ජයමංගල ගාථා - 2020.pdf

කතෘ :
නිකපිටියේ ගුණරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
2020
මුද්‍රිත වර්ෂය :
2020
පිටු ගණන :
179
බාගත කිරීම් ගණන :
1,147
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-06-06
ගොනුවේ ප්‍රමාණය :
974 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 90

ජයමංගල ගාථා යනු බෞද්ධයන් අතර සෙත් ශාන්තිය හා ආශීර්වාදය උදෙසා ඉතා ප්‍රචලිතව සජ්ඣායනා කරනු ලබන අටමහා ජයමංගල ගාථාවන්හි අන්තර්ගත බුද්ධ චරිත සිදුවීම් විස්තර කරමින් පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදිත වටිනා ධර්ම ග්‍රන්ථයකි. බුදුරජාණන් වහන්සේ විසින් කරුණා, මෛත්‍රී ආදී ගුණ මහිමයෙන් ජයගන්නා ලද අභියෝගයන් අට පිළිබඳ ත්‍රිපිටක හා අටුවා මූලාශ්‍ර ඇසුරින් සවිස්තරාත්මකව කරුණු මෙහි විවරණය කර ඇත.

මෙහි ප්‍රධාන මාතෘකා ලෙස පහත සිදුවීම් සාකච්ඡා කෙරේ:

  • මාර පරාජය
  • ආළවක යක්ෂ දමනය
  • නාලාගිරි හස්තිරාජ දමනය
  • අංගුලිමාල දමනය
  • චිඤ්චිමාණවිකාවගේ අපහාසය ජයගැනීම
  • සච්චක වාදිසිංහ දමනය
  • නන්දෝපනන්ද නාගරාජ දමනය
  • බක බ්‍රහ්ම දමනය

පාලි ගාථා සහ සිංහල අර්ථ විවරණය මෙන්ම සිංහල කාව්‍යමය පරිවර්තන ද ඇතුළත් කරමින් 2020 වසරේදී ධර්ම දානයක් ලෙස මෙම ග්‍රන්ථය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

හැඳින්වීම

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“සංසාරසොතං ඡින්ද්‍රිවා - විධංසෙත්වා තයො භවෙ, ධම්මනාවං සමාරුය්හ - සන්තාරෙස්සං සදෙවකං”

”(මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙන් මම ද) සංසාරය නැමැති සැඩ පහර සිඳ හැර කාම රූප අරූප යන තුන් භවය නසා දහම් නැවට නැගී දෙවියන් සහිත ලෝක සත්වයා එතර කරවන්නෙමි”

මෙය වනාහි අප මහ බෝසතාණන් වහන්සේ සුමේධ තාපසව උපන් කල්හි දීපංකර බුදුරජාණන් වහන්සේ හමුවෙහි ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව ප්‍රථම නියත විවරණය ලැබ කල ප්‍රාර්ථනාවය. එතැන් පටන් සම තිස් පෙරුම් දම් පුරා ලොව්තුරා බුදු බවට පැමිණ පන්සාලිස් වසක් මහා කරුණාවෙන් ධර්ම වර්ෂා වස්වා සූවිසි අසංඛ්‍ය නවකෝටි සැට ලක්ෂයක් සත්වයන් අමෘත මහා නිර්වාණයට පමුණුවා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝක සත්වයන්ට මහා කරුණාවෙන් පිහිට වූ අවස්ථා බොහෝ ය. ඒ අතරින් අභියෝග වශයෙන් පැමිණි අවස්ථා මෛත්‍රී ආදී උතුම් ගුණ බලයෙන් ජයගත් සේක. එබඳු අවස්ථා අටක් අර්ථවත් කොට ආශීර්වාද පෙරටුව සත්‍යක්‍රියා කිරීම් ශීර්ෂයෙන් මෙම ජයමංගල ගාථා වේනෙය්‍ය ජනයාගේ සුබ සිද්ධිය පිණිස පූර්වාචාර්යයන් වහන්සේ නමක් විසින් නිබන්ධනය කර ඇත. මේ ජයමංගල ගාථා සුබ කටයුතුවල දී ගිහි පැවිදි බොහෝ දෙනා භාවිතා කරති. මෙම ගාථා භාවිතයෙහි දී නියම ප්‍රයෝජනය ලැබීමට නම් එහි සැබෑ වූ අර්ථය දැන එය භාවිතා කළ යුතුය. එම ගාථාවන්හි ගැබ් වන අර්ථ ත්‍රිපිටක සාහිත්‍යයෙහි විසිරී පවත්නා සිදුවීම් විවරණ එක් කොට මෙම ගාථා භාවිතා කරන සැමට යහපත පිණිස මෙසේ ග්‍රන්ථයක් සැකසුවෙමි.

මෙම මහඟු ග්‍රන්ථය සැකසීමෙන් සිදු කරගන්නා ලද කුසලානිශංස බලයෙන් හා රත්නත්‍රය සතු සූවිසි මහා ගුණ බලයෙන් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති ප්‍රධාන අනුශාසක අති පූජනීය පහල විට්ටියල ජනානන්දභිධාන මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන ගරු කටයුතු මහ සඟ රුවනට ද, බුරුම රට පා අවුක් භාවනා මාර්ගයෙහි නිම්මාතෘවර අති පූජනීය උ ආචින්න මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන මහ සඟරුවනට ද ලක් වැසි වූ ද ලෝ වැසි වූ ද ගරු කටයුතු සියලු මහ සඟ රුවනට ද ආයුරාරෝග්‍ය සම්පත් අභිවර්ධනය වී සුව සේ සසුන් ගුණ වඩා නිවන් සුව ලැබීමට හේතු වේවා.

එසේම අපගේ දිවි ගමන සාරවත් කර ගැනීම පිණිස මහා පොළොව සේ උපකාර වූ මව්පිය දෙදෙනා වහන්සේට ද, සහෝදර ඥාති හිත මිත්‍රාදීන්ට ද, සිප් සතර කියා දුන් ගුරු භවතුන්ට ද නමින් මියගිය ඥාති වර්ගයාට ද, ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක සියලු දෙවියන්ට ද ලක්වැසි ලෝ වැසි සියලු සත්නට ද සියලු ප්‍රාර්ථනා ජය ගෙන නිවන් සුව ලබන්නට හේතු වේවා.

එසේ ම මෙම ග්‍රන්ථය අගය කොට පෙරවදනක් ලියා දුන් අප උපසම්පදා සොයුරු කල්‍යාණ මිත්‍ර පූජනීය හීනටිගල පඤ්ඤාරාම ස්වාමින් වහන්සේට ද නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. සම්බුදු සසුන ආලෝකවත් කරමින් සියලු ප්‍රාර්ථනා ජය ගෙන නිවන්සුව ලබන්නට ම හේතු වේවා. මෙම මහඟු ධර්ම දානමය පින්කමට දායක වූ පුණ්‍යකාමී සැමට ද, මෙය මනා කොට මුද්‍රණය කර දුන් දිමුතු මුද්‍රණාලයේ අධිපති තුමා ප්‍රධාන සැමට ද සියලු ප්‍රාර්ථනා ජය ගෙන නිවන් සුව ලබන්නට හේතු වේවා. මෙය භාවිතා කරන සැමට ද සියලු අර්ථ සිද්ධිය වේවා!

මෙයට මෙත්සිතින්
නිකපිටියේ ගුණරතන හිමි.
නා විමන ආරණ්‍ය සේනාසනය,
මාකුර අබේපුස්ස.

පෙරවදන

නමො තෙ බුද්ධවීරත්ථු

මහා ජයමංගල ගාථා පුරාණාචාර්යයකු අතින් සැකසුණ වටිනා ගාථා අටකි. ආනිසංස සඳහන් ගාථාව සමග ගාථා නවයකි. සිංහල බෞද්ධයන් අතර ඉතා ප්‍රචලිත මෙම සෙත් ගාථා පැරැණියන් මෙන්ම නූතනයන්ද විවාහ මංගල්‍යයකදී ජයමංගල ගාථා කීම ඇතැම් ප්‍රදේශවල අෂ්ටක කීම ලෙස ද ව්‍යවහාර කරති.

බුද්ධ චරිතයෙහි විශිෂ්ට අවස්ථාවන් අටක් දක්වමින් ගාථා සැකසී ඇත. හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේට පැමිණි විපත් කරදර නුවණින් සලකා කරුණා මෛත්‍රී ආදී උතුම් ගුණ පිහිටා කොට ඒවා ජයගත් අයුරු දක්වා ඒ තේජසින් යහපතක්ම වේවායි සෙත් ප්‍රාර්ථනා කරයි.

බෞද්ධයන් අතර මෙතෙක් කල් මෙතරම් ගෞරවයෙන් මෙම ගාථා භාවිතා කිරීමෙන් පෙනී යන්නේ මෙහි යම් බලයක් ආනුභාවයක් තිබෙන බවය. මිනිසුන් අතර තිබෙන උසස්ම උත්සවය විවාහ මංගල උත්සවය ය. එහි දී මනාල යුවලට මෙම ගාථා කියා සෙත් පැතීම සිංහලයන්ගේ අනිවාර්යය අංගයකි. එවැනි තැනක දී පවා භාවිතා කිරීමෙන් පෙනී යන්නේ අලුත් දිවියට මෙයින් විශාල ආශිර්වාදයක් ලැබෙන බවය. එය එසේම ය.

මෙහිලා මෙම කරුණ ද මතක් කරනු කැමැත්තෙමි. මංගල උත්සවයකදී ජයමංගල ගාථා කියවා ගැනීම ගෞරවයෙන් කිරීම මැනවි. ඉහල පෝරුවේ සිටින මනාල යුවලට පහල සිට මෙම ගාථා කීම නොමැනවි. පෝරුවට වඩා උස් වූ අසුනක් පනවා එහි සිට මෙම ගාථා කියවා ගැනීමෙන් ධර්ම ගෞරවයද සිදු කලා වන්නේ ය. වෙනත් සුභ කටයුතු වලදී ද මේ අනුව සිතා කටයුතු කිරීම මැනවි.

මහා ජයමංගල ගාථා නම් වූ මෙම ග්‍රන්ථය සම්පාදනය කළ අති පූජනීය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේ උපසම්පදාවෙන් වස් විසි එකක් සසුන් ගුණ දියුණු කරමින් බුද්ධ පූජා බෝධි පූජා ධර්ම දේශනා ඉතා විසිතුරු ලෙස පවත්වමින්, වටිනා ග්‍රන්ථ සම්පාදනය කරමින් බුදු සසුනට බොහෝ පිහිට වන සේක.

පසුගිය වස් කාලය නේපාලයේ ගත කරන විට බංගලිදේශ දැරියක් ජයමංගල ගාථා කියනු අසා පැහැදී මෙම ගාථා විස්තර කොට පොතක් ලියන්නට තිබේ නම් හොඳයි යන සිතුවිල්ල අද පිටු 175 ක පමණ පොතක් ලෙස මල් පල ගැනෙන්නේ ගිහි පැවිදි බොහෝ දෙනෙකුට ධර්ම ලාභය ද ලබා දෙමිනි.

පෙළ අටුවා ටීකා සංග්‍රහ පොත් ඇසුරු කරමින් පිරිසිදුව නිවැරදිව කරුණු විස්තර තිබෙන ආකාරය ප්‍රශංසනීය ය. කාහටත් කියවා තේරුම් ගත හැකි සරල බස් වහරකින් ග්‍රන්ථය සම්පාදනය වීම බොහෝ දෙනෙකුට ධර්ම කරුණු වටහා ගැනීමට පහසුවකි. මෙම පොත අවසානය තෙක් වාර කිහිපයක් වත් කියවා කරුණු වටහාගෙන මෙම ගාථා භාවිතා කිරීමෙන් මහත් සෙතක් සැලසෙනු ඇත.

බුද්ධ ධර්ම සංඝ රත්නයේ ගුණ කියන ගුණ ලියන අපේ නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේ තුනුරුවන් අතර දිදුලන තවත් ගුණ රත්නයක්ම වන සේක. තෙරුවන් සරණින් සසුනට පිහිට වෙමින්, සසුන් ගුණ දියුණු කරමින් කරන සියලු කුසල් බලයෙන් තව තවත් මෙවන් වටිනා ග්‍රන්ථ සම්පාදනය කරන්නට ශක්තිය ලැබේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. නිවනින් සැනසීමට මේ කුසලයද උපකාර ධර්මයක්ම වේවායි නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමි.

මීට සසුන් දියුණුව කැමති,
හීනටිගල පඤ්ඤාරාම හිමි
නා උයන ආරණ්‍ය සේනාසනය,
පන්සියගම, මැල්සිරිපුර.

පුණ්‍යානුමෝදනය

“සබ්බදානං ධම්මදානං ජිනාති”

සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වන්නේය. එසේ වූ උතුම් ධර්ම දානමය මහඟු පින්කමක් 2020-02-27 දිනට 57 වැනි ජන්ම දිනය යෙදෙන නා උයන ආරණ්‍යයෙහි කෘත්‍යාධිකාරී ප්‍රධාන කර්මස්ථානාචාර්ය අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද මහා ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් පාරමිතා ගුණ සපුරා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව ලබන්නට හේතු වේවා.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාළ පූජනීය මහෝපාධ්‍යාය පණ්ඩිත මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්වාමින් වහන්සේට ද, පූජනීය මහෝපාධ්‍යාය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහා ස්වාමින් වහන්සේට ද, නා උයන ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේට ද සුවසේම සමත්‍රිංශත් පාරමිතා සපුරා ලොව්තුරා බුදු බව ලැබීමට උපනිඃශ්‍රය වේවා.

අප සැමට මෙවැනි මහා පුණ්‍ය කර්මයක් කර ගැනීමට මාර්ගය පාදා දුන් නිකපිටියේ ගුණරතන මහා ස්වාමින් වහන්සේට ද මෙම ධර්ම දානමය පුණ්‍යානුභාවයෙන් සහ රත්නත්‍රයානුභාව බලයෙන් ධර්ම ඥාන භාවනා ඥාන සිය දහස් ගුණයෙන් වැඩි දියුණුව විංශත් ගතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබ සසුන් කෙත සරු කරමින් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වේවා.

බෝධිසත්ව පාරමී ගුණ පුරන උතුමන් වහන්සේලාටත් ලෝකවාසී සියලුම ආර්ය මහා සංඝරත්නයටත් සුවසේම පිළිවෙත් සපුරා නිවන් සුව ලබන්නට හේතු වේවා.

ග්‍රන්ථය සම්පාදනයට සහය වූ සැමටත් මුද්‍රණ බරපැන් දැරූ සැමටත් මුද්‍රණය කරවා දුන් සැමටත් නමින් මියගිය ඥාතීන්ටත් සුජීවත්ව වෙසෙන ඥාති මිත්‍ර සැමටත්, සදේවක ලෝකවාසී සියලු සත්ව ප්‍රජාවටත් සුවසේම පිළිවෙත් සපුරා නිවන් සුව ලබන්නට හේතු වේවා.

අප සැමට මේ පුණ්‍ය බලයෙන් සතර අපායාදී අභව්‍යස්ථානයන්ට නොවැටී ත්‍රිවිධ සත්ව විනාශයන්ට හසු නොවී අෂ්ට දුෂ්ටක්ෂණයෙන් බේරී පඤ්ච විධ අන්තරාවෙන් වෙන් වී පාරමී ගුණ සපුරා ඉතා ඉක්මන් භවයකදීම සුව දායක ලෙස නිවන් මග පෑදේවා.

මෙයට සසුන් දියුණුව කැමති
ධර්ම දානය පිණිස දායක වූ සැම....