ධාතුකථා ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය - කඩුවෙල අතුලඤාණ හිමි 2023.pdf

කතෘ :
කඩුවෙල අතුලඤාණ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2023
මුද්‍රිත වර්ෂය :
2023
පිටු ගණන :
243
බාගත කිරීම් ගණන :
969
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-02-08
ගොනුවේ ප්‍රමාණය :
5.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 122

ධාතුකථා ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය යනු අභිධර්ම පිටකයේ තෙවන ප්‍රකරණය වන ධාතුකථාප්පකරණය පහසුවෙන් හදාරනු පිණිස පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමියන් විසින් සම්පාදිත අභිධර්ම ග්‍රන්ථයකි. මෙහි 1912 වර්ෂයේ දී දික්වැල්ලේ සුදස්සනානන්ද විහාරවාසී ගුණරතන ස්ථවිරයන් විසින් බුරුම සන්නය ඇසුරෙන් සම්පාදිත දුර්ලභ ‘ධාතුකථා පාලි ව්‍යාඛ්‍යානය’ සංශෝධිතව අන්තර්ගත කොට ඇත.

ධාතුකථා ප්‍රකරණයෙහි විස්තර වන නය ක්‍රම දහහතර (සංගහ, අසංගහ ආදී ක්‍රම) සහ අට්ඨකථාගත විවරණයන් ස්වරූපාරූප වගු සහ පැහැදිලි කිරීම් මඟින් මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. පූජ්‍ය නුවරඑළියේ ඤාණසීලාභිධාන මහාස්ථවිරයන් වහන්සේගේ ආශිර්වාදයෙන් යුතුව Theravada Publications Society Limited ආයතනය මඟින් 2023 දී මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුභාශිංසනය

ධාතුකථා ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය නැමැති මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහිලා අපගේ මූලික පරමාර්ථය නම් ධාතු කථා ප්‍රකරණය පහසුවෙන් අවබෝධ කරගැනීමට ක්‍රමයක් සකස් කිරීමයි.

ග්‍රන්ථ ප්‍රස්තාවනාවෙහි කතුවරයා සඳහන් කරන ඉහත ප්‍රකාශයෙන් ග්‍රන්ථ තත්ත්වය පැහැදිලි වෙයි. මෙම දුෂ්කර මෙන්ම දුර්ලභ, විශිෂ්ට කාරණය සිදුකරන පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්ථවිරපාදයන් වහන්සේ ධර්ම විනයධරයෙකි. අභිධර්ම විශාරදයෙකි. බුරුමයේ ප්‍රකාශිත දුර්ලභ අභිධර්ම ග්‍රන්ථයන් බුරුම ආචාර්යවරුන් යටතේ හදාරමින් ස්වකීය අභිධර්ම විශාරදත්වය තහවුරු කරගත් අයෙකි. උන්වහන්සේ මෙයට කලින් පට්ඨාන ප්‍රකරණය සම්බන්ධව විවරණ ග්‍රන්ථයක් ද සකස්කොට ඇත.

අභිධර්මය පිළිබඳ ආචාර්යවරයෙක් ද වන උන්වහන්සේ ධර්ම ප්‍රචාරණය පිළිබඳ විශිෂ්ට ප්‍රයත්නය මම අතිශයින්ම අගය කරමි. ශාසන චිරස්ථිතිය වෙනුවෙන් වූ උන්වහන්සේගේ කැපවීම, දුෂ්කර ව්‍යායාමය තෙරුවන් සරණින් සාර්ථකත්වයට පත් වේවායි ආශිංසනය කරමි.

මෙයට, ශාසනහිතකාමී

අග්ගමහාපණ්ඩිත, පරියත්තිධර, ත්‍රිපිටක විශාරද - ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මහාස්ථවිර, ශ්‍රී විද්‍යාවාස මහපිරිවෙන, මිණිඔලුව - මීරිගම

ධාතුකථා ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය ගැන වචනයක්

අදෙසයි ධාතුකථං, ධාතුභෙදප්පකාසනො තස්සත්ථං දීපයිස්සාමි, තං සුණාථ සමාහිතාති. (පඤ්චප්පකරණ අට්ඨකථා)

අටළොස් ආකාර භේද ඇති විභංග දේශනාව නිම කොට ඉන් අනතුරුව ධාතු භේදයන්ගේ අර්ථ ප්‍රකාශනයට ධාතුකථා නම් වූ ග්‍රන්ථයක් මහා වීර වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එහි අර්ථය දැක්වීම සඳහා සකස් කර ඇති පෙළ, අට්ඨකථා, ටීකා සහිත සංග්‍රහ ග්‍රන්ථයන් මනා කොට සමාහිත සිත් ඇතිව ශ්‍රවණය කරවු යන අතීත ඇදුරු වචනයට ගරු කරමින් බුද්ධ වචනයට අනුයාත වූ ආභිධම්මිකයන් අභිධර්මය ගෙන කරන අර්ථ ප්‍රකාශනය අති ප්‍රශස්ත ය. පෞරාණික ඇදුරු පෙළපතින් දැන ඉගෙන ගත් ථේරීය වංශානුගත මහා ස්ථවිර උතුමන්ගේ සුරතින් සසුනට දායාද වූ ග්‍රන්ථයන් ලක් බුදු සසුනෙහි නැණ ගුණ වඩන ආභිධම්මිකයන්ගේ සකලාර්ථ සිද්ධිය පිණිස පූජ්‍යපාද කඩුවෙල අතුලඤාණ ස්ථවිරයන්ගේ තවත් අති උදාර සසුන් මෙහෙවරක මතකාවර්ජනාව යි.

තං සබ්බම්පි උද්දෙසනිද්දෙසතො ද්විධා ඨිතං. තත්ථ මාතිකා උද්දෙසො. සා පඤ්චවිධා - නයමාතිකා, අබ්භන්තරමාතිකා, නයමුඛමාතිකා, ලක්ඛණමාතිකා, බාහිරමාතිකාති. (ධාතුකථා අට්ඨකථා)

ධාතුකථා ප්‍රකරණය නම් වූ ග්‍රන්ථය මාතිකා නය, නිද්දෙස නය වශයෙන් කොටස් දෙකකට වෙන් කොට දේශනා කර ඇත. මෙහි දී මාතිකා නය ක්‍රමය නයමාතිකා, අබ්භන්තරමාතිකා, නයමුඛමාතිකා, ලක්ඛණමාතිකා, බාහිරමාතිකා වශයෙන් කොටස් පහකි. මෙකී මාතිකාවන්හි අර්ථයන් ස්කන්ධ ආයතන ධාතු ආදී පදයන් සමග කෙරෙන අර්ථ විග්‍රහය නිද්දෙසය නම් වේ.

සංගහො අසංගහොතිආදිනඤ්හි වසෙන ඉදං පකරණං වුද්දසවිධෙන විභත්තන්ති වුත්තං. (ධාතුකථා අට්ඨකථා)

ධාතුකථාවට පිවිසෙන දොරටුව මාතෘකා පද දාහතරකි. එනම් සංගහො අසංගහො ආදී වශයෙන් බෙදා දැක්වීම නය මාතිකාව යි.

අයඤ්හි ඉමිනා සංගහාදිකෙන නයෙන ධාතුකථා ධම්මා විභත්තාති දස්සෙතුං ඨපිතත්තා නයමාතිකාති වුච්චති. එතෙසං පදානං මූලභූතත්තා මූලමාතිකාතිපි වත්තං වට්ටති. (ධාතුකථා අට්ඨකථා)

මෙසේ සංග්‍රහ ආදී නය ක්‍රමයෙහි ධාතුකථා ධර්මයෝ බෙද බෙදා දක්වා තැබීම නය මාතිකා යැයි කියනු ලැබේ. ඒ ඒ පදයන්ගේ මූල භාවය මේ ග්‍රන්ථයෙහි යෙදුණු බැවින් මූල මාතිකා ද එයට නමකි.

තං වාචනාමග්ගතො අතිරෙකභාණවාරමත්තං, චින්තාරියමානං පන අනන්තමපරිමාණං හොති. (ධම්මසංගණී අට්ඨකථා)

මෙහි උද්දෙස නිද්දෙස වර්ණනා සහිත වූ ධාතුකථාව වාචනා මාර්ග වශයෙන් අතිරේක සය බණවරකි. එහි විස්තාර විභාගය අනන්ත අපරිමාණ වේ. මේසා විශාල ධර්ම සම්භාරයක් එකට කැටිකොට ඇති ග්‍රන්ථයන්හි අර්ථ විභාගය අර්ථාවන්විත වීමට නම් සුමට්ට සුපිරිසිදු අර්ථ ගැලපීමත් අර්ථ බෙදීමත් පද ගැලපීමත් පද බෙදීමත් නිවැරදිව සිදු වුවහොත් පමණක් ම සකල සාධූන්ගේ ප්‍රශස්ත භාවයට පත්වනු ඇත. මෙකී සියලු ප්‍රශස්ත ගුණ එකතු කරමින් ගිහි පැවිදි සැම දෙනාගේ ධාතු කථාවන්හි අර්ථාවබෝධයට ”ධාතුකථා ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය” නම් වූ ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් ය. එහි පරිවර්තන කතෘ භාවය හිමි පූජ්‍යපාද කඩුවෙල අතුලඤාණ ස්ථවිරයන්ට මෙපින් බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ඇතිව තව තවත් බොහෝ ධර්ම ග්‍රන්ථ සසුනට දායාද කරමින් සසුන් ගුණ වඩමින් පැතූ බෝධියකින් චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිස හේතු වේවා. දායක පායික සැම දෙනාටත් දෙවියන් සහිත සදේවක ලෝකයාටත් ලොව් ලොවුතුරා සුව පිණිස හේතු වේවා. වාසනා වේවා!

චිරං තිට්ඨතු සද්ධම්මො

මෙයට ශාසනාශීර්කාමී, දිගන සුගතවංස ස්ථවිර. ත්‍රිපිටකාචාර්‍ය්‍ය, අභිධම්ම විශාරද.

ප්‍රස්තාවනාව

දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයෙහි විවරණ ලද අප මහාබෝසතාණෝ අනන්ත සත්ත්වයන් කෙරෙහි පතළ මහාකරුණාවෙන් යුතු ව සාරාසංඛ්‍යෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පූරණය කොට දඹදිව බුද්ධගයා බෝධි මණ්ඩපයේ දී සවාසනා සකල ක්ලේශයන් මතු නූපදනා ලෙස ප්‍රහාණය කොට ගෞතම නමින් බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළ සේක. බුද්ධත්වයේ පටන් පරිනිර්වාණය දක්වා ලෝක සත්ත්වයන් ස්වර්ග මාර්ගයේ ද මෝක්ෂ මාර්ගයේ ද පිහිටුවමින් ධර්මරාජයාණන් වහන්සේ වදාළා වූ ඒ ශ්‍රී සද්ධර්මය සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය යනුවෙන් පිටකත්‍රයකින් සංග්‍රහ කරන ලදී.

අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධයන්ගෙන් සංග්‍රහ කොට වදාළා වූ ත්‍රිපිටක ධර්මයෙහි ස්කන්ධයන් සතළිස් දෙදහසක් ම අභිධර්ම පිටකයෙහි ඇතුළත් වේ. එම අභිධර්ම පිටකය ධම්මසංගණීප්පකරණය, විභංගප්පකරණය, ධාතුකථාප්පකරණය, පුග්ගලපඤ්ඤත්තිප්පකරණය, කථාවත්ථුප්පකරණය, යමකප්පකරණය, පට්ඨානප්පකරණය යනුවෙන් සප්ත ප්‍රකරණයකින් සමන්විත වේ. අභිධර්ම පිටකයෙහි පළමු ප්‍රකරණය වන ධම්මසංගණියෙහි වදාළා වූ පරමාර්ථ ධර්මයන් තව දුරටත් සවිස්තාරාත්මකව විභංගප්පකරණයෙහි දී දේශනා කොට ඇත. ඉන් අනතුරුව පැමිණෙන ධාතුකථාප්පකරණයෙහි දී පෙර ප්‍රකරණ දෙකෙන් විස්තර කළ ධර්මයන් ම නය ක්‍රම දහහතරක් යටතේ විස්තර කරනු ලැබේ. මෙම ග්‍රන්ථයෙන් විස්තර කෙරෙනුයේ එම ක්‍රම දහහතර ය.

ධාතුකථාප්පකරණයෙහි දී පරමාර්ථ ධර්මයන් ගෙන ස්කන්ධ, ආයතන, ධාතු වශයෙන් අතිදීර්ඝ වශයෙන් විස්තර කොට ඇත. පරමාර්ථ ධර්මයන් මේ ආකාරයෙන් ගෙන ස්කන්ධ, ආයතන, ධාතු වශයෙන් විස්තර කිරීම හුදු වර්ගීකරණයක් පමණක් ද යන චෝදනාව යමෙකුට ඇතිවිය හැක. එම පරිහාරය මූල ටීකාවේ පැමිණෙන මතු දැක්වෙන විස්තරයෙන් ලබා ගත හැක.

“ස්කන්ධ, ආයතන, ධාතු යන වර්ගීකරණය විශිෂ්ට ඥාණයෙන් දත යුතු භාවයෙන් එනම් අනිච්ඡෙය්‍ය භාවයෙන් වදාළ සේක. එසේ විශිෂ්ට ඥාණයෙන් ලක්ෂණ ආදී වශයෙන් දත් ධර්මයන්ගේ පරිඤ්ඤෙය්‍ය, පහාතබ්බ, සච්ඡිකාතබ්බ, භාවෙතබ්බ භාවයන් දැක්වීම පිණිස ආර්ය සත්‍ය දේශනාව වදාළ සේක. අධිපති ආදී කෘත්‍යයන් දැක්වීම පිණිස ඉන්ද්‍රිය ආදිය වදාළ සේක. ආර්ය සත්‍යයන් සම්බන්ධයෙන් වන දේශනාව, විශිෂ්ට ඥාණයෙන් දත යුතු ස්කන්ධ, ආයතන, ධාතු ඇසුරෙන් සිදු කිරීමේ දී පහසුවෙන් අවබෝධ කර ගත හැකි මෙන් මෙම ධාතුකථාවේ පැමිණෙන සංග්‍රහය සහ අසංග්‍රහය ද එම ස්කන්ධ, ආයතන, ධාතු ඇසුරෙන් සිදු කිරීමේ දී පහසුවෙන් අවබෝධ කර ගත හැක.1”

මෙයින් පැහැදිලි වනුයේ ධාතුකථා දේශනාවේ පැමිණෙන සංග්‍රහ, අසංග්‍රහ ආදී ක්‍රමයන් ස්කන්ධ ආදී අනික්කෙය්‍ය ධර්මයන් ඇසුරු කරගෙන දේශනා කරන ලද බව ද එය පහසුවෙන් වටහා ගැනීමට උපකාර වන බව ය. එනයින් සැලකූ විට ධාතුකථා ප්‍රකරණය යනු හුදු පරමාර්ථ ධර්මයන් වර්ගීකරණයක් නොවන බව අවධාරණය කළ යුතු ය. සැබවින් ම මෙම ප්‍රකරණය අත්ථසාලිනී අටුවාවේ දී ‘නාමරූපපරිච්ඡෙදකථා’ යනුවෙන් නම් කරන ලද අභිධර්ම පිටකයට අයත් වන විදර්ශනාව සඳහා උපකාරී වන පදනමක් ද එය මූලභක්ත කිරීමට ද උපස්තම්භනය වන ග්‍රන්ථයක් බව දත යුතු ය.

තථාගතයන් වහන්සේ එක ම කාරණය සම්බන්ධයෙන් නොයෙක් තැන්හි නොයෙක් ආකාරයෙන් වෙනෙය්‍ය ජනයාගේ අධ්‍යාශයන් දකිමින් දේශනා කොට ඇත. කවර ආකාරයකින් දේශනා කළ ද උන්වහන්සේගේ පරමාර්ථය වූයේ සසරට අයත් වූ ධර්මයන්ගේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම භාවය දක්වා එම සසරින් මිදීමට මාර්ගය පැහැදිලි කිරීම යි. එබැවින් මෙම ප්‍රකරණය විසින් සිදු කරනුයේ ද එම කෘත්‍යය ම බව දත යුතු ය.

ධාතුකථා ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය

ධාතුකථා අධ්‍යයන ප්‍රවේශය නැමැති මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහි ලා අපගේ මූලික පරමාර්ථය නම් ධාතුකථා ප්‍රකරණය පහසුවෙන් අවබෝධ කරගැනීමට ක්‍රමයක් සකස් කිරීම යි. ථේරවාදී රටවල් අතරින් අභිධර්ම පර්යාප්තිය උසස් ම ආකාරයෙන් පවතින්නා වූ මියන්මාරයේ ධාතුකථා ප්‍රකරණය පහසුවෙන් අධ්‍යයනය කිරීම සඳහා සන්න සහ වෙනත් පරිවාර ග්‍රන්ථ බහුල වශයෙන් පවතියි. නමුත් මේ වන තෙක් සිංහල බසින් ලියවී ඇත්තේ 1912 වර්ෂයේ දී පූජ්‍ය ගුණරතන ස්ථවිරයන් විසින් සම්පාදිත ‘ධාතුකථා පාලි ව්‍යාඛ්‍යානය’ යන පැරණි බුරුම සන්නයේ පරිවර්තනය පමණි. එබැවින් ධාතුකථා ප්‍රකරණය අධ්‍යයනය කරනු කැමති අභිධර්මකාමීන් හට අපගේ මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇත.

ධම්මසංගණීප්පකරණයේ පැමිණියා වූ තික මාතිකා සහ දුක මාතිකා යන අභිධර්ම මාතිකාවන් ස්වරූපාරූප සහිතව අධ්‍යයනය කර පැවතීම මෙම ධාතුකථා ප්‍රකරණය අධ්‍යයනය කිරීමට අවශ්‍ය මූලික පදනම වේ. එම පදනම මනාව සකසා ගත් ධර්මකාමීන්ට ධාතුකථාප්පකරණයේ ක්‍රම දහහතරකින් දේශනා කර ඇති ධර්මයන් අධ්‍යයනය කිරීම සඳහා මාර්ගෝපදේශකත්වයක් මෙම ග්‍රන්ථය තුළින් දෙනු ලැබේ.

ධාතුකථා ප්‍රකරණය ඉගෙන ගැනීම සඳහා බුරුම බසින් සම්පාදනය වී ඇති ග්‍රන්ථ රාශියකි. ඒ අතරින් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ දී යොදාගත් ග්‍රන්ථ සහ ඒවායේ කතුවරුන් වහන්සේලාගේ නම් පහත පරිදි වේ. [ග්‍රන්ථ නාමාවලිය]

මීට අමතරව සටහන් සහ වගු ආදිය සමග ඉංග්‍රීසි බසින් පළවී ඇති ධාතුකථා ප්‍රකරණයේ පරිවර්තනය වන Discourse on Elements (Dhātukathā) - U Nārada (Mūla Paṭṭhāna Sayadaw) යන ග්‍රන්ථය ද ධාතුකථා නය ක්‍රමය විස්තර කෙරෙන A Perfect Knowledge of Mind-Body from the Abhidhamma (Dhātukathā - P.B. Tan) යන ග්‍රන්ථය ද අප විසින් භාවිත කොට ඇත. ඉහත ග්‍රන්ථයන් ස්වරූපාරූප වගු සහ වෙනත් පැහැදිලි කිරීම්වලින් සමන්විත බැවින් ධාතුකථා ප්‍රකරණය අධ්‍යයනය පහසු වේ.

ධාතුකථාප්පකරණය අධ්‍යයනය කිරීම සඳහා දැනට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පවත්නා බව කිව හැක. ඒ පඤ්චප්පකරණට්ඨකථාවෙහි විස්තර කර ඇති ක්‍රමය සහ පසුකාලීනව බුරුමයේ ධර්මාචාර්යයන් වහන්සේලා විසින් සකස් කර ඇති ක්‍රමය යන ක්‍රම දෙක ය. එම ක්‍රම දෙක ම මෙම ග්‍රන්ථයෙන් විස්තර කෙරෙන අතර අපගේ රුචිය වනුයේ අටුවාවෙහි පැමිණි පැරණි ක්‍රමය ම ය. එබැවින් මෙම ග්‍රන්ථයෙහි දී මුලින් පැහැදිලි කොට ඇත්තේ අටුවාවෙහි විස්තර කරන ක්‍රමයට අනුව ය. එසේ ම බුරුම ග්‍රන්ථවල ඇති වගු, අටුවා ක්‍රමය පැහැදිලි කිරීමට උපකාර වන අන්දමින් සංස්කරණය කොට ඇත. එබැවින් මෙම ග්‍රන්ථය ගුරුවරයෙකු හට ඉගැන්වුම් ක්‍රියාවලියේ දී ද තනිව අධ්‍යයනය කරන ශිෂ්‍යයෙකු හට ඉගෙනීමේ ක්‍රියාවලියේ දී ද පහසුවක් වනු ඇත.

ධාතුකථා පාලි ව්‍යාඛ්‍යානය

මෙම ග්‍රන්ථයෙහි දෙවන භාගය ‘ධාතුකථා පාලි ව්‍යාඛ්‍යානය’ යි. එය 1912 වර්ෂයේ දී පූජ්‍ය ගුණරතන ස්ථවිරයන් විසින් සම්පාදිත වන අතර එය ධාතුකථා ප්‍රකරණය සඳහා බුරුම බසින් ඇති සන්නයේ පරිවර්තනය යි. උන්වහන්සේ බුරුම සම්ප්‍රදායෙන් උගත් එම්. ධර්මරත්න පඬිතුමාගෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කොට ඇත. 1912 දී මුද්‍රණය කළ මෙම ග්‍රන්ථය ඉන්පසුව මුද්‍රණය වූ බවට අසන්නට නො ලැබේ.

ධාතුකථා අධ්‍යයන ප්‍රවේශය සමග මෙම ධාතුකථා සන්නය නැවත මුද්‍රණය කිරීමේ ශාසනික වැදගත්කම අභිධර්මභාරතීවිදූගරු මොසොයෙයින් සයාඩෝ අශින් සූරියාභිවංස මහතෙරුන් වහන්සේ තම ශිෂ්‍යයන්ට නිරන්තරයෙන් දුන් පහත අවවාදය අනුව දත යුතු ය.

”මියන්මාරයේ අභිධර්ම ස්වරූපාරූප ග්‍රන්ථයන් මනාව සම්පාදනය වී ස්ථාවරව පවතින නිසා ම අභිධර්ම පර්යාප්තිය අභාවයට නොගොස් අද දක්වා දියුණු වෙමින් පැවතිණි. මාතිකා ස්වරූපාරූප ග්‍රන්ථ, ධාතුකථා ස්වරූපාරූප ග්‍රන්ථ, යමකප්පකරණ ස්වරූපාරූප ග්‍රන්ථ, පට්ඨාන ස්වරූපාරූප ග්‍රන්ථ නොමැතිව පැවැතුණු සෙසු ථේරවාදී රටවල් වන ශ්‍රී ලංකාවෙහි සහ තායිලන්තයෙහි අභිධර්ම පර්යාප්තිය එතරම් ස්ථිරසාර නො විය. අභිධර්ම පර්යාප්තිය බැබලිය යුතු තරමින් බැබලුනේ නැත. ශාසනික වශයෙන් මෙය කණගාටුවට කරුණකි. එබැවින් විශේෂයෙන් උත්සාහවත් වී අභිධර්මය ඉගෙනීමට උත්සාහවත් විය යුතු ය. පර්යාප්ති ශාසනය අන්තර්ධානයේ දී පළමුව අභාවයට යන්නේ අභිධර්ම පිටකය යි. එබැවින් අභිධර්මය ඉගෙන ගන්නා වූ කල්‍යාණ පෘථග්ජනයෝ තමන්ගේ ඤාණයේ ශක්තිය යම් තාක් වේ ද ඒ තාක් උත්සාහවත් වී අන් අයගේ අවබෝධය පිණිස අභිධර්ම ස්වරූපාරූප ග්‍රන්ථයන් රචනා කොට ප්‍රචලිත කිරීම අභිධර්ම පිටකයේ චිරස්ථිතිය වේ. සර්වඥයන් වහන්සේගේ ශාසනයේ චිරස්ථිතිය වේ.”

අපගේ වැටහීම නම් සූරියාභිවංස මහතෙරුන් වහන්සේගේ මෙම ප්‍රකාශයෙන් සියවස් ගණනාවක අභිධර්ම ඉතිහාසය සහ එහි අනාගතය ගැන කියවෙන බව යි. එබැවින් ”අපට බුරුමයෙන් අභිධර්මය ඕනෑ නැත. අපට පෙළ අටුවා බලා අභිධර්මය උගත හැකි ය” යනුවෙන් යමෙක් ප්‍රකාශ කරන්නේ නම් එම ප්‍රකාශයට අදාල පිළිතුර ශාසනික ඉතිහාසයෙන් ලැබී ඇත. එබැවින් මෙම අභිධර්ම ප්‍රකරණයන්ගේ ස්වරූපාරූප විස්තර කෙරෙන සන්නයන් වරින් වර මුද්‍රණය කිරීම අභිධර්ම පර්යාප්ති ශාසනයේ චිරපැවැත්ම පිණිස උපකාර වන බව අවධාරණය කළ යුතු ම ය.

1912 දී පළ වූ මෙම සන්නයෙහි අඩුපාඩු සහිත නිසා භාවිත කිරීමට අපහසු බව අපට ගිහි පැවිදි පින්වතුන්ගෙන් අසන්නට ලැබී ඇත. එම ප්‍රකාශයට බලපෑ කරුණු දෙකක් අපි දකිමු. සැබවින් ම අභිධර්ම සන්නයක් පරිපූර්ණව පළමු වතාවේ දී ම මුද්‍රණය කිරීම අතිදුෂ්කර කාර්යයකි. නොයෙක් ධර්මයන් සම්බන්ධයෙන් නොයෙක් ක්‍රමවලින් විස්තර කෙරෙන බැවිනි. එවැනි දෝෂයන් එම මුද්‍රණයෙහි පැවැතුණු නමුත් ’මෙම පොත භාවිතයට නුසුදුසු ය’ යනුවෙන් කීමට තරම් ප්‍රාමාණික නො වේ. එබැවින් පැරණි සන්නය යතුරුලියනය කිරීමෙන් අනතුරුව එම අඩුපාඩු සකස් කිරීම සිදු කළ අතර ඉමහත් පරිශ්‍රමයක් දරමින් උනන්දුවෙන් එය සිදු කළේ අපගේ ධාතුකථා පාඩම් මාලාවට සම්බන්ධ වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනමක් වන පූජ්‍ය ලග්ගල ධම්මසුදස්සී සහ පූජ්‍ය ගංගොඩවිල පඤ්ඤාතිස්ස ආයුෂ්මතුන් වහන්සේලා ය. එම සෝදුපත් බැලීමේ දී බුරුම සන්නය සමග සැසඳීමක් සිදු කළ අතර පරිවර්තනයේ දී සිදු ව තිබූ සුළු දෝෂයන් කිහිපයක් නිවැරදි කිරීම ද සිදු විය.

දෙවැනි කරුණ නම් එම සන්නය ලියා ඇති ක්‍රමවේදය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම යි. සත්‍ය වශයෙන් මෙම ග්‍රන්ථය ලියා ඇති ක්‍රමවේදයෙහි කිසිඳු ගැටලුවක් නොමැත. ලියා ඇති ක්‍රමය ’තමන්ට වැටහෙන’ ක්‍රමයට වඩා වෙනස් වූ විට ලියා ඇති ක්‍රමයෙහි වරදක් ඇති බව පෙනීම සාමාන්‍ය දෙයකි. බුරුමයේ මෙන් සියවස් ගණනාවක් නොසිඳෙමින් පැවත ගෙන එන අභිධර්ම පරම්පරාවක් නොමැති අප සම්ප්‍රදායෙන් එබඳු මතයක් ඇති වීම අපි දෝෂයක් ලෙස නො දකිමු. එබැවින් අප විසින් සිදු කළ යුත්තේ අඩුපාඩුවක් වේ නම් එය පිළිගෙන මතුවට එය නිවැරදි කරගැනීම යි. එබැවින් එම ක්‍රමවේදය පිළිබඳ සුදුසු පරිදි පාදක සටහන් ඇතුළත් කිරීම ද අප විසින් සිදු කළ අතර එය මතු අනාගතයේ මෙම ග්‍රන්ථය පරිශීලනය කරන්නා වූ සත්පුරුෂයන්ට උපකාරී වනු ඇත.

තව ද 1912 වර්ෂයේ මුද්‍රණයෙහි ධාතුකථා ප්‍රකරණ පාලිය ද ඇතුලත් කොට ඇත. එයට හේතුව වශයෙන් අප අනුමාන කරන්නේ එම යුගයේ මුද්‍රිත ත්‍රිපිටක ග්‍රන්ථයන් ඉතා අවම වශයෙන් පැවතීම යි. එම යුගයේ අවශ්‍යතාව සලකා පාලිය ද ඇතුලත් වී තිබුණේ නමුත් මෙකල මුද්‍රිත සහ විද්‍යුත් ක්‍රමයට පාලි ග්‍රන්ථයන් සුලභව ඇති බැවින් එම පාලිය මෙම ග්‍රන්ථයෙන් ඉවත් කොට ඇත.

උපකාරානුස්මෘතිය [අනුස්මෘති පාඨය]