නිර්වාණ වාදය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි, රේරුකානේ චන්ද්‍රවිමල හිමි 1957.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි, රේරුකානේ චන්ද්‍රවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1957
- මුද්‍රිත වර්ෂය :
- 1957
- පිටු ගණන :
- 87
- බාගත කිරීම් ගණන :
- 985
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-02-16
- ගොනුවේ ප්‍රමාණය :
- 27 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
නිර්වාණ වාදය යනු නිවණ පිළිබඳව සහ අභිධර්ම මාතෘකා පිළිබඳව 1911, 1912 සහ 1925 වර්ෂයන්හි පුවත්පත් හා සඟරාවල පළවූ විවාදාත්මක ධර්ම ලිපි සමුදායක් එක්තැන් කර 1957 දී මාතර වජිරවංස හිමියන් විසින් සංස්කරණය කර පළකරවන ලද ග්රන්ථයකි.
මෙහි ප්‍රධාන වශයෙන් අග්‍රමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන්, අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමියන්, ලක්මිණිපහන් කර්තෘ ඇම්. ධර්මරත්න පඬිතුමා සහ දෛවඥ ඇල්. ඒ. පෙරේරා යන විද්වතුන් අතර ලක්මිණිපහන, ශ්‍රී ධර්ම ශ්‍රී, සදරැස ආදී පුවත්පත් සඟරාවල පළවූ විවාදාත්මක ලිපි අන්තර්ගත වේ. නිර්වාණ ධාතුව පිළිබඳ විවිධ මත, විභංග ප්‍රකරණය ඇසුරින් චතුරාර්‍ය්‍ය සත්‍යය විවරණය සහ මාතෘකාසන්න විවාදය පිළිබඳ කරුණු මෙහි විග්රහ කෙරේ.
පෙරවදන
“නිර්වාණවාදය” වනාහි 1912 හේදී ද 1925 හේදී ද වෙන්වශයෙන් කෙරුණු වාදයකි. එයින් 1912 හේ වාදය ලක්මිණිපහන් කර්තෘ තැන්පත් ඇම්. ධර්මරත්න පඬිතුමන් හා එකල පස්විසිවියැත්ව සිටි අග්රමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමිතුමන් අතර කෙරුණකි. 1925 දී “රේරුකානේ චන්ද්‍රවිමල” මහාස්ථවිරතුමා “ශ්‍රී ධර්ම ශ්‍රී” සඟරාවෙහි නිවණ පිළිබඳ ලිපි කීපයක් පළකරවීය. ඒ ලිපිකියවූ ඇතැම් භවතුන් විසින් තමතමන්ගේ අදහස් ප්‍රකාශකරන ලදී. මේ අතරේදී අන්‍ය උගතුන්ගේද ලිපි පළකරනු කැමතිවූ ශ්‍රී ධර්ම ශ්‍රී කර්තෘ මහතා 1912 හේ “බෞද්ධසහෝදරයා” සඟරාවේ වෙසක්කලාපයේ පළවූ ශ්‍රී බුද්ධදත්තස්වාමින් වහන්සේගේ නිවණ පිළිබඳ ලිපියක් තම සඟරාවෙහි පළ කරවීය. එය දුටු “දෛවඥ ඇල්. ඒ පෙරේරා” නමැති මහතෙක් නිවණ පිළිබඳ ලිපි සම්පාදනය කළ මහතෙර දෙනමට ම පහරදෙමින් ලිපියක් ලිවීය. බුද්ධදත්ත නාහිමියන් විසින් එයට උත්තර ලියනලදී. නැවත නැවත දෛවඥ මහතා ලියූ ලිපිවලටද උන්වහන්සේ උත්තර ලිවූහ.
“මාතෘකාසන්න වාදය” වනාහි ශ්‍රී බුද්ධදත්ත ස්වාමින් වහන්සේ විසින් 1911 හේදී පළකරවූ මාතෘකා ස්වරූපය නමැති පොතට පහරදෙමින් ලක්මිණිපහන්කතුතුමා ලියූ දීර්ඝලිපියක් නිසා ඇතිවූවකි. “මාතෘකා ස්වරූපය” තමන්ගේ මාතෘකා සන්නයෙන් පිටපත් කරගත් එකකැයි පහන් කතුතුමා චෝදනාකළවිට බුද්ධදත්තනාහිමියෝ ඔහු දෙවරකට පළකරවූ මාතෘකාසන්න දෙකේම ඇති වැරදි පිටුපේළි දක්වමින් පළකරවීය. ඒ ලිපි සදරැස පත්‍ර 14 ක පළවූහ. ඉන්පසු ඒ මහතාගේ ගුරුපදේශ අනුව ලිවූ ධාතුකථා සන්නයේ ඇති දොස් රාශියක් ද බුද්ධදත්ත නාහිමියන් විසින් පෙන්වා “සදරැසෙහි” ලිපිකීපයක් පළකරවනලදී. මේ කිසිවක් නිදොස්කරගැනීමට ඉදිරිපත් නොවූ පහන් කර්තෘමහතා තමාට ඒ ලිපිකියවන්ට අවකාශයක් නැතැයි පළකරමින් තමන්ගේ අලුත් මාතෘකාසන්නයට පිටු 16 ක් පමණවූ ශුද්ධිපත්‍රයක් මුද්රණයකරවා බෙදාදුණී.
අවුරුදු 45 කට පමණ පෙර සිදුවූ මේ මාතෘකාසන්න වාදයේ ලිපි මෙසේ පළකරවන්ට සිත්වූයේ 1956 දෙසැම්බර් 12 වෙනිදා ලංකාදීප පත්‍රයේ පළවූ ‘මොරගොඩ ඤාණරතන” ස්ථවිර තුමාගේ ලිපියකි. එහි “ගත්කරුවාගේ දුක්” යන ලිපිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් “ධර්මරත්නපඬිතුමන්ට වඩා තමන්වහන්සේ මහා අභිධම්මවිශාරදයකු බව හැඟවීම බුද්ධදත්තහිමියන්ගේ ලිපියේ එක් අදහසකි” යයි ලියාතිබේ. ධර්මරත්නමහතාට වඩා උගතෙකු මේ ලක්දිව ඇතිවෙන්නට ම නොහැකියයි මේ ස්ථවිරතුමා සිතා සිටිනබව පෙනේ. මේ පොතේ තිබෙන ලිපි කියවීමෙන් මධ්යස්ථලෝකයාට මේ කාරණය තේරුම්ගත හැකිවෙන බැවින් මේ ලිපි සංග්‍රහකොට පළකෙරෙව්වෙමි.
බුද්ධදත්තනාහිමියන්ගේ මගේ බණපොත නමැති පොතේ නිර්වාණය සම්බන්ධයෙන් තිබෙන විස්තර ප්‍රමාණවත් නොවේයයි එක් විචාරකයකු විසින් ප්රකාශකරනලදී. උන්වහන්සේ නිවණ ගැන ඒ පොතේ වැඩි විස්තරයක් නොකෙළේ මෙහි තිබෙන නිවණ පිළිබඳ ලිපි පළකරවන අදහසක් තිබුණ නිසාය. දැන් මේ පොතෙන් ඒ අඩුව පිරිමැසෙනබව සැළකුව මැනවි.
මාතර වජිරවංස.
1957 - 2 - 11 වැනි දින
කොළඹ, මරදානේ
ක්ලීබාර්ක්ස් මාවතේ
සුබෝධාරාමයේ දී ය.