විශුද්ධිමාර්ගය සන්නය 3 - පරාක්රමබාහු රජු, බෙන්තර ශ්රද්ධාතිස්ස හිමි 1954.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1954
- මුද්රිත වර්ෂය :
- 1954
- පිටු ගණන :
- 569
- බාගත කිරීම් ගණන :
- 453
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-26
- ගොනුවේ ප්රමාණය :
- 181 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත විශුද්ධිමාර්ගය සහ ඊට දඹදෙණි යුගයේ වැඩවිසූ කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්රමබාහු රජතුමන් විසින් රචිත මහා සන්නය ඇතුළත් ග්රන්ථ මාලාවේ තෘතීය භාගය මෙයයි. 1954 දී බෙන්තර ශ්රද්ධාතිෂ්ය මහා ස්ථවිරයන් වහන්සේගේ සංස්කරණයෙන් මෙය ප්රකාශයට පත් කර ඇත.
මෙම වෙළුමට විශුද්ධිමාර්ගයේ 12 වන නිර්දේශයේ සිට 17 වන නිර්දේශය දක්වා කොටස් අන්තර්ගත වන අතර, ඉද්ධිවිධ, අභිඤ්ඤා, ඛන්ධ, ආයතන ධාතු, ඉන්ද්රිය සච්ච සහ පටිච්චසමුප්පාද යන පරම ගම්භීර ධර්ම විනිශ්චයන් පාළි පෙළ සහ සිංහල සන්නය සහිතව විස්තරාත්මකව දක්වා ඇත. පෙර පැවති මුද්රණවල සහ පුස්කොළ පිටපත්වල පැවති දෝෂ සසඳා බලා ශෝධනය කර ඇති අතර පොත අගට විස්තරාත්මක ශබ්ද සූචියක් ද ඇතුළත් කර ඇත.
මෙහි ප්රධාන පරිච්ඡේද පහත දැක්වේ:
- ඉද්ධිවිධ නිද්දෙසො - 12
- අභිඤ්ඤා නිද්දෙසො - 13
- ඛන්ධ නිද්දෙසො - 14
- ආයතනධාතු නිද්දෙසො - 15
- ඉන්ද්රියසච්ච නිද්දෙසො - 16
- පටිච්චසමුප්පාද නිද්දෙසො - 17
හැඳින්වීම
ථේරවාදීන්ගේ ප්රධානතම භාවනා ක්රමය සමථ පූර්වාංගම වූ විදර්ශනාවයි. විශේෂයෙන්ම අභිධර්ම පිටකයෙහි ආ අටතිස් කර්මස්ථානයෝම සමථ භාවනාවෙහි ඇතුලත්ය. ශුෂ්ක විදර්ශනා භාවනාවද ථේරවාදයට පටහැනි නොවේ. ‘’යස්මිං සමයේ ඛීණාසවෝ රූපපත්ති යා මග්ගං භාවේති’’ ආදි වශයෙන් ධම්මසංගණියෙහිම පැමිණෙන බැවින් එය පෙළට අදාළය. ත්රිපිටකය පුරාවටම පැතිර පවත්නා මෙම භාවනා ක්රම විධි අධ්යයනය කොට බවුන් වැඩීමට පටන් ගතහොත් බහුතරයකට එය බොහෝ අසීරු වනු ඇත. එබැවින් ඉපැරණි ථේරවාදී මහාවිහාරීය භික්ෂූහු බවුන් වැඩීමෙහි ලා අත්යන්තයෙන් සම්භාවිත කළ භාවනා ග්රන්ථ ප්රවේණිය නම් විසුද්ධි මාර්ගයයි. පෙළෙහි ඒ ඒ තැන පැමිණි සියළු භාවනා කමටහන් සහ භාවනා නය, එක් තැනකට පිඩුකරමින් කළ අගනා කෘතියක් ලෙස එදා මෙදාතුර මහාවිහාරීය ථේරවාදීන් අතර එය සම්භාවිතයහ. ඇතැම් විටක නිකායාන්තරිකයෝ ද එයට දැක්වූ, එසේම අදටත් දක්වන ගෞරවාදරය හා භක්තිය සුළුපටු නොවේ.
විසුද්ධි මාර්ගය සිංහල දේශය සතු ග්රන්ථයක් වුවද ථේරවාදී බලකොටු අතරෙන් එක් දැවැන්තයෙකු ලෙස සැළකෙන බුරුම රටෙහි එයට දැක්වෙන බහුමානය අන්හැම රටක්ම පරයා සිටින සෙයක් පෙනේ. මේ සිංහල දේශයේ ද ඉපැරණි මහාවිහාරීය ප්රවේණි ගරුක භික්ෂූහු අදටත් විසුද්ධි මාර්ගයට දක්වන ගරුත්වය හා බහුමානය පෙර මහ රහතුන් ගත් මග සිහිගන්වත්.
මේ උතුම් ග්රන්ථය ලේඛනයක් වශයෙන් පිළිවෙලකට ගොණු වී එලි දැක්වුනේ පස්වන ශතවර්ෂයේ පමණ මහානාම රජු දවස භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ඇදුරුපාණන් අතිනි. ඒ වන විට ද විසුද්ධි මාර්ගයෙහි දැක්වෙන පාළි ආගත සියළු භාවනා විධීන් මහා විහාරීය භික්ෂූන් විසින් දරාගෙන එනු ලැබ තිබිණි. අඩුපාඩුව වූයේ පිළිවෙලකට විස්තාරීව ලිඛිත ග්රන්ථයක ආකාරයෙන් නොතිබීම පමණකි. මහා විහාරීයන් සතුව විමුත්ති මග්ග නමැති සංක්ෂිප්ත භාවනා ග්රන්ථයක් තිබී ඇති බවක් පෙනේ. නමුත් එය අද නාම මාත්රයට පමණක් සීමා වී ඇත. අද දවසේ ද විමුත්ති මාර්ගය නම් ග්රන්ථයක් ඇත. එය සැබෑ මහා විහාරීය විමුත්ති මාර්ගය නොවේ. අභයගිරිකයන්ගේ විපරීත මතයෙන් දූෂිත නිකායාන්තරික ග්රන්ථයකි. ඇතැමුන් මෙය මහා විහාරීය විමුත්ති මාර්ගය යැයි පටලවා ගන්නා බව බහුලව දැකිය හැක. මහා විහාරීයන් සතුව තිබූ විමුත්ති මාර්ගය නම් ග්රන්ථයේ අද ශේෂව ඇත්තේ නාම මාත්ර පමණකි.
එබැවින් මහා විහාරීය විමුත්ති මාර්ගයෙහි සාරය ද ගෙන පාළියට අනුරූපීව කළ විස්තාර භාවනා ග්රන්ථය විසුද්ධි මාර්ගයයි. එම ග්රන්ථකරණයෙහි නිදානය විසිතුරුය.
සිංහල අටුවා මාගධී භාෂාවට නැංවීමේ වගකීමෙන් පැවරුම් ලැබ, එම උතුම් සත්කාර්යය ඉටුකරණු පිණිස සිංහල දේශප්රාප්ත භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ස්වාමීහු මහා විහාරයට පැමිණ, මහා විහාරීය භාරධාරී සංඝ පිතෲන් පයිරුපාසනය කරමින් මහා විහාරීය ධර්මවිනය විනිශ්චයන් පිළිබඳ කෝටිප්රාප්තව, සිංහල අටුවා මාගධියට නැංවීමට මහා විහාරීය සංඝ භාරධාරීන් වෙතින් අවසර පැතූහ. මහා විහාරීය සංඝ භාරධාරීහු ද මෙතුන්ගේ තත්සාමාර්ථ්යය පිරික්සමින් සංයුක්තසංගියෙහි දේවතා සංයුක්තයෙහි ගාථාවක් හට විස්තර වර්ණනා සැපයීමේ කාර්යය බාර කළහ. විසුද්ධි මාර්ගය සම්පාදනයටම පිරූ පෙරුම් දහම් ඇත්තා සේ මේ මහා ස්වාමීහු මහා විහාරීයන්ගේ භාවනා නය හා විධි ඇතුලත් කරමින් තුන්පිටකයටම අර්ථ වර්ණනාවක් බදුව මෙම මහා කෘත්යය සම්පාදනය කළහ. අනේක දේව ආශ්චර්යයන් මධ්යයේ එම ග්රන්ථය මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබීමෙන් අනතුරුව මෙතුමන්ගේ ධර්මවිනය විග්රහයන් හා ඒ සම්බන්ධ පාණ්ඩීත්වය පිළිබඳ විශ්මයට පත් සංඝපාල මහා ථේරපාණන් ප්රමුඛ මහා විහාරීය මහා සංඝ ස්ථවිරවරු සිංහල අටුවා මාගධියට පරිවර්තනය කිරීමේ එම ඓතිහාසික සත් කාර්යය භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ථේරපාණන් වෙත බාරදුන්හ.
මෙසේ මහා විහාරීය ග්රන්ථ සංහිතයට සම්ප්රාප්ත වූ විසුද්ධි මාර්ගය එදා මෙදාතුර අනේක ශතසහස්ර වෙනෙය්ය ජනයා හට නිවන් මග පසක් කරලීමෙහි මහෝපකාරී වූහ. විසුද්ධි මාර්ගයෙහි ප්රයෝජ්යතාවය වඩා පාථුල කරමින් පසුකාලීනව ඊට ටීකා සන්න ආදිය රැසැයින. ඒ අතුරෙන් දඹදෙණි යුගයෙහි විසූ කලිකාල සාහිත්ය සර්වඥ පරාක්රමබාහු මහීපාලයන් අතින් විරචිත විසුද්ධි මාර්ග මහා සන්යය අතිශය ගෞරවාදරයට පාත්ර වී ඇත්තාහ.
පැරණි ග්රන්ථ පුනර්මුද්රණ අහේණියක් හැත්තෑව දශකයෙන් පමණ පසුව දශක තුනක් පමණ පැවතියෙන් මෙබඳු ග්රන්ථ පැරණි විහාර වල පොත් ගුල් තුලම සිරවී සිටින සෙයක් අදටත් දක්නට ඇත. ඇතැම් ග්රන්ථ සම්බන්ධව එම තත්ත්වය පුනර්මුද්රණයෙන් තරමක් දුරට පහව යනු පෙනෙතත්, විසුද්ධි මාර්ග මහා සන්යය සම්බන්ධව වූ එම ශෝකාන්තයට විරාමය තවම එළඹ නැති සෙයකි.
එබඳු තත්වයක් යටතේ අගලවත්ත, කිතුල්ගොඩ අරණ්ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ අප්රතිහත උනන්දුවෙන් එය පුනර්මුද්රණයකට ලක්වෙනුයේ, අදටත් වෙසෙන ඉපැරණි ථේරවාදී මහා විහාරීය භික්ෂූන් හට යම් පමණකට හෝ උපකාර වීමේ පුණ්ය අභිලාෂයෙනි. උන්වහන්සේලාගේ එම අභිලාෂය මල්ඵලගැන්වුනා යැයි මට සිතේ.
මෙම උතුම් ග්රන්ථය පුනර්මුද්රණය කිරීමෙන් ලත් කුසලය කිතුල්ගොඩ අරණ්ය සේනාසනයේ භික්ෂූන් හට නිවන් පිණිස හේතු වේවා ! දායක කළ සැමට ද නිවන් පිණිස හේතු වේවා !
මේ වගට ශාසනස්ථිතිකාමී, නුවරඑළියේ ඤාණසීල මහා ස්ථවිර වම්හ.
නුවරඑළියේ ඤාණසීල මහා ස්ථවිර වම්හ., රණගිරිලෙන අරණ්ය සේනාසනය, දේවගිරිය, දිද්දෙණිය, මැල්සිරිපුර. ශ්රී.බු.ව. 2560 (2016) වප් මස (ඔක්තෝබර්) 01වන දින දීය.
විඤ්ඤාපනය
අට්ඨකථාචාර්ය්ය අනුබුද්ධ බුද්ධඝොෂ මහා ස්වාමීන්ද්රයන් නිර්දෙශ= (පරිච්ඡෙද) තෙවිස්සකින් විභාග කොට සඬග්රහ කළ විශුද්ධිමාර්ග නමැති මහා ග්රන්ථරත්නයෙහි සහ එයට ද්විතීය පණ්ඩිත පරාක්රම බාහු මහීපාලයන් ලියූ මහා සන්යයෙහි ත් භාග දෙකක් මීට ප්රථම ප්රසිද්ධ කරවීමු. මේ එහි තෘතීය භාගය යි. මෙහි දොළොස් වන ඉද්ධිවිධ නිර්දෙශය පටන් සතළොස් වන ප්රත්යයොත්පත්ති= (ප්රතීත්යසමුත්පාද) නිර්දෙශය තෙක් නිර්දෙශ සයේ පාළියත් එයට අයත් මහා සන්යයත් අන්තර්ගත යි.
අපගේ ප්රථම–ද්විතීය භාගද්වයෙහි මෙන් ම මේ තෘතීය භාගයෙහි ද සවිස්තර විෂය සූචිය සහ ශුද්ධිපත්රය පොතට මුලිනුත්, මෙහි ඇතුළත් පාලි–සන්ය දෙකේ ම පැනෙන ස්ථාන–ප්රදෙශ, ග්රන්ථාන්තර නාම සහ සංවර්ණිත පද අකාරාදි ක්රමයෙන් පිළිවෙළ කොට අගිනුත් යෙදුවෙමු. එහි එක තැනෙක පමණක් පැනෙන වචන අගින් ඒ වචනය සඳහන් පිටේ සහ පෙළේ සංඛ්යා අංක දෙක පමණක් ද කීප පොලක පැනෙන වචන අගින් ඒ ඒ පිටු–පේළි වශයෙන් සංඛ්යාංක කීපයක් ද සඳහන් කර ඇති බව සලකවමු.
මීට පෙර මුද්රිත කාණ්ඩ අටකින් සම්පූර්ණව තිබෙන පාලි–සන්න–භාවසන්න තුනෙන් යුක්ත විශුද්ධිමාර්ගයේ එකසිය තෙසැත්තැ (173) වන පිටේ සිට සතර වන භාගය ද සම්පූර්ණ පස් වන–ස වන භාග දෙක සහ එකසිය සතළිස් (140) වන පිට දක්වා සත් වන භාගය ද යන එම කාණ්ඩ සතරේ භාවසන්න හැර පාලි–සන්ය දෙක මේ අපගේ එක ම තෘතීය භාගයෙහි අන්තර්ගත බව දත යුතු යි.
ඉද්ධිවිධ නිර්දෙශයෙහි මුල පටන් 915 පිටේ නෝට් ලකුණ දක්වා සන්යය ඇයි. ධර්මරත්න පඬිතුමාටත් නො ලැබුණු බව එ තුමා සංස්කරණය කළ සතර වන කාණ්ඩයේ 185 පිටේ නෝට් එකේ සඳහන් කර තිබෙනු දැක පැරණි සන්යය ම සොයා මෙහි යොදන අදහසින් බොහෝ පළාත්වල ඇවිද සන්ය පොත් රැසක් ම බැලූ නමුත් ඒ සියල්ලෙහි ම ඉද්ධිවිධ නිර්දෙශයේ “චතුත්ථානතො යොගී, පැමිණෙනලද චතුර්ත්ථධ්යාන ඇති යොගී තෙමෙ;” යන පාලි පදයෙන් හා අරුත් පදයෙන් පටන්ගැන්ම තිබෙන සේ දැක එහි “පැමිණෙනලද” යි අරුත් ලියූ “අධිගත” ශබ්දය පවා ඌන හෙයින් සන්යකර්තෘ තුමා ලියූ හැටි ම නො ව පසු ව වූ හානියෙකැයි සැලකීමට අවකාශ වූයෙන් ධර්මරත්න පඬිතුමා ලියූ සන්යයත් බලා ටීකානුසාරයෙන් එම සන්ය කොටස ලියා යෙදූ බව එම නෝට් ලකුණෙන් ප්රකාශ කෙළෙමු. ඒ හැර අපට ලැබුණු පැරණි පුස්කොළ පොත් සියල්ලෙහි ම එකාකාර ව පැනෙන සන්යකර්තෘහු විසින් අරුත් බිණීමට නො ඉඳුරු පෙළේ පැනෙන පාඨවලට අපි අරුත් ලියා සන්යයෙහි ඇතුළත් කිරීමෙනුත් “පෙය්යාලං” කළ වගන්ති විදහා පෑමෙනුත් විශුද්ධිමාර්ග මහා සන්ය පුස්කොළ පොත් හා අපගේ සංස්කරණය විසදෘශ කිරීමට අදහස් නො කෙළෙමු.
මේ තුන් වන කාණ්ඩයෙහි ඇතුළත් නිර්දෙශ සයෙන් ස්කන්ධ–ආයතන ධාතු–ඉන්ද්රිය සත්ය–ප්රත්යය භූමි නිර්දෙශ සතර ම ගම්භීර ධර්ම නිර්දෙශ වුව ද ඉනුත් පරම ගම්භීර වූ ස්කන්ධ–ප්රත්යයභූමි නිර්දෙශද්වය මේ මහා සන්යයෙහි අතිවිස්තාරිත යි. සන්ය කර්තෘ වූ රජතුමෝ එ කල ප්රචලිත ව පැවැති නානාවිධ ග්රන්ථාන්තරයන්ගෙන් නිදර්ශන ආකර්ෂණය කරන්නේ ඉන් සමහර පොතෙක හෝ කර්තෘගේ හෝ නාමය සඳහන් කළහ. සමහරෙක එසේ නම් සඳහන් නො කළහ. නම් සඳහන් කළ පොත් අතුරෙන් ද බොහොමයක් මේ කල නාම ශෙෂ ව ම පවත්නා බැවින් එ බඳු ස්ථාන සංස්කරණය අති දුෂ්කරය. එ හෙයින් ම ප්රථම සංස්කරණයේ එ බඳු බොහෝ තැන් අශුද්ධ ලෙස ම යොදා තිබෙන බව සුධීන්ට ප්රත්යක්ෂ ව ඇතැයි සිතමු. පුස්කොළ පොත්හි තිබී ඉවත් කළ– වෙනස් කළ තැන් අපගේ මේ සංස්කරණය හා සසඳා බැලීමේදී මනා ව අවබෝධ වේ යයි සිතමු.
එබඳු ලෙඛක දොෂ දූෂිතස්ථානයන් පුස්කොළ පොත් ම ඉතා පරීක්ෂාවෙන් නැවත නැවත බැලීමෙනුත් ටීකාව හා සසඳා බැලීමෙනුත් විද්යොදය පරිවෙණාධිපති පණ්ඩිතාචාර්ය්ය ශ්රී බද්දෙගම පියරතනාභිධාන මාහිමියන් වහන්සේගෙන් හා එහි ම උපප්රධානාචාර්ය පණ්ඩිත වැලිවිටියේ සොරත ස්ථවිර තුමන්ගෙන් ද ලැබුණු උපදෙශාශ්රයෙනුත් බොහෝ සෙයින් සංස්කරණය කෙළෙමු. මුද්රණයෙන් පසු ව ත් ඉතිරි ව දකින්නට ලැබුණු දොෂස්ථාන ශුද්ධිපත්රයේ සඳහන් කෙළෙමු. අපට නො පෙනී ශෙෂ ව තිබෙන තවත් දොෂස්ථාන ඇතහොත් මෙය භාවිත කරණ සුධීන් විසින් ධර්ම ශාස්ත්රාලයෙන් අවසාන කාණ්ඩය පළ කරවීමට පෙර අප වෙත දනුම් දුන හොත් එහි ශුද්ධිපත්රයට ඇතුළත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු.
මෙහි ද්විතීය භාගය ප්රසිද්ධ කරවා ටික කලක් මේ තෘතීය භාගය ප්රසිද්ධ කරවීමට කඩදාසි දුර්ලභත්වය නිසා අතපසු වූ නමුත් සතර වන භාගය ත් සෑහෙන තරමට මේ භාගය මුද්රිත වර්ගයේ ම කඩදාසි පිට රට්න් එක වර ම ගෙන්නවා ගත් බැවින් ඉතිරි නිර්දෙශ සයෙන් යුත් සතර වන (අවසාන) භාගය ඉතා ම ඉක්මනින් ප්රසිද්ධ කරවා සම්පූර්ණ පොත ග්රාහකයන්ගේ ඉදිරියෙහි තබන්නට ප්රොත්සාහි වන්නෙමු.
අපට පැරණි පුස්කොළ පොත් දීමෙන් ආධාර කළ ධර්ම ශාස්ත්රාභිවෘද්ධි කාමී අප හිතවත් ගරුතර මහා ස්ථවිරයන් වහන්සේලාගේ නම් අවසානභාගයේ සංඥාපනයෙහි සඳහන් කරන්නට බලාපොරොත්තු වන බැවින් මේ ලුහුඬු නිවෙදනය මෙ තෙකින් සමාප්ත කරමි.
බෙන්තර ශ්රද්ධාතිෂ්ය ස්ථවිර. පෞරාණික දීපාරාම (දූවේ) විහාරය, කළුතර. ශ්රී: බු: ව: 2497 නවම් මස පුර පැලවිය දින දීය. ක්රි: ව: 1954. 2. 4.