ථෙරිගාථා ව්‍යාඛ්‍යා - ජයවික්‍රම කාන්ගහආරච්චි 1958.pdf
- කතෘ :
- ජයවික්‍රම සහ කාන්ගහආරච්චි
- ප්‍රකාශිත වර්ෂය :
- 1958
- මුද්‍රිත වර්ෂය :
- 1958
- පිටු ගණන :
- 307
- බාගත කිරීම් ගණන :
- 580
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 57 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ථේරිගාථා ව්‍යාඛ්‍යා යනු ඛුද්දකනිකායට අයත් ථේරිගාථා පාලි ග්‍රන්ථය සඳහා සම්පාදිත ප්‍රස්තාවනා, අන්වය, භාවය, ටිප්පණී ආදී විස්තර ඇතුළත් පුළුල් විවරණ ග්රන්ථයකි. මෙය ලංකා විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඇන්. ඒ. ජයවික්‍රම සහ කොල්ලුපිටියේ ශාන්ත මයිකල් විද්‍යාලයේ ආචාර්ය පණ්ඩිත ටී. බී. කාන්ගහ ආරච්චි යන විද්වතුන් විසින් සම්පාදනය කරන ලද්දකි.
ප්‍රාචීන විභාගාපේක්ෂකයන් සහ පාලි හදාරන ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය උදෙසා සකස් කරන ලද මෙම ග්‍රන්ථය සඳහා ථේරිගාථා අටුවාව මෙන්ම කොත්මලේ ශ්‍රී ධර්මානන්ද නායක මාහිමියන්ගේ ‘ථේරිගාථා සිංහල භාවය’ ද උපකාර කරගෙන ඇත. ගාථාවල පදගත අර්ථය මෙන්ම අදහස මැනවින් පැහැදිලි වන සේ මෙය සකසා ඇති අතර, දීර්ඝ විද්වත් ප්රස්තාවනාවකින් ද සමන්විත වේ.
වචනයක්.
ථේරිගාථා ව්‍යාඛ්‍යාව සම්පාදනය වූයේ ප්‍රාචීන විභාගාපෙක්ෂකයන්ගේ මනදොළ සපුරනු වස්ය. ශිෂ්‍යයන් උදෙසා සම්පාදිත වුවද මෙය පදගතාර්ථ සන්නයක් නොවන අතරම ඡායානුවාදයක් ද නොවේ. ගාථාවන්හි ප්‍රධාන අදහස නොමරා, ශිෂ්‍යයන්ගේ පහසුව සඳහා සෑම වචනයකම අරුත් පැවැසෙන පරිදි සම්පාදිත මේ ව්‍යාඛ්‍යාව ශිෂ්‍යයන්ගේ අභිලාෂය මුදුන් පත් කරගැනීමෙහිලා සමත් වෙතැ’යි හඟිමු.
මෙය සකස් කිරීමේදී අප බෙහෙවින්ම වහල් කරගන්නා ලද්දේ ථේරිගාථා අටුවාවය. ථේරිගාථාවේ සමහර තැන්වල අදහස් ව්‍යාකූලය. අටුවාව වහල් කරගෙන වුවද එබඳු තැන්හි අවුල් නිරවුල් කිරීම එතරම් සුකර නොවන අතරම, සමහර තැන් අටුවාවේ පිටුවහල ලබා පහසුවෙන්ම පැහැදිලි කිරීම ඉතා උගහටය. මෙහිදී අපට තවත් උපකාරවූ පොතක් නම් මෙයට අවුරුදු 25 කට පමණ උඩදී කරන ලද අතිගරු කොත්මලේ ශ්‍රී ධර්මානන්ද නායක මාහිමියන්ගේ ථේරිගාථා සිංහල භාවය බව කෘතඥතා පූර්වකව සඳහන් කරමු.
ථේරිගාථාවන්ගේ අරුත් ඉගෙනීමට ප්‍රථම ශිෂ්‍යයන් විසින් මෙහි උපග්‍රන්ථයෙහි එන ඒ ඒ ථේරීන් පිළිබඳ කථා ප්රවෘත්ති හොඳින් හැදෑරිය යුතුය. සමහර ගාථා ඒ ගාථාවන් දෙසූ ථේරීන්ගේ අපදානයන් නොදැන තේරුම් ගැනීමට උගහට බැවිනි.
විභාගාපෙක්ෂකයන්ගේ ප්‍රයෝජනය සඳහා මෙබන්දක් කළහොත් මැනවැයි අප මෙහෙය වූවෝ නම් මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ ආචාර්ය්ය ගාල්ලේ පණ්ඩිත විමලධම්ම හිමිපාණෝත්, කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය්ය ඔස්ටින් ජයවර්ධන (M. A) මහතාණෝත්ය. විශේෂයෙන්ම ඔස්ටින් ජයවර්ධන මහතාගේ මහඟු ආධාරය නොලැබෙන්නට මේ පොත මෙතරම් ඉක්මනින් ශිෂ්‍යයන් අතට පත්කරන්නට නොලැබෙනු ඒකාන්තය. එබැවින් උන්වහන්සේ ශිෂ්‍යයන්ගේ විශේෂ කෘතඥතාවට පාත්රවිය යුතුය.
ඇම්. ඩී. ගුණසේන මහතුන්ගේ මාර්ගයෙන් මේ පොත මුද්‍රණද්වාරයෙන් බිහිකරවීමට සම්පූර්ණයෙන්ම උපකාරීවූයේ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ සංස්කෘත අංශය භාර පණ්ඩිත බේරුවලැ ජිනානන්ද හිමිපානන් බැවින් උන්වහන්සේට අපේ භක්ති පූර්වක කෘතඥතාව පිරිනමමු.
ලංකා විශ්ව විද්‍යාලයේ පාලි කථිකාචාර්ය්ය ධුරීන හේන්පිටගෙදර ගරු පණ්ඩිත ඤාණවාස ස්වාමිපාදයන්ද මෙහිලා යම් යම් උපදෙස් දීමෙන් අපට අනුග්‍රහ කළ බැවින් උන්වහන්සේගේ නාමය මෙහි සඳහන් කරනු ලබන්නේ භක්ති පූර්වකය.
මෙය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ප්‍රාචීන ශිෂ්‍යයන්ට මහත් අනුග්‍රහයක් කළ සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ අධ්‍යක්ෂක ඇම්. ඩී. සිරිසේන මහතාටත්, මෙහි මුද්‍රණ කටයුතු කලට වේලාවටත්, පිරිසිදුවටත්, කරදුන් ඩබ්ලිව්. ඩී. ජේ. රත්නායක අප්පුහාමිත් ඇතුළු කොළඹ සහ අකුරුගොඩ අනුල මුද්‍රණාලයන්හි කාර්ය්යශීලී කාර්ය්ය මණ්ඩලයටත් අපේ කෘතඥතා පූර්වක ස්තුතිය මෙයින් පිරිනමමු.
ඇන්. ඒ. ජයවික්‍රම
ටී. බී. කාන්ගහ ආරච්චි
8. 3. 1958.
ප්‍රස්තාවනාව
බුදුරජාණන් වහන්සේ වදාළ තාක් ධර්මය විනය, සූත්‍ර, අභිධර්ම යයි පිටකත්රයකට ද, ඉන් සූත්‍ර පිටකය තවදුරටත් දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර, ඛුද්දකයයි නිකාය පසකට ද බෙදන ලදි. අද දක්වා පාලි භාෂාවෙන් ප්‍රචලිත තථාගත දේශනය: “රස වශයෙන් එකවිධං. ධම්ම විනය වශයෙන් දුවිධං. පඨම මජ්ඣිම පච්ඡිම වශයෙන් තිවිධං. පිටක වශයෙන් තිවිධං. නිකාය වශයෙන් පඤ්චවිධං. අංග වශයෙන් නවවිධං. ධම්මක්ඛන්ධවසෙන චතුරාසීති සහස්සප්පභේදං” යන ආදී වශයෙන් වෙන් වෙන්ව විස්තර කිරීමට අවකාශ තිබෙතත් (සමන්ත පාසාදිකා බාහිර නිදානය බලනු) ඉතාමත්ම පිරිසිදුව බුද්ධ වචනය බෙදා තිබෙන්නේ පිටක වශයෙනි. ඉහත සඳහන් කරුණු අතුරින් විශේෂයෙන් සැලකිල්ලට භාජනය කට යුත්තේ තථාගත දේශනය ධම්ම විනය අනුව ද්විප්රකාරවත්, පිටක වශයෙන් ත්රිප්රකාරවත්, නිකාය වශයෙන් පස් අයුරැත්, අංග වශයෙන් නව කොට්ඨාසයකටත් බෙදීමය. අටුවාචාරීන් වහන්සේලාගේ මතය අනුව විනය පිටකය විනය නම් වන්නේය. අවශේෂ බුද්ධවචනය ධම්ම නම් වන්නේය. එසේ වුවත් සූත්‍ර පිටකයෙහි අඩංගු විනය කොටස් විනය නොවන්නේ කෙසේදැයි විසඳීම දුෂ්කරය. උදාහරණයක් වශයෙන්, දීඝ නිකායෙහි සීලක්ඛන්ධ වග්ගයෙහි සූත්‍රයන්හි චූල සීල මජ්ඣිමසීල මහා සීල විස්තරය බලන්න. නිකාය පසකට සම්පූර්ණ තථාගත වචනය බෙදීමේදී අටුවාචාරීන් වහන්සේලා වදාළ පරිදි,
“ඨපෙත්වා චතුරො පෙතෙ නිකායෙ දීඝාදිකෙ තදඤ්ඤං බුද්ධවචනං නිකායො ඛුද්දකො මතො (සුමන්තපාසාදිකා බා. නි.)