පාරාජික පාළි ගැටපදය - අමිතිරිගල පඤ්ඤාවංස හිමි 1942.pdf

කතෘ :
අමිතිරිගල පඤ්ඤාවංස හිමි
ප්‍රකාශිත වර්ෂය :
1942
මුද්‍රිත වර්ෂය :
1942
පිටු ගණන :
73
බාගත කිරීම් ගණන :
573
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-22
ගොනුවේ ප්‍රමාණය :
34 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 37

පාරාජික පාලි ගැටපදය යනු විනය පිටකයේ පාරාජිකා පාලිය හදාරන භික්ෂූන් වහන්සේලා සහ ධර්ම ශිෂ්‍යයන් සඳහා සම්පාදනය කරන ලද අරුත් විවරණ ග්‍රන්ථයකි. මෙහි කර්තෘත්වය දරනු ලබන්නේ වලලියද්දේ ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආචාර්ය පණ්ඩිත අමිතිරිගල පඤ්ඤාවංස ස්ථවිරයන් වහන්සේ විසිනි.

ප්‍රාතිමෝක්ෂයෙන් පසුව විනය පිටකය හැදෑරීමේදී මුහුණදීමට සිදුවන දුරවබෝධ පාළි පාඨ, පද සහ වාක්‍යයන් සඳහා සමන්තපාසාදිකා විනය අටුවාව, සාරත්ථදීපනී ටීකාව, විමතිවිනෝදනී ටීකාව ආදී විනය ග්‍රන්ථයන්ගේ ආධාරයෙන් සිංහල භාෂාවෙන් අර්ථ විවරණ සැපයීම මෙහිදී සිදු කර ඇත. මෙහි පිටු අංක යොමු සපයා ඇත්තේ ක්‍රි.ව. 1901 වර්ෂයේ මුද්‍රිත පාරාජිකා පාලි පොත අනුව ය.

මෙම කෘතිය බලගල්ලේ සරස්වතී පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය පණ්ඩිත හපුගලානේ ශ්‍රී ඥානාලෝක හිමියන්ගේ ශුද්ධිපත්‍රාවලෝකනයෙන් හා එම පරිවේණාධිපති හිස්වැල්ලේ ශ්‍රී ඥානෝදය නාහිමියන්ගේ පිළිගැනීමෙන් යුක්තව බු.ව. 2486 (ක්‍රි.ව. 1942) දී මීගල්ලේ ඩී. පී. රාජකරුණා මුදලාලි මහතාගේ දායකත්වයෙන් අත්තනගල්ලේ සහබෝ මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

සංඥාපනය.

‘‘විනයෝ නාම සාසනස්ස ආයු’’ විනය සඟිඳු ශාසනයාගේ ආයුෂය වේ. සසුන් ගත කුල පුත්‍රයන්ගේ කාය වාක් සංවරය පිණිස සම්බුදු රදුන් විසින් දෙසා වදාළ පාරාජිකා- පචිති- මහ වග- චුළු වග- පරිවාර යන ග්‍රන්ථ පඤ්චකයකින් පරිමිත වූ විනය පිටකය ඔවුන් විසින් ප්‍රගුණ කොට දැරීම හා ඒ අනුව සංවරයෙහි පිහිටා සසුන් කිස නො පිරිහෙලා සම්පූර්ණ කරන තාක් සම්බුද්ධ ශාසනය දීප්තිමත් ව බැබළේ. විනය පාළිය ඇතැම් තැන ලෞකික සංස්කෘතයට වේද සංස්කෘතය මෙන් එය ඉගෙන ගන්නා ශිෂ්‍යයන්හට මහත් ආයාශය පිණිස හේතු වේ. ලංකාවේ මෙ කල විනය ධාරීන්ගේ දුර්ලභත්වයට ද ප්‍රධාන හේතුව එය ම යයි සැලකීම නිවරද යයි හඟිමු. ශාසනාගත කුල පුත්‍රයෙකු අතට පළමුවෙන් ම ප්‍රගුණ කිරීම පිණිස පත් වනුයේ ප්‍රාති මෝක්‍ෂයයි. එහි පෙළට සන්න කීපයක් ම මුද්‍රණද්වාරයෙන් ප්‍රචාරයට පැමිණ තිබෙන හෙයින් එය උගන්නාහට පදගතාර්ථාවබෝධය සම්බන්ධයෙන් නම් වඩා දුෂ්කරත්වයකට මුහුණ පාන්නට සිදු නො වේ. එහෙත් අටුවා ටීකානුගත අවබෝධයක් නම් ඔහුට නො ලැබේ.

ප්‍රාතිමෝක්‍ෂයෙන් පසුව ප්‍රගුණ කිරීම පිණිස විනය පිටකයෙන් ශිෂ්‍යයා අතට දෙනුයේ ‘පාරාජික පාළිය’ යි. සාමාන්‍යයෙන් බැලූ බැල්මට නම් එහි පාළිය බොහෝ තැන්වල සරල ය. එහෙත් අටුවා ටීකා කොතෙක් පෙරළුවත් නවීනයෙකුට තබා ප්‍රවීණයෙකුට ද අදහස අවබෝධ කර ගැනීමට දුෂ්කරස්ථාන රාශියකි.

ශිෂ්‍යයන් හට ඇති වන මේ කරදරය මදක් වත් දුරලීමට මඟක් යොදනුයේ කලක පටන් ම අදහස් කර සිටින විට අප වයස්‍ය සහෝදර වලලියද්දේ ගරු පඤ්ඤාවාස ස්ථවිර පාදයන් වහන්සේ ද අප ඒ පිණිස උත්සාහවත් කළ බැවින් පාරාජිකා පාළියේ දුරවබෝධස්ථානයන්ට ගැට පදයක් ලියා ශිෂ්‍යයන් අතට පත් කිරීමට මේ දුෂ්කර කාලයෙහි ම ආරම්භ කෙළෙමු. එය එසේ ම සමන්ත පාසාදිකා- විමති විනෝදනී- සාරත්ථ දීපනී- විනය විනිශ්චය- කුදු සික ආදී විනය විවරණ ශ්‍රිත ග්‍රන්ථවල සහ ගුරුපදේශවල ද ආධාරයෙන් හැකි තාක් දුරට සම්පූර්ණ කොට ලියා මෙසේ පල කෙළෙමු. ඇතැම් වචන සම්බන්ධ අරුත් ඒ පිළිබඳ කිසි ම ග්‍රන්ථයකින් සපයා ගත නො හැකි වීම් නිසා එ බඳු තැන් කීපයක දී උසස් විනය ධාරීන්ගේ හා ශුද්ධි පත්‍රාවලෝකනය කළ පණ්ඩිත හපුගලානේ ශ්‍රී ඥානාලෝක ස්ථවිර පාදයන් වහන්සේගේ ද අදහස් විමසා ස්ථානෝචිතාර්ථයක් දුනිමු. මෙ වර එසේ යෙදුව ද තවද එ බඳු ස්ථාන ගැන අභි පරීක්‍ෂා කරන්නෙමු. දෙ වන සංස්කරණයක දී පාරාජිකා- සංඝාදිසේස වාරභේදයන් සහිත තවත් විස්තර යොදා අප ගේ අනවධානත්වයෙන් වූ අඩු පාඩුත් සම්පූර්ණ කොට පල කිරීමට බලා පොරොත්තු වෙමු.

උපකාරානුස්මරණය.

මේ කෘතිය උගතුන් අතට ඉතා සුළු දෙයකි. අපි ද එසේ ම පිළි ගන්නේමු. එසේ වුව ද අප අතින් ලියැවී මුද්‍රණයට පැමිණි ප්‍රචාරයට පත් වන පළමු වන ග්‍රන්ථය මෙය බැවින් යුතු කමක් වශයෙන් අපගේ දියුණුවට ආධාර කළ උතුමන් ගෞරව පූර්වක ව මෙහිලා සිහිපත් කරමු. අස්මදාචාර්‍ය්‍ය වලලියද්දේ සුන්දරාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දිශා පාලක ධුරන්ධර නෛය්‍යායික වේවැල්දෙණියේ නන්දාරාම තිස්ස මහා ස්ථවිර පාදයන් වහන්සේ හා පණ්ඩිත ගරු වතුරුගම පඤ්ඤාරතන ස්ථවිර පාදයන් වහන්සේ ද ප්‍රව්‍රජ්‍යාචාර්‍ය්‍යයන් වහන්සේලා මෙන් ම දයාවෙන් අප දියුණුව ඇතිකර ලීමෙහි නිරත වූවන් බව ගෞරව පූර්වක ව පළමු කොට ම සිහි පත් කරමු.

අනතුරුව මේ ග්‍රන්ථය පිළිගැනීමෙනුදු අපට සංග්‍රහ කළ බලගල්ලේ සරස්වතී පරිවේණාධිපති පණ්ඩිතාචාර්‍ය්‍ය හිස්වැල්ලේ ශ්‍රී ඥානෝදය මහා ස්ථවිර පාදයන් වහන්සේ හා එහි ම උප ප්‍රධානාචාර්‍ය්‍ය ධුරන්ධර වූ මේ ග්‍රන්ථයෙහි ශුද්ධි පත්‍රාවලෝකනයෙනුදු අප අදහස් සම්පූර්ණ කළ පණ්ඩිත ගරු හපුගලානේ ශ්‍රී ඥානාලෝක ස්ථවිර පාදයන් වහන්සේ ද රත්නපුරේ ශ්‍රී සුමන විද්‍යාලයාධිපති පණ්ඩිත ගරු හේන්පිටගෙදර ඤාණසීහ ස්ථවිර පාදයන් වහන්සේ ද ධර්‍මාචාර්ය්‍යයන් වහන්සේලා වශයෙන් ගෞරව පූර්වක ව සිහි පත් කරමු.

තවද, වලලියද්දේ ශ්‍රී සුමංගල විද්‍යාලයාධිපති අප ගරු වයස්‍ය සහෝදර ගොඩගම සිරි පඤ්ඤානන්ද ස්ථවිර පාදයන් වහන්සේ හා එහි උපාචාර්‍ය්‍ය වලලියද්දේ ගරු පඤ්ඤාවාස ස්ථවිර පාදයන් වහන්සේ ද සහෝදර ප්‍රේමයෙන් අප අභිවෘද්ධිය සලසා දීමෙහි ප්‍රෝත්සාහී වූ බව සිහි කරන අතර ම මේ ග්‍රන්ථය සැපයීමට මුල දී ආධාර කළ සරස්වතී පිරිවෙන්හි උපාචාර්‍ය්‍ය වරයෙක්ව සිටි මගල්ගොඩ ගරු වංසවංශ ස්ථවිර පාදයන් වහන්සේ ද කෘතඥතා පූර්වක ව මෙහිදී සිහිපත් කරමු.

තව ද අපගේ ඉගෙනීමේ කටයුතු අවසාන වන තෙක් සියලු වියදම් කිරීමෙන් පුත්‍රප්‍රේමයෙන් අනුග්‍රහ කළ අප පිතෘභූත අමිතිරිගල වසමේ විශ්‍රාමලත් ගම් ආරච්චි ධුරන්ධර ඊ. ඇම්. ජී. එදිරිසිංහ රාළහාමි සහ අප දයාබර සහෝදර පිරිස ද අවසාන වශයෙන් ප්‍රීති පුරස්සර ව සිහි පත් කරමු.

මුද්‍රණය.

අද පවත්නා භයානක ලෝක සංග්‍රාමයේ දුර්විපාකයක් වශයෙන් හැම දෙයක ම මිල අධික වී තිබෙන මේ අවධියෙහි ස්වකීය ධන පරිත්‍යාගයෙන් මෙය මුද්‍රණය කරවා දුන් අප ඥාති සහෝදර මීගල්ලේ ඩී. පී. රාජකරුණා මුදලාලි මහත්මයාට අපගේ හෘදයංගම ස්තූතිය පුද කරන අතරම කඩදාසි හිඟකම නිසා බලවත් කරදරයට පත්ව මෙය මුද්‍රණය කළ අත්තනගල්ලේ සහබෝ මුද්‍රණාලයෙහි ඩී. ඒ සුබසිංහ මහත්මයා ප්‍රධාන එහි කාර්‍ය්‍ය මණ්ඩලයට ද අවංක භක්තියෙන් යුක්ත ව ස්තූති කරන්නෙමු.

මෙයට්–

අමිතිරිගල පඤ්ඤා වංස ස්ථවිර.
ශ්‍රී: බු: ව: 2486 - 11 - 19
ක්‍රි: ව: 1942
ශ්‍රී සුමංගල විද්‍යාලය,
වලලියද්ද,
ඌරාපොළ,

විශේෂ නිවේදනය යි.

මෙහි පිටු ගණන් යොදන ලද්දේ ක්‍රි: ව: 1901 වර්ෂයේ මුද්‍රිත පාරාජිකා පාළියෙන් බව පොත පරිශීලනය කරන්නන් විසින් සැලකිය යුතු ය. මෙහි පාළි පදවල ඒ, ඕ, ඇති තන්හි දී ඒ, ඕ, රූපයෙන් ම යෙදූ බව සැලකිය යුතු. සිංහල අකුරෙන් මුද්‍රණය කරන විට එසේ යෙදීම යුක්ති යුක්ත යයි වැටහුණු හෙයින.

මෙහි තැනින් තැන සුළු සුළු මුද්‍රණ දෝෂ ඇතත් ශුද්ධි පත්‍රයක් නො යොදන ලද්දේ ය. අර්ථාවබෝධයට දුෂ්කර නො වන හෙයින. එහෙත් මේ ග්‍රන්ථයෙන් 20 වන පිටුවෙහි ‘‘ධම්මං චරකෙනෝ’’ යන්නට අරුත් වශයෙන් වැටී තිබෙන ‘‘විශ්වයෙහි යෙදෙන්නේ’’ යන්න විනිශ්චයෙහි යෙදෙන්නේ කියා ද, ‘‘පුබ්බණ්හං’’ යන්නට අරුත් වශයෙන් වැටී තිබෙන ‘‘මුං මෑ ආදිය’’ යන්න වෙනුවට හැල් වී ආදිය කියාද ශුද්ධ කරගත යුතු බව විශේෂයෙන් සැලකිය යුතුයි.

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං.