අති ගාම්භිර මහා පට්ඨාන සද්ධර්ම වන්දනාව 1 - නාඋයන ආරණ්‍ය.pdf

ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
278
බාගත කිරීම් ගණන :
1,382
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-02-01
ගොනුවේ ප්‍රමාණය :
3.1 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 140

මෙම ග්‍රන්ථය අභිධර්ම පිටකයේ සත්වන ප්‍රකරණය වන පට්ඨාන මහා ප්‍රකරණයේ ධම්මානුලෝම ක්‍රමයට අයත් මුල් තික පහෙහි (කුසලත්තික, වෙදනාත්තික, විපාකත්තික, උපාදින්නත්තික, සංකිලිට්ඨත්තික) පඤ්හාවාර පාළි පෙළ සජ්ඣායනා කිරීම හා ප්‍රායෝගිකව භාවිත කිරීම පිණිස සම්පාදනය කරන ලද්දකි.

නා උයන ආරණ්‍ය සේනාසනය මඟින් ප්‍රකාශිත මෙහි අතිපූජනීය අගුල්ගමුවේ අරියනන්ද මාහිමිපාණන්ගේ සුභාශිංසනයක් ද, අභිධර්ම පිටකයේ හා පට්ඨාන ප්‍රකරණයේ ප්‍රායෝගික භාවිතය සහ විපස්සනා භාවනාවට එය උපකාරී වන ආකාරය විස්තර කෙරෙන දීර්ඝ හැඳින්වීමක් ද ඇතුළත් වේ.

පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

  • කුසලත්තිකපඤ්හාවාරපාළි
  • වෙදනාත්තිකපඤ්හාවාරපාළි
  • විපාකත්තිකපඤ්හාවාරපාළි
  • උපාදින්නත්තිකපඤ්හාවාරපාළි
  • සංකිලිට්ඨත්තිකපඤ්හාවාරපාළි

අතිපූජනීය අගුල්ගමුවේ අරියනන්ද මාහිමිපානන්ගේ සුභාශිංසනය.

“න හෙත්ථ දෙවො බ්‍රහ්මා වා, සංසාරස්සත්ථිකාරකො; සුද්ධධම්මා පවත්තන්ති, හෙතුසම්භාරපච්චයා”ති.

“මේ සසර ඇති කරන්නා වූ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නැත, හේතු රැසක ප්‍රත්‍යය වීමෙන් උපකාරයෙන් ශුද්ධ ධර්මයෝම පවතිත්”

(විසුද්ධිමග්ග - කඞ්ඛාවිතරණවිසුද්ධි නිද්දෙසො)

මහාකාරුණික වූ දසබලධාරී වූ දතයුතු සියල්ල සර්වඥතාක් ඥානයෙන් අවබෝධ කළා වූ භාග්‍යවත් වූ අරිහත් වූ අපගේ ශාස්තෲන් වහන්සේ වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී වදාළ සේක් චතුරාර්ය සත්‍යය අවබෝධ නොකිරීම නිසා නැවත නැවත දුකට පත්වන මේ පුහුදුන් සත්වයින්ට එම චතුරාර්ය සත්‍යය අවබෝධ කර දී එම දුකින් අත්මිදීමට මාර්ගය කියාදීම පිණිසය.

මෙම නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී සීල - සමාධි - ප්‍රඥා යනුවෙන් සික්ෂා 3ක් වශයෙන් ද සීලවිසුද්ධි, චිත්තවිසුද්ධි, දිට්ඨිවිසුද්ධි, කඞ්ඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණදස්සන විසුද්ධි, ඤාණදස්සන විසුද්ධි යනුවෙන් විසුද්ධි 7ක් වශයෙන් ද මෙම නිවන් මාර්ගය අනුපිලිවෙලින් පියවර වශයෙන් සම්පූර්ණ කළ යුතුය. මෙහිදී ප්‍රඥා සික්ෂාව සම්පූර්ණ වීමටත් විසුද්ධි අතුරින් කඞ්ඛාවිතරණ විසුද්ධිය සම්පූර්ණ වීමටත් හේතු-ඵල සම්බන්ධව ද පටිච්ච සමුප්පාදය සම්බන්ධව ද අවබෝධය ඉතා හොදින් ඇතිවිය යුතුය. මෙම හේතු-ඵල සම්බන්ධව ද පටිච්ච සමුප්පාදය සම්බන්ධව ද ත්‍රිලක්ෂණයන් සම්බන්ධව ද මනා අවබෝධයක් ලැබීමට සූවිසි ප්‍රත්‍යය සම්බන්ධ දැනීම මහෝපකාරී වේ. ඒ පිලිබඳ කරුණු අඩංගු වන්නේ අභිධර්ම ප්‍රකරණයේ සත්වන ග්‍රන්ථය වන පට්ඨාන මහාප්‍රකරණයෙහිය. මෙබඳු දහම් කරුණු අධ්‍යයනය, දරාගැනීම, සාකච්ඡා කිරීම, අන්‍යයන්ට කියාදීම මෙන්ම සජ්ඣායනා කිරීම ද මෙම ධර්ම අවබෝධය ලැබීමට ඉතාම උපකාරවත්ය. එබැවින්ම අංගුත්තර නිකායේ විමුත්තායතන සූත්‍රයේදී මෙම ධර්ම සජ්ඣායනය විමුත්තායතනයක් එනම් සසර දුකින් මිදීමට උපකාරක කරුණක්, නිවන් දොරටුවක් වශයෙන් බුදු රජාණන් වහන්සේ වදාළ සේක.

ඒ අනුව මේ මහඟු පට්ඨාන ධර්මයන් සජ්ඣායනය පිණිස සැකසුණ මෙම “සංකිලිට්ඨත්තිකපඤ්හාවාරපාළි” නම් ග්‍රන්ථය ද මෙම ගැඹුරු දහම් කරුණු අවබෝධ කරගනිමින් නිවන් මාර්ගයේ ඉදිරියටම යාමට මහඟු පිටිවහලක් වේ. මෙම වටිනා දහම් කරුණු හදාරමින්, සාකච්ඡා කරමින්, සජ්ඣායනා කරමින් භාවනා වශයෙන් වඩමින් ඒවා මනාව අවබෝධ කරගන්නට සෑම සියලු දෙනාම උත්සුක වෙත්වා යන ආරාධනය ද මෙසේ සිදු කරමු.

එසේම මෙම ග්‍රන්ථය සැකසීමට මගපෙන්වීම සිදුකළ පූජ්‍ය හබරකඩ ධම්මරතන ස්ථවිරයන් වහන්සේට හා පූජ්‍ය හබූරුගල චන්දරතන ආයුෂ්මතුන් වහන්සේට ද උපකාර කළ සියලු දෙනාට ද අපගේ සියලු ආචාර්යය උපාධ්‍යායන් වහන්සේලාට ද පිං අනුමෝදන් වන සියලු දෙනාට ද ඉක්මනින් නිවන් අවබෝධය පිණිසම මෙම කුසලය හේතු වේවා. එසේම සියලුම සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු දුකින් මිදේවා, නිවන් අවබෝධය ලබත්වා යනුවෙන් ද මෙත් සිතින් ආශීර්වාද පවත්වමු.

අභිධර්ම පිටකයේ හා පට්ඨාන ප්‍රකරණයේ ප්‍රායෝගික භාවිතය

සියලුම බුද්ධ දේශනා නිවන් රසයෙන් යුක්තබව

‘‘සෙය්‍යථාපි, පහාරාද, මහාසමුද්දො එකරසො ලොණරසො; එවමෙවං ඛො, පහාරාද, අයං ධම්මවිනයො එකරසො, විමුත්තිරසො. යම්පි පහාරාද, අයං ධම්මවිනයො එකරසො, විමුත්තිරසො; අයං, පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ ඡට්ඨො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති. (අං.නි. පහාරාදසුත්තං)

පහාරාදය, යම් සේ ඒක රස වූ මහා සමුද්‍රය ලුණු රස ඇත්තේ ද එපරිදි ම, පහාරාදය, ඒකරස වූ මේ ධර්මවිනය විමුක්තිරස ඇත්තේ වෙයි. යම් හෙයකින් ඒකරස වූ මේ ධර්මවිනය විමුක්තිරස ඇත්තේ වේ ද, පහාරාදය, මේ ධර්මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්යයක් නැවත නැවත දැක සිත් අලවා වාසය කෙරෙත් නම් මේ ධර්මවිනයෙහි මේ සය වන ආශ්චර්යී අද්භූත ධර්මය යි. (අං.නි. පහාරාදසූත්‍රය)

ඉහත සඳහන් බුද්ධ දේශනාවට අනුව සියලුම බුද්ධ දේශනාවම, මුළු ත්‍රිපිටකයම විමුක්තිරසයෙන්, නිවන් රසයෙන් යුක්තයි. විශේෂයෙන්ම විනය පිටකය හැදෑරීමෙන් සීලවිසුද්ධිය සම්පූර්ණ කිරීමට ඉතාමත් උපකාර වේ. එබැවින් විනය පිටකය අධිසීල ශික්ෂා යනුවෙන් හැඳින්වේ. එසේම චිත්ත විශුද්ධිය සම්පූර්ණ කිරීමට උපකාරවත් උපදෙස් රාශියක් සූත්‍ර පිටකයේ සඳහන් වන බැවින් සූත්‍ර පිටකය අධිචිත්ත ශික්ෂා යනුවෙන් හැඳින්වේ. මෙහිදී විශේෂයෙන්ම අභිධර්ම පිටකය අධිප්‍රඥා ශික්ෂාව යනුවෙන් හඳුන්වා ඇත නිසා විදර්ශනා භාවනාවට අතිශයින්ම උපකාරක පිටකය බවට පත්වන්නේය.1