විශුද්ධිමාර්ගය සන්නය 1 - පරාක්රමබාහු රජු, බෙන්තර ශ්රද්ධාතිස්ස හිමි 1949.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1949
- මුද්රිත වර්ෂය :
- 1949
- පිටු ගණන :
- 440
- බාගත කිරීම් ගණන :
- 608
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-26
- ගොනුවේ ප්රමාණය :
- 144 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ස්වාමීන් විසින් විරචිත විශුද්ධිමාර්ගය සහ දඹදෙණි යුගයේ රජ පැමිණි ශ්රීමත් කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්රමබාහු රජතුමන් විසින් සම්පාදිත විශුද්ධිමාර්ග මහා සන්නය මෙහි අන්තර්ගත වේ. මෙම මුද්රණය බෙන්තර ශ්රද්ධාතිෂ්ය මහාස්ථවිරයන් වහන්සේ විසින් පැරණි පුස්කොළ පොත් සහ පරමත්ථමඤ්ජුසා ටීකාව ඇසුරින් සංස්කරණය කොට සකස් කරන ලද්දකි.
මෙහි විශුද්ධිමාර්ග පාළි පාඨයන් සහ ඊට අනුරූප සිංහල සන්නය වගන්ති වශයෙන් අංක යොදා පෙළගස්වා ඇති බැවින් ධර්ම ශිෂ්යයන්ට පරිශීලනය ඉතා පහසු වේ. මෙම පළමු භාගය නිර්දේශ පහකින් සමන්විත වන අතර ග්රන්ථාවසානයෙහි සවිස්තර පද සූචියක් ද ඇතුළත් වේ.
- සංක්ෂෙප පඤ්චකය සහ නිදානාදි නිද්ධාරණය
- ශීලනිද්දෙසො
- ධුතඞ්ග නිද්දෙසො
- කම්මට්ඨානගහණ නිද්දෙසො
- පඨවිකසිණ නිද්දෙසො සහ සෙසකසිණ නිද්දෙසො
මෙම කෘතිය බු.ව. 2493 (ක්රි.ව. 1949) දී කළුතර ස්වාධීන විද්යුත්තිලක යන්ත්රාලයෙහි මුද්රණය කරවා ප්රකාශයට පත් කොට ඇත.
හැඳින්වීම
ථේරවාදීන්ගේ ප්රධානතම භාවනා ක්රමය සමථ පූර්වාංගම වූ විදර්ශනාවයි. විශේෂයෙන්ම අභිධර්ම පිටකයෙහි ආ අටතිස් කර්මස්ථානයෝ ම සමථ භාවනාවෙහි ඇතුලත්ය. ශුෂ්ක විදර්ශනා භාවනාව ද ථේරවාදයට පටහැනි නොවේ. “යස්මිං සමයේ ඣානපච්චයෝ රූපපත්තියා මග්ගං භාවේති” ආදි වශයෙන් ධම්මසංගණියෙහිම පැමිණෙන බැවින් එය පෙළට අදාලය. ත්රිපිටකය පුරාවටම පැතිර පවත්නා මෙම භාවනා ක්රම විධි අධ්යනය කොට බවුන් වැඩීමට පටන් ගතහොත් බහුතරයකට එය බොහෝ අසිරු වනු ඇත. එබැවින් ඉපැරණි ථේරවාදී මහා විහාරීය භික්ෂූහු බවුන් වැඩීමෙහි ලා අත්යාන්තයෙන් සම්භාවිත කළ භාවනා ග්රන්ථ ප්රවේණිය නම් විසුද්ධි මාර්ගයයි. පෙළෙහි ඒ ඒ තැන පැමිණි සියළු භාවනා කමථාන් සහ භාවනා නය, එක් තැනකට පිඩුකරමින් කළ අගනා කෘතියක් ලෙස එදා මෙදාතුර මහා විහාරීය ථේරවාදීන් අතර එය සම්භාවිතයහැ. ඇතැම් විටක නිකායාන්තරිකයෝ ද එයට දැක්වූ, එසේම අදටත් දක්වන ගෞරවාදරය හා භක්තිය සුළුපටු සුළුපටු නොවේ.
විසුද්ධි මාර්ගය සිංහල දේශය සතු ග්රන්ථයක් වුවද ථේරවාදී බලකොටු අතරෙන් එක් දැවැන්තයෙකු ලෙස සැළකෙන බුරුම රටෙහි එයට දැක්වෙන බහුමානය අන්හැම රටක් ම පරයා සිටින සෙයක් පෙනේ. මේ සිංහල දේශයේ ද ඉපැරණි මහා විහාරීය ප්රවේණි ගරුක භික්ෂූහු අදටත් විසුද්ධි මාර්ගයට දක්වන ගරුත්වය හා බහුමානය පෙර මහරහතුන් ගත් මග සිහිගන්වත් .
මේ උතුම් ග්රන්ථය ලේඛණයක් වශයෙන් පිළිවෙලකට ගොණු වී එළි දැක්වුනේ පස්වන ශතවර්ෂයේ පමණ මහානාම මහානාම රජු දවස භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ඇදුරුපාණන් අතිනි. ඒ වන විට ද විසුද්ධි මාර්ගයෙහි දැක්වෙන පාලි ආගත සියළු භාවනා විධීන් මහා විහාරීය භික්ෂූන් විසින් දරාගෙන එනු ලැබ තිබිණි. අඩුපාඩුව වූයේ පිළිවෙලකට විස්තාරිව ලිඛිත ග්රන්ථයක ආකාරයෙන් ආකාරයෙන් නොතිබීම පමණකි. මහාවිහාරීයන් සතුව විමුත්ති මග්ග නමැති සංක්ෂිප්ත භාවනා ග්රන්ථයක් තිබී ඇති බවක් පෙනේ. නමුත් එය අද නාම මාත්රයට පමණක් සීමා වී ඇත. අද දවසේ ද විමුත්ති මාර්ගය නම් ග්රන්ථයක් ඇත. එය සැබෑ මහා විහාරීය විමුත්ති මාර්ගය නොවේ. අභයගිරිකයන්ගේ විපරීත මතයෙන් දූෂිත නිකායාන්තරික ග්රන්ථයකි. ඇතැමුන් මෙය මහාවිහාරීය විමුත්ති මාර්ගය යැයි පටලවා ගන්නා බව බහුලව දැකිය හැක. මහාවිහාරීයන් සතුව තිබූ විමුත්ති මාර්ගය නම් ග්රන්ථයේ අද ශේෂව ඇත්තේ නාම මාත්ර පමණකි .
එබැවින් මහාවිහාරීය විමුත්ති මාර්ගයෙහි සාරය ද ගෙන පාළියට අනුරූපීව කළ විස්තාර භාවනා ග්රන්ථය විසුද්ධි විසුද්ධි මාර්ගයයි. එම ග්රන්ථකරණයෙහි නිදානය විසිතුරුය.
සිංහල අටුවා මාගධී භාෂාවට නැංවීමේ වගකීමෙන් පැවරුම් ලැබ, එම උතුම් සත්කාර්යය ඉටුකරණු පිණිස සිංහල සිංහල දේශප්රාප්ත භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ස්වාමීහු මහා විහාරයට පැමිණ, මහාවිහාරීය භාරධාරී සංඝ පීතෲන් පයිරුපාසනය කරමින් මහාවිහාරයීය ධර්මවිනය විනිශ්චයන් පිළිබඳ කෝවිදප්රාප්තව, සිංහල අටුවා මාගධියට නැංවීමට මහාවිහාරයීය සංඝ භාරධාරීන් වෙතින් අවසර පැතුහ. මහා විහාරයීය සංඝ භාරධාරීහු ද මෙතුන්ගේ තත්සාමාර්ථ්යභාවය පිරික්සමින් සංයුක්තසංගීතයෙහි දේවතාසංයුක්තයෙහි ගාථාවක හට විස්තර වර්ණනා සැපයීමේ කාර්යය බාර කළහ. විසුද්ධි මාර්ගය සම්පාදනයටම පිරූ පෙරුම් දහම් ඇත්තා සේ මේ මහා ස්වාමීහු මහාවිහාරීයයන්ගේ භාවනා නය හා විධි ඇතුලත් කරමින් තුන්පිටකයටම අර්ථ වර්ණනාවක් බදුව මෙම මහා කෘත්යය සම්පාදනය කළහ. අනේක දේව ආශ්චර්යයන් මධ්යයේ එම ග්රන්ථය මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබීමෙන් අනතුරුව මෙතුමන්ගේ ධර්මවිනය විග්රහයන් හා ඒ සම්බන්ධ පාණ්ඩීත්යය පිළිබඳ විශ්මයට පත් සංඝපාල මහා ථෙරපාණන් ප්රමුඛ මහාවිහාරීය මහාවිහාරීය මහා සංඝ ස්ථවිරවරු සිංහල අටුවා මාගධියට පරිවර්තනය කිරීමේ එම ඓතිහාසික සත් කාර්යය භදන්තාචරිය බුද්ධඝෝෂ මහා ථෙරපාණන් වෙත බාරදුන්හ.
මෙසේ මහාවිහාරයීය ග්රන්ථ සංචිතයට සම්ප්රාප්ත වූ විසුද්ධි මාර්ගය එදා මෙදාතුර අනේක ශතසහස්ර වෙනෙය්ය ජනයා හට නිවන් නිවන් මග පසක් කරලීමෙහි මහෝපකාරී වූහ. විසුද්ධි මාර්ගයෙහි ප්රයෝජ්යතාවය වඩා පාථුල කරමින් පසුකාලීනව පසුකාලීනව ඊට ටීකා සන්න ආදිය රැසැයින. ඒ අතුරෙන් දඹදෙණි යුගයෙහි විසූ කලිකාල සාහිත්ය සර්වඥ පරාක්රමබාහු මහීපාලයන් අතින් විරචිත විසුද්ධි මාර්ග මහා සන්නය අතිශය ගෞරවාදරයට පාත්ර වී ඇත්තාහ .
පැරණි ග්රන්ථ පුනර්මුද්රණ අක්ෂේපයක් හැත්තෑව දශකයෙන් පමණ පසුව දශක තුනක් පමණ පැවතියෙන් මෙබඳු ග්රන්ථ පැරණි විහාර වල පොත් ගුල් තුලම සිරවී සිටින සෙයක් අදටත් දක්නට ඇත. ඇතැම් ග්රන්ථ සම්බන්ධව එම තත්ත්වය පුනර්මුද්රණයෙන් තරමක් දුරට පහව යනු පෙනෙතත්, විසුද්ධි මාර්ග මහා සන්නය සම්බන්ධව වූ එම ශෝකාන්තයට විරාමය තවම එළඹ නැති සෙයකි.
එබඳු තත්වයක් යටතේ අගලවත්ත, කිතුල්ගොඩ අරණ්ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ අප්රතිහත උනන්දුවෙන් එය පුනර්මුද්රණයකට ලක්වෙනුයේ, අදටත් වෙසෙන ඉපැරණි ථේරවාදී මහාවිහාරයීය භික්ෂූන් හට යම් පමණකට හෝ උපකාර වීමේ පුණ්ය අභිලාෂයෙනි. උන්වහන්සේලාගේ එම අභිලාෂය මල්ඵලගැන්වුනා යැයි මට සිතේ.
මෙම උතුම් ග්රන්ථය පුනර්මුද්රණය කිරීමෙන් ලත් කුසලය කිතුල්ගොඩ අරණ්ය සේනාසනයේ භික්ෂූන් හට නිවන් පිණිස හේතු වේවා ! දායක කළ සැමට ද නිවන් පිණිස හේතු වේවා !
මේ වගට ශාසනස්ථිතිකාමී, නුවරඑලියේ ඤාණසීල මහා ස්ථවිර වම්හ. රණගිරිලෙන අරණ්ය සේනාසනය, දේවගිරිය, දිද්දෙණිය, මැල්සිරිපුර. ශ්රී.බු.ව. 2560 (2016) වප් මස (ඔක්තෝබර්) 01වන දින දීය.
නුවරඑලියේ ඤාණසීල මහා ස්ථවිර වම්හ. රණගිරිලෙන අරණ්ය සේනාසනය, දේවගිරිය, දිද්දෙණිය, මැල්සිරිපුර. ශ්රී.බු.ව. 2560 (2016) වප් මස (ඔක්තෝබර්) 01වන දින දීය.
මහා සන්නය සහිත– විශුද්ධිමාර්ගය.
මේ පොත වනාහි අර්ථකථාචාර්ය්ය අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්වාමීන්ද්ර ප්රණීත “විසුද්ධිමග්ග, විසුද්ධිමග්ගට්ඨකථා, විසුද්ධිමග්ගට්ඨකථා පාලි” යන අභිධානාන්තරයන්ගෙන් සමස්ත බෞද්ධ සාහිත්යයෙහි ප්රචලිත ප්රශස්තතර මහා ග්රන්ථරත්නයත් තද්විවර්ණනාවාරයෙන් දඹදෙණිය අග්රරාජධානිය කොට ගෙණ ලංකාරාජ්යානුශාසනය කළ ශ්රීමත් කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිතාභිධාන ද්විතීය පරාක්රමබාහු මහීපාලයාණන් විසින් ප්රතිපාදිත මහා සන්නයත් යන මහා ග්රන්ථ දෙක එකතු කිරීමෙන් සකස් කොට මුද්රණයෙන් ප්රසිද්ධියට පමුණුවන ලද්දෙකි .
ඒ මේ පොත් දෙකෙන් “විශුද්ධිමාර්ග මහා සන්නය” නම් ලත් සිංහලාවචූර්ණිකාව මෙ කල සොයා ගත හැකි පැරණි පුස්කොළ පොත් හා සැසඳෙන පරිදි සංස්කරණය කොට මුද්රණයෙන් ප්රසිද්ධියට පමුණුවා උද්ග්රහණ ධාරණාභිලාෂීන් අතර සුලභ කරවීම අපගේ විශේෂාභිලාෂය වූ නමුත් මේ මහා සන්නයෙහි ඇතැම් තැන අර්ථ කථාවාක්යානුගත ව උක්තානපද අත්හැර අර්ථවර්ණනය කිරීමත් ග්රන්ථ බාහුල්ය භීතියෙන් කී පද නැවත නොකීමත් පෙ (පෙය්යාල) කිරීමත් නිසා හුදු සන්නයෙන් අභිසම්බන්ධය ලැබිය නො හැකි බැවින් භාවිතයට සුකර වන පරිදි විශුද්ධිමාර්ග පාලියත් එකතු කරන්නට සිදු වී ය. එහෙයින් ග්රාහකයන්ට හුදෙකළා පාලිපොත හෝ සන්නය භාවිත කිරීමේ දුෂ්කරතා මඟ හැරී පොත් දෙකෙන් ම ලබන ප්රයෝජනය මේ එක පොතෙන් පහසුවෙන් ලැබිය හැකි වේ.
ඒ මේ පොත් දෙක ගැන හා තන්නිර්මාතෲන් දෙදෙනා ගැනත් කළ යුතු වර්ණනාව අවසාන භාගය හා සමඟ ප්රසිද්ධ කරවා ග්රන්ථ ශොධක සංස්කාරකයන්ගේ යුතුකම පැහැර නොහරින්නට බලාපොරොත්තු වන්නෙමු.
මේ සන්නය “පරාක්රමබාහු මහා ව්යාඛ්යානය” “විශුද්ධිමාර්ග පුරාණ සන්නය” යන නම්වලින් හඳුන්වනු ලබනත් අපට ලැබුණු පැරණි පුස්කොළ පොත් සියල්ලක ම අවසානයෙහි පොත හඳුන්වා තිබෙන්නේ “විශුද්ධිමාර්ග මහා සන්නය නිමි” කියා යි. පැරණි පුස්කොළ පොත්වල නම ස්වරූපයෙන් දක්නා ලැබෙන්නේ බොහෝ සෙයින් පොත අග යි. සමහරෙක එසේත් නොපෙනේ. මුලත් අතුරුතුරත් නම් යෙදූ පොත් ස්වල්පයෙකි. මේ සන්නයේ මුල ප්රාරම්භ ගාථාවන්හි “තස්ස සංවණ්ණනා එසා සීහලානං නිරුත්තියා”යි පොත කරණ ප්රකාරය දැක්වීම් වශයෙන් ලියනලද “සංවණ්ණනා” යන සාමාන්ය නාමය හැර විශේෂ නාමයක් නො පෙනේ. අතුරුතුර දක්නා ලැබෙන “සන්නය” යන්න මේ සන්නයට නොව ටීකාවටත් පෙර පැවැති මෙය ලියන රජතුමන් විසින් ද ඇසුරු කළ සන්නයට යි. ඊට මෙහි 4 පිටේ 31 පෙළේ “මෙහිත් මතු සන්ය ටීකා තුබූ සේ” යනාදි වාක්යය හා වෙනත් එ බඳු බොහෝ වාක්යයෝ සාධක වෙති. එහෙයින් මේ සන්නයෙන් පසු “විශුද්ධිමාර්ග පුරාණ සන්නය”යි කිවයුතු මේ කල සොයා ගැනීමට පොත නැතත් ටීකාවන් මේ සන්නයත් නිසා නාමශෙෂෝපගත ව තිබෙන ඒ සන්නයට යි. මේ සන්නය ලියා නිම කරණ රජතුමන් විසින් මුල් පොතේ=(විශුද්ධිමාර්ගයේ) නම මුල් කර “මහා” යන්නෙන් වෙසෙසා එවකට පැවැති සන්නයෙහි එන “සන්නය” යන්නත් එකතු කොට “විශුද්ධිමාර්ග මහා සන්නය නිමි”යි පොත ලියා අවසන් කළ හෙයින්ම සියලු පුස්කොළ පොත් පිටපත්හි ද එසේ ලියවී තිබෙන බව පිළිගත යුතුවැවින් එ තුමන් යෙදූ ඒ නම මතුත් නොමැකී පවත්නා පිණිස අපිදු “විශුද්ධිමාර්ග මහා සන්නය”යි මෙහි යෙදුවෙමු.
අපගේ මේ සංස්කරණයෙන් පළමු පෙළත් භාවසන්නයකුත් සමඟ කාණ්ඩ අටකින් සම්පූර්ණ කොට මුද්රිත වූ පොතක් ද අපගේ මේ පොත මෙන් ම පෙළත් සන්නයත් දෙක යොදා සවන පරිච්ඡේදය තෙක් කාණ්ඩ දෙකකට මුද්රිත වූ පොතක් ද පෙළෙහි පරිච්ඡේද දෙකක් මුලට යොදා ඒ පරිච්ඡේද දෙකට අයත් මේ සන්නයේ කොටස අගට යොදා මුද්රිත වූ පොතක් දැයි මේ සන්නයේ සංස්කරණ තුනක් දැනට දක්නා ලැබේ. ඒ සංස්කරණ තුනම අපගේ මේ සංස්කරණයට ඉවහල් නොවූයේ යයි නො කියම්හ. ඒ සංස්කරණයන්ගෙන් නො විසඳුණ මෙහි පෙනෙන තැන් මේ කල සුවිශෝධිත ව මුද්රිත ව තිබෙන “පරමත්ථ මඤ්ජුසා” නම් විශුද්ධිමාර්ග ටීකාවත් අප විසින් සොයාගත් සම්භාවනීය ධර්මධර පණ්ඩිතවරුන් විසින් සුභාවිත වූ පැරණි පුස්කොළ පොතුත් අනුව කරණලද සංස්කරණයයි සැළකියයුතු යි. පොතේ පිටක් පාසා ඒ ඒ පාලිප්රදෙශයට අයත් සන්නයේ කොටස සොයා ගැනීමට පහසු වන පිණිස පාලියේ වගන්ති වෙන්කොට මුලට අංක යොදා එම අංක ඊට අයත් සන්නයේ මුලටත් යෙදුවෙමු.
මේ සන්නයෙහි “ඉහි, මිහි, ආවත්” ආදි ව්යවහාර එ ලෙසිනුත් සමහර තැන වර්තමාන ව්යවහාර ලෙසිනුත් පුස්කොළ පොත්හි දක්නා ලැබේ. එහෙයින් ඒ තැන්වල පුස්කොළ පොත් වැඩි ගණනෙක තුබූ පරිදි යෙදුවෙමු. “එ, මෙ, එසෙ, මෙසෙ ආචාර්ය්යපාදයො, සංඝයහට” යනාදිය ද “ගෙ” යන විභක්තිප්රත්යය ද “වෙ, වන්නේ” යනාදි ක්රියා ද දීර්ඝලක්ෂණයෙන් තොරවම බොහෝසේ දක්නා ලැබේ. අපට ලැබුණු පොත් අතුරෙන් වැඩියක් ම පැරණි යයි සිතිය හැකි පොත්වල වැඩිපුර ම දක්නා ලැබෙන්නේ හ්රස්වාකාරයෙන් ම යි. එ හෙයින් අපි දු ඒ බහුලවිධිය අනුගමනය කෙළෙමු.
මේ පොතේ මුලට භාවිතය පහසු වනු පිණිස මෙහි අන්තර්ගත වූ නිර්දේශ පසෙහි විස්තර අනුක්රමණිකාවක් ද අගට මෙහි පැනෙන ස්ථාන, පුද්ගල, ග්රන්ථාන්තර නාමයන් සහ සංවණ්ණිත පදයන් ද අකාරාදි ක්රමයෙන් යෙදුවෙමු. මුද්රණයේදී වූ අශුද්ධස්ථාන පිළිබඳ ශුද්ධිපත්රය ඊට අනතුරුව යොදා මේ කාණ්ඩයෙහි අඩංගුව සම්පූර්ණ කෙළෙමු. මීලඟ දෙවන කාණ්ඩය ද එකොළොස් වන නිර්දේශය තෙක් මෙසේ ම පිළිවෙළ කොට ඉතා ඉක්මනින් ප්රසිද්ධ කරවන්නට බලාපොරොත්තු වන්නෙමු. ඉතිරි නිර්දේශ දොළොස ද නිර්දේශ සය බැගින් කාණ්ඩ දෙකකට බෙදා මුළුපොත කාණ්ඩ හතරකින් සම්පූර්ණ කොට ප්රසිද්ධියට පමුණුවා උද්ග්රහණ ධාරණාභිලාෂීන් අතර සුලභකරවීම පිණිස අපගේ පරමාර්ථය යි.
අපගේ මේ සංස්කරණයට යථාකාලයෙහි උපදෙස් දීමෙන් හා පැරණි පුස්කොළ පොත් දීමෙන් ආධාර කල විද්යොදය පරිවෙණාධිපති ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය මහෝපාධ්යාය බද්දෙගම ශ්රී පියරතනාභිධාන දක්ෂිණ ලංකාවේ ප්රධාන නායක මාහිමියන් වහන්සේ, විද්යොදය පිරිවෙන්හි උපප්රධානාචාර්ය්ය ගාලුකෝරළේ සංඝනායක ධුරන්ධර ත්රිපිටක වාගීශ්වර පණ්ඩිත වැලිවිටියේ සොරත මහා ස්ථවිර පාදයන් වහන්සේ, කන්දේ විහාරයෙහි ක්ෂෙත්රාරාම පරිවෙණාධිපති කීර්ති ශ්රී වාගීශ්වර විනයාචාර්ය්ය පොතුවිල ශ්රී ශරණංතිස්සාභිධාන කළුතර බෙන්තර දෙදිශාවේ ප්රධාන නායක මාහිමියන් වහන්සේ, උතුරු කළුතර පුලිනතලාරාමාධිපති අතිගරු බේරුවල ශ්රී සුමංගල සිරිනිවාසාභිධාන අමරපුර නිකායේ මහා නායක මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ, වස්කඩුවේ අභිනවාරාමාධිපති ශ්රී සුභූති වාචිස්සර නායක මහා ස්ථවිර පාදයන් වහන්සේ, වැලිතර අඹරුක්ඛාරාමස්ථ සුගත සාසනොදය පරිවෙණාධිපති පණ්ඩිත අහුන්ගල්ලේ විමලකිත්ති තිස්සාභිධාන මහා ස්ථවිරයන් වහන්සේ, උතුරු කළුතර අශොකාරාමාධිපති ශ්රී සුමනතිස්ස වංසපාල ගණාචරිය කළුතර සිරි සද්ධාතිෂ්ය මහා ස්ථවිර පාදයන් වහන්සේ, වස්කඩුවේ සිරි සද්ධම්මජොතිපාල රතනජොති තිස්ස මහා නායක ස්ථවිර පාදයන් වහන්සේ ආදි අප හිතවතුන් වහන්සේලාට හෘදයඞ්ගමාදර ගෞරව පිරිනමමින් මේ සංස්කරණය මධ්යස්ථ සුධීන්ගේ මනෝනයනාභිනන්දනයට හා ආධුනිකයන්ගේ සුඛ පරිහරණයටත් ශ්රී සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතියටත් හේතු වේවායි ආශංසනාපූර්වක ව අපගේ මේ සංක්ෂිප්තනිවේදනය සමාප්ත කරම්හ.
මීට:– බෙන්තර ශ්රද්ධාතිෂ්ය ස්ථවිර. පෙෂකාරාණීක දීපාරාම දූවේ විහාරය, කළුතර. ශ්රී බුද්ධ වර්ෂ 2493 ඇසළ මස පුර පැලවිය දින දීය. (27-6-1949.)
බෙන්තර ශ්රද්ධාතිෂ්ය ස්ථවිර.
පෙෂකාරාණික දීපාරාම දූවේ විහාරය, කළුතර.
ශ්රී බුද්ධ වර්ෂ 2493 ඇසළ මස පුර පැලවිය දින දීය. (27-6-1949.)