ඛන්ධකපුච්ඡාවාරො
පුච්ඡාවිස්සජ්ජනාවණ්ණනා
“උපසම්පදං පුච්ඡිස්සන්ති” උපසම්පදක්ඛන්ධකය විචාරන්නෙමි. “සනිදානං සනිද්දෙසං” නිදානයද නිර්දෙශයද සමග විචාරමි. “සමුක්කට්ඨපදානං කති ආපත්තියො” ඒ උපසම්පදා ඛන්ධකයෙහි “න භික්ඛවෙ ඌනවීසති වස්සො පුග්ගලො උපසම්පාදෙතබ්බො” යනාදි නයින් යම් ශ්රෙෂ්ඨ වූ උත්තම වූ පදකෙනෙක් වදාරණ ලද්දාහුද, ඒ උත්කෘෂ්ට වූ උත්තම වූ පදයන්ගේ සඞ්ක්ෂෙප විසින් කෙතෙක් ඇවැත් වෙත්දැයි යම් යම් පදයකින් යම්යම් ඇවැතක් පණවන ලදද, ඒ ඒ ඇවැත ඒ ඒ පදයාගේ ආපත්තියයි කියනු ලැබේ. “සමුක්කට්ඨපදානං කති ආපත්තියො”යි එහෙයින් කියනලදී. “ද්වෙ ආපත්තියො” උනුවිසිවයස් ඇතියකු උපසපන් කරණ මහණහුට පාචිත්තිය වේ. සෙසු සියලු පදයන්හි දුක්කටය වේ.
“තිස්සො” “නස්සන්තෙ තෙ විනස්සන්තෙ තෙ, කො තෙහි අත්ථො”යි කියන මහණහුට බිඳීම පෙරටුකොට ගත්තවුන්ගේ පොහොය කිරීම නිමිතිකොට ථුල්ලච්චය වේ. බැහැර කළහු හා පොහොය කිරීම නිමිතිකොට පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේයයි. මෙසේ උපොසථක්ඛන්ධකයෙහි ඇවැත් තුනක් වේ. “එකා” වස්සූපනායිකක්ඛන්දකයෙහි එක් දුක්කටාපත්තියක්මය.
“තිස්සො” භෙදය පෙරටුකොටගෙණ පවාරණය කරණ මහණහුට ථුල්ලච්චය වේ. බැහැරකළහු සමග පවාරණය කරන මහණහුට පාචිත්තිය වේ. සෙස්සන්හි දුක්කටය වේයයි මෙසේ පවාරණක්ඛන්ධකයෙහි ඇවැත් තුනක් වේ.
“තිස්සො” ගවදෙනක අල්ලාගෙණ මරවන්නාවූ මහණුන්ට පාචිත්තිය වේ. රත්තචිත්තයෙන් අඞ්ගජාතය පැහැසීම නිමිතිකොට ථුල්ලච්චය වේ. සෙස්සන්හි දුක්කටය වේයයි මෙසේ චම්මක්ඛන්ධකයෙහිද ඇවැත් තුනක් වේ. භෙසජ්ජක්ඛන්ධකයෙහි වටින් දෑඟුල් පමණ තන්හි ථුල්ලච්චය වේ. බෙහෙත් යාගුව නිමිතිකොට පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටයවේය’යි මෙසේ ඇවැත් තුනක් වේ.
“කඨිනං” කඨිනය හුදෙක් පණවන ලද්දේමය. එහි ඇවැතක් නැත්තීය. චීවරක්ඛන්ධකයෙහි කුසවැහැරිමුවා සිවුරු වාක වැහැරිමුවා සිවුරුවල ථුල්ලච්ච ය වේ. අතිරේක සිවුරෙහි නිස්සග්ගියපාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි මේතුන් ඇවැත්හු වෙත්.
චම්පෙය්යක්ඛන්ධකයෙහි එක් දුක්කටාපත්තියක්ම වේ. කොසම්බකකම්මක්ඛන්ධක පාරිවාසිකසමුච්චයක්ඛන්ධකයන්හිද එක් දුක්කටාපත්තියක්මය.
සමථක්ඛන්ධකයෙහි ඡන්දදායක තෙමේ ඡන්දයදී නැවැත නුගුණ පහළ කෙරේ නම්, ඛීයනකපාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි දෙඇවැත්හු වෙත්. ඛුද්දකවත්ථුක්ඛන්ධකයෙහි තමාගේ අඞ්ගජාතය සිඳීනම්, ථුල්ලච්චය වේ. රවන්තැලි නැගීමෙහි පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි මෙසේ මේ තුන් ඇවැත්හු වෙත්. “සෙනාසනක්ඛන්ධකයෙහි ගරුබඩු හැරදැමීමෙහි ථුල්ලච්චය වේ. සඞ්ඝික විහාරයෙන් නෙරපීමෙහි පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි මේතුන් ඇවැත්හු වෙත්.
සඞ්ඝභෙදකක්ඛන්ධකයෙහි භෙදකානුවර්තකයන්හට ථුල්ලච්චය වේ. ගණභොජනයෙහි පාචිත්තිය වේය’යි මේ දෙඇවැත්හු වෙත්. “සමාචාරං පුච්ඡිස්සං”යි විචාරණලද වත්තක්ඛන්ධකයෙහි එක් දුක්කටාපත්තියක්ම වේ. ඕතොමෝ සියලු වත්හි අනාදරියෙන් වේ. පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකයෙහිද එසේමය. භික්ඛුණීඛන්ධකයෙහි පවාරණය නොකිරීමෙහි පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි මේ දෙඇවැත්හු වෙත්. පඤ්චසතික - සත්තසතිකක්ඛන්ධකයන්හි හුදෙක් ධර්මය තෙමේ සඞ්ග්රහයට නගන ලද්දේය. එහි ඇවැතක් නැත්තේය.
ඛන්ධකපුච්ඡා වර්ණනාව නිමි.
එකුත්තරිකනයො
එකකවාරවණ්ණනා
“ආපත්තිකරා ධම්මා ජානිතබ්බා” යනාදීවූ එකුත්තරිකනයෙහි ආපත්තිකර ධර්මයෝ නම් ෂඩ් ආපත්තිසමුට්ඨානයෝය. යම්හෙයකින් මේ ෂඩ් ආපත්ති සමුට්ඨානයන්ගේ වසයෙන් පුද්ගලතෙමේ ඇවැතට පැමිණේද, එහෙයින් ආපත්තිකරැයි කියනලදහ. අනාපත්තිකරධර්මයෝ නම් සප්තශමථයෝය. “ආපත්ති ජානිතබ්බා” ඒ ශික්ෂාපදයෙහිද විභඞ්ගයෙහිද වදාරණ ලද ඇවැත් දැනගතයුතුය. “අනාපත්ති” “අනාපත්තිභික්ඛු අසාදියන්තස්ස” යනාදි නයින් අනාපත්ති දැනගතයුතුය. “ලහුකා” ලහුකවිනය කර්මයෙන් පිරිසිදුවන බැවින් පඤ්චවිධ ආපත්තීහු ලහුකයහ. “ගරුකා” ගරුකවිනය කර්මයෙන් පිරිසිදුවන බැවින් සඞ්ඝාදිසෙසාපත්තිය ගරුක නම. කිසි අයුරකින් නිරාපත්තිභාවයට පමුණුවන්නට නොහැකි බැවින් පාරාජිකාපත්තියද ගරුකනම. “සාවසෙසා” පාරාජිකාපත්තිය හැර සෙසු ආපත්තීහුය. “අනවසෙසා” පාරාජිකාපත්තියය. පාරාජික-සඞ්ඝාදිසෙස ආපත්තිස්කන්ධ දෙක දුට්ඨුල්ල නම. සෙසු පඤ්චාපත්තිස්කන්ධය අදුට්ඨුල්ල නම. සප්පටිකම්මදුකය, සාවසෙසදුකය සමානය. දෙසනාගාමිදුකය ලහුකදුකයෙහි සඞ්ග්රහකරණ ලද්දේය.