සිත සිරුර නිවණ ධම්මසංගණී - යාගොඩ ධර්මප්‍රභ හිමි 1964.pdf

කතෘ :
යාගොඩ ධර්මප්‍රභ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1964
මුද්‍රිත වර්ෂය :
1964
පිටු ගණන :
353
බාගත කිරීම් ගණන :
840
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-02-01
ගොනුවේ ප්‍රමාණය :
95 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 177

සිත සිරුර සහ නිවණ හෙවත් ධම්මසංගණී යනු අභිධර්ම පිටකයේ ප්‍රථම ග්‍රන්ථය වන ධම්මසංගණී ප්‍රකරණය සහ එහි අටුවාව වන අට්ඨසාලිනිය පදනම් කරගෙන, වනවාසී පූජ්‍ය යාගොඩ ධර්මප්‍රභ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම පාඩම් මාලාවකි. අභිධර්ම මාතෘකා හා පදාවලිය සරලව හා ක්‍රමානුකූලව හදාරන්නන්ට පහසු වන අයුරින් පාඩම් 41 ක් යටතේ මෙය පෙළගස්වා ඇත.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිගරු අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන මහානාහිමියන්ගේ ප්‍රශංසාත්මක සටහනකින් සහ ශාස්ත්‍ර විශාරද හේගොඩ ඛේමානන්ද හිමියන්ගේ හැඳින්වීමකින් සමන්විත මෙම කෘතිය, සිත, චෛතසික, සිරුර (රූප) සහ නිවන පිළිබඳ ගැඹුරු අභිධර්ම විග්‍රහයන් පැහැදිලි ලෙස විවරණය කරයි. ආධුනිකයන්ට පවා අභිධර්මය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකි අයුරින් මෙය සම්පාදනය කර තිබේ.

මෙම පොත 1964 දී ආර්. හෙට්ටිආරච්චි මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, කොළඹ මරදානේ සමයවර්ධන මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ඇත.

ධම්මසංගණිය හෙවත් සිත,සිරුර සහ නිවණ

මෙනම් ග්‍රන්ථය ගැන මගේ හැඟීම තොම ප්‍රසන්නය. මෙය සිංහලයට පරිවර්තනය කිරීමෙන් භික්ෂූන් වහන්සේලාටත්, ඉගෙනීම ලබන ශිෂ්‍ය භික්ෂූන්ටත්, බෞද්ධ උපාසක මහතුන්ටත් විපුල ප්‍රයෝජනයක් ලබාගැනීමට අනභ්‍යන්තරොපකාරීවනු ඒකාන්තයි. අභිධර්මය පිළිබඳ මනා හැඟීමක් ‘’ධම්මසංගණී’’ ප්‍රකරණයෙන් ලබාගැනීමට අට්ඨසාලිනියද බැලීම අත්‍යවශ්‍යයි එය එම ධර්‍මග්‍රන්ථයේ අටුවාව-හෙවත් විස්තර කථාව බැවිනි ඊට අනුව වනවාසී යාගොඩ ධර්‍මප්‍රභ ස්ථවිරයන් වහන්සේ විසින් ඉතා උනන්දුවෙන් සකස්කරගෙන යනු ලබන මේ සිත, සිරුර සහ නිවණ නැමැති සිංහල අනුවාදය අපි ඉතා පරීක්ෂාවෙන් කියවීමු මේ කෘත්‍යය සම්පූර්ණවූ විට ධර්‍මකාමීන්ට වටිනා සේවයක් වෙනවාට කිසිම සැකයක් නැත එසේම පිරිවෙන් ශිෂ්‍යයින්ටත් මහඟු සේවයක් වේයයි සිතමු. මෙවැනි කටයුතු සඳහා නිර්ලෝභීව ආධාර කිරීම බෞද්ධාබෞද්ධ සියලු දෙනාගේම යුතකමකැයි සිතමු විශේෂයෙන් අභිධර්ම පිටකය පිළිබඳ අභිධම්මත්ථ සංග්‍රහයට පමණක් සන්න භාවසන්නලියා ඇතත් සප්ත ප්‍රකරණය පිළිබඳව කිසිම ග්‍රන්ථයකට මේ දක්වා මෙවැනි පැහැදිලි භාවයක් කිසිවෙකු විසින් නොලීම කනගාටුවට කාරණයකි. එවැනි අඩුපාඩුවක් යථෝක්ත ධර්‍මප්‍රභ ස්ථවිරයන් අතින් ඉටුවීමට අපේ අමන්දානන්දයට හේතුවෙමැයි එම නිසා මේ ග්‍රන්ථය සෑම භික්ෂුවක් විසින්මත්, සෑම බෞද්ධයෙකු විසින්මත් මනාව පරිශීලනය කොට මෙලොව පරලොව යන උභයාර්ථ සිද්ධිය සාදාගන්නා ලෙස කරුණාවෙන් දන්වමි.

ඒවගත්-මෙසේම,

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරාධිපති අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන. සියාවොපාලි මහා නිකායේ මහානායක ස්ථවිරපාදයන් වහන්සේ වෙමිහ.

අමුණුගම ශ්‍රී විපස්සී

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරාධිපති අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන. සියාවොපාලි මහා නිකායේ මහානායක ස්ථවිරපාදයන් වහන්සේ

හැඳින්වීම

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මාතෘකාවන් විග්‍රහ කරමින් සංගායනා වලදී පිටකයක් වශයෙන් අභිධර්මය සංගෘහිත විය. පසු කාලීන ආචාර්ය වරයන් විසින් අටුවා ලිවීමෙන් ඒවා මනා කොට විස්තර කොට ඇති අතර අනුරුද්ධ, බුද්ධදත්ත ආදී විචක්ෂණ මහ තෙරවරුන් විසින් අභිධර්ම පිටකය අලලා “අභිධම්මත්ථ සංගහ, අභිධම්මාවතාර, නාමරූප පරිච්ඡේද ආදී සංග්‍රහ ග්‍රන්ථ රාශියක් ගද්‍යයෙන් හා පද්‍යයෙන් නිපදවා ඇත. එයින් විශිෂ්ටතම සංග්‍රහය වූ “අභිධම්මත්ථ සංගහ” නම් වූ පොතට පාලියෙන් හා සිංහලෙන්ද ලියන ලද විස්තරකථා රාශියක් ප්‍රචලිතව ඇත. එහෙත් අභිධර්ම පිටකයේ මුල්ම ග්‍රන්ථය වූ “ධම්මසංගණී” ආදී ප්‍රකරණ සයට අට්ඨකථානුසාරයෙන් ලියන ලද කිසිම ග්‍රන්ථයක් මෙතෙක් සිංහල භාෂාවෙන් පළවී ඇති බවක් දක්නට නැත්තේය.

ධම්මසංගණියේ ධර්මපදාවලී විස්තර කරන අටුවාව “අට්ඨසාලිනිය”යි. බුද්ධ ඝෝෂාචාර්‍ය්‍යපාදයන් විසින් ලියන ලද මෙම ග්‍රන්ථය අභිධර්ම පිටකය පිළිබඳ පෙරවදනක් මෙන්ම ආදර්ශතලයක්ද බඳු වේ. අට්ඨසාලිනිය පරිශීලනය නොකොට අභිධර්ම පදාවලින් මනා ලෙස අවබෝධ කර නොගත හැක්කා සේම, කුශලාකුශල කර්මයන් පිළිබඳ ශාස්ත්‍රීය විනිශ්චයක්ද දැනගත නොහැකිය. එම නිසා අට්ඨසාලිනී අනුසාරයෙන් සිංහල භාෂාවෙන් ලියා පළ කරන යම් ග්‍රන්ථයක් වේ නම් එය සිංහල බෞද්ධයාට කරන ඉමහත් ශාසනික සේවයක් වනු නියතය.

පූජ්‍ය වනවාසී යාගොඩ ධර්මප්‍රභ ස්ථවිර පාදයන් වහන්සේ විසින් පාඩම් මාලාවක් වශයෙන් සම්පාදනය කර තිබෙන “සිත සිරුර සහ නිවණ හෙවත් ධම්මසංගණී” නමැති ග්‍රන්ථය අට්ඨසාලිනිය ඇසුරෙන් අභිදහම ඉගැන්වීමට කරන ලද විශිෂ්ට ප්‍රයත්නයකි. මෙය වනාහි හුදෙක් අට්ඨසාලිනියේ භාවසන්නයක් නොව, ධම්මසංගණියේ දහම් මග අටුවා නයින් ක්‍රමානුකූලව තෝරා දෙන සරල පාඩම් මාලාවකි. පාලි අටුවාවේ හුදු ගද්‍ය වාක්‍ය වශයෙන් දක්වා තිබෙන විවිධ ධර්මපදත් විග්‍රහයන් මෙහි අංක පිළිවෙළින් යොදා පැහැදිලි ලෙස වින්‍යාසකර තිබීම නිසා අවබෝධයට මෙන් ම මතක තබා ගැනීමට ද පාඨකයාට මහත් පහසුවක් ගෙන දෙන්නේය.

මෙහි 120 සිට 123 තෙක් පිටුවල දක්වා තිබෙන ‘අලෝභ, අදෝස. අමෝහ’ යන කුසල මූලයන් පිළිබඳ එහි වින්‍යාසයේ ආකාරය නිසා පාඨකයා ප්‍රබෝධයට පත්කරවයි. එනිසාම පාලි අට්ඨසාලිනිය කියවීමෙන් එම දහම් පිළිබඳව නොපෙනෙන දර්ශනයක් මේ පොත කියවීමෙන් මේ පොත කියවීමෙන් පාඨකයාට නිතැතින්ම ඇති වන බව කිව යුතුය. කර්ම හා කර්මඵල පිළිබඳව අට්ඨසාලිනියේ තරම් ගැඹුරු ලෙසද, විද්‍යානුකූල ලෙසද, පරිපූර්ණ ලෙසද, විවරණය කර තිබෙන අන් තැනක් කිසිම ග්‍රන්ථයක ඇත්තේ නැත. එය ඉතා සාවධාන ලෙස ග්‍රන්ථ කර්තෘන් වහන්සේ විසින් මෙහි හෙළ බසින් කියන ආකාරය ඉතා ප්‍රසන්නය.

සෑම අතකින්ම සාර්ථක ග්‍රන්ථයක් වූ “සිත සිරුර සහ නිවණ හෙවත් ධම්මසංගණිය” ගරු ධර්මප්‍රභ ස්ථවිර පාදයන් වහන්සේගේ විශිෂ්ට අභිධර්මඥානය පිළිබිඹු කරවන්නක් වන අතර සදහටම සිංහල බෞද්ධ ලෝකයාගේ මත දොළ පුරවන්නක් වන බවද ඒකාන්තය.

ධර්‍මපර්‍ය්‍යෙෂණාලය මොරටුව.

හැගොඩ ඛෙමානන්ද 64.9.20

ධර්‍මපර්‍ය්‍යෙෂණාලය මොරටුව. හැගොඩ ඛෙමානන්ද 64.9.20

විමසුම

සිත කුසල අකුසල අබ්‍යාකත යැයි කොටස් තුනකට බෙදේ. (අව්‍යාකෘත හෙවත් කුසල් අකුසල් වශයෙන් නොකියන ලද්දේ අබ්‍යාකතය.) සිරුර රූපස්කන්ධයයි. අබ්‍යාකතය සිතේ ගති සහ සිත වේදනා, සඤ්ඤා, සංඛාරා විඤ්ඤාණ කඳුවලට බෙදේ. මෙම පඤ්චස්කන්ධයෙන් මිදුණු නිවණද අබ්‍යාකතය මෙම “ධම්මසංගණී” අභිධර්ම පාඩම් මාලාවට “සිත, සිරුර සහ නිවණ” යන අපර නාමයක්, යොදන්නට අදහස් වූයේ අභිධර්මය නම් අපම, තම තමාම, බවත් තමාගෙන්ම මිදීම නිවණ බවත් එහෙයින් කවුරුන් විසින්නුත් දතයුතු ධර්මයක් බවත් ඒත්තු ගැන්වීමටය.

අභිධර්මය අභිධර්මය වශයෙන්ම දෙසූ බව බුද්ධ කාලයෙහිද එනමින්ම පැවති බව මහාගොසිංහ ආදී සූත්‍රාන්තයෙන් ඔප්පුවේ. සූත්‍රාන්තයට අටුවා ලියා විස්තර සපයා ඇත්තේ අභිධර්මයෙනි. එහෙයින් අභිධර්මයෙහි පැතුරුණු අවබෝධයක් ලදහොත් බුද්ධාමතානුකූලව සූත්‍රාන්තය විස්තර කළ හැකිය. එයින් හැඟී යන්නේ බුදු දහමෙහි විද්‍යානුකූල ශාස්ත්‍රීය කොටස අභිධර්මය බවයි. එහෙයින් අභිධර්මය වෛද්‍ය ශාස්ත්‍රය ලෙසත් සූත්‍රාන්තය ඔෟෂධෝදාර වෙදකම ලෙසත් ආභිධම්මික මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහාස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගේ නිගමනය අතිශය යුක්තියුක්තය.

ධම්මසංගණී බුදුගොස් මාහිමියන්ම “අභිධම්මස්ස සබ්බස්සා - ධම්මෙ අනවසෙසතො ඨිතාය තස්සා ආරම්භා - යා මයා අත්ථවණ්ණනා”” “අට්ඨසාලිනී නිගමන ගාථා”

අභිධර්ම පිටකයෙහි කුසලාදී දහම් නිරවශේෂයෙන් (නො ඉතුරුව) සංග්‍රහණය හෙවත් එක්වගෙණ සිටි ධම්ම සංගණියට මවිසින් යම් අර්ථ වර්ණනයක් කරන ලදද? එයින් කියන ලදී. අත්ථ යෝජනාවෙහි,

“කුසලාදයො ධම්මා සංගය්‍යන්ති එත්ථාති ධම්මසඞ්ගණී” කුශලාදී ධර්මයෝ මෙහි සංග්‍රහවෙත්නුයි ධම්ම සඞ්ගණී නම් වේ.

ධම්ම සංගණියෙහි මාතෘකා පාලිය පමණක් වුව මුළු මහත් අභිධර්ම පිටකයම සංග්‍රහකොටගෙන සිටිනා බව පෙනේ අභිධර්මය ඉගෙනීමේ පැරණි ක්‍රමය මාතිකා පාලිය කටපාඩම්කොට ස්කන්ධ ධාතු ආයතන සත්‍ය ප්‍රතීත්‍ය සමුත්පාදාදී වශයෙන් බෙදා ඉගෙනීමයි. සිතක් පහළවන සැටි ආදී අවබෝධයෙන් තොරව එසේ කටපාඩම් කිරීමෙන් අභිධර්මය හදාරණ ආධුනිකයා මහත් වෙහෙසකට වැටේ. මෙම මාතෘකා පාලිය වටහා ගැනීමට ධම්මසංගණියවත් අවසන් කළ යුතුය. අභිධර්ම පිටකයම හෝ හැදෑර යුතුය. මේ බව සැලකූ පැරණි අභිධර්මාචාර්යයන් වහන්සේලා මාතෘකා පාලිය ඉගෙනීමට පෙර චිත්ත චෛතසිකාදීන් ඉගෙනීමට අභිධම්මත්ථ සංගහ, අභිධම්මාවතාර නාමරූප පරිච්ඡේද ආදී පොත් සපයන ලදී. මෙසේ අවබෝධයෙන් තොරව අභිධර්මය ඉගෙනීමද අභිධර්මයක් විය.

ධම්මසංගණියෙහි මාතිකාපාලිය මාතෘකා වශයෙන් අවබෝධයට මුල් තැන් දෙමින් ඉගෙනීමේ පාඩම් ක්‍රමයක් සකස්කොට චිත්ත චෛතසිකාදීන් පිළිබඳ දැනීමක් ලැබුණු පසු මාතෘකා පාලිය ස්කන්ධාදීන්ගේ වශයෙන් අවබෝධයෙන් කටපාඩම් සිටින ලෙස මෙය සකස්කරණ ලදී. එය පැරණි ක්‍රමය අස්කිරීමක් නොව සැකසීමක් පමණකි. අභිධර්මය ඉගෙනීමට කැමති සුධීන්ගේ බිය දුරුකිරීමකි. සෑම බෞද්ධයෙකුම අභිධර්මය උගත යුතුය.

මෙම පොතෙහි-“සිත සිරුර සහ නිවණ” අවසන් කොටසෙහි විස්තර කරමු. අට්ඨසාලිනී අටුවාව බුදුගොස් හිමියන්ගේ පළමු පොතයැයි ඇති මතයද විමසමු.

මෙය පැසසීමෙන් අතිගරු අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන මහා විහාරීය මහා නායක මාහිමියන් වහන්සේ සහ මෙයට හැඳින්වීමක් ලියා දීමෙන් ආභිධම්මික ශාස්ත්‍ර විශාරද (ඇම්. ඒ.) හේගොඩ ඛෙමානන්ද ස්ථවිරයන් වහන්සේද මෙය පැසසීමෙන් ධර්‍ම වියත් සිළුමිණි මහඇදුරු රේරුකාණේ චන්දවිමල නාහිමි ඇතුළු වනවාසී ගරුතර නාහිමිවරුන් වහන්සේ හා ආචාර්ය්‍යපාදයන් වහන්සේලාද පෲප් බැලීමෙහි සහාය වූ කේහෙල්පන්නල සුගතවංස ස්ථවිරයන් වහන්සේද ධම්මසංගණී අභිධර්ම පන්තිය පැවැත්වීම සඳහා ආරාධනා කළ විශ්‍රාම ලත් සිවිල් නිලධාරී ඩබ්ලිව්. ආර්. ඩී. ඇස්. සේනාරත්න මහත්මා, පට්ඨාන ධර්ම සභාවද මහාබෝධි සංගමය සහ තරුණ බෞද්ධ සංගමයද කෘතවේදීව සිහිකරමි.

සියළු හිමිකම් කර්තෘ සතුය.

මෙයව, ධර්‍මප්‍රභ ස්ථවිර

සිරිසඟබෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කුරුණෑගල පාර, අනුරාධපුරය. 23-9 64.

ධර්‍මප්‍රභ ස්ථවිර, සිරිසඟබෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කුරුණෑගල පාර, අනුරාධපුරය. 23-9 64.