ධර්මදායාද සූත්‍රය.pdf
- කතෘ :
- නිකපිටියේ ගුණරතන හිමි
- පිටු ගණන :
- 318
- බාගත කිරීම් ගණන :
- 524
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-06-06
- ගොනුවේ ප්‍රමාණය :
- 1.5 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ශාස්තෲ දායාදය යනු මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයට අයත් තෙවන සූත්‍රය වන ධර්මදායාද සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදිත ධර්ම ග්රන්ථයකි. බුදු සසුනෙහි පැවිදි වන කුලපුත්‍රයන් උදෙසා ආමිෂ දායාදය ඉක්මවා උත්තරීතර ප්‍රතිපත්තිමය ධර්ම දායාදයෙහි පිහිටීමේ වැදගත්කම මෙමගින් මනාව විවරණය කර ඇත.
සූත්‍ර නිදානය, ප්‍රථම ධර්ම සංගායනා ඉතිහාසය, ධර්ම-විනය බෙදා දැක්වීම, ප්‍රතික්ෂේප සතර හා ආයාචනා සතර, අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සල්ලේඛ ආදී ගුණධර්ම මෙන්ම විවිධ ප්රතිපදාවන් පිළිබඳ පුළුල් විග්‍රහයක් මෙහි ඇතුළත් වේ. නා උයන ආරණ්‍ය සේනාසනවාසීව වැඩ විසූ නිකපිටියේ ගුණරතන හිමියන්ගේ මෙම කෘතිය නොමිලේ ධර්ම දානය පිණිස මුද්‍රණය කරවා බෙදා හරින ලද්දකි.
හැඳින්වීම
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
“ධම්මොසධ සමං නත්ථි එතං පිවථ භික්ඛවෙ”
සසර සැරිසරන සත්වයාට ඇතිවන ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඉච්ඡා විඝාත ආදී වූ අනන්ත දුක් කම්කටොළු උපනුපන් සෑම භවයකදී ම විඳීමට සිදු වන්නේ ය. ඒ දුක්වලින් බඩගිනි පිපාසාදියට ද ඇතැම් රෝගාදි දුක්ඛයන්ට ද, පිළියම් වශයෙන් ආහාර පාන බෙහෙත් ආදී පිළියම් ඇත්තේ නමුත් ඒවා තාවකාලික ය. නැවත හට නොගන්නා ස්වභාවයට පත් කිරීමට නොහැකි ය. ලොව ඇති ආගම් ඇදහීලි ශාන්තිකර්මාදි කිසිවකින් ද ඒවාට නිෂ්ඨාවට නැති කළ හැකි පිළියමක් ද නැත.
එහෙත් තථාගතයන් වහන්සේ මහා කල්ප අසංඛෙය්‍ය ගණනින් ද ප්‍රමාණ නොකළ හැකි කාලයක් මුළුල්ලෙහි පුරණ ලද සමත්‍රිංශත් පාරමිතා බලයෙන් සම්මා සම්බුද්ධත්වයට පැමිණ පන්සාලිස් වසරක් පුරා මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවිශුද්ධ වූ සුවාසූදහසක් ධර්මස්කන්ධය ශ්‍රවණය කොට අසංඛෙය්‍ය සංඛ්‍යාත සත්වයන් ඒ සියලු දුකින් අත මිදුණාහ. එසේ ම පශ්චාදහසක් කල් මෙ උතුම් ධර්මය ශ්‍රවණය කොට දෙව් මිනිස් ආදී බොහෝ සත්වයන්ට සුව සේ පිළිවෙත් සපුරා සියලු දුක් අවසන් කොට අජාති අජර අව්‍යාධි අමර වූ පරම සුවය වන නිවන් සුවයෙන් සැනසීමට හැකි වෙති. ඒ සඳහා සත්වයන්ට ඇති එකම පිහිට නම් නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි. එහි අප්‍රමාදීව යෙදීමෙන් සියලු දුක් අවසන් කළ හැකි වෙති.
මෙම අගනා ධර්ම ග්‍රන්ථයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වන කුලපුත්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ සිවුපස ප්‍රත්‍යය වන ආමිෂ දායාදය පරිභෝග කරමින් නිර්වාණාවබෝධය පිණිස හේතු වන උත්තරීතර ප්රතිපදාවන් වන ධර්ම දායාදය ප්රඥීය කොට සියලු දුකින් අත මිදීමට උපාය මාර්ගය මජ්ඣිම නිකායේ එන තෙවන සූත්‍රය වන “ධර්ම දායාද සූත්‍රය” ඇසුරින් හඳුන්වා දෙයි. ඒ උත්තරීතර ධර්ම දායාදයෙහි මනාව පිහිටා සියලු සසර දුකින් අත මිදීමට බුදු සසුනෙහි පැවිදි වන කුලපුත්‍රයන්ට මේ උතුම් කුසලය හේතු වේවා.
සම්මා සම්බුදු සසුන චිරාත් කාලයක් ධ්‍යාන අභිඥා මාර්ග ඵල ලාභීන් පහළ වෙමින් ලොව තව බොහෝ කාලයක් නිරුපද්‍රිතව පැවැත්ම පිණිස ම හේතු වේවා. පිරිහීගෙන යන බුදු සසුනට නැවත ජීවය දෙමින් ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවමින් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාළ අති පූජනීය මාතර ශ්‍රී ඤාණාරාමාභිධාන මහා ස්වාමින් වහන්සේට ද, අති පූජනීය කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශාභිධාන මහා ස්වාමින් වහන්සේට ද, එසේ ම අති පූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහා ස්වාමින් වහන්සේට ද ලොවුතුරා බුදු පදවිය සුව සේ ලබන්නට හේතු වාසනා වේවා. අනෙකුත් අපවත් වී වදාළ සියලු මහ සඟ රුවණට ද, නමින් මිය ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට ද සුව සේ නිවන් සුව ලබන්නට හේතු වාසනා වෙත්වා.
තව ද වත්මන් සම්බුදු සසුනට ජීවය දෙමින් යට ගිය ප්‍රතිපත්ති මාර්ගයන් නිවැරදිව අනුගමනය කරමින් ලොවට දායාද කරමින් වයෝවෘද්ධ ව තපෝවෘද්ධ ව වැඩ සිටින බුරුම රට විත්තල පබ්බත පා අවුක් තෝයා භාවනා මධ්‍යස්ථානාධිපති පරම පූජනීය උ ආචින්න (පා අවුක් සයාඩෝ) මහා ස්වාමින් වහන්සේට ද, වත්මන් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති ප්‍රධාන අනුශාසක අති පූජනීය පහලවිටියල ජනානන්දභිධාන මහා ස්වාමින් වහන්සේට ද අනෙකුත් සියලු මහා සංඝ රත්නයට ද මේ උදර කුසලය සුව සේ සියලු ධර්ම ප්‍රාර්ථනා සපල වී නිවන් සුව ලබන්නට හේතු වෙත්වා.
සුජීවත් ව වෙසෙන මව්පිය ඤාතීන්ට ද, සදේවක ලෝකවාසී සියලු සත්වයන්ට ද නමින් මිය ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට ද මේ සඳහා දායක වූ පූජ්‍ය චිත්තගවේසී ස්වාමින් වහන්සේ හා පූජ්‍ය දෙශිගහවෙල අරණ්යසිරි ස්වාමින් වහන්සේ ප්‍රධාන සැමට ද, මෙය මනාව මුද්‍රණය කර දුන් යක්කල දිමුතු මුද්‍රණාලයාධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සැමට ද මේ උදර මහඟු කුසලය සුව සේ නිවන් සුව ලබන්නට හේතු වෙත්වා.
මෙයට සසුන් දියුණුව කැමති,
පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමි, නා උයන ආරණ්‍ය සේනාසනය, පන්සියගම මැල්සිරිපුර.
පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමි,
නා උයන ආරණ්‍ය සේනාසනය,
පන්සියගම මැල්සිරිපුර.
පුණ්‍යානුමෝදනාව
“සබ්බදානං ධම්මදානං ජිනාති”
(සියලු දානයන් පරදා ධර්මදානය ජයගනී)
භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බුදු සසුනෙහි පැවිදි වන කුල පුත්‍රයන් උදෙසා ම විශේෂයෙන් දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාවක් වන ධර්මදායාද සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේ විසින් විශේෂයෙන් සකස් කරන ලද ධර්ම ග්රන්ථයක් ධර්ම දානයක් වශයෙන් ඔබ අතට පත් කරනු ලබන්නේ බලවත් නිස්සරණාධ්‍යාශ හැඟීමෙනි.
මෙයින් ජනිත වන මහඟු කුසලය මීට වසරකට පෙර මිය ගිය කුරුණෑගල කෙලිමුනේ විසූ කේ: පී: පුංචි අම්මා මෑණියන්, ගලේවෙල කිරලගොල්ල විසූ ඒ: රාජගුරු දයාබර පියාණන්, මීට පෙර අප අතරින් වියෝ වූ එන්: ජී: ධර්මදාස පියාණන්, ජේ: එම්: පී: ජුවාන් අප්පු පියාණන්, ඩිංගිරි අම්මා මෑණියන්, අපට දුර්ලභ මිනිසත් බව ගෙන දී අපගේ ජීවිත අර්ථවත් කරන්නට අනේක විධ දුක් කරදර සතුටු සිතින් විඳ දරාගත් සෑම දෙනා ද ඔබ වෙනුවෙන් පුදනු ලබන මේ ධර්ම දානයේ පින ලැබ නිවී සැනසෙන සිතක් සිතක් පාසා උපදින අනූපමෙය කුසල සම්භාරය ඔබගේ නිර්වාණ මෝක්ෂය පිණිස අනුමෝදන් වෙත්වා!
තව ද මේ මහත් කුසලයේ අනුහසින් කිරලගොල්ල පදිංචි බී: පී: සෝමාවති ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය මෙන්ම මෙම කුසලය සඳහා අප සමග භව ගමන පුරා එක් වූ - එක් වන සියලු ම ඥාති මිත්‍රාදීන්ට නිර්වාණාවබෝධය පිණිස ම වේවා! එසේම මෙම ධර්ම දානමය අවස්ථාව ලබා දුන් ස්වාමින් වහන්සේලාට ද ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස මෙම කුසලය උපනිශ්‍රය වේවා!
මේ උතුම් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය සඳහා දායක වූ කිවුලේ යාය, දෙශිගහවෙල පදිංචි R: M: D: මැණිකා මෑණියන් ඇතුළු සැමට දීඝායුෂ පතා උපකාර කළ සැමට ද, බුදු සසුනෙහි උතුම් පිළිවෙත් සපුරා සුව සේ නිවන් සුව ලබන්නට හේතු වාසනා වේවා.
එසේ ම මෙම ධර්ම දානමය කුසලය සම්මා සම්බුදු රජාණන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා! සුවාසූ දහසක් ධර්මස්කන්ධයට ධර්ම පූජාවක් වේවා! අෂ්ටාර්ය්ය පුද්ගල මහා සංඝ රත්නයට සංඝ පූජාවක් වේවා! මේ උතුම් සම්බුද්ධ ශාසනය අවුරුදු පන්දහසකට වැඩි කලක් ලොව විරාජමානව පැවැත්ම පිණිස ම අප විසින් කරනු ලබන මේ ධර්ම දානමය කුසලය හේතු වේවා!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
මෙයට ධර්ම දානය පිණිස දායක වූ සැම.
මෙයට ධර්ම දානය පිණිස දායක වූ සැම.