පරාභව සූත්‍රය - 2015.pdf

කතෘ :
නිකපිටියේ ගුණරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
2015
මුද්‍රිත වර්ෂය :
2015
පිටු ගණන :
65
බාගත කිරීම් ගණන :
621
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-06-06
ගොනුවේ ප්‍රමාණය :
611 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 33

පරාභව සූත්‍රය යනු කුද්දක නිකායේ සුත්ත නිපාතයට අයත් පරාභව සූත්‍රය සහ එහි පිරිහීමට තුඩුදෙන කරුණු විස්තර කරමින් නා උයන ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදිත අර්ථ විවරණ ග්‍රන්ථයකි.

මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ පූජ්‍ය ගල්ගමුවේ සන්තින්ද්‍රිය ස්වාමීන් වහන්සේගේ 53 වන ජන්ම දිනය (2015 මාර්තු 22) නිමිත්තෙන් ධර්ම දානයක් වශයෙනි. සූත්‍ර පාඨය, ප්‍රථම ධර්ම සංගායනාව හා සූත්‍ර නිදානය, පිරිහීමේ දොරටු විසිතුන ආදී කරුණු විස්තරාත්මකව මෙහි අන්තර්ගත කොට ඇත.

පෙරවදන

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

එක් සමයක තව්තිසා දෙව්ලොව රැස් වූ දෙවියන් අතර “දානයන් අතර අග්‍ර දානය කුමක් ද?, රසයන් අතර අග්‍ර රසය කුමක් ද?, ඇලීම් අතර කුමන ඇලීම අග්‍ර වේ ද?, තෘෂ්ණාක්ෂය කුමක් හෙයින් ශ්‍රේෂ්ඨ යැයි කියනු ලැබේ ද?” යැයි ප්‍රශ්න සතරක් හට ගත්හ. මෙම ප්‍රශ්න විසඳීමට එක දෙවි කෙනෙකුටවත් නොහැකි වූහ. මෙම ප්‍රශ්න ඔවුනොවුන් අතර යොමු කරමින් දසදහසක් සක්වළ පුරා පැතිරුණක්ව විසඳුමක් නැතිව දොළොස් වසක් ඉක්ම ගියහ. පසුව දසදහසක් සක්වළ වැසි දෙවියෝ එක්ව මේ මංගල සක්වළෙහි රැස්ව සතර වරම් දෙවි රජවරුන් වෙත ගොස් ඇසූහ. වරම් දෙවි රජවරු ද එහි අර්ථ නොදත් බැවින් ඒ දේව සමූහයා සමග සක්දෙවු රජතුමා වෙත ගියහ. සක්දෙවු රජතුමා ද නොදත් බැවින් ඒ සියලු දේව සමූහයා සමග එක් දිනක මධ්‍යම රාත්‍රියෙහි ජේතවනාරාමයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ ප්‍රශ්න විචාළේ ය.

ශාස්තෘන් වහන්සේ “මැනවි මහරජ, මා විසින් පාරමී පුරා මහා පරිත්‍යාගයන් කොට නුඹලා වැනි ලෝ සතුන් ගේ සැක දුරු කරදීමටම සර්වඥතාඥාන ප්‍රතිවේධ කර ගත්තෙමි” යැයි වදාරා එම ප්‍රශ්නයන්ට පිළිතුරු ලෙස “සියලු දානයන් අතර ධර්මදානය ශ්‍රේෂ්ඨ ය. සියලු රසයන් අතර ධර්මරසය ශ්‍රේෂ්ඨ ය. සියලු ඇලීම් අතර ධර්මයෙහි ඇලීම ශ්‍රේෂ්ඨය. තෘෂ්ණාව ක්ෂය කිරීම අර්හත්වයට පමුණුවා සියලු දුක් නසන බැවින් ශ්‍රේෂ්ඨය”, යනුවෙන් වදාරා නැවත ද ගාථාවකින් මෙසේ වදාළ සේක.

“සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්මරසො ජිනාති, සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති”.

දානය වනාහි ආමිස දානය, ධර්ම දානය යැයි දෙ වැදෑරුම් වේ. මේ දාන දෙක අතරින් ධර්මදානය අග්‍ර වන්නේ ය. දිය යුත්ත “දානය” නමි වේ. එයින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පරිෂ්කාරාදිය පූජා බුද්ධියෙන් දන් දීම “ආමිස දානය” නම් වේ. ඒවා තණ්හා දිට්ඨි ආදියෙන් ස්පර්ශ කළ යුතු නො බැවින් “ආමිස” යයි කියනු ලැබේ. ඒ ආමිස චේතනාවෙන් පරිත්‍යාග කළ යුතු බැවින් “ආමිස දානය” නම් වේ. මේ ආමිස වනාහි සියලු දානයන්ගේ නිදානය හෙවත් මූල හේතුවයි. සියලු සම්පත්තීන්ගේ මූලයයි.

අන්‍යයන් හට කරුණාවෙන් දහම් දෙසීම, ධර්ම කථිකයන්ට ගෞරව සත්කාර කොට දහම් දෙසවීම, දහම් පොත පත ලිවීම, ලියැවීමාදිය “ධර්ම දානය” නම් වේ. තව ද මේ කුසලධර්මය, මේ අකුසලධර්මය, මේ වැරැදිධර්මය ය, මේ නිවැරැදිධර්මය ය, මේ නුවණැත්තන් විසින් ගැරහිය යුතු ධර්මය, මේ නුවණැත්තන් විසින් පැසසිය යුතු ධර්මය, මේ ධර්මය අහිත පිණිස දුක් පිණිස පවතී. මේ ධර්මය හිතසුව පිණිස පවතී. යනුවෙන් ත්‍රිවිධ ද්වාරයෙන් සිදු කරන කුසල, අකුසල වශයෙන්, කර්ම, කර්මඵල වශයෙන් බෙදමින්, කර්මය, කර්මවිපාකය වශයෙන් බෙදමින් මෙලොව පරලොව ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්වන්නාක් මෙන් ප්‍රකට කරමින් අකුසල ධර්මවලින් වළක්වමින් කුසල ධර්මයන්හි පිහිටුවමින් ධර්මදේශනා කිරීම, දහම් පොත් ලියා බෙදාදීමාදිය “ධර්ම දානය” නම් වේ.

එසේම බණ ඇසීම සියලු කුසලයන්ට උපකාර වේ. සත්වයෝ බණ නො අසත් නම් කිසිදු කුසලයක් නොකරති. සියලු කුසලධර්ම කරන්නේ ම බණ ඇසීමෙන් ඇතිවන පැහැදීම නිසාමය. බණ ඇසීමෙන්, බණ පොත පත කියවීමෙන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව වැඩෙයි. පරතෝඝෝෂ ප්‍රත්‍යය නැතිව සෝවාන් මාර්ගයට නො පැමිණිය හැකි බැවින් බණ අසා දැන ඉගෙන තිබිය යුතුමය. එබැවින් මෙලොව යමෙක් මනුලොව පටන් බඹලොව දක්වා දණහිසින් දණහිස ස්පර්ශ වන සේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවා අග්‍ර ලෙස සිව්පසයෙන් සංග්‍රහ කරන්නේ ද, එය සතර පද ගාථාවකින් කරන එම දානයෙහි ම දානානුමෝදනා කුසලයෙන් සොළොස්වන කලාවෙන් කලාවක් තරම් වත් නොවන්නේය.

සත් තිස් බෝධිපාක්ෂික ධර්ම හා නව ලෝකෝත්තර ධර්ම “ධර්මරසය” නම් වේ. දෙවියන් ගේ සුධාබෝජනය ප්‍රධාන සත්ව ලෝකයෙහි ඇති සියලු ආහාර රස වගී සතර අපායට සසරට හෙලා දුක් ඇති කරවීමට සමත් ය. ධර්මරසය ජරාමරණා දී දුක්වලින් ද අපා දුක්වලින් ද නිදහස් කොට නිවනට පමුණුවන බැවින් සියලු රසයන් ට වඩා ශ්‍රේෂ්ඨ වේ.

ලාභාපේක්ෂාවෙන් තොරව නිස්සරණාධ්‍යාශයෙන් යුතුව දහම් දෙසීම, දහම් ඇසීම, ධර්මවිනය ඉගෙනීම - ඉගැන්වීම, දහම් පොත පත කියවීම තුළින් උපදනා නිරාමිස ප්‍රීතිය “ධර්මරතිය” නම් වේ. අඹු, දරු, දැසි, දස්, ධන, ධාන්‍ය, නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙහි ඇලීම සසර දුකට හේතු වේ. නිරාමිස ප්‍රීතිමත් ධර්මරතිය අර්හත්වයෙන් සියලු දුක් අවසන් කරවන බැවින් සියලු ඇලීම්වලට වඩා ශ්‍රේෂ්ඨ වේ.

කාම, භව, විභව තෘෂ්ණාවන් නසාලන බැවින් අර්හත් මාර්ග ඥානය “තෘෂ්ණාක්ෂය” නම් වේ. ධර්මදානය, ධර්මරසය, ධර්මරතිය තුළ යෙදීම තුළින් සියලු සසර දුක් නසාලන බැවින්, ජය ගන්නා බැවින් අර්හත් මාර්ගය සියල්ලට ම ශ්‍රේෂ්ඨ වේ.

නිවන් සුව ලැබීමට තථාගත ධර්මය හැර අන් පිහිටක් නැත. එබැවින් තථාගත ධර්මය නිස්සරණාධ්‍යාශයෙන් දේශනා කිරීම, ශ්‍රවණය කිරීම, දහම් පොත පත කියවීම, දහම් පොත්පත් ලියා ධර්මදානය කිරීම ද අනෙකුත් දානාදි පින්කම් කිරීම, දස කුසල ධර්මයන්හි යෙදීමාදී මේ සියල්ල කැමති වන්නහුට ම ලෞකික ලෝකෝත්තර සියලු සැපතට පැමිණිය හැකි වෙයි. මේ කුසල ධර්මයන්ට අකැමැති වන්නා මේ සියලු සැපතින් පිරිහෙයි. මෙලෙස සත්වයන් ගේ දෙලොව දියුණුවට හා පිරිහීමට හේතු මනාව පැහැදිලි වන අගනා සූත්‍ර දේශනාවකි “පරාභව සූත්‍රය” පූජ්‍ය ගල්ගමුවේ සන්තින්ද්‍රිය ස්වාමින් වහන්සේ ගේ ඉල්ලීමෙන් මෙම බුද්ධ දේශනාව පරිපූර්ණ අර්ථ විවරණයකින් යුක්තව දහම් පොතක් වශයෙන් සකසා ධර්මදානයක් වශයෙන් ප්‍රදානය කරනු ලබන්නේ ව්‍යඃ වර්ෂ 2015-03-22 දිනට යෙදෙන පූජනීය ස්වාමින් වහන්සේගේ තෙපණස් වන ජන්ම දිනය නිමිත්තෙනි. අනන්ත තෙරුවන් ගුණ බලයෙන් මෙම ධර්මදානමය කුසල බලයෙන් හා අනෙකුත් ආශීර්වාද කුසලයන්ගේ ආනුභාවයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට ශතවර්ෂාධික කාලයක් නිදුක්ව නීරෝගිව උසස් ලෙස සසුන් පිළිවෙත් මුදුන් පමුණුවා ගැනීමටත් මතු සසරේ දී ද සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධර්ම ප්‍රතිපදාව ඇතිව උසස් ප්‍රාර්ථනා ජය ගෙන සුවසේ ම නිවන්සුව ලබන්නට හේතු වේවා යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. එසේම වත්මන් යෝගාශ්‍රම සංස්ථා පරම පූජනීය නා උයනේ මහා ස්වාමින් වහන්සේට ද නිදුක් නිරෝගී සුව දිගා සිරි වේවා. සුවසේ ම පෙරුම් දම් සපුරා අභිසම්බෝධියට පැමිණෙත්වා. අනෙකුත් සියලු මහසඟරුවණට ද මෙම උදාර කුසලය සුවසේ නිවන් සුව ලබන්නට හේතු වේවා. සියලු ලෝ සතුන්ට ද සියලු දුක් දුරු වීමට ද, ප්‍රාර්ථනීය සියලු සැපයට පැමිණීමට හේතු වේවා. මෙම දහම් පොත මුද්‍රණය කරවා දුන් මුද්‍රණාලයාධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සැමට ද මේ සඳහා ධනය පරිත්‍යාග කළ සැමට ද නිවන් සුව සුවසේ ම ලබන්නට හේතු වේවා යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

මෙයට මෙත්සිතින්

නිකපිටියේ ගුණරතන හිමි. නා උයන ආරණ්‍යය පන්සියගම, මැල්සිරිපුර 2015-03-22

නිකපිටියේ ගුණරතන හිමි.
නා උයන ආරණ්‍යය
පන්සියගම, මැල්සිරිපුර
2015-03-22