නොපිරිහෙන මග - 2019.pdf
- කතෘ :
- නිකපිටියේ ගුණරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2019
- මුද්‍රිත වර්ෂය :
- 2019
- පිටු ගණන :
- 217
- බාගත කිරීම් ගණන :
- 469
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-06-06
- ගොනුවේ ප්‍රමාණය :
- 1.5 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
නොපිරිහෙන මග යනු නා උයන ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදිත වටිනා ධර්ම ග්රන්ථයකි. අපවත් වී වදාළ අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 80 වන ජන්ම දිනයත්, අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 70 වන ජන්ම දිනයත් නිමිති කරගෙන 2019 අප්‍රේල් 24 වන දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස පැවති ‘අරියවංශ වැඩමුළුව’ වෙනුවෙන් මෙම කෘතිය සම්පාදනය කර ධර්මදානය පිණිස මුද්‍රණය කරවා ඇත.
මෙහිදී ගිහි-පැවිදි දෙපක්ෂයටම පරිහානියට පත් නොවී දෙලොව සැනසීම හා නිර්වාණාවබෝධය සලසා ගැනීම සඳහා හේතුවන කරුණු ත්‍රිපිටක සූත්‍ර ධර්ම ඇසුරෙන් විස්තර කර දී ඇත. ප්‍රධාන වශයෙන් ජීවක සූත්‍රය, සරණාගමනය, පඤ්ච සීලය, අපරිහානිය ධර්ම, සාරන්දද අපරිහානිය සූත්‍රය සහ මහා ආර්යවංශ ප්‍රතිපදාව පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් මෙහි අන්තර්ගත වේ.
හැඳින්වීම
“අභිත්ථරෙථ කල්‍යාණෙ - පාපා චිත්තං නිවාරයෙ, දන්ධං හි කරොතො පුඤ්ඤං - පාපස්මිං රමතෙ මනො”ති” (ධම්මපදය පාප වර්ගය)
දන සීල භාවනා ආදී සුචරිත ධර්මයෙහි යුහුසුලු වන්නේය. කාය දුශ්චරිතාදී අකුසල කර්මයන්ගෙන් සිත වළක්වන්නේය. දනාදී කුසල් කෙරෙම් ද, නොකෙරෙම් ද යනාදී වශයෙන් පසුබටව කරන්නහු ගේ (කුසල් කල් දමන්නහුගේ) සිත පවෙහි ඇලෙයි.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවස සැවැත්නුවර චූල ඒකසාටක නම් බ්‍රාහ්මණයෙක් විය. එතුමාට හා එම භාර්‍ය්‍යාව යන දෙදෙනාට ම උඩුකය වසාගැනීමට එකම වස්ත්‍රයක් තිබූ බැවින් ඔහුට ඒකසාටක බ්‍රාහ්මණ යැයි නමක් විය. එක් ධර්මදේශනා සමයක දෙදෙනාටම එක්ව යා නොහැකි බැවින් බැමිණිය දහවල් ගොස් බණ අසා පැමිණියා ය. රාත්‍රියෙහි බණ ඇසීමට බ්‍රාහ්මණයා ගියේ ය. තථාගතයන් වහන්සේ මධුර ස්වරයෙන් ධර්ම දේශනා කරන විට ඔහු ප්‍රීතියෙන් පිනාගොස් වෙන පූජා කළයුතු දෙයක් නැති හෙයින් උඩුකය වසන සළුව පූජා කිරීමට සිතුන නමුත් තමන්ටත් භාර්ය්යාවටත් උඩුකය වැසීමට ඇති එකම වස්ත්‍රය පූජා කිරීමෙහි දොස් දැක දෙවතාවක් ම පසුබටව වී මට අවස්ථා දෙකකදී ම වස්ත්‍රය පරිත්‍යාග චේතනාව සමගම ලෝභ සිත පැමිණ එය වැළැක්විනි. මෙසේ ලෝභය වැඩි ගියේ නම් සතර අපා දුකින් ගැලවීමට බැරි ය, යැයි සිතා තෙවන වර එම වස්ත්‍රය නවා බුදු පාමුල තබා පූජා කොට ප්‍රීතියට පැමිණ මම දිනුවා, මම දිනුවා යැයි කෑ ගැසුවේ ය. බණ අසමින් සිටි කොසොල් රජතුමා ඒ කරුණ විමසා මොහු කළේ දුෂ්කර වැඩක් යැයි සිතා වස්ත්‍ර යුග්ම දෙකක් දුන්නේ ය. ඔහු ඒවා ද භාග්‍යවතුන් වහන්සේට ම පිදුවේ ය. මෙලෙස නැවත වස්ත්‍ර සතරක්, අටක්, සොළොසක්, දෙතිසක් දක්වා රජතුමා දුන්නේ ය. එයින් දෙකක් තබාගෙන තිසක් පූජා කළේ ය. පසු ව ඔහු රජ මාළිගයට කැඳවා කහවනු ලක්ෂයක් වටිනා පලස් දෙකක් දුන්නේ ය. ඔහු ඒවායෙන් එකක් භාග්‍යවතුන් වහන්සේට ද, එකක් මහා සංඝයාට ද පූජා කළේ ය. එය දැනගත් රජතුමා අලි ඇතුන් රථ ආදී සෑම දෙයකින් ම සතර බැගින් සබ්බ චතුෂ්ක නම් පරිත්‍යාගයක් කළේ ය. භික්ෂූන් වහන්සේලා මෙම කාරණය දම් සභා මණ්ඩපයෙහි දී කථා කරමින් සිටින විට භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩ එම බ්‍රාහ්මණ තුමා මධ්‍යම යාමයෙහි එම සළුව පිදුවේ නම් සියලු දෙයින් අට බැගින් වස්තු ලබන බව ද, මුල් අවස්ථාවෙහි ම පූජා කළේ නම් සෑම දෙයින් ම සොළොස බැගින් ලබන බව ද වදාර එය නිමිති කරගෙන ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක.
තව ද අතීතයෙහි අප මහ බෝසතාණන් වහන්සේ පාරමී පුරණ කල්හි කුද්දාලසමාගමය, මූගපක්ඛසමාගමය, චූළසුතසෝමසමාගමය, අයොඝරපණ්ඩිතසමාගමය, හත්ථිපාලසමාගමය යන මහා සමාගමයන්හි දී එක්ව කුසල් වැඩූවන්ගෙන් පමා වී කුසල් කළ සත් දෙනෙකුන්ට එක්වම නිවන් ලැබීමට නොහැකි වූහ. ඒ පිරිස පසුව මේ ලක්දිව ඉපිද පැවිදිව රහත් වූහ. පට්ඨිවාලක ධම්මගුත්තත්ථෙරණුවෝ, කටකන්ධකාරවාසී ඵුස්සදෙව තෙරණුවෝ, උපරිමණ්ඩලවාසී මහාසංඝරක්ඛිත තෙරණුවෝ, මලයරටවාසී මහාදෙව තෙරණුවෝ, අභයගිරිවාසී මහාදෙව තෙරණුවෝ, ගාමන්තපබ්භාරවාසී මහාසිව තෙරණුවෝ, කාලවල්ලිමණ්ඩපවාසී මහානාග තෙරණුවෝ ඒ සත් නම ය. එබැවින් පමා වී කරන කුසලයන්හි බලය දුර්වලය. එය ස්වර්ග මොක්ෂ දෙකට ම බලපාන්නේ ය.
වර්තමානයෙහි ද ගිහි පැවිදි බොහෝ දෙනා කරන බොහෝ කුසල් මෙබඳුය. එයින් ශාසන ප්‍රතිපත්ති ධර්මය ද බොහෝ හීන වී ඇත. මෙසේ කුසල් කිරීමට යන සෑම විටම පමාව නිසා අකුසල් වැඩි නෛය්‍යායික සද්ධර්මයෙන් ගත යුතු ප්‍රයෝජනය හීන වන්නේ ය. එයින් වත්මන් ප්‍රජාවට මෙන්ම අනාගතයෙහි උපදින බොහෝ දෙනාගේ සුගති මග ද නිවන් මග ද වැසී යන්නේ ය. එබැවින් මේ කරුණ විශේෂයෙන් සිහිකට යුත්තක් වන්නේ ය.
පූර්වයෙහි පටන් සම්බුදු සසුන් ප්‍රතිපත්තිය පිරිහීමට පත් සෑම විටක ම උදාර අදහස් ඇති ගිහි පැවිදි බොහෝ සත්පුරුෂයෝ නැවත නැවත සසුන් පිළිවෙතට ජීවය දී නිවන් මග පිළිවෙත් සරු කර ගත්හ. ඒ අතරට මෑත ඉතිහාසයෙහි අති පූජනීය වාරියපොල සුමංගල මහා ස්වාමින් වහන්සේ, අති පූජනීය මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ, අති පූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා ස්වාමින් වහන්සේ, අති පූජනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමින් වහන්සේ, අති පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංසාභිධාන මහෝත්තමයන් වහන්සේ, අති පූජනීය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා ස්වාමින් වහන්සේ, අති පූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහා ස්වාමින් වහන්සේ, අති පූජනීය මාහෝ සුමේධ මහා ස්වාමින් වහන්සේ, ත්රිපිටකධරාචාර්ය්ය මහෝපාධ්‍යාය මහා කම්මට්ඨානාචාර්ය්ය පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ, අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා ද, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා වැනි ජාතික වීරවරයන් ද සසුන් කෙත ආලෝකවත් කළ මහ බෝසතාණන් වහන්සේලා වෙති. මෙලෙස සම්බුදු සසුන් ප්‍රතිපත්තිය නගා සිටුවීමට ඇප කැප වූ යතිවරයන් වහන්සේලා අතර අපවත් වී වදාළ ත්රිපිටකධරාචාර්ය්ය මහෝපාධ්‍යාය පරම පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේගේ 80 වන ජන්ම දිනය හා අපවත් වී වදාළ අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ 70 වන ජන්ම දිනය ව්ය: ව: 2019 - 04 - 24 දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීමට ද, පිරිහීගෙන යන සම්බුදු සසුන් පිළිවෙත ශක්තිමත් කොට බෞද්ධ ජනයා නගා සිටුවීමට ද ශාසනමාමක සත්පුරුෂ මඬුල්ලක් එක්ව ”අරියවංශ වැඩමුළුව” නමින් මහත් පුණ්‍ය මහෝත්සවයක් 2019 - 04 - 24 දින අනුරාධපුර ස්වර්ණමාලි මහ සෑ රදුන් අභියස දී සිදු කරනු ලබති. ඒ සඳහා අපරිහානිය ධර්ම පිළිබඳ ව ධර්ම ග්රන්ථයක් කර දෙන මෙන් කළ ආරාධනයෙන් විශේෂ ධර්ම විවරණයක් “නොපිරිහෙන මග” නමින් ධර්ම පුස්තකයක් වශයෙන් මෙසේ පිදෙනු ලැබේ. මේ අගනා කෘතිය කිරීමට ගත් මහත් උත්සාහය සම්බුදු සසුන තව බොහෝ කලක් නිරුපද්‍රිත ව ලොව පැවැත්ම පිණිස ම හේතු වේවා! යි ඉමහත් ශාසන ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. සම්බුදු සසුන ආලෝකවත් කොට අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේලාට ද, අනෙකුත් බෞද්ධ වීරවරයන්ට ද මතු සියලු ධර්ම ප්‍රාර්ථනා ජය ගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන සුව ලබන්නට හේතු වාසනා වෙත්වා. මෙම සත් ක්‍රියාව සිදු කරන සියලු දෙනාට ද සුවසේ ම සියලු ධර්ම ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරගෙන නිවන් සුව ලබන්නට හේතු වේවා. සදේවක ලෝකවාසී සියලු සත්වයන්ට ද සුව සේ පාරමී සපුරා නිවන් සුව ලබන්නට ම හේතු වේවා. මෙම ධර්ම ග්‍රන්ථය මුද්‍රණය සඳහා දායකත්වය දැරූ සැමට ද මුද්‍රණය කර දුන් මුද්‍රණාලයාධිපති තුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සැමට ද සුවසේ ම නිවන් සුව ලබන්නට හේතු වේවා.
මෙයට නිකපිටියේ ගුණරතන හිමි, නා උයන ආරණ්‍ය සේනාසනය, පන්සියගම, මැල්සිරිපුර.
නිකපිටියේ ගුණරතන හිමි, නා උයන ආරණ්‍ය සේනාසනය, පන්සියගම, මැල්සිරිපුර.
පෙරවදන
අප තිලෝගුරු ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත හිත, සුව, නිවන පිණිස සූත්‍ර විනය අභිධර්ම වශයෙන් දේශනා කරන ලද ධර්මයන් අතරින් විනය, අභිවිනය දේශනා කොට ඇත්තේ භික්ෂු භික්ෂුණී සික්ඛමානා සාමණේර සාමණේරී යන පඤ්ච සධර්මිකයන් සඳහා ය. උපාසක උපාසිකා යන ගෘහස්ථ බෞද්ධයින්ට ද අපරාජිත ව දියුණුවෙන් දියුණුවට පැමිණීමේ ඒකායන මාර්ගය දීඝ නිකායෙහි සාමඤ්ඤ ඵල සූත්‍රය, අංගුත්තර නිකායෙහි අභිසන්ද සූත්‍රය ආදී බොහෝ දේශනාවන් ඉතිරි නැතිව සර්ව සම්පූර්ණව මහා කරුණාවෙන් දේශනා කොට වදාළේ දෙලොව ජය ගෙන උතුම් නිවනින් සැනසීම පිණිස ය.
ගරු කටයුතු ස්වාමින් වහන්සේලාටත්, බෞද්ධ අබෞද්ධ ගෘහස්ථ පින්වතුන්ටත් එක සේ ප්‍රයෝජනවත් වන ලෙස ”නොපිරිහෙන මග” නමින් තිසරණ සමාදානය, සීල සමාදානය එයින් ලැබෙන ආනිශංස ද පරිහානියට පත් නොවී අපරාජිත ව ජීවිතය නිවැරදි ලෙස ධර්මානුකූලව සකස් කර ගැනීම ආදී වූ විශේෂිත ධර්ම කරුණු ත්‍රිපිටක ධර්මය තුලින් ම මනා ලෙස එක්තැන් කොට මනහර දහම් පොතක් වශයෙන් ඉදිරිපත් කෙරේ.
සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සහ භික්ෂු ගුණාංග දියුණුවට පමුණුවා ගැනීම පිණිස චිත්ත සන්තානයේ ඇති දුර්ගුණ දුරු කොට උතුම් ගුණ දියුණුවට කැමති විය යුතු ය. ඒ සඳහා අපරිහානිය ධර්ම දියුණු කර ගැනීම වටී. ගෘහස්ථ පින්වතුන්ට ද වර්තමානයේ කෙසේ ජීවත් විය යුතු ද, බුද්ධ ශාසනය කෙසේ පිහිට කොට ගත යුතු ද යන කරුණු මෙම මාහැඟි දහම් පොතෙහි විශේෂිත ලෙස සඳහන් කර ඇත. එබැවින් පැවිදි ගිහි සෑම දෙනාම ශ්‍රද්ධාවෙන් යුතුව මෙම පොත පරිශීලනය කොට දෙලොව ජය ගන්නා ලෙස මෛත්‍රියෙන් ඉල්ලා සිටිමි.
නිවැරදි ශ්‍රී සද්ධර්මය අසන්නට කියවන්නට ලැබෙන්නේ සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන්ම ය. නිවැරදි ලෙස යෝනිසෝ මනසිකාරයෙන් ධර්මානුධර්ම ප්රතිපදාවන් දියුණු කර ගැනීමෙන් නිවන් මග සකසා ගත හැකි වේ. වර්තමානයෙහි බොහෝ දෙනාට අර්ථයෙන් ධර්මයෙන් දේශන, ලේඛන මාර්ගයෙන් ධර්මය බෙදා දෙමින් ඉතා වටිනා ශාසනික මෙහෙවරක නියැලී සිටින මෙම දහම් පොතෙහි සම්පාදක පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේට රත්නත්‍රය සතු සුවිසි මහා ගුණ බලයෙන් අප සැමගේ ආශීර්වාදයෙන් තවත් මෙවැනි වූ ශාසනික කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ධර්මඥානය, භාවනාඥානය සත සහශ්‍ර ගුණයෙන් වැඩේවා! ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ ම නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා!
මෙම උතුම් දහම් පොත මුද්‍රණය සඳහා බරපැන දරන්නා වූ පින්වත් සෑම දෙනාට ද, මුද්‍රණය කර දෙන්නා වූ මුද්‍රණාලයාධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සැමට ද සදේවක ලෝකවාසී සියලු සත්ව ප්‍රජාවට ද උතුම් වූ නිර්වාණ ධාතුව සුව සේ සාක්ෂාත් වෙත්වා!
සම්බුදු සසුන බොහෝ කල් ලොව නිමලව පවතීවා!
මෙයට මෙත්සිතින් අඟුල්ගමුවේ අරියනන්ද ස්ථවිර, නා උයන ආරණ්‍ය සේනාසනය, පන්සියගම මැල්සිරිපුර.
අඟුල්ගමුවේ අරියනන්ද ස්ථවිර, නා උයන ආරණ්‍ය සේනාසනය, පන්සියගම මැල්සිරිපුර.