විනය කොෂය 1, 2 - මොරටුවේ සාසනරතන හිමි 1955.pdf

කතෘ :
මොරටුවේ සාසනරතන හිමි
ප්‍රකාශිත වර්ෂය :
1955
මුද්‍රිත වර්ෂය :
1955
පිටු ගණන :
482
බාගත කිරීම් ගණන :
595
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-22
ගොනුවේ ප්‍රමාණය :
116 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 242

විනය කොෂය (ප්‍රථම භාගය - අ) යනු විනය පිටකයට අයත් පෙළ, අට්ඨකථා, ටීකා සහ ප්‍රකරණ ග්‍රන්ථවල එන විනය පාරිභාෂික වචන අකාරාදි ක්‍රමයෙන් විස්තර කරමින් පණ්ඩිත මොරටුවේ සාසනරතන ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අගනා විනය ශබ්දකෝෂයකි.

මෙම ප්‍රථම භාගයෙන් ‘අ’ අක්ෂරයෙන් ආරම්භ වන වචන ආවරණය වන අතර, සෑම පදයක් සඳහාම පාහේ නිරුක්ති (පදසිද්ධි), අර්ථ විවරණ මෙන්ම අදාළ මූලාශ්‍ර ග්‍රන්ථවල පිටු සහ පෙළ ඇතුළත් විස්තරාත්මක සටහන් සපයා ඇත. තවද පාලි භාෂාව හදාරන්නන්ට මෙන්ම විනය පිටකය ගැඹුරින් අධ්‍යයනය කරන්නන්ට ද මෙය ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂ ග්‍රන්ථයකි.

පානදුරේ වදුරාමුල්ලේ ඇම්. ඇෆ්. සී. පෙරේරා මහතා විසින් මෙම කෘතිය බු.ව. 2498 / ක්‍රි.ව. 1955 දී පානදුරේ නන්දන යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

සංඥාපනය.

විනය පිටකයට ඇතුළත් පෙළ, අටුවා, ටීකා සහ ප්‍රකරණ පොත්වල ද දක්නා විනය පිළිබඳ වචන අකාරාදි ක්‍රමයෙන් විස්තර කළ බැවින් මේ පොත “විනය කොෂය” නම් විය. ආචාර්ය වසුබන්ධුගේ අභිධර්ම කොශයට ම විසින් ලියූ විස්තර වර්ණනාව මුද්‍රණය කරවද්දී විනය පිටකය පිළිබඳව මෙබඳු පොතක් ලියැවිනී නම් මැනැවැයි මට හැඟී ගියේය. එබැවින් විනය පිටකය පිළිබඳව දැනට මුද්‍රණය වූ ද, නො වූ ද, පොත් රාශියක් සපයා ගෙන එම පොත්වල එන විනය පාරිභාෂික වචන එකතු කර, එය අකාරාදි ක්‍රමයෙන් සකස් කොට ස්වර කාණ්ඩය අවසානය දක්වා විස්තර ද ලියූවෙමි. මෙහි ප්‍රථම භාගය වශයෙන් එම ස්වරාදි කාණ්ඩය මුද්‍රණයට සුදානම් කළ නමුත් එයට දිගුකලක් ගතවන අතර විශාල වියදමක් ද දරන්නට සිදුවන බැවින් පිටු 200 කින් පරිමිත වූ අකාරාංශය පමණක් ප්‍රථම භාගය වශයෙන් මෙසේ මුද්‍රණය කරවමි. මෙබඳු පිටු 500 කින් පමණ පරිමිත වන දෙවන කාණ්ඩය “ආ” පටන් “ඔ” අනන්ත ස්වරාදි කාණ්ඩය වේ. ඒ අනුව කාණ්ඩ සතරකින් හෝ පහකින් විනය කොෂය සම්පූර්ණ වනු ඇත.

පොළොන්නරු යුගයේදී ලියූ අභිධානප්පදීපිකාව දැනට පාළිභාෂාවට ඇති ඉතා පැරැණි ශබ්දකෝෂය වේ. එහෙත් එය ලියන ලද්දේ අකාරාදි ක්‍රමයෙන් නොවේ. එහි දක්නා වචන අකාරාදි ක්‍රමයෙන් සකස්කොට පදසිද්ධි ආදිය දක්වමින් වස්කඩුවේ සිරි සුභූති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියූ අභිධානප්පදීපිකා සූචිය ශ්‍රෙෂ්ඨ ග්‍රන්ථයකි. “අභිධාන කොස” නමින් කෝෂ ග්‍රන්ථයක් පිළිබඳව විමති විනෝදනී ටීකාවේ මෙන් ම සාරත්ථදීපනී ටීකාවේ ද, සඳහන් වන නමුත් එය අද නාම මාත්‍ර ශේෂය. සමහරවිට මේ “අභිධාන කොසය” “අභිධානප්පදීපිකාවට ද” වඩා පැරැණි විය හැකිය. ඉංග්‍රීසියෙන් මුද්‍රිත, අකාරාදි ක්‍රමයෙන් ලියූ පාලි ශබ්දකෝෂ කීපයක්ම ඇත. මේ අතර මෑත කාලයේ විසූ ශ්‍රෙෂ්ඨ පණ්ඩිතවරුන් කීප පළක් විසින් ලියූ පාළි—සිංහල; සිංහල—පාළි; ඉංග්‍රීසි—පාළි ශබ්දකෝෂ කීපයක් ද වේ. මේ “විනය කොෂයේ” වචනයන්ගේ නිප්ඵත්තිය, ප්‍රභවය ආදිය ශබ්දකෝෂ ප්‍රතිපත්ති අනුගමනය කරමින් දැක්වීමි. මෙහි බොහෝ කරුණු විනය පිටකයට පමණක් සීමා වුවද පාළි භාෂාව පිළිබඳ සාධාරණ ශබ්දකෝෂයක් හැටියට ද මෙය ප්‍රයෝජන ගත හැකිය. විනය පිටකය පිළිබඳව මෙබඳු පොතක් මුද්‍රණය වී ඇති බවක් මම නොදනිමි. එසේ නම් මෙය ලියන්නට ලැබීම පිළිබඳව මම වඩා ලා සතුටු වෙමි. අකාරාදි ක්‍රමයෙන් ශබ්දකෝෂයක් පිළියෙල කිරීමේදී මුහුණ පෑ යුතු දුෂ්කරතා රාශියකි. ඒ සියල්ලට මම මුහුණ පෑ වෙමි.

මෙහි උද්ධරණය කළ සෑම වචනයක්ද, ඒ වචනය පිළිබඳව ලියූ විස්තරය ද, ඇතුළත් පොත්වල පිටු—පෙළ ආදිය ඒ ඒ වචනයන්ගේ විස්තරාවසානයෙහි ශබ්දකෝෂ ප්‍රතිපත්ති අනුව දක්වා ඇත. එබැවින් යම් වචනයක් පිළිබඳව වඩා විස්තර දැනගත යුතු නම් ඒ ඒ පොත්වලින් දැනගත හැකිය. පදසිද්ධි දැක්වීමේදී ව්‍යාකරණ සූත්‍ර දැක්වීමක් නො කොට සූත්‍රයන්ගේ සාරය පමණක් ගරු කෙළෙමි. සමහර වචනවලදී විවේචනාත්මක සාධක මෙහි ඉදිරිපත් කර ඇත. එය තවදුරටත් විමසා බැලීම ධර්ම—විනයධර උගත් ලෝකයාට භාරය. එබැවින් අනමතග්ග, අඩ්ඪුද්ධ, අද්ධතිය, අජියධනු, අනුණ්ණතාවාසි, අට්ඨක වග්ග, අවිනිපාත ධම්ම, අන, අසංකච්චික ආදි තන්හි දැක්වූ හේතු සාධක විමසිය යුතුය. අඩ්ඪුද්ධ ආදී ශබ්ද කීපයකම නියම අර්ථය කිසිදු ආයාසයක් නැතිව මින් උගත හැකියයි සිතමි. අජගර, දුට්ඨුල්ල, අනන ආදි තන්හි දැක්වූ ශබ්දයන්ගේ ඉතිහාසය නිසා සිංහල භාෂාවට ද ප්‍රයෝජනයක් වන්නට පිළිවන.

මෙහි සමහරවිට මගේ නොදැනීම නිසා අනවශ්‍ය වචන ඇතුළත්ව හෝ අවශ්‍ය වචන ඇතුළත් නොව හෝ ඇත. එසේ නම් එය දන්වා එවූ විට දෙවන මුද්‍රණයකදී සකස් කරන්නේමි. මේ ප්‍රථම භාගයේ පවා අවශ්‍යයෙන් ඇතුළත් විය යුතු වචන කීපයක් ම ඌන පූරණ වශයෙන් අවසානයෙහි යෙදීමි. මෙබඳු වචන තව ඇතිවිය හැකිය. එබැවින් මෙහි අසුවල් වචනය නැතැයි කියන්නට පෙර ඒ වචනය යෙදිය හැකි හැම තැනක් ම සොයා බැලිය යුතුය. සමහරවිට ඔබ සිතන වචනය වෙන විධියකින් මෙහි යෙදෙන්නට පිළිවන.

මෙබඳු වැඩකදී ලොකු ඉඩකඩක් ද, විවේකයක් ද, අවශ්‍යය. එහෙත් ඒ සියල්ල ම මට ලැබුණේ නැත. පොත් පත් 10, 15 එක පිට එක තැබූ කුඩා මේසයක ඒ සියල්ල සසඳා බලන්නට ද, විමසන්නට ද, කරුණු උපුටා විස්තර ලියන්නට ද සිදු විය. මෙබඳු අනවකාශතා මධ්‍යයේ මෙය සම්පාදනය කළ බැවින් මෙහි ප්‍රමාද දෝෂ ඇතිවනු නිසැකය.

මෙය ලිවීමේදී සමහර ගැඹුරු, ගැටලු කරුණු පිළිබඳව මගේ ගුරුපාදයන්ගේ පිහිට ලබා ගතිමි. එසේම ශාස්ත්‍රාචාර්‍ය්‍ය පණ්ඩිත කාහන්දමෝදර පියරතන ස්ථවිරයන් වහන්සේ සහ පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල ස්ථවිරයන් වහන්සේද බොහෝ කරුණුවලදී මට උපදෙස් දුන්හ. මෙවැනි කටයුත්තකදී අවශ්‍ය පොත්පත් සොයා ගැනීම ද දුෂ්කර කරුණකි. එහෙත් පොත්පත් වැඩි හරියක් සපයා දුන් ගරු මිහිරිපැන්නේ ජෝතිපාල, ගරු හොරෙතුඩුවේ ධම්මධජ, ගරු ගම්පොළ ධම්මවංස යන ස්ථවිරයන් වහන්සේලා කෙරෙහි මම කෘතඥ වෙමි. එසේම කළුතර පුලිනතලාරාම පුස්තකාලයේ තිබූ විනය විනිශ්චය ටීකාවේ අත්පිටපත දීමෙන් බේරුවල සිරිසුමංගල සිරිනිවාස මහානායක මාහිමියන් වහන්සේ ද, වජිරබුද්ධි ටීකාවේ සිංහල අකුරෙන් ලියූ පිටපත සපයා දීමෙන් ගරු අම්බලියැද්දේ සරණතිස්ස ස්ථවිරයන් වහන්සේද, සමන්තපාසාදිකා අටුවාවට ලියූ විනයත්ථ සමුච්චය නම් පොතේ පුස්කොළ පිටපත සපයා දීමෙන් පණ්ඩිත මැද උයන්ගොඩ විමලකිත්ති ස්ථවිරයන් වහන්සේ ද මට ආධාර වූහ. එසේම මෙහි සමහර ලිපි ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී පානදුරේ ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ නියුක්ත මාලිනී විජේසේකර මහත්මිය සහ ටර්ලි කුරේ මහත්මියද, එසේම එම විද්‍යාලයේ ප්‍රධානාචාර්‍ය්‍යාවරී සුජාතා රොද්‍රිගු ශිෂ්‍යාවද උපකාර වූ බැව් දන්වනු කැමැත්තෙමි.

පොත කියවන්නට පෙර මෙහි ඇති උපදෙස් පිළිපැදිය යුතුය. ශුද්ධිපත්‍ර බැලීමේදී සිදුවූ වැරදි කීපයක්ම දක්නා නමුත් එයින් එතරම් අර්ථ විපරීතයක් සිදු නොවන බැවින් ශුද්ධිපත්‍රයක් නො යෙදීමි. මෙහිදී මා ගත් උත්සාහය කොතරම් දුරට සාර්ථක වීදැයි මම නොදනිමි. එය ධර්ම විනයධර පණ්ඩිතවරුන් විසින් විසඳිය යුතුය.

අවසාන වශයෙන් “ලක්දිව මහයාන අදහස්” නම් ග්‍රන්ථයට ම විසින් ලියූ සංඥාපනයේ අවසාන භාගය මෙහි ද ඇතුළත් කරමින් මේ සංඥාපනය අවසන් කරමි. එය මෙසේයි.

“මෙහි යම් දෝෂයක් වෙයි නම් එය මට ද, ස්තුති ප්‍රශංසාවක් වෙයි නම් මගේ ගුරු—දෙගුරුන්ට ද ප්‍රයෝජනයක් වෙයි නම් එය ලෝකයාට ද හිමි යැ:”

මොරටුවේ සාසනරතන ස්ථවිර.
2498
1955 1. 30 වැනි දින
පානදුරේ රන්කොත් විහාරයේදීය.

PREFACE

This book has been entitled the ‘Vinaya Kosaya’ as it treats Vinaya terms found in Pali texts, commentaries, glossaries and treatises on the Vinaya Pitaka. When my commentary to Vasubandhu’s Abhidharma Kosaya was in the press I felt that it would be useful if a work of a similar nature on the Vinaya Pitaka could be produced. Accordingly I collected the technical terms occuring in books and manuscripts on the Vinaya Pitaka & arranged them in alphabetical order & prepared a comprehensive glossary up to the end of the vowels. Although the first part containing all the vowels was ready for the press, yet, as it involves time and expense I have brought out as the first part 200 pages only covering the vowel “අ”. The second part comprising 500 pages will deal with the remaining vowels ආ to ඔ. Thus ‘Vinaya Kosaya’ will be completed in 4 or 5 parts.

Abhidhanappadipika belonging to the Polonnaruwa Period is the oldest available dictionary of the Pali Language. But it is not written in alphabetical order. On this work, Waskaduwe Siri Subhuti Nayaka thero produced the valuable work Abhidhanappadipika Suci where the words are arranged in alphabetical order and etymologies given. Though the Vimati Vinodani Tika and Saratthadipani Tika make mention of a glossary “Abhidhana Kosaya” it remains only in name. Perhaps Abhidhana Kosa may be older than Abhidhanappadipika. Besides the Pali dictionaries written in English, there are several Pali-Sinhalese, Sinhalese-Pali, English-Pali dictionaries compiled by scholars in recent times. In this book I have followed lexicographical methods in giving the etymology etc. of words. Although much of the information is limited to the Vinaya Pitaka this can be used as a Pali dictionary as well, I am all the more happy about this effort as I am not aware of any other work of a similar nature on the Vinaya Pitaka. I must Admit that I too faced the difficulties met with in the compilation of a dictionary.

In keeping with the lexicographical methods, after the explanation of words I have cited the page and line etc. of the authorities from which words and information regarding any words is required it can be easily obtained by reference to these books, In explaining the derivation, I have, at times, prefered giving the gist rather than quoting the rule. In certain instances proofs have been adduced. Further research, I leave to those proficient in the Dhamma and Vinaya. The arguments given for anamatagga, addhuddha, addhatiya, ajiyadhanu, annunnatavasi atthakawagga, avinipatadhamma, ana, asankhaccika etc. should be examined. I feel that, in this way, the exact meanings of words like addhuddha can be readily understood. And the historical data given to words like ajagara, dutthulla, anana will be useful to the Sinhalese Language as well.

If any mistakes found in this part are brought to my notice necessary corrections can be made in a future edition. I have included at the end a supplementary list of words that should have occured in the first part itself and so feel that there may be more. Before the ommission of a word is pointed out all the instances where this word occurs should be examined as the word may have been introduced in some other form here.

A work of this sort requires means and leisure. The task of comparing, examining and writing had to be done on a small table with a pile of 10 to 15 books. Under these adverse circumstances one cannot but expect shortcomings in a work like this.

I received the assistance of my Preceptor in elucidating certain dificulties. Pandit Kahandamodara Piyaratana thero and Pandit Ambalangoda Dhamma Kusala thero offered me guidance. I am grateful to Rev: Mihiripenne Jotipala, Rev: Horetuduwe Dhammadhaja, Rev: Gampola Dhammawansa for providing me with most of the books. Beruwala Siri Sumangala Siriniwasa Mahanayaka thero supplied me with a manuscript copy of Vinaya Vinichchaya Tika from the Kalutara Pulinatalarama library, Ambaliyadde Saranatissa thero with the copy (written in Sinhalese characters) of the Vajirabuddhi Tika and Pandit Medauyangoda Wimalakitti thero with an ola manuscript of Vinayartha Samuchchaya on the commentary Samantapasadika. I should also mention the names of Miss Malini Wijesekara and Miss Turley Cooray of the Staff of Sri Sumangala Girl’s School Panadura, and Miss Sujata Rodrigo of the same school who were of very great assistance to me in the English translation.

Before perusing this book, the instructions given should be followed. Although several mistakes were detected in the course of proof-reading, I did not include a corrigenda as they were not of a serious nature. I do not know how far my attempt has been successful. I leave it to scholars well-versed in Vinaya to decide.

I conclude with the last part of my preface to “LAKDIVA MAHAYANA ADAHAS.” “Herein if there be any mistakes, they are mine, any praise should go to my teachers and parents and any benefit to the world.”

MORATUWE SASANARATANA THERO.
Rankot Viharaya,
Panadura.
30. 1. 1955.

ප්‍රස්තාවනාව

ධම්මවිනය, සද්ධම්ම, පාවචන, බ්‍රහ්මචරිය, අරියවිනය යන නම්වලින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනය හැඳින් වූ සේක. බුද්ධ දේශනාව ධර්ම-විනය දෙකින් ම යුක්ත වූ නිසා බොහෝ තැන දක්නේ “ධම්ම විනය” කියාමය. ප්‍රථම ධර්ම සංගායනාවට පෙරාතුව සංගීති කාරක මහා රහතන් වහන්සේ ද, “ධර්ම-විනය දෙක සංගායනා කරමු”යි කතිකා කළහ. මෙහි ධම්ම ශබ්දයෙන් පස්මහ සඟිය ද, විනය ශබ්දයෙන් උභතෝ විභඞ්ග, ඛන්ධක, පරිවාර ඇතුළත් විනය පිටකය ද ගැනේ. අභිධර්ම නමින් හඳුන්වන දේශනාව ද, ධම්ම ශබ්දයෙන්ම ගත්හ. ශාසනයාගේ චිරස්ථිතිය විනය උඩම රඳා පවත්නා හෙයින් ප්‍රථම ධර්ම සංගායනාවේදී පළමුව විනය ම සංගායනා කළහ. සත්මසක් තුළ පැවැත්වූ සංගායනාව අවසානයෙහි බුද්ධවචනය රස, ධම්ම විනය, වචන, පිටක, අඞ්ග, ඛන්ධ වශයෙන් බෙදා වෙන් කළහ. සකල බුද්ධවචනය ම රස වශයෙන් එකකි. ධර්ම-විනය වශයෙන් දෙකකි. වචන සහ පිටක භෙදයෙන් තෙවැදෑරුම් වේ. අඞ්ග වශයෙන් නවයක් සහ ස්කන්ධ භෙදයෙන් අසූහාර දහසක් ද වේ. [continues]