විශුද්ධිමාර්ගය සන්නය 4 - පරාක්‍රමබාහු රජු, බෙන්තර ශ්‍රද්ධාතිස්ස හිමි 1955.pdf

කතෘ :
පරාක්‍රමබාහු රජු
ප්‍රකාශිත වර්ෂය :
1955
මුද්‍රිත වර්ෂය :
1955
පිටු ගණන :
345
බාගත කිරීම් ගණන :
448
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-26
ගොනුවේ ප්‍රමාණය :
107 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 173

භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් විරචිත විශුද්ධිමාර්ගය නම් උතුම් භාවනා ග්‍රන්ථයට කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු (දෙවන පරාක්‍රමබාහු) රජු විසින් රචිත මහා සන්නයෙහි සිව්වන හා අවසාන භාගයයි.

මෙම කාණ්ඩයට විශුද්ධිමාර්ගයේ අටළොස් වන දෘෂ්ටිවිශුද්ධි නිද්දේශයෙහි සිට විසිතුන්වන ප්‍රඥාභාවනානිශංස නිද්දේශය දක්වා වූ අවසාන නිද්දේශ හයෙහි පෙළ සහ සන්නය ඇතුළත් වේ. බෙන්තර ශ්‍රද්ධාතිෂ්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංශෝධනය කරන ලදුව, කේ. ජේ. පීරිස් මහතාගේ ප්‍රකාශනයෙන් කළුතර විද්‍යුතිලක යන්ත්‍රාලයේ බු.ව. 2498 (ක්‍රි.ව. 1955) දී මුද්‍රණය කර ඇත.

හැඳින්වීම

ථේරවාදීන්ගේ ප්‍රධානතම භාවනා ක්‍රමය සමථ පූර්වාංගම වූ විදර්ශනාවයි. විශේෂයෙන්ම අභිධර්‍ම පිටකයෙහි ආ අටතිස් කර්‍මස්ථානයෝම සමථ භාවනාවෙහි ඇතුලත්හ. ශුෂ්ක විදර්ශනා භාවනාවද ථේරවාදයට පටහැනි නොවේ. “යස්මිං සමයේ ඛීණාසවෝ රූපපත්තියා මග්ගං භාවේති” ආදි වශයෙන් ධම්මසංගණියෙහිම පැමිණෙන බැවින් එය පෙළට අදාළහ. ත්‍රිපිටකය පුරාවටම පැතිර පවත්නා මෙම භාවනා ක්‍රම විධි අධ්‍යයනයකොට ඔවුන් වැඩීමට පටන් ගතහොත් බහුතරයකට එය බොහෝ අසීරු වනු ඇත. එබැවින් ඉපැරණි ථේරවාදී මහාවිහාරීය භික්ෂූහු ඔවුන් වැඩීමෙහිලා අත්‍යන්තයෙන් සම්භාවිත කළ භාවනා ග්‍රන්ථ ප්‍රවේණිය නම් විසුද්ධි මාර්ගයයි. පෙළෙහි ඒ ඒ තැන පැමිණි සියළු භාවනා කමටහන් සහ භාවනා නය, එක් තැනකට පිඬුකරමින් කළ අගනා කෘතියක් ලෙස එදා මෙදාතුර මහාවිහාරීය ථේරවාදීන් අතර එය සම්භාවිතයහ. ඇතැම් විටක නිකායාන්තරිකයෝ ද එයට දැක්වූ, එසේම අදටත් දක්වන ගෞරවාදරය හා භක්තිය සුළුපටු නොවේ.

විසුද්ධි මාර්ගය සිංහල දේශය සතු ග්‍රන්ථයක් වුවද ථේරවාදී බලකොටු අතරෙන් එක් දැවැන්තයෙකු ලෙස සැළකෙන බුරුම රටෙහි එයට දැක්වෙන බහුමානය අන්හැම රටක්ම පරයා සිටින සෙයක් පෙනේ. මේ සිංහල දේශයේ ද ඉපැරණි මහාවිහාරීය ප්‍රවේණි ගරුක භික්ෂූහු අදටත් විසුද්ධි මාර්ගයට දක්වන ගරුත්වය හා බහුමානය පෙර මහරහතුන් ගත් මග සිහිගන්වත්.

මේ උතුම් ග්‍රන්ථය ලේඛණයක් වශයෙන් පිළිවෙලකට ගොණු වී එලි දැක්වුනේ පස්වන ශතවර්‍ෂයේ පමණ මහානාම රජු දවස භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ඇදුරුපාණන් අතිනි. ඒ වන විට ද විසුද්ධි මාර්ගයෙහි දැක්වෙන පාළි ආගත සියළු භාවනා විධීන් මහාවිහාරීය භික්ෂූන් විසින් දරාගෙන එනු ලැබ තිබිණි. අඩුපාඩුව වූයේ පිළිවෙලකට විස්තාරීව ලිඛිත ග්‍රන්ථයක ආකාරයෙන් නොතිබීම පමණකි. මහාවිහාරීයන් සතුව විමුත්ති මග්ග නමැති සංක්ෂිප්ත භාවනා ග්‍රන්ථයක් තිබී ඇති බවක් පෙනේ. නමුත් එය අද නාම මාත්‍රයට පමණක් සීමා වී ඇත. අද දවසේ ද විමුත්ති මාර්ගය නම් ග්‍රන්ථයක් ඇත. එය සැබෑ මහාවිහාරීය විමුත්ති මාර්ගය නොවේ. අභයගිරිකයන්ගේ විපරීත මතයෙන් දූෂිත නිකායාන්තරික ග්‍රන්ථයකි. ඇතැමුන් මෙය මහාවිහාරීය විමුත්ති මාර්ගය යැයි පටලවා ගන්නා බව බහුලව දැකිය හැක. මහාවිහාරීයන් සතුව තිබූ විමුත්ති මාර්ගය නම් ග්‍රන්ථයේ අද ශේෂව ඇත්තේ නාම මාත්‍ර පමණකි.

එබැවින් මහාවිහාරීය විමුත්ති මාර්ගයෙහි සාරය ද ගෙන පාළියට අනුරූපීව කළ විස්තාර භාවනා ග්‍රන්ථය විසුද්ධි මාර්ගයයි. එම ග්‍රන්ථකරණයෙහි නිදානය විසිතුරුය.

සිංහල අටුවා මාගධී භාෂාවට නැංවීමේ වගකීමෙන් පැවරුම් ලැබ, එම උතුම් සත්කාර්යය ඉටුකරණු පිණිස සිංහල දේශප්‍රාප්ත භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ස්වාමීහු මහාවිහාරයට පැමිණ, මහාවිහාරීය භාරධාරී සංඝ පිතෲන් පයිරුපාසනය කරමින් මහාවිහාරීය ධර්මවිනය විනිශ්චයන් පිළිබඳ කෝටිප්‍රාප්තව, සිංහල අටුවා මාගධියට නැංවීමට මහාවිහාරීය සංඝ භාරධාරීන් වෙතින් අවසර පැතූහ. මහාවිහාරීය සංඝ භාරධාරීහු ද මෙතුමන්ගේ තත්සාමාර්ථ්‍යය පිරික්සමින් සංයුක්තසංගියෙහි දේවතාසංයුක්තයෙහි ගාථාවකට විස්තර වර්ණනා සැපයීමේ කාර්යය බාර කළහ. විසුද්ධි මාර්ගය සම්පාදනයටම පිරූ පෙරුම් දහම් ඇත්තා සේ මේ මහා ස්වාමීහු මහාවිහාරීයන්ගේ භාවනා නය හා විධි ඇතුලත් කරමින් තුන්පිටකයටම අර්ථ වර්ණනාවක් බදුව මෙම මහා කෘත්‍යය සම්පාදනය කළහ. අනේක දේව ආශ්චර්යයන් මධ්‍යයේ එම ග්‍රන්ථය මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබීමෙන් අනතුරුව මෙතුමන්ගේ ධර්මවිනය විග්‍රහයන් හා ඒ සම්බන්ධ පාණ්ඩිත්වය පිළිබඳ විශ්මයට පත් සංඝපාල මහා ථේරපාණන් ප්‍රමුඛ මහාවිහාරීය මහා සංඝ ස්ථවිරවරු සිංහල අටුවා මාගධියට පරිවර්තනය කිරීමේ එම ඓතිහාසික සත් කාර්යය භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ථෙරපාණන් වෙත බාරදුන්හ.

මෙසේ මහාවිහාරීය ග්‍රන්ථ සංහිතයට සම්ප්‍රාප්ත වූ විසුද්ධි මාර්ගය එදා මෙදාතුර අනේක ශතසහස්‍ර වෙනෙය්‍ය ජනයා හට නිවන් මග පසක් කරලීමෙහි මහෝපකාරී වූහ. විසුද්ධි මාර්ගයෙහි ප්‍රයෝජ්‍යතාවය වඩා පාථුල කරමින් පසුකාලීනව ඊට ටීකා සන්න ආදිය රැසැයින. ඒ අතුරෙන් දඹදෙණි යුගයෙහි විසූ කලිකාල සාහිත්‍ය සර්වඥ පරාක්‍රමබාහු මහීපාලයන් අතින් විරචිත විසුද්ධි මාර්ග මහා සන්නය අතිශය ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තාහ.

පැරණි ග්‍රන්ථ පුනර්මුද්‍රණ අහේණියක් හැත්තෑව දශකයෙන් පමණ පසුව දශක තුනක් පමණ පැවතියෙන් මෙබඳු ග්‍රන්ථ පැරණි විහාර වල පොත් ගුල් තුලම සිරවී සිටින සෙයක් අදටත් දක්නට ඇත. ඇතැම් ග්‍රන්ථ සම්බන්ධව එම තත්ත්වය පුනර්මුද්‍රණයෙන් තරමක් දුරට පහව යනු පෙනෙතත්, විසුද්ධි මාර්ග මහා සන්නය සම්බන්ධව වූ එම ශෝකාන්තයට විරාමය තවම එළඹ නැති සෙයකි.

එබඳු තත්වයක් යටතේ අගලවත්ත, කිතුල්ගොඩ අරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ අප්‍රතිහත උනන්දුවෙන් එය පුනර්මුද්‍රණයකට ලක්වෙනුයේ, අදටත් වෙසෙන ඉපැරණි ථේරවාදී මහාවිහාරීය භික්ෂූන් හට යම් පමණකට හෝ උපකාර වීමේ පුණ්‍ය අභිලාෂයෙනි. උන්වහන්සේලාගේ එම අභිලාෂය මල්ඵලගැන්වුනා යැයි මට සිතේ.

මෙම උතුම් ග්‍රන්ථය පුනර්මුද්‍රණය කිරීමෙන් ලත් කුසලය කිතුල්ගොඩ අරණ්‍ය සේනාසනයේ භික්ෂූන් හට නිවන් පිණිස හේතු වේවා! දායක කළ සැමට ද නිවන් පිණිස හේතු වේවා!

නුවරඑළියේ ඤාණසීල මහා ස්ථවිර වම්හ.
රණගිරිලෙන අරණ්‍ය සේනාසනය,
දේවගිරිය,
දිද්දෙණිය,
මැල්සිරිපුර.
ශ්‍රී.බු.ව. 2560 (2016) වප් මස (ඔක්තෝබර්) 01වන දින දීය.

සංඥාපනය.

මහා සන්‍යය සහිත විශුද්ධි මාර්ගය නමැති මේ ග්‍රන්ථයෙහි කාණ්ඩ තුනක් මෙයට ප්‍රථම මුද්‍රණයෙන් ප්‍රසිද්ධියට පමුණුවාලීමු. මෙය එහි සතර වන= (අවසාන) කාණ්ඩය යි. මෙහි විශුද්ධි මාර්ගයේ අටළොස් වන දෘෂ්ටිවිශුද්ධි නිද්දේශය පටන් තෙ විසිවන= (අන්තිම) ප්‍රඥාභාවනානිශංස නිද්දේශය තෙක් නිද්දේශ ෂට්කයෙහි පෙළ ත් එයට අයිති පරාක්‍රමබාහු මහා සන්‍යය ත් ඇතුළත් වෙති.

පළමු කාණ්ඩ තුන මෙන් ම මේ සතර වන කාණ්ඩය ද සංවර්ණිත පදාදිය පිළිබඳ අකාරාදිය, ශුද්ධිපත්‍රය, පටුන යන අවයවයන්ගෙන් සරහා මෙසේ ප්‍රසිද්ධ කරවීමෙන් මෙසා විශාල පොතක් නොබෝ කලකින් ම සම්පූර්ණ කොට උද්ද්‍රහණ ධාරණාභිලාෂීන්ගේ හස්තප්‍රාප්ත කිරීම පිළිබඳව ධර්මශාස්ත්‍රාභිවෘද්ධි කාමී සියලු සුධීහු ම සතුටු වෙත්‍යයි සිතම්හ.