අග්ගික්ඛන්ධෝපම සූත්‍රය - 2023.pdf
- කතෘ :
- නිකපිටියේ ගුණරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2023
- මුද්‍රිත වර්ෂය :
- 2023
- පිටු ගණන :
- 155
- බාගත කිරීම් ගණන :
- 448
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-06-06
- ගොනුවේ ප්‍රමාණය :
- 964 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අග්ගික්ඛන්ධෝපම සූත්‍රය ග්‍රන්ථය පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදිත සූත්‍ර අර්ථ විවරණ කෘතියකි. අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයත් අග්ගික්ඛන්ධෝපම සූත්‍රය මුල් කරගනිමින්, භික්ෂූන් වහන්සේලාගේ විනය හා සීල සංවරය, චාරිකා, සූත්‍ර නිදානය සහ ප්රත්යවේක්ෂා ක්‍රම පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් මෙහි ඇතුළත් වේ.
ප්‍රථම ධර්ම සංගායනාව, අග්ගික්ඛන්ධෝපම සූත්‍ර දේශනාවට පසුබිම් වූ කරුණු, බුදුරජාණන් වහන්සේගේ චාරිකා රටාවන්, පාරිභෝගික ශුද්ධි (ථෙය්‍ය, ඉණ, දායජ්ජ, සාමි පරිභෝග) මෙන්ම සිව්පසය වැළඳීමේදී සිදුවිය යුතු ප්රත්යවේක්ෂාවන් මෙහි දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
2023 වසරේදී ධර්ම දානය පිණිස අම්බලන්ගොඩ නිසංසලා මුද්‍රණාලයෙන් මුද්‍රණය කරවා ඇති මෙම කෘතිය සඳහා ලග්ගල කල්‍යාණවංශ ස්ථවිරයන් වහන්සේ විසින් පෙරවදනක් සපයා තිබේ.
“වචනයක්”
“ධම්මොසධ සමං නත්ථි”
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවට අනුව ධර්මය තරම් උතුම් බෙහෙතක් වෙනත් නොමැත. මෙම ධර්මය නැමැති බෙහෙත පානය කිරීමෙන් සත්ව සන්තාන තුළ පවතින පහසුවෙන් සුව කල නොහැකි රාග-දෝෂ-මෝහ වැනි ඉතා භයානක රෝග සුවපත් කර ගැනීමට හැකි වෙනු ඇත. ඒ සඳහා කරුණා මෛත්‍රී ගුණ පෙරදැරි කරගෙන දාන-සීල-භාවනා ගුණ පූර්ණීය කර ගැනීමෙන් ඔබත් මමත් අතරමන් වී සිටින සසර කතරින් එතර වීමට හැකියාව ලැබෙනු ඇත. ගිහි පැවිදි කොයි කාටත් වැදගත් සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ඉතා මනහර ලෙස මෙම වටිනා දහම් ග්‍රන්ථය සම්පාදනය වී ඇත. එයින් කාලීන අවශ්‍යතාවක් ඉටු වී ඇතැයි සිතමි. වසර ගණනාවක් කරුණු ගොනු කරමින් මෙම දහම් ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ අප හිතවත් කල්යාන මිත්‍ර පූජනීය නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසිනි. උන් වහන්සේ මේ කාලය තුළ දියතලාව කහගොල්ල ඤාණාරාම භාවනා මධ්‍යස්ථානයෙහි වැඩ සිටිමින් විශාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසකට ධර්ම විනය කියා දෙන ධර්ම ධරව විනය ධරව වැඩ සිටින මහ ථෙර නමකි. මේ සියලු පින් ගුණරතන ස්වාමින් වහන්සේට පාරමිතාවක් වේවා.
මෙම දහම් පොත මුද්‍රණයට ප්‍රධානත්වය දරූ ත්‍රිපිටක අධ්‍යාපනය ලබමින් සිටින පූජ්‍ය අකුරල කල්‍යාණධම්ම ස්වාමීන් වහන්සේටත් උන් වහන්සේගේ ආරාධනයෙන් විශාල මුදලක් වෙන් කරමින් ධර්ම දානය පින හිමිකර ගත් සියලු දායක පින්වතුන්ලාට ද ඒ සැමගේ මව් දෙමව්පිය සියලු ඤාතීන්ටත් මියගිය සැමටත් මහ සඟරුවන ඇතුළු සියලු දෙමව්පියන්ටත් සියලු දෙනාටත් සසර ගමන සුවපත් වේවා. යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
මෙයට කාරුණික
ලග්ගල කල්‍යාණවංශ ස්ථවිර ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය, ගල්දූව කහව, අම්බලන්ගොඩ. 2023-06-06.
ලග්ගල කල්‍යාණවංශ ස්ථවිර
ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය,
ගල්දූව කහව, අම්බලන්ගොඩ.
2023-06-06.
හැඳින්වීම
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
“ඉධ පන බ්‍රාහ්මණ එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති” 1
බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙමි වෙමි. දුකෙහි බැසගත්තෙමි වෙමි. දුකින් පෙළුනෙමි වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙනේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වශයෙන් යම් කෙනෙකුට පැවිදි බව ලබා එයින් මනා හික්මීමක් ආත්ම දමනයක් ඇති කරගෙන උතුම් අර්හත්වයට පැමිණ කෙලෙසුන් පරාජය කිරීමට ලැබෙන්නේ නම් ඒ සඳහා ම භාග්‍යවතුන් වහන්සේ මේ පැවිද්ද අනුදැන වදාළ සේක. ඒ බව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
එසේ උතුම් සංකල්පනාවෙන් සියලු කාමයන් හැරදමා පැවිදි වූ කුල පුත්‍රයෝ එම උතුම් අර්ථයෙන් බැහැරව සිවුපස ප්‍රත්‍යයන්හි ඇලී මුළා වී සිටිනු දැකීමෙන් භාග්‍යවතුන් වහන්සේට මහත් ධර්ම සංවේගයක් ඇති වී එයම නිදාන කොට මෙම අග්ගික්ඛන්ධෝපම සූත්‍රය වදාළ සේක.
මෙම සූත්‍රය හා බැඳුණු සූත්‍ර හා එහි අර්ථ විවරණ රාශියක් ත්‍රිපිටක බුද්ධ වචනය තුළ විසිර පවත්නේ ය. ඒ සියල්ල ධර්ම විනය පිළිබඳ තරමක හෝ අවබෝධයක් නැති කෙනෙකුට සොයා බලා අවබෝධ කරගැනීම අසීරු ය. එසේම සම්බුදු සසුනෙහි පැවිද්ද ලැබූ සෑම කෙනෙක්ම මෙම ධර්මයන් හොඳින් ඉගෙන කෙලෙස් කාමයන්ට වස්තු කාමයන්ට තම සිත කය වචනය තුළින් කිසිඳු අසංවරයකට ඉඩක් නොතබා ශ්‍රමණ බවෙහි උතුම් අර්ථය වූ අර්හත්වය පිණිසම අඛණ්ඩව සෑම කල්හි උත්සාහවන්ත වීම කළ යුතුම ය. ඒ සඳහා අනුග්‍රහයක්, උපකාරයක් සිදු කිරීමක් වශයෙන් උසස් ලෙස සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණීය කරන පැවිදි උතුමන්ගෙන් හිස් නොවී සම්බුදු සසුන තව බොහෝ කලක් නිරුපද්‍රිතව පැවැත්ම පිණිස හේතු උපනිශ්‍රය වේවා යන බලවත් ශාසන හැඟීමෙන් මෙම සූත්‍රය හා බැඳුණු සියලු අර්ථ විවරණ එක්තැන් කොට දක්වමින් මෙම ග්‍රන්ථය මෙසේ මා විසින්ම අකුරු කරණයෙන් සම්පාදනය කළෙමි.
මෙම ධර්ම දානමය මහඟු කුසල ශක්තිය අද අප සැනසෙන ශ්‍රීමත් ගෞතම සම්මාසම්බුද්ධ ශාසනය බොහෝ කලක් ධ්‍යාන - අභිඥා - විදර්ශීනා - ආර්‍ය්‍ය මාර්ග ඵල ලාභීන් පහළ වෙමින් පැවැත්ම පිණිසම හේතු වාසනා වේවා!. පිරිහීගෙන යන බුදු සසුනට නැවත ජීවය දෙමින් ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවමින් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාළ අති පූජනීය මාතර ශ්‍රී ඤාණාරාමාභිධාන මහා ස්වාමින් වහන්සේට ද, අති පූජනීය කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශාභිධාන මහා ස්වාමින් වහන්සේට ද, එසේ ම සැබෑ ලෙසම ධර්ම විනය ඥානයෙන් අග තැන්පත්ව මනා වූ ප්‍රතිපත්ති ධර්මයන්ගේ පිහිටා සම්බුදු සසුන බැබළවූ ගුරුදේවෝත්තම අති පූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහා ස්වාමින් වහන්සේට ද ලොවුතුරා බුදු පදවිය සුව සේ ලබන්නට හේතු වාසනා වේවා. අනෙකුත් අපවත් වී වදාළ සියලු මහ සඟ රුවණට ද, නමින් මිය ගිය සියලු ඤාති මිත්‍රාදීන්ට ද සුව සේ නිවන් සුව ලබන්නට හේතු වාසනා වෙත්වා.
තව ද වත්මන් සම්බුදු සසුනට ජීවය දෙමින් යට ගිය ප්‍රතිපත්ති මාර්ගයන් නිවැරදිව අනුගමනය කරමින් ලොවට දායාද කරමින් වයෝවෘද්ධ ච තපෝවෘද්ධ ච වැඩ සිටින බුරුම රට චිත්තල පබ්බත පා අවුක් තෝය්යා භාවනා මධ්‍යස්ථානාධිපති පරම පූජනීය උ ආචින්න (පා අවුක් සයාඩෝ) මහා ස්වාමින් වහන්සේට ද, වත්මන් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක අතිගරු පූජනීය පහලවිටියල ජනානන්දාභිධාන මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලු මහා සංඝ රත්නයට ද මේ උදාර කුසලය සුව සේ සියලු ධර්ම ප්‍රාර්ථනා සපල වී නිවන් සුව ලබන්නට හේතු වෙත්වා.
එසේම මෙම ග්‍රන්ථය සඳහා වටිනා පෙරවදනක් ලියා දෙමින් මෙහි අගය වර්ණනා කොට මහත් ශක්තියක් ලබා දුන් අපගේ කල්‍යාණ මිත්‍ර අති පූජනීය ලග්ගල කල්‍යාණවංශ මහා ස්වාමින් වහන්සේට ද සියවස් කලක් සම්බුද්ධ ශාසනයට ජීවය ලබා දෙමින් ඉතා පහසුවෙන් පාරමිතා ගුණ බෝධිපාක්ෂික ධර්ම සපුරා සුවසේ නිවන් සුව අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!
උතුම් ධර්මදානක් වශයෙන් මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීම සඳහා දායකත්වය පිණිස උපකාර කළ පූජ්‍ය අකුරල කල්‍යාණධම්ම ස්වාමීන්ගේ පියාණන් වන කළුදේව අබේසිරි සිල්වා මහතා ඇතුළු පවුලේ සියලුදෙනා ද, සත් ගුණවත් වෛද්‍ය නිලධාරී රාජිත මහත්මා ප්‍රධාන පවුලේ සැමට ද, කුරුණෑගල මොනාකී කාර් කෙයා පුද්ගලික සමාගමේ අධිපති ධර්මකාමී සත් ගුණවත් පින්වත් රුවන් මහින්ද පෙරේරා මහත්මාට ද, එම මැතිනියට ද, දියණිවරු දෙදෙනාට ද, දේවින්ද මහතා ඇතුළු පවුලේ සැමට ද නිදුක්ව නීරෝගී සුව දීර්ඝායුෂ සම්පත් අභිවර්ධනය වී ඉතා පහසුවෙන් පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම සපුරා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව ලබන්නට හේතු වේවා.
සුජීවත් ව වෙසෙන මව්පිය සොහොයුරු ඤාතීන්ට ද, සදේවක ලෝකවාසී සියලු සත්වයන්ට ද නමින් මිය ගිය සියලු ඤාති මිත්‍රාදීන්ට ද මෙම උදාර මහඟු කුසලය සුව සේ නිවන් සුව ලබන්නට හේතු වෙත්වා. !!!
මෙය ඉතා හොඳින් මුද්‍රණය කර දුන් අම්බලන්ගොඩ නිසංසලා මුද්‍රණාලයේ අධිපති ජී: එම් සේනානායක මහත්මා ප්‍රධාන සැමට ද, මේ සඳහා සම්බන්ධීකරණයෙන් බොහෝ උපකාර වූ පාඨශාලාචාර්ය්ය මංගල මහත්මා ප්‍රධාන පවුලේ සැමට ද නිදුක්ව නීරෝගීව ඉතා පහසුවෙන් පාරමිතා බෝධිපාක්ෂික ධර්ම සපුරා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව ලබන්නට හේතු වේවා.!!!
මෙයට සසුන් දියුණුව කැමති,
පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමි, ශ්‍රී ඤාණාරාම විවේකාශ්‍රමය, කහගොල්ල. දියතලාව.
මෙයට සසුන් දියුණුව කැමති,
පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමි,
ශ්‍රී ඤාණාරාම විවේකාශ්‍රමය,
කහගොල්ල. දියතලාව.