පදසාධනය සහ පදසාධනසන්යය - රත්මලානේ ධර්මකීර්ති හිමි 1933.pdf
- කතෘ :
- රත්මලානේ ධර්මානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1933
- මුද්‍රිත වර්ෂය :
- 1933
- පිටු ගණන :
- 362
- බාගත කිරීම් ගණන :
- 405
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්‍රමාණය :
- 78 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පදසාධනය හා පදසාධනසන්නය මෞද්ගල්‍යායන (මුගලන්) පාලි ව්‍යාකරණයට අයත් පරිවාර ග්රන්ථයක් වන පදසාධනය සහ එහි සිංහල ව්‍යාඛ්‍යානය වන පදසාධනසන්නය එක්ව සංශෝධිතව පළ කළ ග්රන්ථයකි. පදසාධනය මුගලන් මාහිමියන්ගේ සම්මුඛ ශිෂ්‍යයකු වූ දෙවිරජවිහාරාධිවාසී ප්‍රියදර්ශී (පියදස්සී) මහාස්ථවිරයන් විසින්, සූත්රානුක්රමය හැර ප්රයෝගසාධනානුක්රමය අනුව ආධුනිකයන් සඳහා රචනා කරන ලද්දකි. සන්නය දිඹුලාගල පරම්පරාවේ ආනන්ද වනරතන මහාස්ථවිරයන්ගේ කෘතියකි.
මෙම සංස්කරණය පෑලියගොඩ විද්‍යාලඞ්කාර පරිවෙණාධිපති රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මානන්ද නායක ස්ථවිරයන් විසින් ස්වදේශ විදේශ මුද්‍රිත පොත් සහ මහනුවර ගෙඩිගේ, ගල්කොටේ, මාම්පිට ගල්ලෙන් විහාර හා විද්‍යාලඞ්කාර පිරිවෙනේ පොත් සසඳා සංශෝධනය කරන ලද්දකි. මාතර මහානන්ද පිරිවෙනේ බඹරැන්දේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාචාර්ය නායක ස්ථවිරයන්ගේ ඉල්ලීම පරිදි මෙම සංශෝධනය කළ බව සංඥාපනයෙහි සඳහන් වේ.
දීර්ඝ සංඥාපනයෙහි පාලි භාෂාවේ හා මෞද්ගල්‍යායන ව්‍යාකරණයේ වැදගත්කම, පදසාධනකරුවා මුගලන් මාහිමියන්ගෙන් වෙනස් වූ රූපසාධන ක්‍රම (කච්චාන, කච්චායන, කාතියාන සහ දුතිය, තතිය, චතුත්ථ), පාලි ව්යාකරණකරුවන් සංස්කෘත ව්‍යාකරණ අනුගමනය කළ ආකාරය, පදසාධනය පොළොන්නරු යුගයට (මහා පරාක්‍රමබාහු රජු කාලයට) අයත් බව, සන්නකරු ආනන්ද හිමියන්ගේ ආචාර්ය ශිෂ්‍ය පරම්පරාව (ආරණ්‍යක මේධඞ්කර මාහිමි, වේදේහ හිමි ආදීන්) සහ සන්නය රචිත කාලය සාකච්ඡා කෙරේ. එසේම මීට පෙර දොඩන්දූවේ ධර්මසේන මහතා විසින් පළ කළ සන්නයේ දෝෂ උදාහරණ සහිතව පෙන්වා දී, මෙම සන්නය ආනන්ද හිමියන්ගේ සැබෑ කෘතිය බවට තර්ක ඉදිරිපත් කෙරේ.
ග්‍රන්ථය අවසානයේ උදාහරණපදානුක්කමණිකාව (පද සූචිය) ඇතුළත් වේ. සත්‍යසමුච්චය යන්ත්‍රාලයෙහි මුද්‍රිත මෙම සංස්කරණය බුද්ධ වර්ෂ 2475 (ක්‍රි.ව. 1933) දී පළ විය.
සංඥාපනය.
“අර්ථප්රවෘත්තිතත්වානාං ශබ්ද එව නිබන්ධනම් තත්වාවබොධඃ ශබ්දානාං නාස්ති ව්යාකරණාදෘතෙ”
ශ්රීඝනසුගතතථාගත අප සම්මාසම්බුද්ධරජාණන්වහන්සේ සකලසත්ත්වයා කෙරෙහි පතළ මහාකරුණාවෙන් සාරසංඛ්යකල්පලක්ෂයක් මුළුල්ලෙහි පූරිත පාරමිතානුභාවයෙන් ප්‍රතිලබ්ධ බුද්ධඥානයට විෂය වූ ලෞකිකලොකොත්තරවශයෙන් ද්විවිධ වූ අර්ථය සතරාමරලොකයාගේ පරිඥානය සඳහා අනන්යසාධාරණවාග්විලාසයෙන් ප්‍රකාශිත නෛර්යාණික ධර්මදෙශනා තොමෝ පාළි නම් වන්නීය. ඒ පාළියට=බුද්ධධර්මයට ප්‍රභවස්ථානය බුද්ධඥානනිෂ්පත්තිහෙතුභාවයෙන් මාතෘස්ථානතුල්ය වූ බොධිමණ්ඩය පිහිටි ජනපදය වූ මගධදෙශය බැවින් ‘මගධෙසු විදිතො’ මාගධො, ‘මගධෙසු භවො’ මාගධො=සද්දො යි තද්ධිතනිර්වචනවශයෙන් පාළිශබ්දය, පාළිශබ්දලක්ෂණය මාගධ යයි ද පාළිභාෂාව මාගධී යයි ද ව්‍යවහෘත ය.
මෙසෙයින් මේ පාළිභාෂාව=මාගධීභාෂාව බුද්ධභාෂා යයි ද පුරාණාචාර්ය්යයන් විසින් ස්වීකෘත ය. එසේ වූ මේ සභාවනිරුත්තිභූතමාගධිකභාෂාව පවා ශබ්දලක්ෂණසංඛ්යාත ව්‍යාකරණානුකූල ව සංරක්ෂණය කිරීමෙන් ම ත්රිවිධසද්ධර්මයයි සම්මත පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්රතිවේධසංඛ්යාත ත්‍රිවිධශාසනය සංරක්ෂණය වෙයි යනු ද ආචාර්ය්යසම්මත ය.
මේ සම්මතය පරිදි ත්රිවිධශාසනසංරක්ෂණය සඳහා ව්‍යාප්ත වූ ශ්රීලඞ්කාද්වීපවාසී මහාවිහාරාම්නායාගත ශබ්දශාස්ත්රකාර උතුමන් අතුරෙන් ශ්රෙෂ්ඨතරොත්තමයා වූ අනුරාධපුර ථූපාරාමාධිවාසී වූ ශීලාචාරශ්රද්ධාවීර්ය්යප්රඥාපාදි ලෞකිකගුණරත්නභූෂණයෙන් විභූෂිත වූ සමස්තශබ්දශාස්ත්රසාගරපාරදර්ශී වූ ශබ්දලක්ෂණකරණයෙහි අනන්යසාධාරණසාමර්ථ්යාතිශයයෙන් පරිපූර්ණ අප මෞද්ගල්යායනාභිධාන මාහිමියන්වහන්සේ විසින් විරචිත මාගධශබ්දලක්ෂණ නම් වූ මෞද්ගල්‍යායන ව්‍යාකරණය වනාහි පෙළදම් රක්නා පිණිස ඇති වූ සියලු ශබ්දශාස්ත්රයන් අතුරෙන් සර්වාකාරසම්පූර්ණ අසඞ්කීර්ණව්යාකරණය යයි ප්රෙක්ෂාපූර්වකාරී උතුමන් විසින් සම්මත ය. ස්වකීයව්යාකරණය අනන්‍යසාධාරණ අභිප්රායශුද්ධියෙන් පරිපොෂිත වනු මැනැවැයි වටහා ගත් මුගලන් මාහිමියන්වහන්සේ විසින් මේ ව්‍යාකරණය සම්බන්ධ සූත්‍ර, වෘත්ති, ධාතු, ගණ, ණවාදි, පඤ්චිකා සංඛ්‍යාත අවයවයන් නිම කළ ඉක්බිති උන්වහන්සේගේ සම්මුඛශිෂ්යරත්නය වූ දෙවිරජවිහාරාධිවාසී සකලමාගධශබ්දශාස්ත්රපාරදර්ශී වූ අප ප්‍රියදර්ශී මහාස්ථවිරයන්වහන්සේ විසින් තමන්වහන්සේගේ මයිලණු වූ රුහුණ දෙලොස්දහස්රට සඳලිවිහාර ග්රාමනායක වූ පැණෑති කප්පිනමැතිවරයාගේ ආරාධනා පරිදි ආධුනිකානුග්රහය සඳහා සූත්රානුක්රමය හැර ප්රයොගසාධනානුක්රම පරිදි මේ පදසාධන නම් වූ ශ්‍රෙෂ්ඨතර පරිවාරග්රන්ථය කර වදාරන ලද්දේ ය. ‘මේ ප්‍රකරණය මෞද්ගල්යායනව්යාකරණ නැමැති රත්නාකරයට පැමිණෙනු කැමැති ආධුනිකයන්ට උපායමාර්ගය කැ’ යි පදසාධනටීකාකාර ශ්රීසඞ්ඝබොධිශ්රීවිජයබාහු පරිවෙණාධිපති ෂඩ්භාෂාපරමෙශ්වර ත්රිපිටකවාගීශ්වරාචාර්ය්ය අප තොටගමුවේ ශ්‍රී රාහුල සඞ්ඝරාජමාහිමියන්වහන්සේගේ ප්‍රකාශයෙන් ම මේ පදසාධන ප්‍රකරණය පිළිබඳ ප්රයොජනමහත්ත්වය සැලකිය හැකි වේ.
“මිනිසුන් කුමක් කිවත් යමෙක් පාණිනීය නො දනී නම් ඒ කිසිවෙක් සංස්කෘත නො දනී” යනාදීන් මහාපණ්ඩිත මෙක්ස්මුලර් තුමා ආදි පාශ්චාත්යපණ්ඩිතවරයන් විසින් පවා වර්ණිත මහර්ෂි පාණිනීන් විසින් විරචිත පාණිනීයව්යාකරණසාගරයට වරදරාජාචාර්ය්යයන් විසින් විරචිත ලඝුසිද්ධාන්තකෞමුදිය ප්රවෙශොපාය වන්නේ යම්සේ ද,
ශ්‍රී ලඞ්කාද්වීපවාසී පුරාතන මහාපණ්ඩිතවරෙණ්යයන් විසින් අත්යන්තසම්භාවිත වූ ප්රශස්තාතිප්රශස්ත වූ මුනි චන්ද්රගොමීන් විසින් විරචිත චාන්ද්රව්යාකරණසාගරයට බෞද්ධ ඉතිහාසයෙහි නො මැකෙන කීර්තියක් පිහිටුවා වදාළ නෛකගුණරත්නාකරයමාන දිඹුලාගල භදන්ත මහාකාශ්‍යප සඞ්ඝරාජොත්තමයන් වහන්සේ විසින් විරචිත බාලාවබොධනය ප්රවෙශොපාය වන්නේ යම්සේ ද,
නොයෙක් පරිවාරග්රන්ථයන්ගෙන් හෙබියාවූ ජිනවචනසංරක්ෂණයෙහි ලා මහත් අර්ථයක් සිදුකරන්නාවූ කාත්‍යායන මහාස්ථවිරපාදයන්වහන්සේ විසින් විරචිත කච්චායනව්යාකරණ සාගරයට ධර්මකීර්ති මහතෙරපාණන් විසින් විරචිත බාලයන්ගේ මනදොළ පුරන්නා වූ බාලාවතාරය ප්රවෙශොපාය වන්නේ යම්සේ ද,
ශ්‍රී සඞ්ඝරක්ෂිත, ශ්‍රී රාහුලාදි පණ්ඩිතප්රකාණ්ඩ සඞ්ඝරාජොත්තමයන් විසින් අත්‍යර්ථයෙන් සංවර්ණිත වූ අනාකූල වූ සර්වාඞ්ගසම්පූර්ණ වූ නානාමත සම්මිශ්‍රණයෙන් නො කිළිටි වූ අශෙෂලක්ෂ්යයන් පරිග්‍රහණය කළ හෙයින් අන්යූන වූ අතිසංක්ෂිප්ත නො වූ නාතිවිස්තෘත වූ ඉතා සුගම වූ අතිශයින් වූ ශිෂ්‍යයනට විමතියක් හෝ සැකයක් නූපදවන හෙයින් අසන්දිග්ධ වූ මහාශාබ්දිකසාර්වභෞම මෞද්ගල්‍යායන මාහිමියන් විසින් විරචිත මොග්ගල්ලානව්යාකරණසාගරයට ඔබ ශිෂ්‍ය වූ ප්‍රියදර්ශී යතිතුමාණන් විසින් විරචිත මේ පදසාධන නම් ප්‍රකරණය ත් එසේම ප්රවෙශොපාය වන්නේ ය.
මහාශාබ්දික මෞද්ගල්යායනසූත්රකාර මුගලන් මාහිමියන් වහන්සේගේ සම්මුඛශිෂ්යරත්නය වූ මේ පදසාධනප්රකරණකාර පියදස්සී යතිතුමා පදසාධනප්රකරණසම්පාදනයෙහි දී ස්වකීය ආචාර්ය්යවරප්රණීත මොග්ගල්ලානවුත්තිපඤ්චිකාගත රූපසාධන ක්‍රම නො ගෙන දෙතැනක දී අන්‍යාකාර රූපසාධනක්රම සැලැස් විය. එනම්:-
ණාදිකාණ්ඩයෙහි ‘කච්චාන කච්චායන කාතියාන’ යන පදසාධනයෙහි ද ඒ කාණ්ඩයෙහි ම ‘දුතිය තතිය චතුත්ථ’ යන පදසාධනයෙහි දැයි යන දෙතැන්හි ය. එහින් ‘කච්චාන කච්චායන කාතියාන’ යන පදසාධනයෙහි දී මුගලන් මාහිමියන් පිළිගත් මූලප්‍රකෘතිය ‘කත’ යනු යි. කත නම් ගාධෙයවිශ්වාමිත්ර නම් වූ බ්රහ්මර්ෂිහුගේ පුත්‍රයකු වාච්‍ය වන ශබ්දයකි. මේ ඍෂිපුත්ර නාමය දීර්ඝ කලක පටන් පොත්වල ‘කත’ යි ද ‘කති’ යි ද පාඨභෙදයකින් යුක්ත ව පවත්නා බැව් පෙනේ. දැනුදු වාචස්පත්යයෙහි හරිවංශයෙන් උද්ධෘත ශ්ලොකයෙහි ‘කතඃශෛව’ යි ඇත; මිට (53) තෙපනස්වර්ෂයකින් පෙර මුද්‍රිත හරිවංශයෙහි ‘කතිශෛව’ යි දක්නා ලැබේ. පාණිනීය චාන්ද්රාදි ව්යාකරණකාර උතුමන් විසින් ද ගර්ගාදිගණායත්ත ‘කත’ යන ප්‍රකෘතිය ම මූලප්රකෘතිවශයෙන් ස්වීකෘත ය. ඒ පරිදි පිළිගත් මුගලන්මාහිමියෝ කත යන මූලප්රකෘතියෙන් අපත්යාර්ථයෙහි ණ්යප්රත්යය කොට ‘කච්ච’ යි සාධා * ඉක්බිති අපත්යප්රත්යයාන්ත ඔහු කෙරෙන් ණාන ණායනප්රත්යයන් කිරීමෙන් ‘කච්චාන කච්චායන’ යි ද කත යන ප්‍රකෘතියෙන් පර ව මේ නිසා ම රචිත ‘කතා ණිකො ච’ 4(19) † යන ගණසූත්රයෙන් ණිකප්රත්යය කොට ‘කාතිය’ යි සාධා ඉක්බිති ණානප්රත්යය කිරීමෙන් කාතියාන යි ද සෑදූහ.
පදසාධනප්රකරණකාර යතිතුමා මූලප්‍රකෘතිය වූ කත යන්න හෝ අපත්යප්රත්යයාන්ත කච්ච කාතිය ප්‍රකෘතීන් හෝ නො ගෙන කත කති යන ද්විවිධපාඨයන් අතුරෙන් ‘කති’ යන්න පිළිගෙන අපත්යාර්ථයෙහි කරන ලද ණ්යප්රත්යය රහිත හුදු කති යන ප්‍රකෘතියෙන් පර ව ණානණායනප්රත්යයන් කොට තකාරස්ථ ඉකාරයට යකාර කොට ය පර කල්හි චවර්ග ද පූර්වරූප ද කොට කච්චාන කච්චායන යි ද එසේ ම ණ්යප්රත්යය රහිත හුදු කති යන ප්‍රකෘතියෙන් ණානප්රත්යය කොට වෘද්ධි ද යකාරාගම ද කොට කාතියාන යි ද සාධන කෙළේ ය.
කාතියාන යන පදසාධනයෙහි දී පියදස්සී යතිතුමා ණ්යප්රත්යයාන්ත කාතිය යන්න ප්‍රකෘතිය වශයෙන් නො පිළිගත් හෙයින් ඒ සඳහා යකාරයක් ආගම කරගනු පිණිස පදසාධන වෘත්තියෙහි ‘යාගමෙ කාතියානො’ යි යොදන ලදි. එය එපරිදි ම සියලු ස්වදෙශ විදෙශ මුගලන්වෘත්තිපොත්වල ද පැවැත එයි. ඒ පිණිස ම ‘කතා ණිකො ච’ 4.(19) යන ගණසූත්රය රචනා කළ මුගලන්මාහිමියන්ගේ පදසාධනක්රමයට ‘යාගමෙ’ යන්න කිසි ද හෙතුවකිනු ත් නු වුවමනා හෙයින් මුගලන්වෘත්තියෙහි වූ ‘යාගමෙ’ යන්න පදසාධනප්රකරණයෙහි සකළ නුවණින් යුත් ලිපිකාරභ්රමයකැ යි ම සැලකිය යුතු ය.
මේ පදසාධනක්රමයෙහි දී සන්නකාර ආනන්දස්ථවිරතුමා ප්‍රකරණයෙහි වූ පරිදි ව්‍යාඛ්‍යාන කොට ඉක්බිති ‘මෙහි මෙසේ කියන ලද; පඤ්චිකායෙහි වනාහි’ යනාදීන් පඤ්චිකාගත ක්‍රම ද පැවසී ය. නමුත් ටීකාකාර මාහිමිතුමාණෝ මේ ගැන කිසි ත් ප්‍රකාශ නො කොළෝ ය. තවද කච්චායන මහාසද්දනීති යන ව්‍යාකරණවල ‘කච්චොති කිර තස්මිං ගොත්තෙ ආදිපුරිසො’ යි ‘කච්ච’ යනු ම ප්‍රකෘති කොට ගෙන ණානණායනප්රත්යයන් කිරීමෙන් කච්චාන කච්චායන යි සිද්ධ කොට විශෙෂයෙන් මහාශබ්දනීතියෙහි ‘අඤ්ඤථාපි භවති කාතියානො’ යි ද පැවසූහ.
‘දුතිය තතිය චතුත්ථ’ යන පද මුගලන් මාහිමියෝ ‘දුතියස්ස සහ දියඩ්ඪදිවඩ්ඪා’ 3.106 ‘චතුත්ථතතියානමඩ්ඪුඩ්ඪතියා’ 3.105 යන සූත්රද්වයක නිපාතනවිධියෙන් සෑදූහ.
පදසාධනප්රකරණකාරයතිතුමා ‘චතුත්ථදුතියෙස්වෙසං තතියපඨමා’ 1.35 යන එකසූත්රනිපාතනයකින් ම සාධන කෙළේ යි. ටීකාකාරමාහිමියෝ මේ සාධනක්රමය ගැන හෙතුයුක්ති දක්වමින් ඒ සාධනක්රමය ප්රයොගසිද්ධිප්රකරණකාර වනරතනාපර නාමධෙය මෙධඞ්කර යතිතුමන් පිළිගත් පරිදි ද ප්‍රකාශ කොළෝ ය.
මෙයින් පියදස්සී යතිතුමාණන්ගේ මුගලන්වියරණ පිළිබඳ හසළ බුද්ධිමත්ත්වය මැනෙවින් ස්ඵුට වේ. මුන්වහන්සේ මුගලන් වියරණ පමණක් නොව සපිරිවර කසයින්වියරණ ද, පෙළවියරණ පමණක් නොව සකුවියරණ ද, එපමණකුත් නොව සාර්ථකථා ත්රිපිටකධර්මය ද උද්ග්‍රහණ ශ්‍රවණ ධාරණ චින්තන නිරූපණාදිවශයෙන් සකසා පුරුදුපුහුණු කළ බව ද මේ ප්‍රකරණයෙන් ප්‍රකට වන්නේ ය.
“රූපසිද්ධියං පනස්ස අඤ්ඤථා රූපනයො දස්සිතො; න සො ගහෙතබ්බො; අමූලත්තා. නහි තත්රාගමාදි මූලමත්ථි. එවම්දිසමඤ්ඤම්පි.”
මෙහි අදහස මෙසේ යි:-
රූපසිද්ධියෙහි වනාහි මේ ශුවශබ්දයාගේ රූපක්රමය අනික් පරිද්දකින් හෙවත් ‘ ‘ 2.2.33 යන සූත්‍රයෙහි ච ග්රහණයෙන් සියලු විභක්තීන් ම පර කල්හි ආන යන ආදෙශයක් කොට දක්වන ලදි. ඒ රූපක්රමය නො ගත යුතු යි. කුමක් හෙයින් ද යත්? මූලක් නැති බව හෙයිනි. ඒ රූපක්රමයෙහි ආගමාදි කිසි ද මූලයෙක් නො ම ඇති. මේ බඳු වූ සෙස්ස ද මෙසේ මැ යි.
මේ ආදිය බැලීමෙන් ඒ බැව් ස්ඵුට වන්නේය.
මේ ආදි නයින් මේ පදසාධනප්රකරණකාර පියදස්සී යතිතුමා අතිවිශාරද ශබ්දශාස්ත්රකාර මුගලන්මාහිමියන් ඇසුරු කිරීමෙන් ව්යුත්පත්තිසම්පාදනයෙහි පවා ප්‍රතිලබ්ධ විශාරදඥානමහත්ත්වය ඇත්තෙකැ යි ප්රතීයමාන වේ.
සංස්කෘත ව්‍යාකරණ අනුව යෑම.
මාගධශබ්දලක්ෂණ රචයිත්රෑහු සුදුසු තැන්හි දී බෙහෙවින් සංස්කෘතශබ්දලක්ෂණයන් අනුගමනය කළහයි කියනොත් හේ යුක්තියුක්ත නො වන්නේ නො වේ. දැනට අප අතරෙහි පවත්නා පාළිව්යාකරණත්රයම සංස්කෘතව්යාකරණයන් ගුරුත්වයාදරෙහි තබාගෙන රචිත යැ යි, ඒ ඒ ග්රන්ථ සමාලොචනය කරන්නාවුන්ට මනාව වැටහෙන්නේ ය.
1. සර්වාකාරසම්පූර්ණ සංස්කෘතව්යාකරණග්රන්ථයන් – විද්‍යමාන පාළිව්යාකරණ රචනාවට පෙරතුව රචිත ව පැවතීම,
2. එම ග්රන්ථයන්ගෙන් පාළි උගතුන් වියරණ ඉගෙනීම,
3. පාළි සංස්කෘත භාෂා දෙක්හි භාෂානානාත්වය මුත් ප්රයොගනානාත්වයක් බෙහෙවින් විද්‍යමාන නො වීම,
යනාදි හෙතූහු පෙළවියරණකරුවන්ගේ සංස්කෘතව්යාකරණානුගමනයට කාරණ වූහ.
කච්චායනව්යාකරණය රචනා කළ කසයින්හිමිපාණෝ ආචාර්ය්ය ශර්වවර්මයන්ගේ කාතන්ත්රව්යාකරණය ගුරුකොට ගෙන ස්වකීය පාළිව්යාකරණය රචනා කොළෝ ය. ඔබ පාණිනීයාදියන් ඇසුරු නො කෙළේ නො වෙයි යනු ඔවුන්ගේ සූත්‍රයන් හා අර්ථයෙන් පමණක් සමාන වූ ද, අර්ථස්වරූප දෙකින් ම සමාන වූ ද සූත්‍රයන් කසයින්වියරණෙහි තිබීමෙන් පැහැදිලි වන්නේ ය. එහෙත් ඉදුරා අභිමුවෙහි තබාගත්තේ කාතන්ත්රය ම ය යි කීමට බොහෝ යුක්තිකම් ඇත.
මුගලන්වියරණ සැපයූ මුගලන් මාහිමියෝ අතිප්‍රශස්ත බෞද්ධමහාශාබ්දිකයකු වූ මුනිචන්ද්රගොමීපාදයන්ගේ චාන්ද්රව්යාකරණය ගුරු කොට ගෙන පෙළවියරණට ස්වල්පමාත්‍ර වූ ද හානියක් නො වන පරිදි පෙළබසට ගැළපෙන ලෙස් තමන් වියරණ සැපයූහ. උන්වහන්සේ ත් පාණිනීයාදිය ඇසුරු නො කොළෝ නො වෙති.
කාත්‍යායන පරිවාරග්රන්ථයක් වූ බාලාවතාරය රචනා කළ ධර්මකීර්ති මහාස්ථවිරපාදයෝ චාන්ද්රපරිවාරග්රන්ථයක් වූ මහාකාශ්යපමාහිමියන්වහන්සේගේ බාලාවබොධනයෙන් හා ධර්මකීර්තිපාදයන්ගේ රූපාවතාරයෙනු ත් ගුරුකම් ගත්හ.
මුගලන් පරිවාරග්රන්ථයක් වූ මේ පදසාධන ප්‍රකරණය රචනා කළ ප්රියදර්ශීමහාස්ථවිරපාදයෝ තමන් ඇදුරුතුමන් ගිය මඟ ම යනුවෝ චාන්ද්රපරිවාරග්රන්ථයක් වූ බාලාවබොධනය ම ගුරු කොට ගත්හ.
පදසාධන රචනා සමය.
මේ පදසාධනප්රකරණය පොළොන්නරුකාලයට අයත් කළ යුතු ග්රන්ථයකි. පියදස්සී යතිතුමන් මුගලන් මාහිමියන්ගේ ඇසුරු කොට ශබ්දශාස්ත්‍රාදිය ඉගෙන ගත් සම්මුඛශිෂ්යයා බව තමන්වහන්සේ ම පදසාධනනිගමනගාථාවන්හි පවසති. මුගලන්මාහිමියෝ මහාපරාක්‍රමබාහු රජතුමන් ජීවමානකාලයෙහි ම මුගලන්වියරණ නිපදවූහ. එසෙයින් පියදස්සී යතිතුමන් ද ඒ කාලයට අයත් විය යුතු ය. පරාක්‍රමබාහු රජතුමා ත්‍රිසිංහලය එක්සේසත් කොට අභිෂෙකයට පත් වූයේ ක්‍රිස්තුවර්ෂ 1164 දී ය. කාලක්‍රියා කොළේ 1197 දී ය. හෙවත් මින් 735 වර්ෂයකින් පූර්වයෙහි ය. එහෙයින් මේ පදසාධනප්රකරණය රචනා කළ කාලය ඉතා අඩුවශයෙන් සලකිතත් මින් හවුරුදු 700 කින් පෙරතුව ය.
පදසාධන සංශොධනය.
මේ පදසාධනප්රකරණය ලිපිදෙසින් යුක්ත ව පවත්නා අතර මිට පන්සාළිස්වසකට පෙර විද්යොදයපරිවෙණාධිපති ව වැඩවිසූ ත්රිපිටකවාගීශ්වරාචාර්ය්ය අප හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගලාභිධාන සඞ්ඝනායක ස්වාමිපාදයන්වහන්සේගෙන් ලත් උපස්ථම්භය ඇති රත්මලානේ පරමධම්මචෙතිය පරිවෙණාධිපති ව වැඩවිසූ අප වලානේ ශ්‍රී ධර්මානන්දාභිධාන නායකස්ථවිරයන්වහන්සේ සහ පසු කාලයෙහි විද්‍යොදය පරිවෙණාධිපති ව වැඩවිසූ ත්රිපිටකවාගීශ්වරාචාර්ය්ය අප මහගොඩ ශ්‍රී ඥානෙශ්වරාභිධාන සඞ්ඝනායක ස්ථවිරපාදයන් විසින් ද සංශොධිත ව මෙරට මුද්‍රිත පොත ද බුරුමරට ගණවාචකාචාර්ය්ය වූ අප ශ්‍රී ශීලාචාරාභිධාන ස්ථවිරතුමන් විසින් සංශොධිත ව එරට මුද්‍රිත පොත ද ආධුනිකජනානුග්රහ පිණිස කලක් පැවතිණ. ඒ අතර මිට ස්වල්පකලක මාතර මහානන්දපරිවෙණාධිපති අප බඹරැන්දේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාචාර්ය්යාභිධාන නායකස්ථවිරයන් විසින් “මේ පොත මුගලන්වියරණ පිළිබඳ පුනරුද්දීප්තියක් ඇති මේ කාලයෙහි නැවතත් සංශොධනයකර වදාළොත් මහත් විද්යාර්ථිජනානුග්රහයෙක් වේය”යි අයැදනාලදින් ඒ මැනවැ යි පිළිගත් අපි ස්වදෙශවිදෙශමුද්රිතපොත් ද මහනුවර ගෙඩිගේ විහාරාධිවාසී අප උඩුවාවල රේවතස්ථවිරයන්ගෙන් ද මාම්පිට ගල්ලෙන්විහාරාධිපති අප කුකුල්පනේ වනරතනස්ථවිරයන්ගෙන් ද ගල්කොටේ විහාරාධිපති අප තාරපේරියේ රතනපාලස්ථවිරයන්ගෙන් ද ලැබුණු පොත් හා අප විද්‍යාලඞ්කාර පිරිවෙන්හි පොත ද මුගලන්වියරණට ඇතුළත් සෙසු පොත් ද සුදුසුතන්හි කසයින්වියරණ හා සකුවියරණ පිළිබඳ පොත් ද සසඳා බලා ගුරුක්රම සම්ප්රදායපරිදි සංශොධනය කෙළෙමු.
මේ පොත් අතුරෙන් මෙරට මුද්‍රිත පොත හා බුරුමයෙහි මුද්‍රිත පොත ද, මහනුවර ගෙඩිගේ විහාරසතු පොත හා ගල්කොටේ විහාරසතු පොත ද, මාම්පිට ගල්ලෙන්විහාරසතු පොත හා විද්යාලඞ්කාරපිරිවෙන්සතු පොත ද බොහෝ සෙයින් අන්‍යොන්‍ය සමානතා ඇතැයි පැවසිය යුතු ය.
පදසාධන සන්නය.
මේ පදසාධනප්රකරණයෙහි විද්‍යමාන වූ ප්රයොජනමහත්ත්වය සැලකූ දිඹුලාගල පරම්පරාගත අප ආනන්දස්ථවිරයන්වහන්සේ විසින් ආධුනිකජනානුග්රහ පූර්වක ව පදසාධනසන්නය නම් වූ මේ අතිප්‍රශස්ත ව්‍යාඛ්‍යානය කර වදාරන ලද්දේ ය.
මීපර මෙබඳු ව්යාකරණග්රන්ථයනට ව්‍යාඛ්‍යාන නිපදවනු වස් ආරම්භ කරන්නාවුන් ශාස්ත්රවිෂයෙහි අප්රතිහතඥානමහත්ත්වය ඇති උතුමන් ම බැව් පුරාණ සන්නග්රන්ථ බැලීමෙහි දී වැටහෙන්නේ ය. මේ අප ආනන්දස්ථවිරයන්වහන්සේ ද එපරිදි ශාස්ත්රඥානයෙන් පටුතර බුද්ධිමත් උතුමෙකැ යි සැලකිය යුතු ය.
මුන්වහන්සේ ස්වකීය ආචාර්ය්යපාදයන්ගේ කල්‍යාණමිත්‍ර වූ ද ගුරු වූ ද සාරත්ථවිලාසිනීපඤ්චිකාටීකා, සුසද්දසිද්ධි, සම්බන්ධචින්තා යන මුගලන්පරිවාරග්රන්ථයන් රචනා කළා වූ සඞ්ඝරක්ඛිත මාහිමියන්ගෙන් උගත් බැව් පෙනේ.
ආනන්ද යතිතුමාගේ ආචාර්‍ය්‍යවරයෝ.
ව්යාඛ්යානකර්තෘ වූ ආනන්ද යතිතුමා දිඹුලාගල වනවාසවෙහෙර වැඩවුසූ දිඹුලාගල පරම්පරාගත අප ආරණ්‍යක මෙධඞ්කර මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකි. මේ මෙධඞ්කර මාහිමියෝ විනයාර්ථසමුච්චය නම් විනයසන්නයෙහි කතුතුමාණෝ ය. මුන්වහන්සේ දිඹුලාගල පරපුරෙන් පැවත ආ බුද්ධවංශ වනරතනාභිධාන මහාස්ථවිරපාදයන්ගේ ප්‍රධාන ශිෂ්යයාණෝ ය. මහාශාබ්දික මුගලන් මාහිමියන් හා ටීකාචාර්‍ය්‍ය සැරියුත් මාහිමියන් ද සමීපයෙහි උගත්හ. සඞ්ඝරක්ඛිත මාහිමියන්ගේ ද ශිෂ්‍යයෙකි. කල්යාණමිත්රයෙකි. සියලු කටයුතුවල සහායයෙකි. තුන්වෙනි විජයබාහු චක්‍රවර්ති මහරජාණන් විසින් ශාසනශොධනයක් හා කතිකාවතක් ද කරවන ලද්දේ මේ දෙදෙනාවහන්සේගේ ප්‍රධානත්වයෙනි. සඞ්ඝරක්ඛිත මහාස්වාමිපාදයන්ගේ ඇවෑමෙන් සඞ්ඝරාජපදවියට පත්වූවෝ ද මේ ආරණ්‍යක මෙධඞ්කර මාහිමියෝ ය.
යථොක්ත විජයබාහු රජතුමාගේ අභිජාතපුත්ර වූ පියරජහු ඇවෑමෙන් ශ්රීබුද්ධවර්ෂ 1779 දී දඹදෙණියෙහි රාජ්‍යශ්‍රියට පැමිණි මහපැණවත් කලිකාලසාහිත්යසර්වඥපණ්ඩිතපරාක්රමබාහු රජතුමන් විසින් කරවන ලද ශාසනශොධනයෙහි හා දඹදෙණි කතිකාවත සම්පාදනය කිරීමෙහි ද ප්‍රධානත්වය උසුලන ලද්දේ මේ ආරණ්‍යක මෙධඞ්කර මාහිමියන් විසිනි. එහෙයින් ම මුන්වහන්සේ පණ්ඩිතපරාක්රමබාහු රජුගේ කාලයෙහි මාහිමිපදවිය ඉසුලූ සේකැ යි පැහැදිලි වන්නේ ය.
පදසාධනසන්නකාර ආනන්ද යතිතුමා මේ මෙධඞ්කර මාහිමියන්ගේ ශිෂ්‍යයා බැව් නිගමනගාථාවන්ගෙන් පැහැදිලි වන්නේ ය. *
ආනන්ද යතිතුමාගේ ශිෂ්‍යයෝ.
මේ ව්යාඛ්යානකරණයෙන් පසුකාලයෙහි දී මුන්වහන්සේ පරපුරට අයත් වූ වනරතන යන උපනාමයෙන් ද යුක්ත ව වනරතන ආනන්ද යයි ප්‍රසිද්ධ වූ බැව් තච්ඡිෂ්යයන්ගේ කෘතිවලින් පෙනේ. ඒ ශිෂ්‍යයන්ගෙන් වැඩියක් ප්‍රසිද්ධියට පැමිණුනුවෝ නම් සිදත්සඟරා, සමන්තකූටවණ්ණනා, රසවාහිනී යන ග්රන්ථයන් රචනා කළ වෙදෙහ හිමිපාණෝ ය. වෙදෙහස්ථවිරපාදයෝ ආනන්ද යතිතුමාණන්ගේ ගුණ වණමින් උන්වහන්සේ “මහා ගුණ ඇතියහු, අහස්මඬලෙහි හිරු මෙන් ලෝකය පතළයහ, බුද්ධශාසනයට ජීවිත වැනියහ, මනාචරියහ, මනා පිළිවෙත්හි සරයහ, ශාස්ත්රසාගරපාරංගතයහ” යි පවසති. මුන්වහන්සේගේ තවත් ශිෂ්‍යයෙක් වූ මඟාගම ස්ථවිරපාදයෝ සඞ්ඝරක්ඛිත මාහිමියන්ගේ සම්බන්ධචින්තාවට ව්‍යාඛ්‍යානය ලියූහ. එසේ ම ඒ අවසන්හි “ආනන්දස්ථවිරතුමන්ගේ තේජස නිසා තව ශිෂ්‍යගණයා කිසි විටෙකත් තොම දුටු නො ද ඇසූ ග්‍රන්ථයන්ගේ පවා අර්ථ පහළ කිරීමෙහි සමර්ථ බැව්” ද පවසති. මෙසෙයින් පදසාධනසන්නකාර ආනන්දයතිතුමාණන්ගේ ප්‍රඥාපාටවය ස්වකීය සම්මුඛශිෂ්යයන් විසින් ම මැනවින් වර්ණිත ය.
සන්නයෙහි කාර්ය්යය.
එහෙයින් ම උන්වහන්සේගේ මේ ව්යාඛ්යානග්රන්ථය අතිශයින් වැදගත් යැ යි ද ඉගෙන ගනු කැමැති ශිෂ්‍යයන්ගේ මනදොළ පිරවීමෙහි අත්‍යර්ථයෙන් පොහොසතැ යි ද සලකා ගත හැකි ය.
මෙහි 60 වෙනි පිටෙහි “බහුලාධිකාරා තු ක්වචි විකප්ප නිච්චං නො; එවමුපරි ‘ යි සුසද්දසිද්ධියෙහි කීහෙයින් ද සුසද්දසිද්ධියෙහි ද වෘත්තියෙහි ද ‘අලුත්තො අඩ්ඪස්ස’ යන දෙරූපය මුත් ‘අඩ්ඪස්ස’ යන රූපය නො දක්වූ හෙයින් ද මෙහි ‘අඩ්ඪස්ස’ යන රූපය අධික යැ යි දත යුතු යි’.
මේ ආදි ව්යාඛ්යානවිධියෙන් මුන්වහන්සේගේ ව්යාඛ්යානකරණය පිළිබඳ තත්ත්වය සලකාගත හැකි වනු පමණක් නොව මෙකල නාමමාත්රාවශේෂ වූ සුසද්දසිද්ධියෙහි තත්ත්වය ද * සුසද්දසිද්ධි යනු පඤ්චිකාටීකාවට ව්‍යවහාරකරන නාමාන්තරයෙකැ යි පවත්නා හැඟීමේ සාවද්‍ය බව ද වටහා ගත හැකි ය.
සන්න රචනා සමය.
ආරණ්‍යක මෙධඞ්කර මාහිමියන් සඞ්ඝරාජපදවියට පත්වීමෙන් පූර්වයෙහි මේ සන්නය නිපද වූ බැව් නිගමන ගාථාවන්ගෙන් නිශ්චය කළ හැකි ය. එසේ ඇති කල්හි මෙය නිපද වූ කාලය පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ශාසනශොධනයෙන් එපිට බැව් මෙධඞ්කරමාහිමියන් ගැන යට දක්වූණු කරුණු සසඳා බැලීමෙන් තීරණය කළ හැකි වේ.
ආශ්‍රය.
තවද මේ පදසාධනසන්නකාර යතිතුමා විශාරදපාණ්ඩිත්යයකින් යුත් අන්යතරඋතුමකු විසින් අතිසංක්ෂිප්ත ව කළ විරිතසන්නය ගුරුකොට මේ සන්නය සම්පාදනය කළ බැව් සැලකිය යුතු ය. ඒ විරිත සන්නයෙහි නිසර්ගසංක්ෂිප්තභාවය නිසා ව්‍යාඛ්‍යාන නො කළ තැනක දී මුන්වහන්සේගේ ස්ඛලනමාත්රයෙක් විය. එනම් 219 පිටෙහි “යං– යමෙක්හිය යන සප්තම්යර්ථයෙහි, යතො– යනු වෙ” යනු යි. මේ ගැන ටීකාකාර මාහිමිතුමා බොහෝ යුක්ති දක්වා ඉක්බිති “අප විසින් දක්වන ලද රූපසාධනක්රමය ම සාරවශයෙන් පිළිගත යුතු ය” යනු පැවසීම මේ සන්නයෙහි සෙසු තැන්වල පවත්නා සාරවත් ව්යාඛ්යාක්රම නිසා සන්නකාරයතිතුමාගේ ස්ඛලනමාත්රයෙහි පවා හදුරන්නන්ගේ ස්වීකාරය ඇති වේ දෝ යන කල්පනාවෙන් විය යුතු ය. මුන්වහන්සේගේ බොහෝ ව්යාඛ්යානවිධි ටීකාකාරමාහිමියන් විසින් ටීකාවෙහි ඇතුළත් කොට තිබීම රාහුල්මාහිමියන්ගේ මේ සන්නග්රන්ථය පිළිබඳ ව තුබූ ගෞරවය හඟවයි.
පදසාධනසන්න දෙකක්.
ආනන්දස්ථවිරයන්වහන්සේ විසින් කරනලදැ යි ව්‍යවහාරයට පැමිණි පදසාධනසන්න දෙකක් ඇත. ඉන් එකක් නම් මිට සත්විසිවසකට පෙර උගත් දොඩන්දූවේ ධර්මසෙනමහතා විසින් සංශොධිත ව මුද්‍රිත පොත ය. අනික අප විසින් සංශොධනයෙන් ප්‍රතිසංස්කෘත මේ පොත යි. මේ පොත් දෙක එකම ආචාර්‍ය්‍යවරයකු විසින් කරන ලද්දැ යි ව්‍යවහාරප්‍රාප්ත නමුදු එය එසේයයි පිළිගැනීමට තරම් වන එක ද හෙතුවකු ත් නැත්තේ ය.
ආනන්ද යතිතුමාගේ සන්නය කුමක් ද?
ඒ දෙකින් මේ පොතෙහි මූල පටන් අවසානය තෙක් පුරාණ සන්නයක පවත්නා පිළිවෙළ වූ ගැඹුරු තැන් ලිහිල්කොට දක්වීම, පදාර්ථකථනයෙන් පමණක් නො වැටහෙන තැන් භාවාර්ථය ත් දක්වා පැහැදිලි කිරීම, ව්‍යාකරණ ඉගෙනීමෙහි ප්‍රධාන ප්‍රයොජනය වූ පදනිෂ්පත්තිවිධිය සූත්‍ර දක්වමින් පෙන්වා දීම, සුදුසු තන්හි ග්‍රන්ථාන්තරයන්හි එන කරුණු ත් ගෙන හැර ලීම, සුගම තැන් සැකෙවින් දක්වා ග්රන්ථප්රමාණය හැකිතාක් කුඩා කර ලීම යනාදි සියලු ව්යාඛ්යානවිධිහු ම එකසේ පවත්නාහු ය. එහෙයින් මේ පොත සන්නග්රන්ථයක් ලිවීමෙහි සාමර්ථ්යයෙන් යුත් පඬිවරයෙකුගේ කෘතියකැ යි ද එයින් ම ශාස්ත්රාර්ණවපාරප්රාප්ත ආනන්දස්ථවිරයන්වහන්සේ විසින් රචිත පදසාධනසන්නය නම් මෙය ම යයි ද නිසැක ව එකහෙළා පිළිගත හැකි ය.
පළමු මුද්‍රිත පොතෙහි තත්ත්වය.
මිට පෙර මුද්‍රිත පොත ක්‍රම දෙකකින් යුත් කොටස් දෙකකින් යුක්ත ය. එයින් මුල්කොටස සමාසකාණ්ඩය අවසන් කොට තද්ධිතකාණ්ඩයෙහි පේළි පසක් අධික කොට ඇති පිටු දෙකකින් හෙවත් ‘වජාදිතො ණානණායනා’ 4.2 යන සූත්‍රයෙහි මදකින් අවසාන වන්නේ ය. ඒ කොටසෙහි ගුරුවරයකු විසින් ශිෂ්‍යයකුට පදාර්ථ කියවන ක්‍රමය විනා පුරාණව්යාඛ්යාක්රම කිසිවක් නැත්තේ ය. අවශ්‍යයෙන් ලියයුතු විස්තරයක් හෝ දුර්බොධතැන් අදහස් දක්වා සුබොධ කිරීමක් හෝ පදසිද්ධික්රම දක්වීමක් හෝ එහි නැත. ඇත්තේ හුදු පදාර්ථය පමණෙකි. හෙද ආනන්ද යතිතුමාණන් වැනි උගතකුගේ පදාර්ථකථනයක් නොව වරදින් ගහණ වූවකි. මේ සන්නකොටසෙහි ඇති සාවද්‍ය අර්ථකථනයන් මෙය ශාස්ත්‍රාගම මැනවින් උගත් ආනන්දස්ථවිරයන්වහන්සේගේ සන්නග්රන්ථ යයි පිළිගත් එහෙයින් ම හඳුනාගත වන පරිදි පදසාධනය ශුද්ධ කිරීමෙහි යුහුසුලු වූ සන්නසහිතපදසාධන ශොධකයන් මූලග්‍රන්ථය ද දූෂිත කරවන ලදි. එකැවරම නො වැටහෙන මදක් දුරවබොධ වූ හැම තැන්වලදී ම මේ සන්නකොටසෙහි දී තිබෙන අර්ථ විවෙකබුද්ධිය නැතියවුන් මුළාකරවිය හැකි වරදින් ආකූල ය. සුගම වූ බොහෝ තැන් ද නොපිරික්සා වහා අර්ථ කීමෙන් ඇති වූ උගතකුගෙන් ඇතිවිය නො හැකි තරම් වරදින් ව්‍යාකූල ය. කාරණය හැඟවීමට තරම් වන උදාහරණ කීපයක් ද මෙහි දක්වනු ලැබේ.
සන්දෙහව්යාඛ්යා:- “හි– යම්හෙයකින්, තතො– ඒ විශෙෂණයා කෙරෙන්, ජාතා–වූවා වූ ෂෂ්ඨීවිභක්තිය, සම්බන්ධං–සම්බන්ධය, වදෙය්ය– කියන්නේ ද එහෙයිනි. අඤ්ඤතො පන– අනික් විශෙෂ්යයා කෙරෙන්, න– ෂෂ්ඨීවිභක්ති නොවේ.” (පළමු මුද්‍රිත සන්න 30 පිට)
නිවැරදි අර්ථව්යාඛ්යානය මෙසේ යි:- “කුමක් හෙයින් ද යත්? හි– යම්හෙයකින්, තතො ජාතා– ඒ විශෙෂණයා කෙරෙන් වූ හෙවත් ප්‍රයොග කරන ලද ෂෂ්ඨීතොම, සම්බන්ධං–උභයගත සම්බන්ධය, වදෙය්ය– කියන්නී ද, අඤ්ඤතො– අන්‍ය වූ විශෙෂ්යයා කෙරෙන් වූ ෂෂ්ඨීතොම, න පන වදෙය්ය– උභයගතසම්බන්ධය නො කියන්නී ද එහෙයිනි.” (අප විසින් මුද්‍රිත සන්න 44 පිට)
ආනන්දයතිපාදයෝ මෙය උදාහරණයෙන් පැහැදිලි කෙරෙති. “රඤ්ඤො පුරිසො යන මෙහි පරිපාල්යපරිපාලකලක්ෂණ සම්බන්ධය යැ. රාජ පරිපාලක යැ; පුරුෂ පරිපාල්ය යැ; මෙසේ සම්බන්ධය ද්විෂ්ඨ වුව ද ‘ද්විට්ඨො යදිපි සම්බන්ධො ඡට්ඨුප්පත්ති තු භෙදකා’ යනු හෙයින් විශෙෂණ වූ රජහු කෙරෙන් ෂෂ්ඨී වෙයි. විශෙෂ්‍ය වූ පුරුෂයා කෙරෙන් ප්‍රථමා වෙ. කුමක් හෙයින් ද යත්? විශෙෂණයා කෙරෙන් වූ ෂෂ්ඨිය විසින් උභයගතසම්බන්ධය ප්‍රකාශ වන හෙයිනි” යි.
සන්දෙහව්යාඛ්යා:- “සා– නු වේ, යුවාදිත්තා– යුවාදි බව හෙයින්, යොනමානො ඉතිය ‘යොනමානො’ 2.159 යන සූත්‍රයෙන්, නිච්චං– අවිකල්පයෙන්, ආනො– ආනො යනාදෙශ වෙ, සානො යනු වේ, නොත්තාභාවෙ– නො යනාදෙශ නු වූ පක්ෂයෙහි ද, තථා– එසේවැයි.” (පළමු මුද්‍රිත සන්න 47 පිට)
මේ අර්ථකථනය මුද්‍රිත පදසාධනයෙන් “යුවාදිත්තා සිස්ස ආ. සානො. නොත්තාභාවපක්ඛෙ, ‘යොනමානො’ති 2.158 වාධිකාරස්ස වවත්ථිතවිභාසත්තා නිච්චමානො” යන කොටස බැහැර කරවීමෙහි කාරණ විය.
මෙතැන්හි වුවමනා නිවැරදි සම්පූර්ණ අර්ථකථනය මෙසේ යි:- “සා යනු වෙ; යුවාදිත්තා– යුවාදි බව හෙයින්, සිස්ස– සිහට, ආ– ආකාරාදෙශ වෙ. බහුවචනයෙහි සානො යනු වෙ. නොත්තාභාවපක්ඛෙ– ‘යොනං නොනෙ වා’ 2.133 යන සූත්‍රයෙන් නොත්වය නු වූ පක්ෂයෙහි, වාධිකාරස්ස– වාධිකාර යාගෙ ව්යවත්ථිතවිභාසත්තා– ව්යවස්ථිතවිභාෂා බව හෙයින්, යොනමානොති– ‘යොනමානො’ 2.158 යන සූත්‍රයෙන්, නිච්චං– අවිකල්පයෙන්, ආනො– ආනො යන ආදෙශ වෙ. සානො යනු වෙ. නොත්තාභාවපක්ඛෙ– නොත්වය නු වූ පක්ෂයෙහි ද, තථා– එසේ මැ යි.” (අප විසින් මුද්‍රිත සන්න 70 පිට)
මෙය සුගම කෙරෙති ආනන්දහිමිපාණෝ
“යුවාදීන් කෙරෙන් පර වූ ප්රථමාද්විතීයායොවිභක්තීන්ට ‘යොනං නොනෙ වා’ යි විකල්පයෙන් නොනෙ කළ කල්හි, නු වූ පක්ෂයෙහි ‘යොනමානො’ යන සූත්‍රයෙන් වන ආනො ද විකල්පයෙන් වී නම්, නු වූ පක්ෂයෙහි සා සෙ යන අනිෂ්ට ප්‍රසඞ්ගය ද වන්නෙය යන ආශඞ්කායෙන් ‘නොත්තාභාව පක්ඛෙ’ යනාදි කියන ලද. ‘නො’ කළ ද ‘ආනො’ කළ ද රූපභෙදයක් නැති බැවින් ප්රථමායොහට නිත්‍යයෙන් ආනො කරත් ම අදෙශය ද අනිෂ්ටප්රසඞ්ගය ද නො වෙයි. සානො යන එකාරූපය ම වෙයි. ද්විතීයායොහට ද නොත්වය නු වූ පක්ෂයෙහි නිත්‍යයෙන් ආනො කළ කල්හි සානො සානෙ යන රූපද්වය වෙයි දත යුතු” යි.
සන්දෙහ:- “ඉහ– මේ ගුණවන්තා යන තන්හි, අවිධානසාමත්ථියා– අකාර කළ සාමර්ථ්යයෙන්, ගුණවන්තස්ස ඉති– ගුණවන්තස්ස කියා, චරිතත්ථතාය– චරිතාර්ථබව හෙයින්, අවිධානස්ස– අවිධානයාගේ, අප්පත්ති– අප්‍රාප්ති තොමෝ, න ච– නැති.” (58 පිට)
නිර්දෙශ:- “ඉහ– මේ ගුණවන්තා යන තන්හි, අවිධානසාමත්ථියා– අකාර කළ සාමර්ථ්යයෙන්, අප්පත්ති– වාදෙශයාගෙ අප්‍රාප්ති තොමෝ, න ච– නො ම ඇති. කුමක් හෙයින් ද යත්? ගුණවන්තස්සාති– ගුණවන්තස්ස යන මේ ආදියෙහි,