදිධර්මය ය, මේ නිවැරැදිධර්මය ය, මේ නුවණැත්තන් විසින් ගැරහිය යුතු ධර්මය, මේ නුවණැත්තන් විසින් පැසසිය යුතු ධර්මය, මේ ධර්මය අහිත පිණිස දුක් පිණිස පවතී. මේ ධර්මය හිතසුව පිණිස පවතී; යනුවෙන් ත්‍රිවිධ ද්වාරයෙන් සිදුකරන කුසල-අකුසල වශයෙන්, කර්ම-කර්මඵල වශයෙන් බෙදමින්, කර්මය-කර්මවිපාකය වශයෙන් බෙදමින් මෙලොව පරලොව ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්වන්නාක් මෙන් ප්‍රකට කරමින් අකුසල ධර්මවලින් වළක්වමින් කුසල ධර්මයන්හි පිහිටුවමින් ධර්මදේශනා කිරීම, දහම් පොත් ලියා බෙදා දීමාදිය ධර්මදානය නම් වේ.

යමෙක් මේ ධර්ම අනිත්‍යාදී විශිෂ්ටාකාරයෙන් දතයුතු ධර්මයෝ ය, මේ ධර්ම අනිත්‍යාදී වශයෙන් දතයුතු දුක්ඛ ධර්මයෝ ය, මේ ධර්ම දුරු කළයුතු ය, මේ ධර්ම වැඩිය යුතු ය, මේ ධර්ම ප්‍රත්‍යක්ෂ කළ යුතු ය යැයි චතුරාර්ය සත්‍යය ප්‍රකට කරමින් නිර්වාණාවබෝධය පිණිස ප්‍රතිපත්ති මාර්ගය දේශනා කරයි ද, දහම් පොත් ලියා ධර්මදාන වශයෙන් බෙදා දෙයි ද මෙය උසස්ම ධර්ම දානය අග්‍ර ම ධර්ම දානය වේ. මේ නිවන පිණිස හේතුවන ධර්මදානය හේතුවෙන් සියලු අනර්ථයන්ගෙන් මිදෙයි. සියලු සසර දුක් ඉක්මවයි.

මෙසේ අග්‍ර ආනිශංස ගෙනදෙන ධර්ම දානමය කුසලයක් සිදුකර ගැනීමේ අදහසින් යුතුව උපෝසථ සීලය පිළිබඳව පරිපූර්ණ වූ අර්ථ විවරණයක් මෙයින් ඉදිරිපත් වේ. මෙසේ වූ මහඟු ධර්මදානමය කුසලයක් සිදුකර ගැනීමට මුල හේතුව වූයේ නා උයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ සභාපති පින්වත් ජේමරත්න මහත්මා විසින් නා උයන ආරණ්‍යයෙහි පොහොය දිනයන්හි සීල භාවනාවෙහි යෙදෙන පින්වතුන්ගේ ප්‍රයෝජනය සඳහා විශාඛුපොසථ සූත්‍රයෙන් ග්‍රන්ථයක් සකස්කර දෙනලෙස කළ ආරාධනයයි.

මෙම ග්‍රන්ථයෙන් උපෝසථ සීලයක් සමාදන් වන පින්වතුන්ට ආර්යය මහෝත්තමයන්ගේ පැවැතුම් අනුව පවතිමින් මනාකොට කෙලෙස් ලියාලන කුසල් දම් වැඩිදියුණු කරන පිළිවෙත, පිරිසිදු මග කියා දෙයි. එසේම බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති යන අනුස්සති භාවනාවන් ද, අෂ්ටාංග උපෝසථ සීලය පිළිබඳව ද, සිල්ගුණ පිරීමට බාධා පමුණුවන කෙලෙසුන් පිළිබඳව ද පූර්ණ විවරණයක් ඉදිරිපත් වේ. එබැවින් මෙය කියවා බලන පින්වත් සැමට නිවැරදිව ආර්යය මාර්ගය අනුගමනය කොට සියලු බාධක ජයගෙන සුවසේම නිර්වාණාවබෝධය සිදුකර ගැනීමට මෙම ධර්ම ග්‍රන්ථය ද, ධර්මදානමය කුසලය ද මහෝපකාරී වේවා!

මෙම උදාර ධර්ම දානමය කුසලය නිවීගෙන යන පහනකට තෙල් දමා නැවත පහන් ආලෝකය දීප්තිමත් කරමින් බොහෝ දෙනාට ආලෝකය ලබාදෙන්නාක් මෙන් නිවීගෙන ගිය ධ්‍යාන, සමාධි, සමාපත්ති, අභිඥා, විදර්ශනා ඥානාදී වූ ප්‍රතිපත්ති ශාසනය නැවත පණගන්වමින් නැවත බොහෝ කාලයක් වේනෙය්‍ය ජනයාට පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ ශාසනයන් ශක්තිමත් කරමින් සම්බුදු සසුනට මහත් ආලෝකයක් වූ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාළ රාජකීය පණ්ඩිත අති පූජනීය කඩවද්දූවෙ ශ්‍රී ජිනවංශාභිධාන මහා ස්වාමින් වහන්සේට ද, තත් සංස්ථාවේ ප්‍රධානාචාර්යය අති පූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්වාමින් වහන්සේට ද, යෝගාශ්‍රම සංස්ථාවේ වූඩා මාණික්‍යය බඳුව වැඩසිට සසුනඹර බබුළුවමින් දෙස් විදෙස් ධර්මකාමීන්ට පරම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්යය මහා කර්මස්ථානාචාර්යය අති පූජනීය නා උයනේ මහා ස්වාමින් වහන්සේට ද සුවසේම සමත්‍රිංශත් පාරමී ගුණ සපුරා ලොවුතුරු බුදුබව ලබන්නට හේතු වේවායි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරමි.

එසේම නිමල වූ සෘජු වූ සම්‍යක් ප්‍රතිපත්ති මාර්ගය ලොවට හඳුන්වා දෙමින් සසුනඹර බබුළුවමින් වයෝවාද්ධව තපෝවෘද්ධව ගුණෝවෘද්ධව සීල වාද්ධව මහා ගුණස්කන්ධයකින් පරිපූර්ණව සුපෙශල ශික්ෂාකාමී අල්පේච්ඡ දිවියක් ගෙවමින් වැඩසිටින අග්ගමහා කර්මස්ථානාචාර්යය අති පූජනීය උ ආචිණ්ණ (පා අවුක් සෙයාඩෝ) මහා ස්වාමින් වහන්සේට ද, නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ප්‍රධානාචාර්යය අති පූජනීය මීගොඩ සංඝසෝභන මහා ස්වාමින් වහන්සේ, ප්‍රධාන කර්මස්ථානාචාර්යය අති පූජනීය අඟුල්ගමුවේ අරියනන්ද මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන ප්‍රතිපත්තිකාමී මහසඟරුවනට ද ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම වාසී වූද, ලක්වැසි වූද, ලෝවැසි වූද සියලු මහසඟරුවනට ද ශාසනානුග්‍රහය දක්වමින් උසස් ගුණ සපුරා නිවන් සුව සුවසේ ලබත්වා යැයි ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. එසේම මවුපිය ඥාත්‍යාදී සැමට ද, සදේවක ලෝකවාසීන්ට ද නිවන් සුව සුවසේ ලබනට හේතුවේවා යි ප්‍රාර්ථනා කරමි.

මේ මහඟු කුසලයෙහි දායකත්වය දරන්නා වූ නා උයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ සැමට ද, මෙම ග්‍රන්ථයෙහි සෝදුපත් බලා නිවැරදි කොට දුන් ගරු ස්වාමින් වහන්සේලාට ද, මෙම ග්‍රන්ථය මනාව මුද්‍රණය කරදුන් යක්කල දිමුතු මුද්‍රණාලයෙහි අධිපති තුමා ප්‍රධාන කාර්යය මණ්ඩලයෙහි සැමට ද ශාසනානුග්‍රහය දක්වමින් උසස් ගුණ පුරා නිවන් සුව සුවසේ ලබන්නට හේතු වේවා යි ප්‍රාර්ථනා කරමි.

මෙයට මෙත්සැති, නිකපිටියේ ගුණරතන හිමි, 2018 - 03 - 31

නිකපිටියේ ගුණරතන හිමි,
2018 - 03 - 31