එළු උමංදාව - විද්‍යාචක්‍රවර්තී 1950.pdf
- කතෘ :
- විද්‍යාචක්‍රවර්තී
- ප්‍රකාශිත වර්ෂය :
- 1950
- මුද්‍රිත වර්ෂය :
- 1950
- පිටු ගණන :
- 256
- බාගත කිරීම් ගණන :
- 618
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 58 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
එළු උමංදාව යනු ද්විතීය විද්යාචක්රවර්තීන් විසින් විරචිත බව සැලකෙන ප්‍රකට උම්මග්ග ජාතක කථාවස්තුව ඇසුරු කරගත් සම්භාව්‍ය සිංහල ගද්‍ය ග්රන්ථයකි. මෙතෙක් මුද්‍රණයෙන් ප්රචාරයට පත් නොවී තිබුණු මෙම කෘතිය පුස්කොළ පිටපත් ආශ්රයෙන් සංශෝධනය කර මුද්‍රණය කරවා ඇත්තේ පොලොම්මාරුවේ ශ්‍රී ධම්මදින්න පිරිවෙණාධිපති පරවාහැර පේමානන්ද ස්ථවිරයන් සහ පණ්ඩිත ගලගම ධම්මික ස්ථවිරයන් වහන්සේ විසිනි.
මෙහි භාෂා ශෛලිය, පැරණි හෙළ වදන් සම්භාරය, ස්වභාවෝක්ති වර්ණනා හා මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රශ්න විසඳීමේ කථා විලාසය අතිශයින් විචිත්‍රවත් අන්දමින් ඉදිරිපත් කර ඇත. පැරණි පුස්කොළ පොත්වල තිබූ අක්ෂර වින්‍යාසය සහ භාෂා තත්ත්වය ඒ අයුරින්ම රැකගනිමින්, මහාචාර්ය ඇම්. ඩී. රත්නසූරිය මහතාගේ ද උපදෙස් ඇතිව මෙය සංස්කරණය කොට තිබේ.
ශ්‍රී ධම්මදින්න ග්‍රන්ථමාලාවේ පළමුවන අංකය ලෙස 1950 වර්ෂයේදී සි. ඩබ්ලිව්. සිරිවර්ධන මහතාගේ ප්රකාශනයෙන් සහ කැලණියේ විද්‍යාලංකාර මුද්‍රණාලයේ මුද්‍රණයෙන් මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත.
සංඥාපනය.
මානව සමාජයෙහි ශ්රෙෂ්ඨත්වයට පත්වීම ස්වකීය ඥානය පිළිබඳ විශිෂ්ට ලක්ෂණයකි. ඒ සඳහා මහොත්තමයන්ගේ චරිතා ශ්‍රයෙන් ප්රතිපාදිතවූ ගුණෝද්ග්රහණය ද ඉතා ප්රයෝජනවත්ය. භූතලයෙහි ප්‍රාදුර්භූතවූ සියලු ජනයන් අතුරෙන් තථාගතයන් වහන්සේ ම අත්‍යුත්තම ශ්‍රෙෂ්ඨ පුද්ගල වූහ. එහෙයින්ම අග්‍ර ගණ්‍ය ද වූහ. උන්වහන්සේගේ චරිත ප්‍රතිබද්ධවූ සකල ගුණාංගයෝ ම විදග්ධ ජන සමූහයාගේ සම්භාව්‍යයට පාත්‍ර වූහ. තීර්ථ්යයන්ගේ අපදාන ගැන කවර කථා ද?
මහබෝසතාණන් බොධිසම්භාර ධර්මයන් සම්පූර්ණ කරන අවස්ථා වෙහි උපනූපන් ලැඛූ ඒ ඒ ජාතිවලදී විහිත ධර්‍මසංඥා ක්‍රියා කලාපය ම වීරෝදාර ගුණ සමූහයෙන් පරිපෝෂිතය. එය සම්ප්රදා ප්රාප්තියෙන්පසු යම්යම් කරුණු නිමිතිකොට බුදුරජාණන් වහන්සේ විසින් ම දේශිතය. ඒ ඒ කථා ජාතක කථා නමින් සම්භාවිතය. ප්‍රථමකොට මාගධ භාෂාවෙන් ප්රවෘත්තවූ ඒ කථාවෝ තත් තත්කාලීන පණ්ඩිතවරණයන් විසින් ආගම ශක්තියෙන් මෙහෙයනලදුව ස්‍වප්‍රතිභා ශක්තිය ප්‍රකාශ කරමින් සිංහල භාෂාවට පරිවර්තිත වූහ. ඇතැම් කථා කිහිප දෙනකුන් විසින් ද හෙළබසට නගනලද බව දක්නට ලැබේ. එය ඒ ඒ කථාවිෂයෙහි ඔවුන්ගේ සිත් ඇදගැනීමෙන් ලත් ප්රතිඵලයකි.
මෙහිලා උම්මග්ග ජාතකය සකල සාධූන්ගේ චිත්තාහ්ලාදය පිණිස පවත්නේය. ශ්‍රාවකයන්ගේ සිත් විස්මයෙන් ප්‍රබොධ කිරීමෙහි සමර්ත්ථ හෙයිනි. මේ අපදානය නොයෙක් කවීන් විසින් ගද්‍ය පද්‍යාත්මක ලෙස ස්වබුද්ධි බලය දක්වමින් අතිශයින් වර්ණිතය. එහි කර්තෲහු ද කිහිපදෙනෙකි.
‘‘එළුඋමංදාව’’ වනාහි ද්විතීය විද්යාචක්රවර්තීන් විසින් විරචිතවූ උම්මග්ගජාතකයයි. එතුමා බුත්සරණ ආදි ග්රන්ථයන්හි කර්තෘවූ විද්‍යාචක්‍රවර්තීන්ට නොදෙවන තැනක් ගන්නා බව මෙම ග්‍රන්ථය හඳුරන්නාවූ විද්වතුන්ට අවබොධ වනු නිසැකය. පළමුවෙන් විද්‍යාචක්‍රවර්තී කෙනකු සිටි බැවින් ‘‘එළුඋමංදා’’ කතුතුමා ද්විතීය විද්‍යාචක්‍රවර්තී නමින් හැඳින්විනැයි ද, එයින් ම මෙතුමා පසු කාලයක සිටියෙකැයි ද සැලකිය හැකිය.
ද්විතීය විද්‍යාචක්‍රවර්තීන්ගේ ශ්‍රෙෂ්ඨ කෘතියක් වූ ‘‘එළු උමංදාව’’ වනාහි මේ තාක් මුද්‍රණද්වාරයෙන් ප්රචාරයට නොපැමිණි සිංහල ග්රන්ථයකි.
මෙය ධර්ම ග්රන්ථයක් වශයෙන් පමණක් නොව ‘‘සිංහලයෙහි කියවීමට සෑහෙන පොත් නැත’’ යන චෝදනාවෙන් සිංහල භාෂාව මුදා ගැන්මට මහොපකාරී වූ ද, සිංහල භාෂා පෝෂණයෙහි ලා පරමොත්කෘෂ්ට වූ ද ජාතික වස්තුවක් වශයෙන් සැලකිය හැක.
යම් ග්රන්ථයක් අසන පිරිවහන අයට චමත්කාර (රැව්) ජනක ද, පැරණි වූ හෝ අලුත් වූ එම ග්රන්ථයාගේ වටිනාකම මිණිය යුත්තේ එයින් ම ය. එළු උමංදාව වනාහි එය කියවන්නවුන්ගේ මනොරථ පූරණයෙහි සෑම අතින්ම පොහොසත් බව එය කියවීමෙන් එකහෙලා වැටහේ.
මෙහිදු, පාලි උම්මග්ගජාතකය, මහා උම්මග්ගජාතකය, උමංදාව, උමංදාකාව්යය යන ග්රන්ථයන්හි එන කථා ශරීරය ම ගැබ්වී ඇතත් රචනා කර්තෘත්, කාලයත්, රචනා රීතියත් ගැන සිතන විට මෙය අමුතු ම පොතක් ලෙස සැලකීමට කරුණු තිබෙත්.
පුරාණයෙහි සිට බොහෝ නිවෙස්වල නිතර භාවිත වූ බණ පොතක් වන එළු උමංදාව සැදැහැවතුන් භක්ති සාගරයෙහි හා විනෝදකාමීන් ප්රීතිසාගරයෙහි ද, කලා රසිකයින් සිතිවිලි සයුරෙහි හා නව නාට්‍ය රස ගරුකයන් ආහ්ලාද සාගරයෙහි ද නිමග්න කිරීමෙහි ඉවහල් වූ හැම රචනා ශෛලියකින් ම යුක්ත වන අතර රාජනෛතික වූ හා සංග්රාමොපායායතන වූ ද විවිත්ර කරුණුවලින් ගහණ වූයේ ශතවර්ෂ ගණනකට පෙර සිරිත් විරිත් හා භාෂා තත්වය විදහා පානා කැඩපතක් බඳුය.
දුර්භාග්‍ය කාලයේ පරිහානි නමැති හිමපවලින් වැසී අභාවප්‍රාප්ත නිපන්න සිංහල ශබ්ද දහස් ගණනක් ආරක්ෂාවීමෙහි ශබ්ද රත්න භාණ්ඩාගාරයක් බඳු මෙම ග්‍රන්ථය ආධුනිකයින්ගේ පමණක් නොව විද්වතුන්ගේ ද අමුතු ම රචනා විලාශයකට මං පාදයි.
ස්වභාවොක්තිය ම ප්‍රාණවත් කොට දැක්වීමෙහි බුහුටි, මෙහි කර්තෘවරයෝ ඇතැම් වර්ණනාවන්හි දී වෙනස් මඟක් ද ගත්හ.
ප්රශෙනොත්තර කටෝපකථනයෙහි සුරුබුහුටි ළපටි බෝසත් මහෞෂධ පඬිතුමන්ගේ නානා ව්‍යාඛ්‍යාන කථා නමැති රස ධාරාවන් බහුශ්‍රුත ද්විතීය විද්‍යාචක්‍රවර්තීන්ගේ රචනා විලාස නමැති සැඩපහරින් ඔබ වඩාත් වේගවත් ව ගලාබසින්නාක් මෙන් මෙහි පෙනෙන විශේෂත්වය ගැන සැලකීම කියවීම් ලෝකයාට භාර කරමු.
මෙය සංශොධනයෙහිදී අපට ලැබුණු පුස්කොල පොත් අතරින් ඉතා පැරණි එළු උමංදාව මුල් පොත වශයෙන් ද, එසේම පැරණිකමේ හැටියට ඉතිරි පොත්වල හා මුද්‍රිත පොත්වල අමුතු වචන පාඨාන්තර වශයෙන් ද මෙහි ඇතුලත් කෙළෙමු.
සංශොධනය නම්; පැරණි ලියන්නන් අතින් වූ පද බිඳීම් අඩු අකුරු පිරවීම් හා ඉතාමත් ම විසදෘශ තැන් සකස් කිරීම පමණකි.
වර්තමාන ආචීර්ණ කල්පිකයින්ගේ විවිධ මත අනුව නොගොස් මුල් පුස්කොල පොතේ තත්වය ද, අක්ෂර වින්‍යාසය ද, විභක්ති භෙද ආදිය ද වෙනස් නොකිරීමට ලංකා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය්ය ඇම්. ඩී. රත්නසූරිය මහතුන්ගෙන් අපට ලැබුණු උපදෙස් ඉතා අගය කොට සලකමිහ.
තවද අපට ලැබුණු ඉතා පැරණි පුස්කොල පිටපතේ අකුරු ගල් ලිපිවලට හා ග්රන්ථාක්ෂරවලට බොහෝ සේ සමානයහ. එහිම පැනෙන ‘‘දෙවිද්යාචක්රවර්තීන්ගේ එළු උමංදාව නිමි’’ යන පාඨයෙන්ම කර්තෘ කාලාදිය තීරණය වන බැවින් අපි එ ගැන ප්‍රපංච නො වමු. පොත් ශුද්ධ කරමු යයි පැරණි පොත්වල පැවති පෞරාණික තත්වය වෙනස් කොට ස්වමතයට අනුව සකස් කිරීමේ ජාතික අපරාධයෙන් ඉතා වටිනා පැරණි සාහිත්‍ය ග්රන්ථ කිලිටිකර තිබෙන මේ යුගයෙහි ඉන් මිදීමට අප ඉතා උත්සුක වූ බව ද, මෙය මුද්‍රණයෙහි දී ස්වධනය යෙදීමෙන් ජාතික වූ ද සාහිත්යික වූ ද සේවයක් කළ තංගලු නගරාධිපති සමාදාන විනිශ්චයකාර ධුරන්ධර සද්ගුණවත් ඩී. පී. අතපත්තු ආණ්ඩුවේ නීතිඥ තුමන්ට ද, මෙය මනා ලෙස මුද්‍රණය කර දුන් කැලණියේ ‘‘විද්‍යාලංකාර මුද්‍රණාලයෙහි’’ කළමනාකාර මහතුන්ට හා මෙහි ශුද්ධිපත්රාචලොකනයෙන් උදවු කළ ශ්‍රී ධම්මදින්න පිරිවෙනෙහි ආචාර්ය්ය ඛදිරන්දේ දීපංකර ස්ථවිරයන්ට ද ප්‍රසංසා සහගත වන බව ද මතක් කරමු.
මීට,
පරවාහැර පේමානන්ද ස්ථවිර.
පණ්ඩිත ගලගම ධම්මික ස්ථවිර.
ශ්‍රී ධම්මදින්න පිරිවෙන.
පොලොම්මාරුව.
තංගල්ල.
2494
1950 8. 20.