සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය 1 - ශබ්දකෝෂ සම්පාදන ආයතනය 2018.pdf
2nd ed
- ප්‍රකාශිත වර්ෂය :
- 2018
- මුද්‍රිත වර්ෂය :
- 2018
- පිටු ගණන :
- 1,306
- බාගත කිරීම් ගණන :
- 1,795
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2023-03-18
- ගොනුවේ ප්‍රමාණය :
- 4.8 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය (ප්‍රථම භාගය: අ - න්‍යායාලය) යනු ශ්‍රී ලංකා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මඟින් සම්පාදිත ශබ්දකෝෂයකි. වෙළුම් 26කින් සමන්විත වූ දැවැන්ත සිංහල-සිංහල මහා ශබ්දකෝෂය සාමාන්‍ය පාඨකයාට, ලේඛකයන්ට හා ශිෂ්‍ය ප්‍රජාවට පෞද්ගලිකව පරිහරණය කිරීමේ පහසුව උදෙසා සංක්ෂිප්ත කොට වෙළුම් දෙකකින් පළ කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන ලදී.
මෙහි මුල් සංස්කරණය ආචාර්ය හොරණ වජිරඥාන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සම්පාදනය වී 2007 දී ප්‍රකාශයට පත් වූ අතර, මෙම කෘතිය එහි සංශෝධිත දෙවැනි මුද්‍රණය (2018) වේ. ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මියගේ මඟපෙන්වීමෙන්, නියෝජ්‍ය කර්තෘ යූ.කේ. ලීලවංශ සිල්වා සහ සමිතා විද්‍යාසේකර යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් මෙම සංශෝධිත සංස්කරණය සකස් වී ඇත.
අකාරාදී පිළිවෙළට ශීර්ෂ පද සකසා ව්‍යාකරණ ප්‍රවර්ග, පාරිභාෂික හා ව්‍යවහාරික තත්ත්වයන් දක්වමින් ක්‍රමවත් අර්ථකථන සපයා ඇති මෙම වෙළුම ‘අ’ අක්ෂරයේ සිට ‘න්‍යායාලය’ දක්වා විහිදෙන වචන ආවරණය කරයි.
පෙරවදන
1992 වර්ෂයෙහි සිංහල - සිංහල මහා ශබ්දකෝෂයේ කටයුතු අවසන්වීමත් සමග එහි නව්‍ය සංස්කරණයක් කළ යුතු බව ද එසේ ම මහා ශබ්දකෝෂයේ වෙළුම් 26 කින් සමන්විත හෙයින් වැඩි පාඨක පිරිසකට පරිහරණය කිරීමේ දුෂ්කරතාවක් පැන නගින අයුරක් පෙනී ගිය හෙයින් එකී අඩුපාඩුව මඟහරවා ගනු පිණිස ද සංක්ෂිප්ත සිංහල - සිංහල ශබ්දකෝෂයක් පළ කළයුතු බව අවධාරණය කෙරිණි. ඒ අනුව එවකට ප්‍රධාන කර්තෘ ධුරය දැරූ මහාචාර්ය විමල් ජී බලගල්ලේ මහතා සංක්ෂිප්ත ශබ්දකෝෂයේ කටයුතු සම්මාන කර්තෘ ආචාර්ය පණ්ඩිත හොරණ වජිරඥාන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ යුතු යැයි නිර්දේශ කොට ඒ කාර්යභාරය උන්වහන්සේට පැවරුවේය.
ඉහත කී කාර්යභාරයේ ප්‍රතිඵලයක් වශයෙන් සංක්ෂිප්ත සිංහල - සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම භාගය 2007 ප්‍රකාශයට පත් කළ අතර, එහි දෙවැනි භාගය (අවසාන භාගය) 2009 වසරේ දී එළිදැක්විණ. මෙවර ප්‍රකාශයෙන් එළිදක්වන්නේ එම සංක්ෂිප්ත ශබ්දකෝෂයේ සංශෝධිත ප්‍රථම භාගය යි. එහි දෙවැනි හෙවත් අවසාන භාගය ද නොබෝ කලකින් ම එළිදැක්වීමට අපේක්ෂිතයි. මෙම කාර්යයෙහි මූලිකත්වය ගෙන කටයුතු කළේ ශබ්දකෝෂයේ නියෝජ්‍ය කර්තෘ යූ.කේ. ලීලවංශ සිල්වා මහතාය. ඔහුට සහාය දැක්වූයේ නියෝජ්‍ය කර්තෘ සමිතා විද්‍යාසේකර මහත්මියයි. මෙයට අමතර ව විවිධ අයුරින් උපකාර වූ කර්තෘ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය ද මෙහි දී ස්තූති පූර්වකව සිහිපත් කරමි.
මෙම කාර්යයෙහි ලා අප ව දිරිමත් කළ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාත් එසේ ම එම අමාත්‍යාංශයේ ලේකම්වර ජේ. ජේ. රත්නසිරි මැතිතුමාත් මෙහි දී තුති පෙරටුව සිහිපත් කරමි.
එසේ ම ශබ්දකෝෂ සම්පාදන කාර්යයෙහි දී අපට නන් අයුරින් උපදෙස් දෙන හා අපව ධෛර්යමත් කරන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මැතිනිය හා එම කාර්ය මණ්ඩලය ද මෙහි ලා කෘතඥතා පූර්වක ව සිහිපත් කළ යුතු ව ඇත.
අවසාන වශයෙන් මෙබඳු ශබ්දකෝෂයක් මුද්‍රණය කිරීමේ දී තිබිය යුතු සංයමයෙන් එම කටයුතු මනා ව ඉටුකර දුන් අමිල මුද්‍රණාලයේ අධිපතිතුමා හා කාර්ය මණ්ඩලයට මගේ ප්‍රශංසාව හිමි වෙයි.
මහාචාර්ය, රෝහිණී පරණවිතාන
සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ
සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය,
46, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.
සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සිංහල ශබ්දකෝෂ කාර්යාංශය මගින් සම්පාදිත සිංහල ශබ්දකෝෂ
1. ඓතිහාසික පසුබිම
සිංහල භාෂාව සඳහා අකාරාදි ක්රමයේ ශබ්දකෝෂයක් නැති බවෙහි අයහපත මුලින් ම පෙන්වා දී ඇත්තේ 19 වැනි සියවසේ අවසන් දසක දෙක තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික පඬිවරුන් දෙදෙනකු විසිනි. එහෙත් මෙයට පෙර සිට ම විශේෂයෙන් 1845 දී රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව ආරම්භ කිරීමෙන් පසු සිංහල භාෂාව හා සංස්කෘතිය ගැන අධ්‍යයනය කිරීමෙහි උනන්දුව වර්ධනය වීමෙන් මේ ක්ෂේත්රවල ගවේෂණයෙහි යෙදුණු විදේශීය පඬිවරුන්ගේ සහ ඉංග්‍රීසි භාෂාව ද උගත් දේශීය විද්වතුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පැවතිණ.
1881 දී එවකට ලක්දිව අධ්‍යාපන අධ්යක්ෂ ධුරය දැරූ චාල්ස් බෲස් (Charles Bruce) මහතා යථෝක්ත අඩුපාඩුව ගැන අවධානය යොමු කළේ ඒ පසුබිමේ සිටය. ඉන්පසු 1884 දී ලන්ඩනයේ ඉන්දියානු පුස්තකාලයාධිපතිව සිටි රෙයින්හෝල්ඩ් රොස්ට් (Reinhold Rost) මහතා මේ අඩුව හැකිතාක් ඉක්මනින් පිරවීමේ අවශ්‍යතාව පිළිබඳ සන්දේශයක් රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවට ඉදිරිපත් කළේය. ඒ වර්ෂයේ දී ම ලංකාණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ යථෝක්ත සමිතියේ මහා සභා රැස්වීමක දී ශබ්දකෝෂය සම්පාදනය කළ යුතු ආකාරය නිර්දේශ කිරීමට කමිටුවක් පත් කරන ලද නමුත් එය ඉන් ඉදිරියට ක්‍රියාත්මක වූ බවක් නොපෙනේ.
ඉක්බිති ව සතළිස් වසරක පමණ කාලයක් තත්ත්වය මෙසේ තිබිය දී ඒ ගැන සිහි ගන්වමින් මුදලි ඒ. මැන්දිස් ගුණසේකර මහතා විසින් අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත යැවුණු ලිපියක් රාජකීය ආසියාතික සමිතිය වෙත යොමු කරන ලදි. (1923) ඒ අනුව වහා ක්‍රියාත්මක වූ සමිතිය ඉහත සඳහන් අරමුණු ඉටු කිරීම සඳහා කොළඹ යුනිවර්සිටි කොලීජියේ අධිපති ව සිටි ආර්. මාර්ස් (R. Mars) මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේය.
1925 දී ඉදිරිපත් කරන ලද ඒ කමිටු වාර්තාව අනුව ශාස්ත්‍රීය ක්‍රමවේදය අනුගමනයෙන් සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කළ යුතු යැයි තීරණයකට එළඹිණි (1926).
2. ශබ්දකෝෂයේ ආරම්භය
ඉන්පසු ඒ සඳහා අවශ්‍ය රජයේ ආධාර ද ලබාගෙන 1927 මාර්තු මාසයේ දී සිංහල ශබ්දකෝෂ සම්පාදන කටයුතු ආරම්භ කරන ලදි. එහි සංස්කාරක මණ්ඩලයට ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද, මැන්දිස් ගුණසේකර සහ ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන යන මුදලිවරු උපකර්තෘවරුන් වශයෙන් ද රාජකීය ආසියාතික සමිතිය විසින් පත්කර ගන්නා ලදහ. ඒ අතර සමිතියේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් (Wilhelm Geiger) මහතා වෙත කර්තෘ මණ්ඩල අධ්යක්ෂ තනතුර පැවරිණ. ඒ සමග ම එල්. බී. ටර්නර් (Turner) මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාලක මණ්ඩලයක් ද පත් කරන ලදි.
3.1 ව්‍යාපෘති හා ප්‍රගතිය
ආරම්භයේ දී ම ඉංග්‍රීසි අර්ථ සහිත සිංහල ශබ්දකෝෂය (සිංහල - ඉංග්‍රීසි) සහ සිංහල අර්ථ සහිත සිංහල ශබ්දකෝෂය (සිංහල - සිංහල) යනුවෙන් සැලසුම් කරන ලද ව්‍යාපෘති දෙකක් විය. ඒ සඳහා පොතපත ඇතුළු කාර්යාලයීය මූලික අවශ්‍යතා සපයා ගැනීම හා දත්ත (data) රැස්කර ගැනීම සඳහා මුල් අවුරුදු කීපය යොදා ගැනීමෙන් පසු 1935 දී සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩයේ ප්‍රථම කලාපයත්, 1937 දී සිංහල-සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම කලාපයත් ප්‍රකාශයට පත් විය. එහෙත් විවිධ හේතු නිසා ශබ්දකෝෂ කටයුතුවල ප්‍රගතිය සිදු වූයේ අපේක්ෂිත වේගයට වඩා අඩුවෙනි.
ශබ්දකෝෂ කාර්යාංශයේ පරිපාලනය 1941 දී රාජකීය ආසියාතික සමිතියෙන් ලංකා විශ්වවිද්‍යාලයට ද, පසු ව 1972 දී සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට ද පැවරිණ.
මෙතෙක් කල් සිංහල-ඉංග්‍රීසි හා සිංහල-සිංහල ශබ්දකෝෂ දෙකෙහි කලාප නිකුත් කිරීම බොහෝ දුරට සමාන්තර ව ඉටු වුණු නමුත්, 1975 දී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ගත් තීරණයක් අනුව සිංහල-සිංහල ශබ්දකෝෂ ව්‍යාපෘතියට ප්‍රමුඛත්වය පැවරීමෙන් එය හැකිතාක් ඉක්මනින් නිම කිරීමට සැලසුම් සම්පාදනය විය. 1982 දී එය තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගැනුණෙන් 1995 අප්‍රේල් මාසය වන විට කාණ්ඩ 26කින් යුක්තව සම්පූර්ණ “සිංහල-සිංහල ශබ්දකෝෂය” මුද්‍රණය කර ප්‍රකාශ කිරීමට හැකි විය.
3.2 සිංහල-සිංහල ශබ්දකෝෂය සම්පූර්ණයෙන් ම ප්‍රකාශයට පත් වූ පසු එහි ප්රතිසංශෝධිත ද්විතීය සංස්කරණය නව ශීර්ෂ වචන ද ඇතුළත් කොට සම්පාදනය කිරීමට පියවර ගන්නා ලදි. එහි ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පඤ්චම හා ෂෂ්ඨ භාග දැන් ප්‍රකාශයට පත් කර ඇත.
3.3 අතපසු වී පැවති සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ කටයුතු දැනට ඉටු වෙමින් පවතින අතර එහි 30 වන භාගය මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වා ඇත. එහි 31 වන භාගය ද මුද්‍රණය සඳහා භාර දී ඇත.
4. සිංහල-සිංහල ශබ්දකෝෂයේ විශාලත්වය
දැනට සම්පූර්ණව ඇති ඉහත කී සිංහල-සිංහල ශබ්දකෝෂය, විශාල ප්‍රමාණයේ පිටු 13,908කින් යුක්ත වෙයි. අර්ථකථනය සඳහා ගෙන ඇති ශීර්ෂ පද සංඛ්‍යාව 206,692 කි. එය කාණ්ඩ 26 කින් හා කලාප 46 කින් යුක්තය.
5. සංක්ෂිප්ත සිංහල-සිංහල ශබ්දකෝෂය
ඉහත සඳහන් ශබ්දකෝෂය අංග සම්පූර්ණතාව අතින් කෙතරම් උසස් තැනක් ගත්තේ වුව ද එහි විශාලත්වය නිසා පුස්තකාල ආදි ආයතන හැරුණු විට පොදු පාඨකයන් වැඩිදෙනාට එය පෞද්ගලිකව අයත් කරගෙන පරිශීලනය කිරීමට අපහසුව සැලකූ සංස්කෘතික අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සාමාන්‍ය පාඨකයන්, ලේඛකයන් හා ගුරු - සිසුන් ඇතුළු සියලු දෙනාට පෞද්ගලිකව මිලදී ගෙන පරිශීලනය කළ හැකි සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක් පිටු 1,000 කින් පමණ යුත් වෙළුම් දෙකක් වශයෙන් සම්පාදනය කිරීමේ කටයුතු 1999 වර්ෂයේ දී ආරම්භ විය. 2007 වසරේ මැද භාගයේ දී එහි පළමු කාණ්ඩයත් 2009 දී එහි ද්විතීය කාණ්ඩයත් මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වා ඇත. මේ එහි සංශෝධිත පළමු භාගයයි. ද්විතීය භාගය ද මුද්‍රණයට සූදානම්ව පවතී.
6. සිංහල-දෙමළ-ඉංග්‍රීසි ශබ්දකෝෂය
කාලීන අවශ්‍යතා සලකා වෙළුම් කිහිපයකින් යුත් සිංහල-දෙමළ-ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සකස් කිරීමට 2002 දී ආරම්භ කරන ලදී. දැනට එහි පළමු වන හා දෙවන කාණ්ඩ මුද්‍රණයෙන් එළිදක්වා ඇත.
7. සිංහල-සිංහල පාසල් ශබ්දකෝෂය
කාලීන අවශ්‍යතා මත පදනම් වූ නව ව්‍යාපෘතියක් ලෙස පාසල් ළමුන් උදෙසා පාසල් ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කොට දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.
8. සිංහල අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය
සිංහල භාෂා ලේඛනයේ දී නිතර සිදුවන අක්ෂර වින්‍යාස දෝෂ වැළැක්වීමේ අරමුණින් මාර්ගෝපදේශන ග්රන්ථයක් ලෙස සිංහල අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයක් සම්පාදනය කොට ඇත.
ශීර්ෂපද හා අර්ථ දැක්වීම
ප්‍රධාන ශීර්ෂපද හා අර්ථ භේද දැක්වෙන අ.ආ ආදි අක්ෂර තද කළ අකුරින් දැක්වෙන අතර අර්ථ කථනය සුදු අකුරින් යොදා ඇත.
සමාස පද සාමාන්‍යයෙන් එක් කොට දක්වා ඇතත් අර්ථ අවබෝධ කරගැනීමේ පහසුව සඳහා ශීර්ෂ වචනවල දී ඇතැම් විට වෙන් කොට දක්වා ඇත.
නාමපදයක් ශීර්ෂ පදයක් ලෙස යෙදෙන විට එහි ප්‍රථමා විභක්ති රූපය යොදා (නා.) යන සංකේතයෙන් දක්වා ඇති අතර ශීර්ෂ පදය නාම ප්‍රකෘතියක් නම් (නා.ප්‍ර.) ලෙස ද, විශේෂණයක් නම් (වි.) ලෙස ද, ක්‍රියා පදයක් නම් (ක්‍රි.) ලෙස ද, නාමපද බහුවචනයක් නම් (නා.බහු.) ලෙස ද, සර්වනාමයක් නම් (සර්ව.) යනුවෙන් ද, අව්‍යය පදයක් නම් (අව්‍ය.) යනුවෙන් ද, නිපාත පදයක් නම් (නි.) යනුවෙන් ද යොදා ඇති අතර පාරිභාෂික පදයක් නම් ක්‍රියා ප්‍රවර්ගය දැක්වීමට ප්‍රථම (පාරිභා.) යනුවෙන් දක්වා ඇත. එමෙන් ම කථා ව්‍යවහාරයෙහි යෙදෙන පදයක් නම් ව්‍යාකරණ ප්‍රවර්ගයට පෙර (කථා.) යනුවෙන් දක්වා ඇත. මිශ්‍ර සිංහල භාෂා ව්‍යවහාරයෙහි එන සන්ධි පදයක විසන්ධි රූපය ශීර්ෂ පදයට අනතුරු ව කොටු වරහන් තුළ දක්වා ඇත.
මාතෘභාෂාගත අඞ්ගණ, අක්‍ෂිප්ත වැනි වචනවල ඞ, ඤ වෙනුවට අනුස්වාරය (ං) ද භාවිත වන බැවින් එබඳු වචන අංගණ, අංචිත ලෙස යුගල ශීර්ෂ පද වශයෙන් ද ද්විධ හා වෙනත් භාෂා ඔස්සේ ආ ‘අංජනම්’ වැනි වචනවල අනුස්වාරය පමණක් ද යොදා ඇත.
එකම ශීර්ෂ පදයක විවිධ අර්ථ ප්‍රභේද ඇති විට ඒවා අ, ආ ආදි ලෙස වෙන් කොට අර්ථ දක්වා ඇත.
අර්ථකථනයේ දී වචනයක ප්‍රධානාර්ථය පළමු ව ද, අප්‍රධාන අර්ථය දෙවනු ව ද දැක්වේ. බොහෝ විට සාමාන්‍ය ව්‍යවහාරය පළමු ව ද, විශේෂ ව්‍යවහාරය දෙවනු ව ද දක්වා ඇත. මෙහි දී සමානාර්ථවත් පද වෙන් කිරීමේ දී තිත් කොමාව (;) ද, එක් භාෂාවක අර්ථකථනයක් අවසානයේ දී තිත් දෙක (:) ද යොදනු ලැබේ. එමෙන් ම හාත්පසින් ම වෙනස් අර්ථ ඇති පද අ, ආ යනුවෙන් වෙන් කොට දක්වනු ලැබේ.
- ඉදිරි පස සංයෝගය හඟවන ලකුණ සහ අ, ආ, ලෙස අර්ථ වෙන් කිරීමේ දී ආ අක්ෂරයේ සිට අදාළ අක්ෂරයන්හි මුලට යොදනු ලැබේ.
° කෙටි කිරීමේ ඌනාංශය සඳහා පූර්ව පදය හෝ අපර පදය හෝ ඉන් කොටසක් හෝ ගත යුතු බව හඟවන ලකුණ
/ “හෝ” යන අර්ථය හැඟවීම සඳහා යොදන ලකුණ
; සමාන තේරුම් හඟවන ලකුණ
: එක් භාෂාවක අර්ථකථනයක් අවසන් බව හඟවන ලකුණ
. අර්ථ දැක්වීම අවසන් බව හඟවන ලකුණ හා අර්ථ වෙන් කෙරෙන අ, ආ ආදි අක්ෂර සමඟ යෙදෙන ලකුණ.