ලෝකාණුවිවරණ සූත්‍රය - 2020.pdf
- කතෘ :
- නිකපිටියේ ගුණරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2020
- මුද්‍රිත වර්ෂය :
- 2020
- පිටු ගණන :
- 67
- බාගත කිරීම් ගණන :
- 423
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-06-06
- ගොනුවේ ප්‍රමාණය :
- 569 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ලෝකාණුවිවරණ සූත්‍රය යනු අංගුත්තර නිකායේ තික නිපාතයේ එන දේශනාවක් සහ ඒ ආශ්රිත අටුවා ටීකා තොරතුරු පාදක කරගනිමින් නා උයන ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථයකි. අපවත් වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේගේ සහ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනයන් නිමිති කරගෙන පින් අනුමෝදන් කිරීම පිණිස මෙම කෘතිය සම්පාදනය කර ඇත.
සූත්‍ර නිදානය, ප්‍රථම ධර්ම සංගායනාව, ආනන්ද හිමියන් උපස්ථායක ධුරය භාරගැනීම, සුධර්මා දිව්‍ය සභාව සහ රාජෝවාද ජාතකය ආදී කරුණු ඔස්සේ ලෝකයේ යහපැවැත්ම හා පරිහානිය ස්වභාව ධර්මය හා මිනිස් ක්‍රියාකලාපය අනුව සිදුවන ආකාරය මෙහි විස්තර කෙරේ. මෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා අතර:
- ප්‍රථම ධර්ම සංගායනාව සහ ධර්ම විනය බෙදා දැක්වීම
- ලෝකාණුවිවරණ සූත්‍ර සංගායනාව
- සුධර්මා දිව්‍ය සභාව සහ දෙවියන්ගේ ක්‍රියාකාරිත්වය
- රාජෝවාද ජාතකය හා එළාර රජතුමාගේ පුවත
- ස්වභාවධර්මයේ වෙනස්කම් සහ ලෝක පරිහානිය පිළිබඳ නිගමනය
මෙම පොත 2020 වර්ෂයේදී ධර්මදානය පිණිස මුද්‍රණය කර බෙදාහැර ඇත.
හැඳින්වීම
“යෙ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තො උපාසකා, ධම්මෙන දරං පොසෙන්ති - තෙ නමස්සාමි මාතලි”
එක් දිනක් සක්දෙව් රජතුමා නන්දන උයන සිර දකිනු පිණිස යනු කැමති ව මාතලී රථාචාර්ය්යවරයාට කථා කොට ආජානීය අශ්වයන් දහසක් යොදන ලද රථය සූදානම් කරන ලෙස කීවේ ය. මාතලී රථාචාර්ය්යවරයා “යහපති ස්වාමීනි” යැයි කියා ආජානීය රථය යොදා සක්දෙව් රජතුමා හට “නිදුකාණනි, ඔබ වහන්සේගේ ගමනට සුදුසු කල් දනුව” යැයි සැල කළේ ය.
ඉක්බිති සක්දෙව් රජතුමා වෙජයන්ත ප්‍රාසාදයෙන් බසින්නේ ඇඳිලි බැඳ සියලු දිශාවන්ට නමස්කාර කළේ ය. එය දුටු මාතලී රථාචාර්ය්යවරයා “වේදය හදාරන්නා වූ සියලු පොළෝතල වාසීහු ද, ක්ෂත්රියයෝ ද, සතර වරම් මහ රජවරු ද, පිරිවර සෙසු දෙවියෝ ද, නුඹ වහන්සේට වඳිති. සක්දෙව් රජතුමනි, පිරිවර සහිත වූ ඔබ වහන්සේ කා හට වඳින්නෙහි ද?” යැයි ඇසුවේ ය.
එවිට සක්දෙව් රජතුමා “වේදය පර ප්‍රාප්ත වූ පෘථිවි තල වාසී වූ සියල්ලෝ ද, ක්ෂත්රියයෝ ද, සිවුවරම් මහ රජ දරුවෝ ද, පරිවාර සම්පන්න වූ සෙසු දෙවියෝ ද මට වඳිත්. ඒ මම ශීලයෙන් සමාහිත වූ, බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති, දිවි හිමියෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි යෙදී වසන්නා වූ පැවිද්දන් සකසා වඳිමි.
එසේ ම පින් කරන්නා වූ, සිල්වත් වූ, උපාසක ගුණයෙහි පිහිටියා වූ, යම් ගෘහස්ථ කෙනෙක් දැහැමින් අඹුදරුවන් රකිත් ද, එම්බා මාතලිය, මම ඔවුන් වඳිමි” යැයි කීවේ ය.
එවිට මාතලි දිව්‍ය පුත්‍රයා “සක්දෙව් රජතුමනි, යමෙකුට නුඹ වහන්සේ වඳින්නෙහි ද ඔහු ලොව ශ්‍රේෂ්ඨයෝ ම වෙති. වාසව නම් වූ දෙව් රජුනි, යම් කෙනෙකුන්ට ඔබ වඳින්නෙහි ද මමත් ඔවුන් වඳිමි” යැයි කියා වැන්දේ ය.
මෙලෙස දෙවියන් විසින් මනුලොව වෙසෙන සිල් ගුණ ඇති අයට වදිනු ලබන්නේ තමන් ඒ දිව්‍ය ආත්මභාවයෙහි විඳින සැප ද, ඒ සඳහා පූර්ව ජාතීන්හි කරගන්නා ලද කුසල් ද මනාකොට දක්නා බැවිනි.
එබැවින් ලෞකික ලෝකෝත්තර සියලු අර්ථයන් සිදුකර ගත හැකි එකම එකම තැන නම් මිනිස් ලොව පමණකි. ඒ උත්තමාර්ථය සිදුකර ගැනීම පිණිස ගිහි පැවිදි සියලු දෙනාම අප්රමාදී විය යුතු ය.
සම්බුදු සසුනේ චිර පැවැත්ම පරමාර්ථය කරගත් ශාසන මාමක සත්පුරුෂ මණ්ඩලයක් එක්ව පිහිටුවා ගත් උසස් ප්‍රතිපත්ති සංවිධානයක් වන “අපරිහානිය පදනම” නම් වූ සංවිධානයෙහි සාමාජික සෑම විසින් බෞද්ධ ජනයාගේ ලෞකික දියුණුව පිණිස හා ලෝකෝත්තර නිවන් සුව ලබනු පිණිස පවත්වා ගෙන යනු ලබන උදාර වැඩ පිළිවෙළ අගය කළ යුතු ය.
සම්බුදු සසුන් ප්‍රතිපත්තිය නඟා සිටුවීමට ඇප කැප වූ යතිවරයන් වහන්සේලා අතර අපවත් වී වදාළ ත්රිපිටකධරාචාර්ය්ය මහෝපාධ්‍යාය පරම පූජනීය නා උයනේ අරියධම්ම අනුනායක මහා ස්වාමීන් වහන්සේගේ 82 වන ජන්ම දිනය හා අපවත් වී වදාළ අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ 72 වන ජන්ම දිනය ව්ය: ව: 2019 - 04 - 24 දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සිදු කරන පින්කම් මාලාවෙහි එක් අංගයක් ලෙස ධර්ම ග්රන්ථයක් සකසා දෙන ලෙස කළ ආරාධනයෙන් මෙම “ලෝකාණුවිවරණ සූත්‍රය” නම් ග්‍රන්ථය සැකසුවෙමි. මෙයින් ලෝක ධාතුවෙහි යහ පැවැත්ම හා පරිහානිය කෙසේ වන්නේ ද යන්න මනාව පැහැදිලි කර දෙන්නේ වේ. මෙම අගනා ධර්ම ග්‍රන්ථය සැවොම කියවා බලා එහි සාරය තම ජීවිතයන්ට එකතු කරගෙන යහපත් ධර්මානුකූල ජීවිත ගත කිරීමට සැමට හැකි වේවා.
මෙයින් ජනිත වන උතුම් කුසලය අප ගුරු දේවෝත්තම පරම පූජනීය නා උයනේ මහා ස්වාමින් වහන්සේට ද, අපවත් වී වදාළ සංඝ පිතෘවර සියලු මහෝත්තමයන් වහන්සේලාට ද සුවසේ සමත්‍රිංශත් පාරමිතා ධර්ම සපුරා ලොව්තුරා බුදු පදවිය ලැබීම පිණිස ම හේතු වේවා. සුජීවත් ව වැඩ සිටින නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහ සඟරුවනට ද, සදේවක ලෝකවාසී සියලු සත්වයන්ට ද සුව සේ පාරමී සපුරා නිවන් සුව ලබන්නට ම හේතු වේවා. මෙම ධර්ම ග්‍රන්ථය මුද්‍රණය සඳහා දායකත්වය දැරූ සැමට ද මුද්‍රණය කර දුන් මුද්‍රණාලයාධිපතිතුමා ප්‍රධාන කාර්ය්ය මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ සැමට ද සුවසේ ම නිවන් සුව ලබන්නට හේතු වේවා.
මෙයට ශාසනමාමක
නිකපිටියේ ගුණරතන හිමි.
නා උයන ආරණ්‍ය සෙනසුන.