අග්ගඤ්ඤ සූත්‍රය - 2019.pdf
- කතෘ :
- නිකපිටියේ ගුණරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2019
- මුද්‍රිත වර්ෂය :
- 2019
- පිටු ගණන :
- 144
- බාගත කිරීම් ගණන :
- 1,035
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-06-06
- ගොනුවේ ප්‍රමාණය :
- 968 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අග්ගඤ්ඤ සූත්‍රය (ලෝකෝත්පත්ති වංශ කථාව) යනු දීඝ නිකායේ පාථික වර්ගයට අයත් අග්ගඤ්ඤ සූත්‍රය සහ එහි අටුවා-ටීකා ඇසුරෙන් ලෝකයේ සම්භවය, විකාශය හා සත්ත්වයාගේ ප්රභවය පිළිබඳව විස්තර කරමින් පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් සම්පාදිත ධර්ම ග්රන්ථයකි. බුද්ධ වර්ෂ 2562 (ක්‍රි.ව. 2019) දී මෙම කෘතිය ධර්ම දානය පිණිස මුද්‍රණය කරවා ඇත.
මෙහි ප්‍රථම ධර්ම සංගායනාව සහ සූත්‍ර නිදානය දැක්වීමෙන් අනතුරුව ලෝකෝත්පත්තිය, කල්ප විනාශය, ත්‍රිවිධ මහා කෝලාහල, සතර මහා අන්තර් කල්ප, රස පොළොව පහළ වීම, චන්ද්‍ර-සූර්ය ආදී ග්‍රහ වස්තූන්ගේ පහළ වීම, සත්ත්වයන්ගේ පිරිහීම හා වර්ණ භේදය ඇති වූ සැටිත්, මහා සම්මත රජුගේ පටන් සමාජ සංස්ථාවන් බිහි වූ අයුරුත් දීර්ඝ වශයෙන් විස්තර කොට ඇත. අවසානයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම විවරණයක් ද අන්තර්ගත වේ.
පෙරවදන
“පුණ්ණං චෙ පුරිසො කයිරා - කයිරාථෙතං පුනප්පුනං”
පිං කරන තැනැත්තා නැවත නැවත පිං කරයි
පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කිරීමෙහිද දහම් පොත් ලිවීමෙහි ද යන ධර්ම දානමය කුසල කර්මයන්හි නිතර නිතර යෙදෙයි. මෙවරද දායකයන්ගේ ඇරයුම පරිදි අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව දහම් පොතක් වශයෙන් ඉදිරිපත් කරයි. මෙම සූත්‍ර දේශනාව දීඝනිකායේ තුන්වැනි පොතෙහි සඳහන් සූත්රයකි. ලෝකයේ හටගැන්මත් එහි ව්‍යාප්තියත් පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ වාශිෂ්ඨයන්ට දේශනා කළ සේක. බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයාගේ මුවින් උපන්නේ යයි යන අදහස බිඳලමින් ඔවුන් ද සාමාන්‍ය ජනයා තුළින් ම ව්‍යාප්ත වූ කොටසක් බව දේශනා කළ සේක. මෙම දේශනාව පෙළෙහි වැඩි දීර්ඝ නොවුනත් පූජ්‍ය ගුණරතන ස්වාමින් වහන්සේ අටුවා ටීකා විස්තර ඇද ගනිමින් ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය. මෙය කියවන්නාට අටුවා ටීකා නො පෙරලා බොහෝ විස්තර පහසුවෙන් දැන ගත හැක.
පූජ්‍ය ගුණරතන ස්වාමින් වහන්සේට තව තවත් මෙවැනි දහම් පොත් ලිවීමට ශක්තිය බලය ලැබේවායි ආශිංසනය කරමි. මෙම ධර්ම දානමය කුසලය නිවන පිණිස ම උපනිඃශ්‍රය වේවා. මෙම දහම් පොත පරිශීලනය කරන සැමදෙනාටද නිවන් අවබෝධ වේවා. පූජ්‍ය ගුණරතන ස්වාමින් වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ට ද මේ කුසලය නිවන පිණිස උපනිඃශ්‍රය වේවා. දායක පක්ෂයට ද මෙම ධර්ම දානමය කුසලය නිවන් පිණිස ම හේතු-වේවා.
මේ වගට සසුන් ලැදි
පූජ්‍ය මීගොඩ සංඝසෝභන ස්ථවිර,
නා උයන ආරණ්‍ය සේනාසනය,
පන්සියගම, මැල්සිරිපුර.
හැඳින්වීම
කම්මං විපාකා වත්තන්ති තස්මා පුනබ්භවො හොති - විපාකො කම්මසම්භවො, - එවං ලොකො පවත්තතී’ති.
කයින් වචනයෙන් සිතින් සිදු කරගනු ලබන කුසලාකුසල කර්මයන් විපාක පිණිස පවතී. එම විපාකයන් ගෙන් නැවත කර්ම හට ගනී. ඒ හේතුවෙන් නැවත ඉපදීම සිදු වේ. මෙසේ සත්ව ලෝකය නො සිඳී පවතී.
කර්මය යනු චේතනාවට නමකි. අසූ නවයක් (89) වූ සියලු චිත්තයන්හි ම යම් අරමුණක් ගෙන සිතක් උපදී. එසේ ගනු ලබන අරමුණ චේතනාව නම් වේ. සත්ව සන්තානයෙහි හටගන්නා වූ සිත්හි ජවන කෘත්‍යය සිද්ධ කරමින් ද, විපාක උපදවමින් ද සියලු කුසලාකුසල සිත්හි යෙදෙන චේතනා චෛතසිකය ”කර්මය” නම් වේ.
ඒකාසූවක් (81) වූ ලෞකික සිත් අතරින් අකුසල සිත් දොළොස ය, කාමාවචර කුසල සිත් අට ය, රූපාවචර කුසල සිත් පස ය, අරූපාවචර කුසල සිත් සතර ය යන විසි නවයක් වූ සිත් කර්ම සිත් නම් වේ. මෙම කර්ම මහත් බවට සම්පූර්ණ බවට පැමිණි කල්හි ”කර්මපථ” නම් වේ. කර්මයන්ගෙන් උපදවන විපාක ”ප්රතිසන්ධි විපාක” හා ”ප්රවෘත්ති විපාක” යැයි දෙ වැදෑරුම් වේ. කාම රූප අරූප භවයන්ගෙන් යම් තැනක ප්රතිසන්ධිය ලබා දෙයි ද එය ”ප්රතිසන්ධි විපාක” නම් වේ. සුගති දුගතීන්හි උපනුපන් තැන්හි දී සැප දුක් විපාක ලබා දෙයි ද එය ”ප්රවෘත්ති විපාක” නම් වේ. ඒ අතරින් කර්මපථ බවට පැමිණියා වූ කර්මයන්ගෙන් ප්රතිසන්ධි විපාක හා ප්රවෘත්ති විපාක යන දෙකම ලබා දෙති. කර්මපථ බවට නොපැමිණියා වූ අසම්පූර්ණ කර්මයන්ගෙන් ප්රවෘත්ති විපාක පමණක් ලබා දෙයි.
යම් අරමුණක් ගෙන සිතක් උපදනා කල්හි ඒ සිතින් කරනු ලබන යම් ක්‍රියාවක් වෙයි ද, ඒ ක්‍රියාව කිරීමට උපකාර වන ලෙසට අනෙකුත් චෛතසික ධර්මයන් ද උපදවා ගෙන ම මේ චේතනා චෛතසිකය ඒ සිත සමගම උපදී. එසේ ම සත්වයන් උපනුපන් තැන්හි දී කළල රූපය, චක්ෂු සෝත ඝාණ ජිව්හා කාය ප්‍රසාද රූපයන් ද, හෘදයවස්තු රූපය භාව රූපය ජීවිතේන්ද්රිය රූපය යන මේ සියල්ලක් ම චේතනා නම් වූ කර්ම ශක්තියෙන් ම උපදවයි.
මෙලෙස කර්ම ශක්තිය විසින් නාම රූප ධර්ම උපදවමින් සෑම කල්හි පරම්පරා වශයෙන් සත්වයන් ගේ පැවැත්ම කර්ම නියාම ධර්ම නියාම චිත්ත නියාම යන නියාම ධර්මතා අනුව සිදු වෙති. යම් කල්පයක ආරම්භය පටන් කුසලාකුසල ධර්ම හේතුවෙන් සත්වයන් ගේ පිරිහීම හා දියුණුව සිදුවන ආකාරය ද, සත්වයන් ගේ පැවතුම් අනුව ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශූද්‍ර යන කුල වංශයන් හට ගන්නා ආකාරය ද, සම්මා සම්බුද්ධ ශාසනයක් ලොව පහළ වූ විටක සත් තිස් බෝධිපාක්ෂික ධර්ම භාවනා වඩා සසර දුකින් නිදහස් වීමේ ප්‍රතිපදාව ද පෙන්වා දෙමින් විශේෂයෙන් නිවනට පමුණුවන කුසල ධර්ම සිදු කිරීම තුළින් නිවනට පැමිණ දුක් අවසන් කරන බව ද පෙන්වා දෙමින් ධර්මය ම ශ්‍රේෂ්ඨ බව මෙම අග්ගඤ්ඤ සූත්‍රයෙන් පැහැදිලි වන්නේ ය.
මෙම අගනා ධර්ම ග්‍රන්ථය සැකසීම සඳහා දගම පදිංචි ජයම්පති දිසානායක මහත්මා ද, කාංචනා සඳමාලි දිසානායක, ශානිකා ලක්මාලි දිසානායක, ඉරේෂා හේමමාලි දිසානායක කාන්ති යන දූවරුන් ද, උපාලි නවරත්න, එල් ආර් ඒ එල් බණ්ඩාර යන බෑණාවරුන් ද, තම සියලුම සහෝදර සහෝදරියන් ද යන සියලු දෙනා ග්රන්ථ පන්සියයක් මුද්‍රණය සඳහා දායකත්වයෙන් උපකාර කරනු ලබන්නේ භාර්යාව වන අයිරාංගනීට වරම් මාලාව ලබාදුන් සියලුම මියගිය ඤාතීන්ට ද, සියලු දෙවියන්ට ද මියගිය තම ඤාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස හා දායකත්වයෙන් උපකාර කළ සැමට ත්රිලක්ෂණ චතුරාර්ය සත්‍යාවබෝධයෙන් සුව සේ නිවන් සුව ලබන්නට හේතු වේවා! යන ප්‍රාර්ථනාවෙනි. එසේ ම ගලේවෙල සිල්වත්ගම පදිංචි ඒ ඇම් මුතුබණ්ඩා මහතා, ඒ එල් බී රන්මාණිකේ, ඊ ජී වසන්තා සදනායක, ඩබ්ලිව් ජී සීතා කුමාරි, ඩබ්ලිව් ජී විමලාවතී, මාලී, ඉන්ද්‍රානි, කමලා ගොඩගේ, කුමාරි, කමලාවතී, සීලා එදිරිසිංහ, පේමාවතී, කුසුමාවති, ඊ ජී සුමනාවති, විජිතා කුමාරි, දමයන්ති, සුමනා යන මේ සියලුදෙනා ධර්ම ග්රන්ථ සියයක් සඳහා දායකත්වය දරනු ලබන්නේ නමින් මියගිය තම මව්පිය ඤාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි. මෙලෙස ධර්මදානමය මහා පින්කම සිදුකරන සැමගේ සියලු ප්‍රාර්ථනා මුදුන්පත් වී සැප ප්‍රතිපදාවෙන් නිවන් සුව ලබන්නට හේතු වේවා.
බුරුම රට චිත්තල පබ්බත පා අවුක් තෝ්යා භාවනා මධ්‍යස්ථානාධිපති අග්ග මහා කර්මස්ථානාචාර්යය අති පූජනීය ඌ ආචිණ්ණ මහා ස්වාමින් වහන්සේට ද, ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ වත්මන් ප්‍රධාන අනුශාසක අති පූජනීය පහලවිටියල ජනානන්දාභිධාන මහා ස්වාමින් වහන්සේට ද, නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ප්රධානාචාර්යය අති පූජනීය මීගොඩ සංඝසෝභන මහා ස්වාමින් වහන්සේට ද, එසේ ම නා උයන ආරණ්‍යයෙහි ප්‍රධාන කර්මස්ථානාචාර්ය්ය අති පූජනීය අඟුල්ගමුවේ අරියනන්ද මහා ස්වාමින් වහන්සේට ද, මෙම අගනා ග්රන්ථයෙහි සෝදුපත් බලා නිවැරදි කොට දුන් නා උයන ආරණ්‍ය වාසී විනයාචාර්‍ය්‍ය පූජ්‍ය නාවලපිටියේ නාරද ස්වාමින් වහන්සේට ද, නා උයන ආරණ්‍ය වාසී වූ ද, යෝගාශ්‍රම සංස්ථා වාසී වූ ද, ලංකා වාසී වූ ද, ලෝකවාසී වූ ද සියලු මහා සංඝ රත්නයට ද, සම්බුදු සසුන සීල සමාධි ප්‍රඥා ආදී සසුන් පිළිවෙත් ගුණයන්ගෙන් බබුළුවමින් සුව සේ පාරමී ගුණ බෝධිපාක්ෂික ධර්ම සපුරා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව ලබන්නට හේතු වාසනා වෙත්වා! මව්පිය ඤාති මිත්‍රාදීන්ට ද, දායක කාරකාදී පින්වත් සැමට ද, ශාසනාරක්ෂක ලෝක පාලක ආත්මාරක්ෂක දිව්‍යරාජ මණ්ඩලයට ද, අනෙකුත් සදේවක ලෝකවාසී සත්වයන්ට ද සුව සේ නිවන් සුව ලබන්නට හේතු වාසනා වෙත්වා! මෙම ග්‍රන්ථය මනාව මුද්‍රණය කර දුන් යක්කල දිමුතු මුද්‍රණාලයෙහි අධිපති තුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයෙහි සැමට ද සියලු සම්‍යක් ප්‍රාර්ථනා ජය ගෙන සුවසේ ම නිවන් සුව ලබන්නට හේතු වාසනා වෙත්වා!
මෙයට මෙත්සිතින්, නිකපිටියේ ගුණරතන හිමි, නා උයන ආරණ්‍යය. පන්සිය ගම, මැල්සිරිපුර.
නිකපිටියේ ගුණරතන හිමි,
නා උයන ආරණ්‍යය.
පන්සිය ගම, මැල්සිරිපුර.