විශුද්ධිමාර්ගය සන්නය 2 - පරාක්‍රමබාහු රජු, බෙන්තර ශ්‍රද්ධාතිස්ස හිමි 1950.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1950
මුද්‍රිත වර්ෂය :
1950
පිටු ගණන :
493
බාගත කිරීම් ගණන :
446
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-26
ගොනුවේ ප්‍රමාණය :
160 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 247

භදන්ත බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් විරචිත විශුද්ධිමාර්ගය නම් අග්‍රගණ්‍ය ථේරවාදී භාවනා ග්‍රන්ථය සඳහා, දඹදෙණි යුගයේ වැඩවිසූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමන් විසින් රචිත ‘මහා සන්නය’ ඇතුළත් කෘතියේ දෙවන භාගය මෙයයි.

මෙම කාණ්ඩයට අසුභකම්මට්ඨාන නිද්දේසයේ (6 වන නිද්දෙසය) සිට සමාධි නිද්දේසය (11 වන නිද්දෙසය) දක්වා වූ කොටස මුල් පාලි පෙළ සහ සිංහල සන්නය සහිතව ඇතුළත් වේ. බෙන්තර ශ්‍රද්ධාතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැරණි පුස්කොළ පොත් ආශ්‍රයෙන් සංශෝධනය කොට, සවිස්තර විෂය සූචියක් සහ නිද්දේසානාම සූචියක් ද සහිතව 1950 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

හැඳින්වීම

ථේරවාදීන්ගේ ප්‍රධානතම භාවනා ක්‍රමය සමථ පූර්වාංගම වූ විදර්ශනාවයි. විශේෂයෙන්ම අභිධර්ම පිටකයෙහි ආ අටතිස් කමට්ඨානයෝම සමථ භාවනාවෙහි ඇතුලත්ය. ශුෂ්ක විදර්ශනා භාවනාවද ථේරවාදයට පටහැනි නොවේ. “යස්මිං සමයේ ඛීණාසවෝ රූපපත්තියා මග්ගං භාවේති” ආදි වශයෙන් ධම්මසංගණියෙහිම පැමිණෙන බැවින් එය පෙළට අදාලය. ත්‍රිපිටකය පුරාවටම පැතිර පවත්නා මෙම භාවනා ක්‍රම විධි අධ්‍යයනය කොට ඔවුන් වැඩීමට පටන් ගතහොත් බහුතරයකට එය බොහෝ අසීරු වනු ඇත. එබැවින් ඉපැරණි ථේරවාදී මහා විහාරීය භික්ෂූහු ඔවුන් වැඩීමෙහි ලා අත්‍යන්තයෙන් සම්භාවිත කළ භාවනා ග්‍රන්ථ ප්‍රවේණිය නම් විසුද්ධි මාර්ගයයි. පෙළෙහි ඒ ඒ තැන පැමිණි සියළු භාවනා කමටහන් සහ භාවනා නය, එක් තැනකට පිඩුකරමින් කළ අගනා කෘතියක් ලෙස එදා මෙදාතුර මහා විහාරීය ථේරවාදීන් අතර එය සම්භාවිතයහ. ඇතැම් විටක නිකායාන්තරිකයෝ ද එයට දැක්වූ, එසේම අදටත් දක්වන ගෞරවාදරය හා භක්තිය සුළුපටු නොවේ.

විසුද්ධි මාර්ගය සිංහල දේශය සතු ග්‍රන්ථයක් වුවද ථේරවාදී බලකොටු අතරෙන් එක් දැවැන්තයෙකු ලෙස සැලකෙන බුරුම රටෙහි එයට දැක්වෙන බහුමානය අන්හැම රටක්ම පරයා සිටින සෙයක් පෙනේ. මේ සිංහල දේශයේ ද ඉපැරණි මහා විහාරීය ප්‍රවේණි ගරුක භික්ෂූහු අදටත් විසුද්ධි මාර්ගයට දක්වන ගරුත්වය හා බහුමානය පෙර මහරහතුන් ගත් මග සිහිගන්වත්.

මේ උතුම් ග්‍රන්ථය ලේඛණයක් වශයෙන් පිළිවෙලකට ගොනු වී එලි දැක්වුනේ පස්වන ශතවර්ෂයේ පමණ මහානාම රජු දවස භදන්තාවරිය බුද්ධඝෝෂ මහා ඇදුරුපාණන් අතිනි. ඒ වන විට ද විසුද්ධි මාර්ගයෙහි දැක්වෙන පාළි ආගත සියළු භාවනා විධීන් මහා විහාරීය භික්ෂූන් විසින් දරාගෙන එනු ලැබ තිබිණි. අඩුපාඩුව වූයේ පිළිවෙලකට විස්තාරිව ලිඛිත ග්‍රන්ථයක ආකාරයෙන් නොතිබීම පමණකි. මහා විහාරීයන් සතුව විමුත්ති මග්ග නමැති සංක්ෂිප්ත භාවනා ග්‍රන්ථයක් තිබී ඇති බවක් පෙනේ. නමුත් එය අද නාම මාත්‍රයට පමණක් සීමා වී ඇත. අද දවසේ ද විමුත්ති මාර්ගය නම් ග්‍රන්ථයක් ඇත. එය සැබෑ මහා විහාරීය විමුත්ති මාර්ගය නොවේ. අභයගිරිකයන්ගේ විපරීත මතයෙන් දූෂිත නිකායාන්තරික ග්‍රන්ථයකි. ඇතැමුන් මෙය මහා විහාරීය විමුත්ති මාර්ගය යැයි පටලවා ගන්නා බව බහුලව දැකිය හැක. මහා විහාරීයන් සතුව තිබූ විමුත්ති මාර්ගය නම් ග්‍රන්ථයේ අද ශේෂව ඇත්තේ නාම මාත්‍ර පමණකි.

එබැවින් මහා විහාරීය විමුත්ති මාර්ගයෙහි සාරය ද ගෙන පාළියට අනුරූපීව කළ විස්තාර භාවනා ග්‍රන්ථය විසුද්ධි මාර්ගයයි. එම ග්‍රන්ථකරණයෙහි නිදානය විසිතුරුය.

සිංහල අටුවා මාගධී භාෂාවට නැංවීමේ වගකීමෙන් පැවරුම් ලැබ, එම උතුම් සත්කාර්යය ඉටුකරණු පිණිස සිංහල දේශප්‍රාප්ත භදන්තාවරිය බුද්ධඝෝෂ මහා ස්වාමීහු මහා විහාරයට පැමිණ, මහා විහාරීය භාරධාරී සංඝ පිතෲන් පයිරුපාසනය කරමින් මහා විහාරීය ධර්මවිනය විනිශ්චයන් පිළිබඳ කෝටිප්‍රාප්තව, සිංහල අටුවා මාගධියට නැංවීමට මහා විහාරීය සංඝ භාරධාරීන් වෙතින් අවසර පැතූහ. මහා විහාරීය සංඝ භාරධාරීහු ද මෙතුන්ගේ තත්සාමාර්ථභාවය පිරික්සමින් සංයුක්තසංගීතයෙහි දේවතා සංයුක්තයෙහි ගාථාවක් හට විස්තර වර්ණනා සැපයීමේ කාර්යය බාර කළහ. විසුද්ධි මාර්ගය සම්පාදනයටම පිරූ පෙරුම් දහම් ඇත්තා සේ මේ මහා ස්වාමීහු මහා විහාරීයයන්ගේ භාවනා නය හා විධි ඇතුලත් කරමින් තුන්පිටකයටම අර්ථ වර්‍ණනාවක් බදුව මෙම මහා කෘත්‍යය සම්පාදනය කළහ. අනේක දේව ආශ්චර්යයන් මධ්‍යයේ එම ග්‍රන්ථය මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබීමෙන් අනතුරුව මෙතුමන්ගේ ධර්මවිනය විග්‍රහයන් හා ඒ සම්බන්ධ පාණ්ඩීත්‍යය පිළිබඳ විශ්මයට පත් සංඝපාල මහා ථෙරපාණන් ප්‍රමුඛ මහා විහාරීය මහා සංඝ ස්ථවිරවරු සිංහල අටුවා මාගධියට පරිවර්තනය කිරීමේ එම ඓතිහාසික සත් කාර්යය භදන්තාවරිය බුද්ධඝෝෂ මහා ථෙරපාණන් වෙත බාරදුන්හ.

මෙසේ මහා විහාරීය ග්‍රන්ථ සංචිතයට සම්ප්‍රාප්ත වූ විසුද්ධි මාර්ගය එදා මෙදාතුර අනේක ශතසහස්‍ර වෙනෙය්‍ය ජනයා හට නිවන් මග පසක් කරලීමෙහි මහෝපකාරී වූහ. විසුද්ධි මාර්ගයෙහි ප්‍රයෝජ්‍යතාවය වඩා ප්‍රාකූල කරමින් පසුකාලීනව ඊට ටීකා සන්න ආදිය රැසයින. ඒ අතුරෙන් දඹදෙණි යුගයෙහි විසූ කලිකාල සාහිත්‍ය සර්වඥ පරාක්‍රමබාහු මහීපාලයන් අතින් විරචිත විසුද්ධි මාර්ග මහා සන්‍යය අතිශය ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තාහ.

පැරණි ග්‍රන්ථ පුනර්මුද්‍රණ අහේනියක් හැත්තෑව දශකයෙන් පමණ පසුව දශක තුනක් පමණ පැවතියෙන් මෙබඳු ග්‍රන්ථ පැරණි විහාර වල පොත් ගුල් තුලම සිරවී සිටින සෙයක් අදටත් දක්නට ඇත. ඇතැම් ග්‍රන්ථ සම්බන්ධව එම තත්ත්වය පුනර්මුද්‍රණයෙන් තරමක් දුරට පහව යනු පෙනෙතත්, විසුද්ධි මාර්ග මහා සන්‍යය සම්බන්ධව වූ එම ශෝකාන්තයට විරාමය තවම එළඹ නැති සෙයකි.

එබඳු තත්වයක් යටතේ අගලවත්ත, කිතුල්ගොඩ අරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ අප්‍රතිහත උනන්දුවෙන් එය පුනර්මුද්‍රණයකට ලක්වෙනුයේ, අදටත් වෙසෙන ඉපැරණි ථේරවාදී මහා විහාරීය භික්ෂූන් හට යම් පමණකට හෝ උපකාර වීමේ පුණ්‍ය අභිලාෂයෙනි. උන්වහන්සේලාගේ එම අභිලාෂය මල්ඵල ගැන්වුනා යැයි මට සිතේ.

මෙම උතුම් ග්‍රන්ථය පුනර්මුද්‍රණය කිරීමෙන් ලත් කුසලය කිතුල්ගොඩ අරණ්‍ය සේනාසනයේ භික්ෂූන් හට නිවන් පිණිස හේතු වේවා ! දායක කළ සැමට ද නිවන් පිණිස හේතු වේවා !

මේ වගට ශාසනස්ථිතිකාමී, නුවරඑළියේ ඤාණසීල මහා ස්ථවිර වමිහ. රණගිරිලෙන අරණ්‍ය සේනාසනය, දේවගිරිය, දිද්දෙණිය, මැල්සිරිපුර.

ශ්‍රී.බු.ව. 2560 (2016) වප් මස (ඔක්තෝබර්) 01වන දින දීය.

නුවරඑළියේ ඤාණසීල මහා ස්ථවිර, රණගිරිලෙන අරණ්‍ය සේනාසනය, දේවගිරිය, දිද්දෙණිය, මැල්සිරිපුර. ක්‍රි.බු.ව. 2560 (2016) වප් මස 01වන දින

මහා සන්‍ය සහිත විසුද්ධිමාර්‍ගය.

මෙහි ප්‍රථම භාගය පසුගිය (1949) අවුරුද්දේ සංස්කරණය කොට මුද්‍රණයෙන් ප්‍රසිද්ධියට පැමිණෙව්වෙමු. එහි ප්‍රතිඥාත පරිදි විසුද්ධිමාර්‍ගයෙහි සවන අසුභ නිද්දෙසය පටන් එකොළොස් වන සමාධි නිද්දෙසය තෙක් පාලිය සහ ඊට අයත් පරාක්‍රමබාහු මහා සන්‍යයේ කොටසත් අන්තර්ගත කොට ඒ නිද්දෙසයන්හි විෂය සම්බන්ධයෙන් සම්පාදිත සාරසංග්‍රහයක් සමාන වූ සවිස්තාර විෂයසූචිය සහ ශුද්ධි පත්‍රය මෙ ග්‍රන්ථයෙත් එම නිද්දෙසයන්හි දැක්වෙන ස්ථාන, පුද්ගල, ග්‍රන්ථාන්තර නාම සහ සංවර්‍ණිත පද අකාරාදි ක්‍රමයෙන් පිළිවෙළ කොට අගටත් යොදා ප්‍රථම භාගය මෙන්ම සංස්කරණය කොට මුද්‍රණයෙන් මෙ ද්විතීය භාගය මෙවර ප්‍රසිද්ධියට පැමිණවීමු.

මෙසේ ම ප්‍රයොක්ත මහා ග්‍රන්ථයෙහි ඉතිරි භාගයත් කාණ්ඩ දෙකකින් සංග්‍රහ කොට ඉතාම ඉක්මනින් ප්‍රසිද්ධියට පමුණුවා කාණ්ඩ සතරකින් පොත සම්පූර්ණ කොට උද්ග්‍රහණ ධාරණාභිලාෂීන්ට සුවසේ ලබාගැණීම පිණිස සුලභ කරවන්නට බලාපොරොත්තු වන්නෙමු.

“ලක්මිණි පහන” නමින් පැවැති ප්‍රසිද්ධ පත්‍රයෙහි කර්තෘෘ ධුරන්ධර ආභිධර්මික “ඇම්. ධර්මරත්න” පණ්ඩිතතුමන් විසින් සංස්කරණය කළ “විශුද්ධිමාර්‍ග ව්‍යාඛ්‍යාවෙහි ද්විතීය, තෘතීය භාග දෙක සහ එක්සිය දෙපැන්නැ (172) වන පිටුව තෙක් සතර වන භාගයත් එතුමා ලියූ භාව සන්නය හැර මේ ද්විතීය භාගයෙහි ඇතුළත් වේ.

එ තුමාගේ පොතෙහි 856 වන පිටුවේ අදොලිපියෙහි= (නෝට් එකේ) තමන්ට ලැබුණු පුරාණ පොත්වල සන්නය ඛණ්ඩිතව තුබූ බැවින් ටීකාව පිහිටා කොට ගෙණ ලියා යෙදූ බව සඳහන් කළ සන්න කොටස අප සොයා ගත් පොත් වලින් කිපයක තුබුණෙන් ඒ පුරාණ සන්නයම මෙහි යෙදුවෙමු. එ පමණක් නොව පුරාණ පුස්කොළ පොත් හා නොගැලපෙන තවත් බොහෝ තැන් ඒ සංස්කරණය අනුගමනය නොකොට පැරණි පුස්කොළ පොත්වල එන පරිදිම යෙදුවෙමු.

අපගේ මේ සංස්කරණයෙහි (902) අවසාන පිටුවේ පෙනෙන නිද්දේසානාම සූචිය සමහර පාලි පොත් වලත් සන්‍ය පොත් වලත් නො දක්නා ලැබේ. එය යෙදීමෙන් ප්‍රයෝජනාන්තරයක් නැතත් හානියක් ද නැති බැවින් සමහර පැරණි පොත් වල තිබෙන සේ යෙදුවෙමු. එහි සමාධි නිද්දෙසයෙහි නම වෙනුවට “පටිකූල සඤ්ඤා ධාතු වවත්ථානවස නිද්දෙසො” යි පාලි පොත්වල යොදා තිබෙන්නා සේ ම සන්‍යයෙහිත් අළු කියා තිබේ. සමාධි නිද්දෙසයෙහි බෙහෙවින් දැක්වෙන්නේ එ දෙකෙහි විස්තාරය නිසා නාමාන්තරයක් සේ එසේ යෙදුවා යි සිතමි.

ප්‍රථම භාග සංස්කරණයට මෙන් ම මෙ ද්විතීය භාග සංස්කරණයට ද සම්ප්‍රකාරයෙන් ආධාර දුන් එහි නම් සඳහන් කළ ගරුතර හිතවතුන් වහන්සේලාට කෘතඥතා පූර්වක ගෞරවාදරය මේ වාරයෙහි ද පිරිනමමින් අපගේ මේ සංක්‍ෂිප්ත නිවේදනය සමාප්ත කරම්හ.

බෙන්තර ශ්‍රද්ධාතිෂ්‍ය ස්ථවිර, පෞරාණික දීපාරාම (දූවේ) විහාරය, කළුතර. ශ්‍රී බුද්ධ වර්‍ෂ 2494 ඇසළ මස පුර සතවක් දින දීය. (21-6-1950)