“අනඳයෙනි, ප්‍රවචනය (පෙළ දහම) ඉකුත් වූ ශාස්තෘහු ඇති එකෙකැ යි ‘අපගේ ශාස්තෘහු නැතැ’ යි තොපට මෙ බඳු සිතක් ඇති විය හැක්කේ ම ය. අනඳයෙනි, එය එසේ දැක්ක යුතු නො වෙයි. අනඳයෙනි, මා විසින් යම් දහමෙකුත් විනයෙකුත් දෙසිණි ද පැණැවිණි ද එය මා ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි. අනෙකක් කියම්. අනඳයෙනි, දැන් මහණහු උනුනට ආවුසෝවාදයෙන් (ඇවැත්නි යි යන වචනයෙන්) කතා කෙරෙත් ද, මා ඇවෑමෙන් එසේ කතා නො කළ යුතු. අනඳයෙනි, (උපසපුයෙන්) වඩා මහලු වූ මහණහු විසින් (උපසපුයෙන්) වඩා බාල වූ මහණ තෙම සංඥානාමයෙන් හෝ ඔහු අයත් ගෝත්‍රයේ නමින් හෝ ආවුසෝවාදයෙන් හෝ ඇමැතියැ යුතු. වඩා බාල මහණහු විසින් වඩා මහලු මහණ තෙම ‘වහන්සැ’ යි හෝ ‘ආයුෂ්මත්නි’ යි හෝ කියා ඇමැතියැ යුතු.
අනඳයෙනි, ඉදින් සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මා ඇවෑමෙන් කුඩා අනු කුඩා සික පද සමූහනනය කෙරේ වා (උදුරා ඉවත් කෙරේවා).
අනඳයෙනි, මා ඇවෑමෙන් ඡන්න මහණහට බ්‍රහ්මදණ්ඩනය දියැ යුතු. ‘වහන්ස, බ්‍රහ්මමදණ්ඩනය නම් කවරේ දැ’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. ‘අනඳයෙනි, ඡන්න මහණ යමක් කැමැත්තෙන් ද එය කියා වා. මහණුන් විසින් හෙ තෙම කිසිවක් නො කියැ යුතු (ඔහු හා කතා නො කළ යුතු), නො ම ඔවා දියැ යුතු, අනුශාසනා නො ම කට යුතු. (බ්‍රහ්ම දණ්ඩන නම් මේ යැ.)’
108. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණුන් බණවා වදාරනසේක්, ‘මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්‍ගය කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙන් ඇත් නම්, මහණෙනි, එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ. අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළ සේක. මෙසේ වදාළකල්හි ඒ මහණහු නිහඬ වූහ. භගවත්හු දෙවෙනි වර ද ... තෙවෙනි වරද ‘මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්‍ගය කෙරෙහි, පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ ඇත් නම් එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ, අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළහ. තෙවෙනි වරැ ද ඒ මහණහු නිහඬ වූහු. එ විට භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, ‘මහණෙනි, ශාස්තෘහු කෙරෙහි ගෞරවයෙනුදු තොප නො විචාරනු විය හැක්ක. (එසේ කලැ) යහලු මහණ තෙමේ යහලු මහණකුට හෝ සැළ කෙරේ වා’ යි වදාළ හ. මෙසේ වදාළ කල්හි ද ඒ මහණහු නිහඬ වුහ.
එ කල්හි අනඳ තෙරණුවෝ ‘වහන්ස, ආශ්චර්‍ය්‍ය! වහන්ස, අද්භූත ය! වහන්ස, බුදුරජුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟ කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ එක් මහණක්හට දු සැකයෙක් හෝ විමතියෙන් හෝ නැතැ’ යි මෙසේ මේ භික්‍ෂූ සංඝයා කෙරෙහි මම් පැහැදුණෙමි’ යි භගවත් බුදුරජුනට සැළ කළහ.
“අනඳයෙනි, තෙපි පැහැදීමෙන් (ප්‍රසාදය හේතු කොට ගෙන) මෙසේ කියවු. අනඳයෙනි, තථාගතයන්ගේ වූකලි මෙ කරුණෙහි ලා ‘මෙ මහණ මුළුයෙහි එක් මහණකුට ද බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟෙහි හෝ පිළිවෙතෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ නැත. අනඳයෙනි, මේ පන්සියක් මහණුන් අතුරැ යම් පැසිම් සවු මහණෙක් වේ ද, හේ සිවු අවාහි නො වැටෙන සුලු සම්‍යක්ත්‍ව නියමයෙන් නියත වූ, සම්බෝධිය (ඉදිරි මාර්‍ගත්‍රයය) ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ මැ” යි දැනීම ඇත්තෙකු වි වදාළ සේක.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමැතූ සේක: “මහණෙනි. දැන් තොප අමතමි (තොපට උපදෙස් දෙමි). සංස්කාරයෝ නැසෙන සුලු හ. (එ බැවින්) නො පමායෙන් (එළැඹැවූ සිහියෙන්) රහත් බව පිණිස කළ යුතු දෑ සපය වූ (සපුරවු)”
මේ භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය විය.
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම
109. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළමු දහන් සම වැදුණු සේක. පළමු දැහැනෙන් නැඟී දෙවෙනි දහන් සම වැදුණු සේක. දෙවෙනි දැහැනෙන් නැඟී තෙවෙනි දහන් සම වැදුණු සේක. තෙවෙනි දැහැනෙන් නැඟී සිවුවැනි දහන් සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී ආකාසානඤ්චායතන දහන් සමවත් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟි විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතනයට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේක.
එ කල්හි අනඳ තෙරණුවෝ ‘අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක් දැ?’ යි අනුරුත් තෙරුන් විචාළහ. ‘ඇවැත් අනඳයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො පිරිනිවි සේක. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේකැ’ යි අනුරුත් තෙරණුවෝ වදාළහ.