පාලි භාෂාව 1, 2, 3 - වේරගොඩ අමරමොලි හිමි 1948.pdf
- කතෘ :
- වේරගොඩ අමරමොලි හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1948
- මුද්‍රිත වර්ෂය :
- 1948
- පිටු ගණන :
- 250
- බාගත කිරීම් ගණන :
- 750
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්‍රමාණය :
- 87 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාලි භාෂාව (1, 2, 3) යනු පණ්ඩිත වේරගොඩ අමරමොලි ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රාරම්භක පාලි ව්‍යාකරණ හා අභ්‍යාස ග්රන්ථයකි. පිරිවෙන්වල මූලික 1, 2, 3 වැනි ශ්‍රේණිවල අභිනව නිර්දේශ පත්‍රයට මෙන්ම ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ S.S.C. විභාග සඳහා පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.
ග්‍රන්ථය ආරම්භයේදී පාලි භාෂාවේ ප්රභවය, එහි ඓතිහාසික පසුබිම සහ පාලි නිරුක්තිය පිළිබඳව පණ්ඩිත වැලිවිටියේ සෝරත ස්ථවිරයන් විසින් ලියන ලද අගනා ප්රස්තාවනාවක් ඇතුළත් වේ. කර්තෘ හිමියන්ගේ සංඥාපනයට අනුව එකල විද්‍යොදය පරිවෙණාධිපතිව වැඩවිසූ බද්දෙගම ශ්‍රී පියරතන නායක මාහිමියන් විසින් මෙම පොත පිළිගෙන ඇත.
අක්ෂර, සන්ධි, නාම, ආඛ්‍යාත, කාරක, සමාස, තද්ධිත ඇතුළු මූලික ව්‍යාකරණාංග මෙන්ම පරිවර්තන හා විභාගාභ්යාස රැසක් මෙහි අන්තර්ගත වේ. මෙම කෘතිය 1948 (බු.ව. 2492) දී වෛද්යාචාර්ය්ය යූ. කේ. සෝදිරිස් මහතාගේ ප්රකාශනයෙන් කොටහේනේ සාහිත්‍ය මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවා ඇත.
ප්‍රස්තාවනා
අපගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් දෙශනා කල ශ්‍රී සද්ධර්මය ලියැවුනු භාෂාවට අපි පාලිභාෂාව යයි කියමු. බුදුරජානන් වහන්සේ දැන් තිබෙන පාලිභාෂාවෙන් ධර්මය දෙශනා නො කළ සේකැයි ද, ඒ භාෂාව අනුරාධපුරයෙහි වූ මහා විහාරයෙහි විසූ භික්ෂූන් විසින් නිපදවන ලද්දෙකැයි ද, මීට අවුරුදු සීයකට පමණ පෙර සිටි යුරෝපයේ ප්‍රාචීන පණ්ඩිතවරයෙක් පැවසීය. පාලිභාෂාවෙන් ලියැවුනු පුරාතන ශිලා ලිපියක් මේතාක් දඹදිවහිදී සොයාගන්ට බැරිවීමත්, බුදුරජානන් වහන්සේහට සමකාලීනව සිටි ‘නිගණ්ඨනාත පුත්ත’ යන නාමයෙන් අපේ පාලිපොත්හි ප්‍රසිද්ධ, මහාවීර නම් අන්යශාස්තෲවරයා දෙශනා කළ ධර්මය ලියවී තිබෙන ජෛනග්රන්ථයන්හි භාෂාව හා පාලිභාෂාවද විසදෘශ වීමත් ඒ පණ්ඩිතයාට ඒ නිගමනයට බැසගැනීමට හේතුවන්ට ඇත. ලංකා ශිලා ලෙඛන සංග්රහයෙහි සම්පාදකයෙක් වූ වික්‍රමසිංහ මහතා ද ඒ අදහස ප්‍රකාශ කළ බව දනිමු. ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ වූ ඒ අදහස් අපේ රටේ පාලි උගන්නු බොහෝ දෙනෙක් නො දත්හ. එහෙයින්ම අපේ රටේ පාලි උගතුන්ගෙන් පිළිතුරු ඒ අදහස ප්‍රකාශ කළවුනට නො ලැබුනේය. මීට අවුරුදු හත අටකට පමණ පෙර මහනුවරදී පැවැත්වූ සභාවකදී එක්තරා වියතෙකු විසින් ඒ අදහස පවසන ලදී. ඊට කලින් ඒ අදහසම එතර ග්‍රන්ථයක සංඥාපනයෙහි ඉංග්‍රීසි පණ්ඩිතවරයෙකු විසින් ප්‍රකාශ කළ බව ඒ වියතා මනා කොට කීය. අපේ රටේ පාලි උගතුන්ගේ ඇස් ඇරුණේ එවිට ය. ඉන් පසු පුවත්පත් සඟරා මගින් ද විවාදයක් විය. පරිවෙණාධිපතිවරු කීප නමක් ද තරුණ පණ්ඩිතවරු කීප දෙනෙක් ද ඊට ඉදිරිපත් වූහ. තර්කයෙහි සඳහන් ‘නිග්‍රහ’ යන වචනය ආරංචියෙන් මිස එයින් ප්රකාශවන ක්‍රියාව කුමක්දැයි නො දත් හෙයින් දෝ අනුන් කෙළා තළා ඇනුම් බැනුම් කිරීම පරම සැපතක් කොට සැලකූ ඒ වියතා තමාට පටහැනිව ලියූ ඒ පරිවෙණාධිපතිවරුන්ට හා පණ්ඩිතවරුන්ටත් කුලමල පවා කියා ආක්‍රොශ පරිභව කළ-කරවූ-බව සුප්‍රසිද්ධ ය. ඒ දෙපක්ෂයෙහිම ලියුම් කියවන්ට මට ඉඩ නොලැබින. ඒ පරිවෙණාධිපතිවරුන් හා තරුණ පණ්ඩිතයන් ද ප්රකාශකරන්නේ ඇත්තේ පාලිභාෂාව මහා විහාරවාසී භික්ෂූන් විසින් නොවැ බුදුරජානන්වහන්සේ විසින් ම එකල පැවති අර්ධමාගධිය සකස්කොට නිපදවා ගත්තක්ය යන බවයි. මම ද ඒ පක්ෂයම ගණිමි. ඒ පිළිබඳ ව මගේ අදහස් ලියන්ට මෙහි ඉඩ නැත. මා විසින් මේ සම්බන්ධව කිය යුතු බොහෝ දෙය 1944දී ප්‍රසිද්ධකළ ප්රාචීනභාෂොපකාර සමිතියේ සඟරාවෙහි දක්වන ලදී.
‘පාලි’ ශබ්දයෙහි නිරුක්ත්යනුගත අර්ථය පිළිබඳ ව ද මතභේද රාශියක් පවතී. ඒ මතයන්ගේ ගුණදොෂ විවෙචනයක් කරන්ට මෙහිදී අපි අදහස් නොකරමු. අපගේ මතය සපොක්ත සඟරාවෙහි ම පළවීය. එහෙත් මෙහි එය සැකෙවින් වත් දැක්වීම ශිෂ්‍යයන් හට ප්‍රයෝජනවත් විය හැකි ය.
‘පාලි’ යන්න මුද්ධජ ‘ළ’ කාරවත් කොට ද සමහරු ලියති. ඊට විරුද්ධවන්ට කරුණක් අපට නැත. පාලිභාෂාවෙහිදී ‘ල’ ‘ළ’ යන අකුරු දෙකෙහි විශේෂයක් නැතැයි වෛය්යාකරණයන් කියූ හෙයිනි. එයින් තේරුම් ගත යුත්තේ ‘ල’ ‘ළ’ දෙක එකම ශබ්දයක් හැඳින්වීම සඳහා යෙදුනු ලකුණු දෙකක් බවයි.
‘පාලි’ නොහොත් ‘පාළි’ යන්න භාෂාවෙහි නොවැ ධර්මයෙහි වෙයි. ඒ බව නොයෙක් තැනින් ඔප්පුවේයි. බුද්ධ ධර්මය පමණක් නොවැ අන්‍ය ධර්ම ද සඳහා ‘පාලි’ යන්න යෙදුනු බව “තික්ඛු ච කණ්ටක වුත්තන්තාති අයං හිස්ස පාලි” යන සාමඤ්ඤ ඵල සුත්ත වණ්ණනා පාඨයෙන් පැහැදිලි වේ.
‘ධර්මයට ‘පාලි’ යන නාමය කවර හෙයින් යෙදුනේ දැයි පරීක්ෂා කර බැලීම වටී. ‘පා’-රක්ඛණෙ’ යන ධාතුවෙන් කර්ම කාරකයෙහි ‘ලි’ ප්‍රත්‍යය කොට සමහරු ‘පාලි’ යන්න නිපදවති. ‘රකිනා’ යනු එවිට එහි අර්ථයයි. ධර්මය තමා රකින්නා රකින බව සැබෑ ය. එහෙත් මේ ‘පාලි’ යන්නෙහි මුලකුර වූ ‘පා’ යන්න මුල් කොට ඇති පාපණ්ඩ, පාබණ්ඩ, පාවචන, පාතිමොක්ඛ යන වචන පරීක්ෂාකර බලන විට පෙනෙන්නේ ‘පා’ යන්නෙහිම ‘රකිනා’ යන අර්ථය ඇති බවයි. එහෙයින් ඒ අර්ථ ඇති ‘පා’ යන්න හා ‘ලි’ යන්න අවසන් කොට ඇති තවත් වචනයක්ද සමාස වීමෙන් ‘පාලි’ යන්න සැදුවක් බව සිතිය හැකි ය.
‘පාෂණ්ඩ, පාබණ්ඩ’ ශබ්දයන්ගේ නිරුක්තිය දක්වන ශබ්දස්තොම මහානිධිකාරයෝ “පාලනාච්ච ත්රයී ධර්මං පාශබ්දෙන නිගද්යතෙ. ෂ (බ) ණ්ඩයන්ති තු තං යස්මාත්-පාෂ (බ) ණ්ඩස්තතො කීර්ත්තිතාඃ” යන ශ්ලොකය ගෙනැ හැර දක්වමින් “වෙදධර්මය තදනුගාමීන් පාලනය කරණ හෙයින් ‘පා’ ශබ්දයෙන් කියනු ලැබේ යයි ද, එය ෂණ්ඩනය (=මඳිනය) හෝ බණ්ඩනය කරන්නෝ ‘පාෂණ්ඩ’ හෝ ‘පාබණ්ඩ’ නම් වෙතා”යි ද කීහ. සංස්කෘතයෙහි ධර්ම වාචී ‘පා’ ශබ්දයක් තිබුණු බව මෙයින් ඔප්පු වේ. ‘පා’ ශබ්දයෙහි තිබෙන මේ අර්ථය බොහෝ කලක පටන් අමතක වී ගිය බව කිය හැකි ය. ඒ නිසාම පුරාතනයෝ ද ‘පාවචන යන වචනය සංස්කෘත නො වෙතැයි සිතා ‘ප්‍රවචන’ යයි වෙනස්කරන්ට ඉක්මන් වූහ.’ ‘පාතිමොක්ඛ’ යන්නට නිරුක්ති ලියූ අටුවාටීකා ආචාර්‍ය්‍යවරයෝ පවා නොගැළපෙන දෙය කීහ. ‘පාවචන’ යන්නට ‘ධර්ම වචන’ යයි ද, ‘පාතිමොක්ඛ’ යන්නට ‘ධර්මයට ආදිවූ මුඛය’යි ද කිසි කෙනෙක් අර්ථ නො කීහ.
මේ වචනයන් පරීක්ෂා කර බැලීමෙහි දී මේ හැම තැනම යෙදුනේ ධර්මවාචී ‘පා’ ශබ්දය බව ඔප්පු වේ. ‘පාලි’ යන්නෙන් ‘පා’ ශබ්දය ද ධර්ම පර්‍ය්‍යාය වන බව දැන් පැහැදිලි ය. ‘පා’ ශබ්දයෙන් අග කොටස ‘අලි’ හෝ ‘ආලි’යි වෙන් කළ හැකිය. මෙතනට සුදුසු වූ අර්ථයක් ‘අලි’ ශබ්දයෙහි නැත.
‘ආලි’ යනු ඇලට-ජලමාර්ග විශේෂයකට-නමකි. ඒ ශබ්දය මෙහි ගැළපේ. එහෙයින් ‘පාලි’ යන්න ‘පා + ආලි’යි විසන්ධි කළහැකිය. එවිට එහි තේරුම නම් ‘ධර්මයට ඇල’ යනුයි. වෙදය වනාහි බ්‍රාහ්මණයන්ගේ ධර්ම නමැති ජලය පිරුණු ඇලක් වැනි ය. එහෙයින් වෙදය බ්‍රාහ්මණයන්ගේ පාලිය යි. එහෙත් ‘පාලි’ යන වචනය බෞද්ධයන් විසින් ම නිපදවූවක් හෝ බෙහෙවින් ව්‍යවහාර කරණ ලද්දක් හෙයින් බෞද්ධයන්ගේ ත්‍රිපිටක ධර්මය ම ‘පාලි’ නාමයෙන් ප්‍රසිද්ධ විය.
පාලිය හෙවත් ත්‍රිපිටකය දෙශනා කළ භාෂාව ‘පාලි භාෂා’ නම් වෙයි. බුදුරජානන් වහන්සේ විසින් ත්‍රිපිටක ධර්මය දෙශනා කරණ ලද්දේ එකල මගධ දෙශයෙහි සාමාන්‍ය ජනයා අතර පැවැති, දැනට ජෛන ග්රන්ථයන්හි දැක්ක හැකි මාගධී භාෂාවෙන් නොවැ තක්ෂශිලා ආදි විශ්වවිද්‍යාලයවල මධ්‍ය භාෂාව ලෙස පැවති ශුද්ධ මාගධියෙනි. ශාක්‍ය ජනපදයෙහි උපන් බුදුරජානන් වහන්සේ මගධ දෙශයට අමුත්තෙකි. ශාක්‍ය ජනපදයෙහි පැවති භාෂාව ද මගධ දෙශයෙහි පැවති භාෂාවට වඩා වෙනස්වන්නට ඇත. එහෙයින් බුදුරජානන් වහන්සේ ධර්ම දෙශනා කළ භාෂාව මගධ දෙශයෙහි පැතිර පැවති සාමාන්‍ය භාෂාව නො ව උගතුන් අතර පැවති මධ්‍ය භාෂාව විය යුතු ය. සාමාන්‍ය මාගධී භාෂාවට බෙහෙවින් ආසන්න හෙයින් ද, ඊට වඩා පිරිසිදු හෙයින් ද ඒ භාෂාව ශුද්ධ මාගධී නාමයෙන් ද ප්‍රකට විය.
පාලි භාෂාවෙහි ව්‍යාකරණය ඉතා පහසු ය. ස්වල්පය. එහෙයින් පාලි භාෂාව ඉගෙනීම ද සුකර ය. සිංහල භාෂාවෙහි බොහෝ වචන පාලිභාෂාවෙන් බිඳී ආ හෙයින් ද, බොහෝ සිංහල වාක්‍ය රචනාරීති පාලිවාක්යරචනා රීතීන් හා නො වෙනස් හෙයින් ද පාලිභාෂාව ඉගෙනීම සිංහලයන්හට ස්වභාවයෙන්ම පහසුය.
පසුගිය කාලයෙහි පාලිව්යාකරණ ඉගෙනීමට තිබුනේ මුද්රණොපකරණ නො තිබුනු, එහෙයින් ම පොත්පත් සුලභ නුවූ අතීත කාලයෙහි කටපාඩම් කරගණු සඳහා පැරැණියන් ලියූ පොත් ය. පාඩම් කිරීමේ පහසුව සලකා ඒ පොත්හි ව්‍යාකරණ නීති ප්‍රකාශ කරණ සූත්‍ර ඉතා කෙටි කරණ ලදී. එහෙයින් ඒ සූත්‍රයන්ගේ අර්ථ වහා අවබොධ කර ගැනීම අපහසු විය. පෙර කල මෙන් මෙ කල පොත් ලුහුඬු කිරීම අනවශ්‍ය ය. දැන් නවීන යන්ත්‍ර ආදියෙහි උපකාරයෙන් පොත් පත් ඉතා සුලභ ය. එහෙයින් පැරැණි පොත් මුළු මනින් වාවොද්ගත කිරීම අවශ්‍ය යයි මට නොසිතේ.
ව්‍යාකරණය අවශ්‍ය වන්නේ නිවැරැදි වචන යොදා වාක්‍ය රචනා කිරීමටයි. එය අභ්‍යාසයෙන් ම කරන්ට පුළුවන් වන සේ ඉගැන්වීම වියරණ පොත් කට පාඩම් කරවා ඉගැන්වීමට වඩා ශිෂ්‍යයන්ට මහත් පහසුවක් ගෙන දෙයි.
නොබෝ කලකින් සිංහල භාෂාව තවත් වරක් ලංකාවෙහි ආණ්ඩුවේ භාෂාව වෙයි. එහෙයින් දැන් ද්වීපයෙහි වාසය කරණ පලාත්හි පවා සිංහල භාෂාව උගන්වන්ට කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රසිද්ධ ය. සිංහල භාෂාව හොඳින් ඉගෙනීමට නම් පාලි භාෂාව හෝ සංස්කෘත භාෂාව ද තරමක් දුරටවත් උගත යුතු ය.
වේරගොඩ පණ්ඩිත අමරමොලි ස්ථවිරයන් විසින් ලියූ ‘පාලිභාෂාව’ නමැති පොත ද පාලිභාෂාව ඉගෙනීමට කැමැත්තන් හට මහොපකාර විය හැකි බව නිසැකය. මේ පොත කියවා බැලීමට ඉඩක් නොලැබුන නමුත් ඉගැන්වීමෙහි මහත් පලපුරුද්දක් ඇති මේ පණ්ඩිත ස්ථවිරයන් අතින් ලියැවුනු මේ පොත පරිශීලනය කිරීමෙන් නො බෝ කලකින් පාලි පොත් තේරුම් ගැනීමට හා පාලි වාක්‍යරචනා කිරීමටත් සාමර්ථ්‍යයක් ඇතිකර ගත හැකි යයි සිතමු.
මෙබඳු පොත් සුලභවීම පාලි භාෂාවෙහි පමණක් නොවැ සිංහල භාෂාවෙහි උන්නතියට ද හේතුවනු ඒකාන්තයයි.
මීට, වැලිවිටියේ සෝරත ස්ථවිර 1948 මැයි 18 දින දීය.
වැලිවිටියේ සෝරත ස්ථවිර, 1948 මැයි 18 දින දීය.
සංඥාපනය
පාලිභාෂාව නම් වූ මෙම ග්‍රන්ථය පාලිභාෂාව පහසුවෙන් හා ඉක්මනට ඉගෙනීම සඳහා නවීනක්රමානුකූලව පාඨශාලාවන්ට ද ඔබිනසේ පිළියෙල කරණ ලද්දකි. පිරිවෙන්වල “මූලික 1 වැනි වර්ෂය, 2 වැනි වර්ෂය, 3 වැනි වර්ෂය යන ප්රාථමිකවර්ගවලට අයත් අභිනව නිර්දෙශපත්රයට මෙහි එන විෂයයෝ සාකල්‍යයෙන් ම අනුරූපයහ. ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම විභාගවලට යෙදීමට ද අනික් ග්‍රන්ථයක පිළිසරණක් නොලැබ මේ ග්‍රන්ථය හැදෑරීමෙන් ම හැකිවේ.
එසේම මෙය පාඨශාලා ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස විශේෂ පරිශ්‍රමයකින් පිළියෙල වූවකි. S. S. C. විභාගයට සැරසෙන්නවුන විසින්ද මේ ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ස්වකීය අභිමතාර්ථය මුදුන් පමුණුවා ගත හැකි වෙයි. මෙහිදී පාඨශාලා පරීක්ෂක ඒ. ඩබ්ලිව්. කාරියාරච්චි මහතාට අපගේ ප්‍රශංසාව හිමිවිය යුතුය.
මේ ග්‍රන්ථය පිළිගෙන වදාළාවූ අස්මදාචාර්ය්ය විද්‍යොදය පරිවෙණාධිපති අතිගරු බද්දෙගම ශ්‍රී පියරතනාභිධාන නායක මාහිමියන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. එසේම ස්වකීය අසනීප ගණනදු නොසලකා මීට සාර ගර්භ ප්රස්තාවනාවක් ලියාදීමෙන් ග්රන්ථ ගෞරවය දියුණු කළාවූ අප ආචාර්ය්යොත්පන්න පණ්ඩිත වැලිවිටියේ සෝරතාභිධාන ගාලු කෝරළේ ප්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ද, අප භ්රාතෘභූත වැලිවිටියේ ධර්මරක්ෂිත ස්වාමිපාදයන් වහන්සේට ද, අපගේ ගෞරවාදර භක්තිය වේවා.
මෙම ග්රන්ථයෙහි මුල්පිටපතෙහි ප්රපඤ්චන චිත්‍රය සපයාදීමෙන් උපකාරකළාවූ මාතලේ ශ්‍රී ධර්මරාජ පරිවෙණාධිපති ගරු ගම්මුල්ලේ ශ්‍රී චන්ද්‍රජොති ස්ථවිරපාදයන් වහන්සේට ද, මෙහි ශොධ්‍යපත්‍ර කියවාදීමෙන් හා අකාරාදිය සම්පාදනය කර දීමෙන් සහායවූ ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර, දෙරවින්නැවේ නන්දසාර යන භික්ෂු දෙතමටද, චිත්‍රය පිළියෙල කරවාදුන් ජී. පී. ඩී. ජිනදාස මහත්මයාටද, මුද්‍රණය යහපත්ව කරවාදුන් කොටහේනේ සාහිත්‍ය මුද්‍රණාලයේ කලමනාකාර තැන්පත් ඩී. ජී. කේ. හේවාවසම් මහත්මයාට ද අපගේ ප්‍රශංසාව හිමිවිය යුතුය.
මෙය නැවත මුද්‍රණය කිරීම් කර්තෘගේ අදහස් පරිදි විය යුතුය.
මීට, වේරගොඩ අමරමොලි ස්ථවිර 2492 වෙසක් පුර පසළොස්වක් දින හැවැලොක්වුමිස් මාලෙවන ඖෂධශාලාවේ දී ය.
වේරගොඩ අමරමොලි ස්ථවිර, 2492 වෙසක් පුර පසළොස්වක් දින, හැවැලොක්වුමිස් මාලෙවන ඖෂධශාලාවේ දී ය.