මහබෝසත් චර්‍ය්‍යාව - 2024.pdf
- කතෘ :
- නිකපිටියේ ගුණරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2024
- මුද්‍රිත වර්ෂය :
- 2024
- පිටු ගණන :
- 132
- බාගත කිරීම් ගණන :
- 502
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-06-06
- ගොනුවේ ප්‍රමාණය :
- 898 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මහබෝසත් චර්‍ය්‍යාව යනු බුදුබව පතන මහා බෝසත්වරුන්ගේ පාරමී ධර්ම සහ බෝධි චර්යාවන් පිළිබඳ විස්තර කෙරෙන ධර්ම ග්රන්ථයකි. මෙය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදනය කරන ලද්දකි.
පාරමිතා ධර්මයන්ගේ අර්ථ, ප්‍රභේද, ලක්ෂණ-රස-පච්චුපට්ඨාන-පදට්ඨාන, මහාභිනීහාර කරුණු සහ දස පාරමිතාවන්ගේ ප්රත්යවේක්ෂා ක්‍රම ඇතුළු බෝසත් ගුණාංග පිළිබඳ සවිස්තර විවරණයක් මෙම කෘතියෙන් ඉදිරිපත් කෙරේ. නා උයනේ අරියනන්ද හිමියන්ගේ සංඥාපනයක් ද මෙහි ඇතුළත් වේ.
මෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා අතර:
- පාරමිතා නම් කවරහු ද?
- කවරාර්ථයකින් පාරමී නම් වේ ද?
- පාරමිතා ධර්ම කී වැදෑරුම් වේද?
- පාරමිතාවන්ගේ ක්‍රමය කෙබඳු ද?
- මහාභිනීහාරය පිණිස වන්නා වූ ප්‍රත්‍යය, හේතු සහ බල සතර
- දාන, සීල ආදී දස පාරමිතාවන්ගේ ප්රත්යවේක්ෂා ක්‍රම
හැඳින්වීම
“නභඤ්ච දූරෙ පඨවී ච දූරෙ, පාරං සමුද්දස්ස තදාහු දූරෙ, යතො ච වෙරොචනො අබ්භුදෙති, පභඞ්කරො යත්ථ ච අත්ථමෙති, තතො හවෙ දූරතරං වදන්ති සතඤ්ච ධම්මං අසතඤ්ච ධම්මං.”
අහසට පොළොව දුර වේ. සමුද්‍රයෙහි එතෙරට මෙතෙර දුර පිහිටියේය. යම් තැනකින් ආලෝකය ගෙන දෙන සූර්‍ය්‍යයා උදා වේ ද, යම් තැනකින් අස්ත වේ ද, එමෙන් සත්පුරුෂයන් ගේ ධර්මය හා අසත්පුරුෂයන් ගේ ධර්මය ඊටත් වඩා දුර යැයි කියති.
“අබ්යයිකො හොති සතං සමාගමො යාවාපි තිට්ඨෙය්ය තථෙව හොති, ඛිප්පඤ්හි වෙති අසතං සමාගමො තස්මා සතං ධම්මො අසබ්භි ආරකා”
සත්පුරුෂයන් ගේ සමාගමය වෙනස් නොවෙන ස්වභාව ඇත්තේ ය. යම්තාක් කල් පවතී ද ඒ තාක් එසේ ම වේ. අසත්පුරුෂයන් ගේ සමාගමය වහා වෙනස් වේ. එසේ හෙයින් අසත්පුරුෂ සමාගමෙන් සත්පුරුෂයන්ගේ ධර්මය ඈත් ව සිටියේ ය.
(අං: නි: ච: නි: සුවිදූර සූත්‍රය)
දිනක් බුද්ධ උපස්ථායක වූ ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් “උපඩ්ඪමිදං, භන්තෙ, බ්රහ්මචරියස්ස යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවංකතා” යනුවෙන් “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කල්‍යාණ මිතුරන් ඇති බවක් කල්‍යාණ යහළුවන් ඇති බවක් කල්‍යාණ මිතුරන් කෙරෙහි නැමෙන සුළු බවක් වේ ද ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හරි අඩක් ඒ මත පිහිටියේය නේද” යැයි මෙසේ ප්‍රශ්නයක් අසා සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “මා හෙවං, ආනන්ද, මා හෙවං, ආනන්ද, සකලමෙව හිදං, ආනන්ද, බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවංකතා. කල්යාණමිත්තස්සෙතං, ආනන්ද, භික්ඛුනො පාටිකංඛං කල්යාණසහායස්ස කල්‍යාණසම්පවංකස්ස අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති” “ආනන්දය මෙසේ නොකියව, ආනන්දය මෙසේ නොකියව, ආනන්දය කල්‍යාණ මිතුරන් ඇති බවක් කල්‍යාණ යහළුවන් ඇති බවක් කල්‍යාණ මිතුරන් කෙරෙහි නැමෙන සුළු බවක් වේ ද, මේ සකලවිධ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව ඒ මත පිහිටියේය වේ. ආනන්දය කල්‍යාණ මිතුරන් ඇති කල්‍යාණ යහළුවන් ඇති කල්‍යාණ මිතුරන් කෙරෙහි නැමෙන සුළු භික්ෂුව ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ ය, බහුල කරන්නේය යන මෙය කැමති විය යුතුය” යැයි වදාළ සේක.
(සං: නි: ම: සං: උපඩ්ඪ සූත්‍රය)
ලෝක සත්ත්වයන්ට හිත ඇති ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයා නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ම ය. ඒ හැරුණු විට ලෝක සත්ත්වයන්ට පිහිටවන සැබෑ කල්‍යාණ මිත්‍රයා නම් මහබෝසතාණන් වහන්සේ ය. ඒ උතුමන් වහන්සේලා හැර සසර දුක් විඳින ලෝ සතුන්ට පිහිටවන කෙනෙකු නැත. එබැවින් එබඳු සත්පුරුෂයෝ ලොව පහළ වීම ලෝක සත්ත්වයන්ට සැනසිල්ල පිණිස සැප පිණිස වෙති.
දුක් සසරක සැරිසරමින් සිටි අපට උතුම් බුද්ධ ශාසනයක් හමු වූහ. ඒ උතුම් වූ බුද්ධ ශාසන ප්‍රතිපත්තිය පිරිහී ගෙන යන මෙවන් යුගයක මනුලොව ඉපද බුදු සසුනෙහි පැවිදි ව සම්මා සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති ධර්මයන් නගා සිටවූ මහබෝසතාණන් වහන්සේලා අපට ඇසුරු කිරීමට ලැබීම ඉමහත් වාසනාවකි.
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාළ පරම පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංසාභිධාන මහෝත්තමයන් වහන්සේ එසේ වූ මහබෝසතාණන් වහන්සේ නමකි. එසේම සියලු ආකාර ගුණයන්ගෙන් ද, ධර්ම ඥානයෙන් ද, ප්‍රතිපත්තියෙන් ද, අතිශයින් පරිපූර්ණත්වයට පත් වූ ත්රිපිටකධරාචාර්ය්ය මහෝපාධ්‍ය පරම පූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහෝත්තමයන් වහන්සේ ද එසේ වූ මහබෝසතාණන් වහන්සේ නමකි. තව ද අති පූජනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා ස්වාමින් වහන්සේ, මඩිහේ පඤ්ඤාසීහ මහා ස්වාමින් වහන්සේ මාහෝ සුමේධ මහා ස්වාමින් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා ද වර්තමානයෙහි අපට හමු වූ එබඳු ම වූ මහබෝසතාණන් වහන්සේලා වෙති. තව ද අතීතයෙහි ලක්දිව දස රාජ ධර්මයෙන් රාජ්‍යානුශාසනා කළ සකල විද්‍යා චක්‍රවර්ති දෙවන පරාක්‍රමබාහු මහ රජතුමා, සිරිසඟබෝ මහ රජතුමා වැනි ශ්‍රේෂ්ඨ රජවරු ද, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා වැනි ජාතික වීර උතුමන් ද සසුන් කෙත ආලෝකවත් කළ මහබෝසතාණන් වහන්සේලා වෙති. ලොවට හිත ඇති අප මහබෝසතාණන් වහන්සේ ප්‍රධාන අතීතයෙහි පහළ වූ ද, වර්තමානයෙහි පහළ වූ ද, අනාගතයට පහළ වන්නා වූ ද මහබෝසතාණන් වහන්සේලාට අප විසින් සිතින් කයින් වචනයෙන් සිදු කරගනු ලබන්නා වූ සියලු කුසල ධර්මයෝ ගෞරව පූජා උපහාරයක් ම වේවා. සෑම කල්හි අපගේ ගෞරව නමස්කාරය වේවා.
සම්මා සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය ප්‍රාර්ථනාවෙන් හා හා ලොව පහළ වූ උත්තම කල්‍යාණ මිත්‍ර උතුමන් වහන්සේලාට හා මහබෝසතාණන් වහන්සේලාට ගෞරව උපහාර පූජාමය වූ මහා පුණ්‍ය කර්ම මාලාවක් මහව දළදාගම විලෝගෙදර බණ්ඩාරනායක මහත්මා ප්‍රධාන සත්පුරුෂ පින්වත් බොහෝ පිරිසක ගේ දායකත්වයෙන් ව්ය: වර්ෂ 2024 - 02 - 23 - 24, 25 යන දිනයන්හි දී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයන් වහන්සේ හා ලෝවාමහා ප්‍රාසාදය අබියස දී පුණ්‍යානුමෝදනා කිරීමේ ශීර්ෂයෙන් සිදු කරනු ලැබෙති.
මෙසේ සිදු කරනු ලබන මහා ප්‍රතිපත්ති පූජාමය කුසල ධර්ම ශක්තියෙන් සම්මා සම්බුද්ධ ශාසනය තව චිරාත් කාලයක් නිරුපද්‍රිත ව පැවැත්ම පිණිස ම හේතු වේවා.
අති පූජනීය අපවත් වී වදාළ මාහෝ සුමේධ ස්වාමින් වහන්සේ, ශ්‍රී ක: යෝ: සං: පිහිටුවා වදාළ පරම පූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්වාමින් වහන්සේ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංසාභිධාන මහා ස්වාමින් වහන්සේ හා නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන සත්පුරුෂයන් වහන්සේලාට උතුම් ගෞරව පූජාවක් වේවා. සමතිස් පාරමී ධර්ම පූර්ණ කරගෙන මතු ලොව්තුරා බුදු පදවිය සුවසේ සාක්ෂාත් කර ගැනීමට මේ මහඟු කුසලය හේතු උපනිඃශ්‍රය වේවා. ලංකාවාසී වූ ද, ලෝකවාසී වූ ද සියලු මහසඟරුවණට ද සසුන් කෙත බබුළුවමින් සුවසේ පිළිවෙත් සපුරා නිවන් සුව ලබන්නට හේතු වේවා. සදේවක ලෝකවාසී සියලු සත්නට ද ලෞකික ලෝකෝත්තර සියලු සම්‍යක් ප්‍රාර්ථනා ජය ගැනීමට හේතු වේවා. මේ උසස් ග්‍රන්ථය අගය කරමින් වටිනා සංඥාපනයක් ලියා දෙමින් අනුග්‍රහ දැක්වූ අපගේ ගුරුදේවෝත්තම නා උයන ආරණ්‍ය සේනාසනාධිපති කෘත්‍යාධිකාරී අගුල්ගමුවේ අරියනන්ද මහා ස්වාමින් වහන්සේට ද නිදුක්ව නීරෝගීව සිදු කරන සසුන් මෙහෙවර ශතවර්ෂාධික කාලයක් උසස් ලෙස සිදුකරමින් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සුවසේ සපුරා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව ලබන්නට හේතු වාසනා වෙත්වා!
මෙලෙස මේ ධර්මදානමය මහඟු කුසලය සඳහා මෙම ධර්ම ග්‍රන්ථය මනාව මුද්‍රණය කර දුන් සැමට ද, දායකත්වය දැරූ සැමට සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ සංසේවනය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධර්ම ප්‍රතිපදාව ඇතිව භවයක් පාසා උසස් ලෙස පාරමී ගුණ - බෝධිපාක්ෂික ධර්ම ඉතා පහසුවෙන් සම්පූර්ණ කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණාවබෝධය සිදුකර ගැනීමට හේතු වාසනා වෙත්වා!!!.
සද්ධම්මො චිරං තිට්ඨතු!
මෙයට සසුන් ලැදි, නිකපිටියේ ගුණරතන හිමි. ශ්‍රී ඤාණාරාම විවේකාශ්‍රමය, කහගොල්ල, දියතලාව.
මෙයට සසුන් ලැදි,
නිකපිටියේ ගුණරතන හිමි.
ශ්‍රී ඤාණාරාම විවේකාශ්‍රමය,
කහගොල්ල, දියතලාව.
සංඥාපනය
“කිං මෙ අඤ්ඤාතවෙසෙන - ධම්මං සච්ඡිකතෙනිධ, සබ්බඤ්ඤුතං පාපුණිත්වා - බුද්ධො හෙස්සං සදෙවකෙ,
මේ ලෝකයෙහි භික්ෂූන් වහන්සේ නමක් මෙන් අප්‍රකට ව ධර්මය සාක්ෂාත් කිරීමෙන් මට කවර ප්‍රයෝජනයක් ද? සර්වඥ බවට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක් වන්නෙමි.
කිං මෙ එකෙන තිණ්ණෙන - පුරිසෙන ථාමදස්සිනා, සබ්බඤ්ඤුතං පාපුණිත්වා - සන්තාරෙස්සං සදෙවකං”
තමාගේ ථාම බලය දකින්නා වූ මා විසින් එකලාව මේ සසර දුක් තරණය කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද? තමන් වහන්සේ සසරින් එතරව අන්‍යයන් ද එතර කරවන්නා වූ ද, තමන් සියලු දුකින් මිදී අන්‍යයන් ද දුකින් මුදවන්නා වූ ද සර්වඥත්වයට පැමිණ දෙවියන් සහිත ලෝක සත්ත්වයන් සසර කතරින් එතර කරවන්නෙමි.
(බුද්ධවංස පාලි)
බුදුබව පතා දිය යුතු තාක් දානය පාරමී ශීර්ෂයෙන් දන් දීම, බුදුබව පතා රැකිය යුතු තාක් සීලය පාරමී ශීර්ෂයෙන් සැපිරීම, බුදුබව පතා නෛෂ්ක්‍රම්‍යයෙහි පරතෙරට පැමිණීම ආදී වූ දස පාරමී - දස උප පාරමී - දස පරමත්ථ පාරමී යන සම තිස් පෙරුම් දම් පුරා ශරීරාංග - නේත්‍ර - ධන - රාජ්‍යය - පුත්‍රදාරාවන් යන පඤ්ච මහා පරිත්‍යාගයන් පරිත්‍යාග කොට ප්‍රථම යෝග, ප්‍රථම චර්ය්යා, ධම්මාන (ධර්මදාන), ඥාති චර්‍ය්‍යාව, අර්ථ චර්‍ය්‍යාව ආදිය පුරා බෝධි චර්ය්යාවේ කෙළවරට පැමිණ මහා බෝධිසත්ව උතුමෝ බුදුබවට පත්වන සේක.
උත්තම සම්මා සම්බුද්ධත්වය පිණිස විසි අසංඛ්‍ය, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පාරමී පුරණ මහබෝසතාණන් වහන්සේලාගේ පාරමී භූමිය පිළිබඳ සවිස්තරාත්මක ඉතා අගනා උසස් ගණයේ “මහබෝසත් චර්‍ය්‍යාව” නමින් විශේෂිත වූ දුර්ලභ ග්රන්ථයක් එළිදැක්වීම ඉතා අගේ කොට සලකමි. මෙම ග්‍රන්ථය කියවීම, ධරාගැනීම, නැවත නැවත සිහි කිරීම අපට ද උතුම් නිර්වාණ බෝධියට ළඟා වීමට අවශ්‍ය පාරමී ධර්මයන් සපුරා ගැනීම පිණිස වේ.
වර්තමාන සසුන් කෙතෙහි බුද්ධාංකුර මහබෝසත් චරිත ලෙස ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අති පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංසාභිධාන මහෝත්තමයන් වහන්සේ සහ ශ්‍රී ක: යෝ: සං: අනුශාසක ත්‍රිපිටකධර මහා කර්මස්ථානාචාර්ය්ය අති පූජනීය නා උයනේ ශ්‍රී අරියධම්මාභිධාන මහෝත්තමයන් වහන්සේ යන අපවත් වී වදාළ මහෝත්තමයන් වහන්සේලා දැක්විය හැක. එතුමන් වහන්සේලාගේ උතුම් ප්‍රව්‍රජ්‍යා දිවියම මහබෝසත් ගුණයන්ගෙන් අසිරිමත් වේ.
❖ බෝධි කාරක ධර්මසම්භාර අතුරින් දාන පරමත්ථ පාරමිතාව පිරූ බෝධිසත්ව චර්ය්යාවන්ගේ උත්තරීතර අවස්ථාව වන වෙස්සන්තර ජාතකයෙහි දී සත් වාරයක් මහ පොළොව කම්පිත කරවමින් දාන පාරමිතාව සම්පූර්ණ කළ සේක. එබැවින් එය එතරම් ම වේගවර්ය්යයක් වේ.
“තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති” යන සර්වඥ දේශනයට අනුව තෘෂ්ණාක්ෂය නම් නිර්වාණාවබෝධය පිණිස ම සෝමනස්ස සහගත ඥාණ සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් සිතින් ම මොහොතක් පාසා සති සමාධි ඥාණ වැඩෙන සේ ශ්රද්ධාවත් ධර්ම ඡන්දයත් ධර්මප්රීතියත් ඇතිව මෙම දහම් පොත සියතින් ම සකස් කළ පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේට ධර්මදානය පිරිනැමීමේ කුසලානුභාව බලයෙන් සහ රත්නත්‍රයානුභාව බලයෙන් තව තවත් ධර්ම ඥාන මුදුන්පත් වේවා. ලේඛන කුසලතාවෙන් නිරෝගී සම්පත්තියෙන් ශත සහස්ර ගුණයෙන් අභිවර්ධනය වේවා. මුද්‍රණ කටයුතු සඳහා කාලය ධනය ශ්‍රමය වැය කළ සහ නොයෙක් ලෙස උපකාර සැලසූ සැමටත් මුද්‍රණාලයාධිපතිතුමා ප්‍රධාන සේවක මඩුල්ලටත් සාධු කියා අනුමෝදන්වන සැමටත් ග්‍රන්ථය කියවීමෙන් සිත් පහදවාගන්නා සැමටත් දෙවියන් සහිත ලෝකයාටත් තෙරුවන් ගුණ බෙලෙන් දෙලොව සුභසෙතත් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවත් සුවසේම සාක්ෂාත් වේවා.
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං”
මෙයට මෙත්ඇති, පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්ථවිර, නා උයන ආරණ්‍ය, පන්සියගම, මැල්සිරිපුර.
මෙයට මෙත්ඇති,
පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්ථවිර,
නා උයන ආරණ්‍ය,
පන්සියගම, මැල්සිරිපුර.
පුණ්‍යානුමෝදනය
“සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්මරසො ජිනාති, සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති”.
දානය වනාහි ආමිස දානය, ධර්ම දානය යැයි දෙවැදෑරුම් වේ. මේ දාන දෙක අතරින් ධර්මදානය අග්‍ර වන්නේ ය. දිය යුත්ත “දානය” නම් වේ. එයින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පරිෂ්කාරාදිය පූජා බුද්ධියෙන් දන් දීම “ආමිස දානය” නම් වේ. ඒවා තණ්හා දිට්ඨි ආදියෙන් ස්පර්ශ කළ යුතු බැවින් “ආමිස” යයි කියනු ලැබේ. ඒ ආමිස චේතනාවෙන් පරිත්‍යාග කළ යුතු බැවින් “ආමිස දානය” නම් වේ. මේ ආමිස වනාහි සියලු දානයන්ගේ නිධානය හෙවත් මූල හේතුවයි. සියලු සම්පත්තීන්ගේ මූලයයි.
අන්‍යයන් හට කරුණාවෙන් දහම් දෙසීම, ධර්ම කථිකයන්ට ගෞරව සත්කාර කොට දහම් දෙසවීම, දහම් පොත පත ලිවීම, ලියැවීමාදිය “ධර්ම දානය” නම් වේ. තව ද මේ කුසලධර්මය, මේ අකුසලධර්මය, මේ වැරැදිධර්මය ය, මේ නිවැරැදිධර්මය ය, මේ නුවණැත්තන් විසින් ගැරහිය යුතු ධර්මය, මේ නුවණැත්තන් විසින් පැසසිය යුතු ධර්මය, මේ ධර්මය අහිත පිණිස දුක් පිණිස පවතී. මේ ධර්මය හිතසුව පිණිස පවතී. යනුවෙන් ත්‍රිවිධ ද්වාරයෙන් සිදු කරන කුසල, අකුසල වශයෙන්, කර්ම, කර්මඵල වශයෙන් බෙදමින්, කර්මය, කර්මවිපාකය වශයෙන් බෙදමින් මෙලොව පරලොව ප්රත්යක්ෂ වශයෙන් දක්වන්නාක් මෙන් ප්‍රකට කරමින් අකුසල ධර්මවලින් වළක්වමින් කුසල ධර්මයන්හි පිහිටුවමින් ධර්මදේශනා කිරීම, දහම් පොත් ලියා බෙදාදීමාදිය “ධර්ම දානය” නම් වේ.
එසේම බණ ඇසීම සියලු කුසලයන්ට උපකාර වේ. සත්ත්වයෝ බණ නො අසත් නම් කිසිදු කුසලයක් නොකරති. සියලු කුසලධර්ම කරන්නේම බණ ඇසීමෙන් ඇතිවන පැහැදීම නිසාමය. බණ ඇසීමෙන්, බණ පොත පත කියවීමෙන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව වැඩෙයි. පරතෝඝෝෂ ප්‍රත්‍යය නැතිව සෝවාන් මාර්ගයට නො පැමිණිය හැකි බැවින් බණ අසා දැන ඉගෙන තිබිය යුතුම ය. එබැවින් මෙලොව යමෙක් මනුලොව පටන් බඹලොව දක්වා දණහිසින් දණහිස ස්පර්ශ වන සේ බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා අග්‍ර ලෙස සිව්පසයෙන් සංග්‍රහ කරන්නේ ද, එය සතර පද ගාථාවකින් කරන එම දානයෙහි ම දානානුමෝදනා කුසලයෙන් සොළොස්වන කලාවෙන් කලාවක් තරම් වත් නොවන්නේ ය.
සත් තිස් බෝධිපාක්ෂික ධර්ම හා නව ලෝකෝත්තර ධර්ම “ධර්මරසය” නම් වේ. දෙවියන් ගේ සුධාභෝජනය ප්‍රධාන සත්ව ලෝකයෙහි ඇති සියලු ආහාර රස වගී සතර අපායට සසරට හෙලා දුක් ඇති කරවීමට සමත් ය. ධර්මරසය ජරාමරණා දී දුක්වලින් ද අපා දුක්වලින් ද නිදහස් කොට නිවනට පමුණුවන බැවින් සියලු රසයන් ට වඩා ශ්‍රේෂ්ඨ වේ.
ලාභාපේක්ෂාවෙන් තොරව නිස්සරණාධ්‍යාශයෙන් යුතුව දහම් දෙසීම, දහම් ඇසීම, ධර්මවිනය ඉගෙනීම - ඉගැන්වීම, දහම් පොත පත කියවීම තුළින් උපදනා නිරාමිස ප්‍රීතිය “ධර්මරතිය” නම් වේ. අඹු, දරු, දැසි, දස්, ධන, ධාන්‍ය, නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙහි ඇලීම සසර දුකට හේතු වේ. නිරාමිස ප්‍රීතිමත් ධර්මරතිය අභීතවයෙන් සියලු දුක් අවසන් කරවන බැවින් සියලු ඇලීම්වලට වඩා ශ්‍රේෂ්ඨ වේ.
කාම, භව, විභව තෘෂ්ණාවන් නසාලන බැවින් අර්හත් මාර්ග ඥානය “තෘෂ්ණාක්ෂය” නම් වේ. ධර්මදානය, ධර්මරසය, ධර්මරතිය තුළ යෙදීම තුළින් සියලු සසර දුක් නසාලන බැවින්, ජය ගන්නා බැවින් අර්හත් මාර්ගය සියල්ලට ම ශ්‍රේෂ්ඨ වේ.
නිවන් සුව ලැබීමට තථාගත ධර්මය හැර අන් පිහිටක් නැත. එබැවින් තථාගත ධර්මය නිස්සරණාධ්‍යාශයෙන් දේශනා කිරීම, ශ්‍රවණය කිරීම, දහම් පොත පත කියවීම, දහම් පොත්පත් ලියා ධර්මදානය කිරීම ද අනෙකුත් දනාදී පින්කම් කිරීම, දස කුසල ධර්මයන්හි යෙදීමාදී මේ සියල්ල කැමති වන්නහුට ම ලෞකික ලෝකෝත්තර සියලු සැපතට පැමිණිය හැකි වෙයි. මේ කුසල ධර්මයන්ට අකැමැති වන්නා මේ සියලු සැපතින් පිරිහෙයි.
ඉහත සඳහන් වූ ආකාරයට මහත් ආනිශංස ඇති ධර්ම දානමය කුසලයෙන් අප මේ පින්කමෙහි යෙදීමෙන් සැනසෙන සම්බුද්ධ ශාසනය තව බොහෝ කලක් ලොව බැබළෙමින් පවතීවා යන ශාසන ගෞරවයෙන්මය.