කාත්‍යායන ෂඩාකාර වර්ණණනාව - කහවේ සුමංගල හිමි 1928.pdf
- කතෘ :
- නෑබොඩ සීලවිමල හිමි සහ උරුගල ඤාණිස්සර හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1928
- මුද්‍රිත වර්ෂය :
- 1928
- පිටු ගණන :
- 70
- බාගත කිරීම් ගණන :
- 442
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-22
- ගොනුවේ ප්‍රමාණය :
- 16 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කාත්‍යායන ෂඩාකාර වර්ණණනාව (ප්‍රථම භාගය) යනු පාලි භාෂාවේ මූලික වියරණ ග්‍රන්ථය වන කාත්‍යායන ව්‍යාකරණ සූත්‍රයන් සූත්රක්රමයෙන් ෂඩ්විධ ආකාරයකින් (සූත්‍ර, පද, පදවිභාග, පදත්ථ, යෝජනා, චෝදනා-පරිහාර ආදී ක්‍රම ඔස්සේ) විස්තර කරමින් සම්පාදිත වටිනා ව්‍යාකරණ කෘතියකි.
ලංකාණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක හෙරොඩ් ගුණරත්න මුදලිතුමාගේ ආරාධනයෙන් නෑබොඩ සීලවිමල හිමි සහ උරුගල ඤාණිස්සර හිමි යන හිමිවරුන් විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. විද්‍යෝදය මහ පිරිවෙනේ ආචාර්ය දෙහිගස්පේ පණ්ඩිත පඤ්ඤාසාර හිමියන් විසින් ශෝධ්‍ය පත්‍ර බලා සංස්කරණය කරන ලද අතර, විද්‍යෝදය පරිවේණාධිපති පණ්ඩිත ශිරෝමණී කහවේ ශ්‍රී සුමංගල රතනසාර නාහිමියන්ගේ අනුමැතිය සහ ප්‍රතිග්‍රහණය ලත් මෙම කෘතිය 1928 දී පානදුරේ සී. ඩී. එස්. විජයරත්න මහතාගේ ප්රකාශනයෙන් විද්‍යාසාගර යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ඇත.
මෙහි සන්ධි කලාපයේ සූත්‍රයන් විස්තර කෙරෙන අතර න්යාසාදී පැරණි ටීකා ග්රන්ථවලින් උපුටාගත් විශේෂ පාඨයන්ද පාදසටහන් වශයෙන් දක්වා තිබේ. පාලි භාෂාව හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම ආධුනිකයන්ටද කාත්‍යායන සූත්‍ර පහසුවෙන් වටහාගැනීම පිණිස මෙය ඉතා ප්‍රයෝජනවත් වේ.
සංඥාපනය.
ආදි කල්පික මනුෂ්‍යයින්ගේ සහ බ්‍රහ්මාදීන්ගේ ද වාග්ව්යවහාරයෙහි ප්‍රචලිතව පැවති යම් භාෂාවක් වූවා නම් එය ශුද්ධ මාගධී සංඛ්‍යාත පාලි භාෂාව වියයුතු බැව් ග්‍රන්ථාන්තරයන්හි දෘශ්‍යමාන වන නානාප්‍රකාර හේතූදාහරණයන් නිසා විවාද නොමැතිව ම පිළිගන්නට වී තිබේ.
ඒ එසේ නමුත් දේවී භාෂා සංඛ්‍යාත සංස්කෘත භාෂා තොමෝ ලෝකයෙහි ප්‍රථම භාෂාව යයි වේද ග්රන්ථයන්හි දැක්වේ. මේ හේතුකොට ගෙන ඉදංකාලීන භාෂාප්රවෘත්ති ඇතැම් පණ්ඩිතයන් අතරෙහි මූලභාෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන මත භේද ගැන මහත් වෛපරීත්යයක් දක්නට ලැබේ.
වර්තමාන ශත වර්ෂයෙහි ශ්‍රී ලංකා මහීමණ්ඩලය ශාස්ත්රොද්දීප්තියෙන් බබුළුවා වදාළ පණ්ඩිත ශිරෝමණී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන සංඝ නෙතෲන් වහන්සේ විසින් ප්‍රණීත සුබෝධිකා ටීකා නම් බාලාවතාර ව්‍යාඛ්‍යාවෙහි ද විදග්ධජන සම්භාවිත ශුද්ධමාගධී භාෂා තොමෝම මූල භාෂාව යයි කරුණු සහිතව දැක්වීම සත්‍යයෙන් සත්‍යය බවනා කිරීමකැයි අස්මදීය සංකල්පනයකි.
මෙසේ වාදප්රතිවාදයන්ට අගෝචරව පවත්නා ඒ උතුම් මූලභාෂා සංඛ්‍යාත පාලි භාෂාව සම්බන්ධ ප්‍රථම කොට ම ඇතිවූ එක ම ශ්‍රේෂ්ඨ ව්‍යාකරණ ග්‍රන්ථය නම් භාග්‍යවතුන් වහන්සේ විසින් එතදග්රස්ථානාන්තරයෙහි තබා වදාළ මහා කාත්‍යායන ස්ථවිරාග්රයන් වහන්සේ විසින් සම්යක්සම්බුද්ධයන්වහන්සේගේ අදහස් පරිදි දේශනා කොට වදාරණලද කාත්‍යායන ව්‍යාකරණ නම් අති ප්රශස්ත ග්රන්ථරත්නයයි.
හෙවත්, එහි නිදාන පාඨයෙහි පැනෙන “අත්ථො අක්ඛරසඤ්ඤාතො” යි ශ්‍රී මුඛයෙන් වදාරාවූ ප්රශස්තාතිප්රශස්ත මධුරෝදාර දේශනා පාඨය මාතෘකා ස්ථානයෙහි තබා ප්රමෝක්ත මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ විසින් සියලු ම සූත්‍ර ද, සංඝනන්දි නම් මහා ස්ථවිරයන් වහන්සේ විසින් වෘත්ති ද, බ්‍රහ්මදත්ත නම් මහා ස්ථවිරයන් වහන්සේ විසින් උදාහරණද, දක්වා සංස්කරණය කොට තිබෙන කච්චායන ව්‍යාකරණයයි. ඒ මේ කාත්‍යායන ව්‍යාකරණය පාලි ව්යාකරණාභිලාෂී සමස්ත ආධුනිකයින් විසින් ඉතා උසස් කොට පරිශීලනය කරණු ලබන ශ්රේෂ්ඨතරග්රන්ථයයි. විශේෂයෙන් ලංකාවෙහි සියලු ප්රාවීන විද්යස්ථානයන්හි හා සකල වශයෙනි ප්රතීචීන විද්යස්ථානයන්හිත් මෙය අත්‍යාදරයෙන් පරිභාවිත කරණු ලබත්.
එහෙත් මීට මේතාක්ම සූත්රක්රමයෙන් සඤ්ඤාදී ෂඩ්විධ අර්ථ වර්ණනාත්මක ග්රන්ථයක් පිළියෙල කොට මුද්‍රණයට නොපැමිණවීම ආධුනිකයින්ට මහත් පාඩුවක් බැව් සහ මේතාක් එය ටීකානුටීකාදී බොහෝ ග්රන්ථාශ්රිතව පරිභාවිත කරගෙන ආ සැමදෙනාහට ම වැඩි පරිශ්‍රමයක් නො වී පහසුවෙන් ප්‍රයෝජනය ලැබියහැකි ලෙස මෙබඳු ග්රන්ථයක් හෙවත්, කාත්‍යායන ෂඩාකාර වර්ණනාවක් සම්පාදනය කළහොත් එය මෙකලට අත්‍යාවශ්‍යක ශාස්ත්‍ර සංග්‍රහයක් වනු පමණක් නොව විශේෂ ආධුනිකානුග්රහයක් ද වන්නේයයි සැලකර සිටි ලංකාණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක හෙරොඩ් ගුණරත්න රජවාසල මුදලි මහතුන්ගේ සහ, බෞද්ධ පාඨශාලා උපසාමාන්යාධිකාරී තැන්පත් ඒ. ඩී. එස්. කනකරත්න මැතිතුමන්ගේ ද විශේෂ ආරාධනය සැලකූ නෑබොඩ විජයාරාමාධිපති ශාස්ත්රාගමධාරී පලාත්හාර බුරුකන්ද හිඳුරන්ගල ශ්‍රී දර්ශනාකාර ගුණපාල තිස්ස මහාස්ථවිරයන් වහන්සේගේ සහ තදීය ශිෂ්‍ය පැලැන්පුර වලකඩ ආචාර්ය්ය විමලසාර තිස්ස ස්ථවිරපාදයන් වහන්සේගේ ශිෂ්යවූ නෑබොඩ ශීලවිමලතිස්ස භික්ෂු සහ, උරුගල තපෝධනාරාමාධිපති විචිත්‍ර භාණක වාගීශ්වරාචාර්ය්ය බෝඹුවල ශ්‍රී ධර්මාලෝක තිස්ස මහාස්ථවිරපාදයන් වහන්සේගේ ශිෂ්‍ය උරුගල ඤාණිස්සර භික්ෂුන් වන අපි මේ කාත්‍යායන ෂඩාකාර වර්ණනාව ප්රතිපාදනය කිරීමෙහි ව්‍යාපෘත වීමු.
මේ වාරයෙහි මෙහි ග්රන්ථ බාහුල්‍ය භීතියෙන් ව්යාඛ්යානෝදාරණයන්ට සන්නයක් නො යෙදූ නමුත් නැවත මුද්‍රණයකදී එය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන්නෙමු. සන්ධි කාණ්ඩයේ ප්‍රථම කලාපයෙහි සිට සියලු සූත්‍රයන්ගේ ෂඩ්විධ වර්ණනා ද පෙය්යාල මුඛයෙන් යොදා ඇත. එසේම න්යාසාදී ටීකා ග්රන්ථයන්හි සූත්‍ර සම්බන්ධව දක්වා තිබෙන දතයුතු විශේෂ පාඨ සියල්ලක්ද, සෑම පිටුවක් පාසා වාගේ ඉරිවලට යටින් යොදා ඇත.
මේ විශිෂ්ඨ ව්‍යාකරණ ග්‍රන්ථයේ ශෝධ්‍ය පත්‍ර බලාදීමෙන් අපට විශේෂාධාර කරන්ට යෙදුන විද්‍යොදය මහා විද්‍යාලයෙහි ආචාර්ය්ය පණ්ඩිත දෙහිගස්පේ පඤ්ඤාසාර ස්වාමිපාදයන් වහන්සේ ශත වර්ෂාධික කාලයක් සුවසේ විරාජමාන වේවායි කෘතඥතා පූර්වක අස්මත් හෘද්යොද්ගමාශීර්වාදය මෙයින් පුදකර සිටිමු
තවද මේ ග්‍රන්ථය මැනවැයි පිළිගෙන වදාළ විද්‍යොදය මහා විද්‍යාලයාධිපති පණ්ඩිත ශිරෝමණී පූජ්‍යපාද කහවේ ශ්‍රී සුමංගල රතනසාරාභිධාන කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝ නායක මාහිමියානන් වහන්සේද තෙරුවන් බෙලෙන් දීර්ඝායුෂ්ක වේවායි ප්‍රාර්ථනා කරමු.
අපගේ මේ සද්ව්‍යාපාරය මලවැන්නේ ධාර්මිෂ්ඨ යති තුමන්ගේ විශිෂ්ඨ ප්‍රතිෂ්ඨාවෙන් මු සිදු වූ බව අවිසංවාදව ප්රකාශකරණවත් හැර කොළඹ මාලිබාන් වීථියේ ශ්‍රී කල්‍යාණ ඖෂධාලයාධිපති ආයුර්වේද විශාරද බෝඹුවල ජී. අභයදේව වෙද්යාචාර්ය තුමන්ගෙන් ද, ඇතැම් මුද්රණෝපකරණ සම්බන්ධයෙන් මීට ආධාර ලැබුනු බවත් ස්තූති පූර්වකව මතක් කරමු. මේ කාත්‍යායන ෂඩාකාර වර්ණනා වෙහි ප්‍රථම කාණ්ඩය පටන් ඉදිරි සියලු කාණ්ඩයන්ගේ ද අයිතිය, මේ ග්රන්ථයෙහි කෘතහස්ත අප දෙදෙනාට මෙන් ම ශාසන ගෞරවයෙන් මීට අනලෝභී උත්සාහ දරා විශේෂාධාර කළාවූ අප හිතවත් මලවැන්නේ ධාර්මිෂ්ඨ යති තුමන්ට ද ඇති බව මෙහිදී විශේෂයෙන් සඳහන් කරමු.
අපගේ ප්‍රමාදයෙන් මෙහි යම් දෝෂ ස්ථාන ඇතහොත් එය ක්ෂමාදිය භජනය කොට ශුද්ධ කෙරෙත්වායි සියලු සත්පුරුෂ පණ්ඩිතයින් වෙත කරුණාවෙන් අයද සිටිමු.
මීට,
නෑබොඩ ශීලවිමල,
උරුගල ඤාණිස්සර.
ශ්‍රී බු. ව. 2471. දුරුතු මස 12 වැනි
ක්‍රි. ව. 1928. ජනවාරි
ගුරුදින නෑබොඩ විජයාරාම
මහාරාජ්යාංශයේදීය.