ආභිසමාචාරික වත් - 2021.pdf
- කතෘ :
- නිකපිටියේ ගුණරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2021
- මුද්‍රිත වර්ෂය :
- 2021
- පිටු ගණන :
- 192
- බාගත කිරීම් ගණන :
- 497
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-06-06
- ගොනුවේ ප්‍රමාණය :
- 1019 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ආභිසමාචාරික වත් යනු භික්ෂූන් වහන්සේලා විසින් සම්පූර්ණ කළ යුතු විනයානුකූල වත්පිළිවෙත් විස්තර කරමින් පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදනය කරන ලද විනය ග්රන්ථයකි. බුද්ධ වර්ෂ 2565 (ක්‍රි.ව. 2021) දී ධර්මදානය පිණිස මෙම කෘතිය මුද්‍රණය කරවා ඇත.
විනය පිටකයේ මහාවග්ග හා චුල්ලවග්ග පාළි, සමන්තපාසාදිකා අටුවාව, සාරත්ථදීපනී, විනයාලංකාර, විනයවිනිශ්චය ආදී ටීකා ග්රන්ථ මෙන්ම කුදුසික විවරණය සහ අංගුත්තර නිකායේ සූත්‍ර දේශනා ආශ්‍රය කරගනිමින් භික්ෂු විනයෙහි දැක්වෙන ආභිසමාචාරික වත්පිළිවෙත් මෙහි සවිස්තරව සම්පිණ්ඩනය කර ඉදිරිපත් කර තිබේ.
මෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා අතර:
- මහා වත් තුදුස (උපාධ්‍යාය, ආචාර්ය, සද්ධිවිහාරික, අන්තේවාසික, ආගන්තුක, ආවාසික ආදී වත්)
- කුඩා වත් හා කුදුසික විවරණයෙහි දැක්වෙන වත් සංග්‍රහය
- චීවර සහ පාත්‍ර වත්
- වත් පිරීම පිළිබඳ බුද්ධ අවවාද සහ ආශ්රිත සූත්‍ර දේශනා
කුරුණෑගල මොනාකි කාර් කෙයා අධිපති රුවන් මහින්ද පෙරේරා මහතාගේ මූල්‍ය දායකත්වයෙන් යක්කල දිමුතු මුද්‍රණාලයේදී මෙම කෘතිය මුද්‍රණය කර ඇත.
පෙරවදන
✪ වචනයක්
“වත්තං න පරිපූරෙන්තො - නසීලං පරිපූරති”
‘වත් සම්පූර්ණ නොකරන්නේ සීලය සම්පූර්ණ නොකරයි’ යන කියමනෙන් වත් සම්පූර්ණ කිරීමේ ඇති වටිනාකම පැහැදිලි වේ. වත් සම්පූර්ණ කිරීමට පළමු කොට එම වත් මොනවාදැයි දැනගත යුතු ය. ඒ සඳහා චුල්ලවග්ග පාළි මහාවග්ග පාළි පොත් පරිශීලනය කල යුතුව ඇත. පූජ්‍ය ගුණරතන ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත “ආභිසමාචාරික වත්” නැමති පොතේ එම වත් සියල්ල ඇතුළත් කර ඇත. මේ සඳහා චුල්ලවග්ග පාළි මහාවග්ග පාළි පොත්වලට අමතරව ඒ හා බැඳි අටුවා ටීකාවල සඳහන් කරුණු ද ඇතුළත් කර ඇත. පොත් කිහිපයක් පරිශීලනය කර ලබාගත යුතු විස්තර පූජ්‍ය ගුණරතන ස්වාමින් වහන්සේ විසින් නිශ්පාදිත “ආභිසමාචාරික වත්” නැමති මෙම පොතෙන් පැහැදිලි කර ඇති ආකාරය ප්‍රශංසනීය වේ. පොත් කිහිපයක් කියවීමෙන් ලබාගත යුතු විස්තරය මෙම එක පොතකින් ලබාගන්නට හැකි වීම කියවන්නාට ලොකු පහසුවකි. පූජ්‍ය ගුණරතන ස්වාමින් වහන්සේට තව තවත් මෙවැනි පොත් ලියන්න ශක්තිය ලැබේවා යි පතමි.
මෙයට සසුන් ලැදි මීගොඩ සංඝසෝභන ස්ථවිර, නා උයන ආරණ්‍ය සේනාසනය, පන්සියගම
සසුන් ලැදි මීගොඩ සංඝසෝභන ස්ථවිර, නා උයන ආරණ්‍ය සේනාසනය, පන්සියගම
හැඳින්වීම
“සංවරක්ඛං පහානක්ඛං - බ්රහ්මචරියං අනීතිහං, අදෙසයි සො භගවා - නිබ්බානොගධගාමිනං.
එස මග්ගො මහන්තෙහි - අනුයාතො මහෙසිහි, යෙ ච තං පටිපජ්ජන්ති - යථා බුද්ධෙන දෙසිතං, දුක්ඛස්සන්තං කරිස්සන්ති - සත්ථුසාසනකාරිනො’ති”
ඒ භාග්‍යවතුන් වහන්සේ තිදොරින් සංවර වීම පිණිස ද, ක්ලේශ ප්රහාණය පිණිස ද, නිවන නැමැති ප්‍රතිෂ්ඨාවට පමුණුවනු පිණිස ද බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කළ සේක.
මේ මාර්ගය උදර අදහස් ඇති බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද්දේ ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරිදි යම් කෙනෙක් මේ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව පිළිපදිත් ද, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය කරන්නා වූ ඔහු සසර දුක් කෙළවර කරන්නේ ය.
(අං: ව: නි: ප්‍රථම බ්‍රහ්මචරිය සූත්‍රය)
තුන්ලෝකාග්ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංසාර ඛේදයට හසුව ජාති ජරා මරණා දී වූ අනේකවිධ දුකට පත් ලෝ සතුන් කෙරෙහි මහත් කරුණාවෙන් පන්සාලිස් වසක් මුළුල්ලෙහි සුවාසූ දහසක් ධර්මස්කන්ධය දේශනා කොට වදාළ සේක.
ඒ උත්තරීතර ධර්මස්කන්ධය අතරින් සත්වයන් කෙලෙසීමට පත් කරන කාය වාක් දුසිරිතවලින් වැලකීම පිණිස විනය පිටකය පනවා වදාළ සේක. එසේම සිත කෙලෙසීමට පත් කරන තෘෂ්ණා දෘෂ්ටීන් ප්රහාණය කිරීම පිණිස සූත්රාභිධර්ම පිටකද්වය දේශනා කොට වදාළ සේක.
ඒ විනය පිටකය ද විනය අභිවිනය යැයි ද්විධ වේ. එහි විනය යනු භික්ෂු භික්ෂුණී උභතෝ විභංගයයි. අභිවිනය යනු කඳුවත් දෙ විස්ස හා සොළස පරිවාරයෝ ය.
එහි දී උභතෝ විභංගයෙහි අන්තර්ගත වූ භික්ෂු භික්ෂුණීන් උදෙසා පනවා වදාළ ප්රාතිමෝක්ෂ ශික්ෂාපද භික්ෂු භික්ෂුණීන් විසින් සමාදන්ව රැකිය යුතු බැවින් ආදිබ්‍රහ්මචරියක සීලය නම් වේ.
මහාවග්ග පාළි චුල්ලවග්ග පාළි ග්රන්ථයන්හි ඇතුළත් කඳුවත් දෙ විස්සෙහි දී පනවා වදාළ ශික්ෂාපද, වත් පිරීම් වශයෙන් රැකිය යුතු, පිළිපැදිය යුතු බැවින් ආභිසමාචාරික සීලය නම් වේ.
මෙහි දී උසස් විශිෂ්ට උත්තම හැසිරීම ආභිසමාචාර නම් වේ. එලෙස උසස් හැසිරීම අරභයා පනවන ලද ශික්ෂාවන් ආභිසමාචාරික ශික්ෂා නම් වේ. එනම් පාවිත්තිය දුෂ්කට දුර්භාෂිත යන ලහුකාපත්ති ශික්ෂාපද නොබිඳ රැකීම කියන ලදි.
එලෙස ආභිසමාචාරික වත් පිරීමෙන් මනාකොට සංවර වීම, හිරි ඔත්තප්ප ධර්ම ඇති වීම, ශ්‍රද්ධාව වීර්‍ය්‍යය ඇතිවීම ඔවුනොවුන්ගේ සාමග්‍රිය වැඩිම ආදී බොහෝ ආනිශංස ඇති බැවින් ද භික්ෂු ජීවිතයට අතිශයින් වැදගත් වන බැවින් වත්තක්ඛන්ධකයෙහි හා ඛුද්දකවත්ථුක්ඛන්ධකයෙහි සඳහන් ආභිසමාචාරික වත් සම්බන්ධ පාළි අර්ථකථා ටීකා ආදියෙහි විසිරී ඇති සියල්ල සම්පිණ්ඩනය කර මෙය මෙසේ සකස් කළෙමි.
මේ ධර්ම ග්‍රන්ථය ඇසුරු කරන ගරු කටයුතු මහා සංඝ රත්නයට භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පනවා වදාළ ආභිසමාචාරික වත් උසස් ලෙස පූර්ණය කොට අධිසීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිපඤ්ඤා ශික්ෂා සම්පූර්ණ කොට සුවසේ නිවනාවබෝධය සිදුකර ගැනීම පිණිස ම උපකාර වේවා. !!!
මෙය සකස් කිරීමෙහි දී විනය පිටකයේ මහාවග්ග පාළියේ මහා ඛන්ධකය ද, චුල්ලවග්ග පාළියේ ඛුද්දකවත්ථු ඛන්ධකය ද, සමන්තපාසාදිකා විනයට්ඨකථාව ද, සාරත්ථදීපනී, විනයාලංකාර, විනයවිනිශ්චය ටීකාවන් ද, කුදුසික විවරණය ද, සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ චතුක්ක පඤ්චක නිපාතයන් ද, එම අර්ථකථාවන් ද, අපදානට්ඨකථාව ද ඇසුරු කළෙමි.
ධර්මදානමය වශයෙන් මේ උතුම් ග්‍රන්ථය සැකසීමෙන් සිදුකර ගත් උදර කුසල බලයෙන් අද අප සැනසෙන නිවෙන සම්මා සම්බුද්ධ ශාසනය තව බොහෝ කලක් නිරුපද්‍රිත ව ලොව පැවැත්ම පිණිස ම හේතු වේවා! සම්බුද්ධ ශාසනය ආලෝකවත් කළ අපගේ ආචාර්ය්ය උපාධ්‍යායයන් වහන්සේලා ප්‍රධාන සියලු මහසඟ රුවනට පහසුවෙන් පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කොට ප්‍රාර්ථනීය බෝධිවලින් නිවන් සුව ලබන්නට හේතු වේවා! උපකාරක අනුග්‍රාහක සැමට ද,
සදේවක ලෝකවාසී සියලු සත්වයන්ට ද සුව සේ නිවන් සුව ලබන්නට හේතු වේවා!
ධර්ම දානය වශයෙන් මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීම සඳහා දායකත්වයෙන් උපකාර කළ කුරුණෑගල මොනාකි කාර් කෙයා පුද්ගලික සමාගමේ අධිපති ධර්මකාමී සත් ගුණවත් පින්වත් රුවන් මහින්ද පෙරේරා මහත්මාට ද, එම මැතිනියට ද, දියණිවරු දෙදෙනාට ද නිදුක්ව නීරෝගීව ඉතා පහසුවෙන් පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම සපුරා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව ලබන්නට හේතු වේවා.
මෙය ඉතා හොඳින් මුද්‍රණය කර දුන් යක්කල දිමුතු මුද්‍රණාලයාධිපතිතුමා පින්වත් බණ්ඩාර මහත්මා ප්‍රධාන සැමට ද නිදුක්ව නීරෝගීව ඉතා පහසුවෙන් පාරමිතා බෝධිපාක්ෂික ධර්ම සපුරා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව ලබන්නට හේතු වේවා. !!!
මෙයට සසුන් ලැදි නිකපිටියේ ගුණරතන හිමි.
මෙයට සසුන් ලැදි නිකපිටියේ ගුණරතන හිමි.
පුණ්‍යානුමෝදනාව
“පුණ්ඤානි පර ලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණිනං”
“කරගන්නා ලද පුණ්‍ය ශක්තිය සත්වයන්ට පරලොව දී පිහිට පිණිස පවතී”
මෙම ධර්ම පුස්තකය මුද්‍රණය කර දහම් පඬුරක් ලෙස බෙදා හැරීමෙන් සිදුකර ගත් පුණ්‍ය ශක්තිය මෙම ධර්ම පුස්තකයෙහි සම්පාදක පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ද, තම අභිමතය පරිදි පාරමී දම් පූර්ණය කරගෙන ඉතා නීරෝගී ව තව දුරටත් උතුම් ශාසනික මෙහෙවරයන් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් බොහෝ කාලයක් ඉෂ්ට සිද්ධ කිරීමට හේතු වාසනා වේවා.!
තව ද මෙම පුණ්‍ය ශක්තිය පින් කැමති සියලු දෙවියන්ට ද, සියලු සත්වයන්ට ද, සුජීවත් ව වාසය කරන ගුරු දෙමව්පියන්ට ද, නැසී ගිය මාගේ පියාණන් හා සොහොයුරාණන්ට ද, අප නමින් නැසී ගිය ඥාති සමූහයාට ද, මොනාකි ආයතනයෙහි සේවය කොට මිය ගිය සියලු දෙනාට ද, අප සියලු දෙනාට ද අත්පත් වේවා.!
වොහන්සා හා වෙනුති දියණියන් දෙදෙනාගේ ගුණ නුවණ වඩා වර්ධනය වේවා.! අප විසින් රැස්කර ගත්තා වූ මෙම කුසල ශක්තියෙන් ඉක්මන් ආත්ම භාවයක දී ම සුව සේ මෙම ගෞතම බුදු සසුනෙහි දී ම මාර්ග ඵල නිවන් අවබෝධය පිණිස ම මෙම පින්කම පාරමී ධර්මයක් ම වේවා.!
එසේම ශාරීරික හා මානසික පීඩාවන්ගෙන් තොරව යහපත් ජීවන ගමනක් ඉපදෙන සෑම ආත්ම භාවයක දී ම හිමි වේවා.!
සාදු! සාදු! සාදු!
මෙයට සසුන් වැඩ කැමති රුවන් මහින්ද පෙරේරා, මොනාකි කාර් කෙයා පුද්ගලික සමාගම, කුරුණෑගල
රුවන් මහින්ද පෙරේරා, මොනාකි කාර් කෙයා පුද්ගලික සමාගම, කුරුණෑගල