ධම්මදෙසනාසමුට්ඨානවණ්ණනා
“ධම්මදෙසනසමුට්ඨානා” ඡත්ත -දණ්ඩ-සත්‍ථ-ආවුධ-පාදුක-උපාහන-යාන -සයන-පල්ලත්‍ථික-වෙඨින-ඔගුණ්ඨින යන මේ එකොළොස් ශික්‍ෂාපදයෝ ප්‍රකටම වෙත්. මේ ශික්‍ෂාපදයෝ වාචාචිත්තයෙන් උපදින බැවින් එකසමුට්ඨානයහ. මෙසේ වනාහි සම්භින්න සමුට්ඨානය දතයුතුය. නියත සමුට්ඨානය වනාහි තෙපරිදි වේ. ඒ නියතසමුට්ඨානය එක් එක්ම ශික්‍ෂාපදයට වේ. ඒ නියත සමුට්ඨානය වෙන්වම දක්වන්නට “භූතං කායෙන ජායති” යනාදිය කියනලදී. එය ප්‍රකටමය. “නෙත්තිධම්මානුලොමිකං” විනයපාළියට අනුලොම් වේ.
සමුට්ඨානසීස වර්‍ණනාව නිමි.
අන්තරපෙය්යාලං
කතිපුච්ඡාවාරවණ්ණනා
දැන් ආපත්ති ආදි කොටස්හි දක්‍ෂභාවය පිණිස “කති ආපත්තියො” යනාදී නයින් මාතෘකාව තබා නිර්‍දෙශ ප්‍රතිනිර්‍දෙශ වශයෙන් විභඞ්ගය වදාරණ ලද්දේය.
එහි “කති ආපත්තියො” යනු මාතෘකාවෙහිද විභඞ්ගයෙහිද ආවාවූ ආපත්ති පෘච්ඡාවයි. දෙවන පදයෙහිද මේනයය. හුදෙක් මෙහි ආපත්තීහූම රාශිවශයෙන් ඛන්‍ධයෝයි කියනලදහ. “විනීතවත්‍ථුනි” යනු ඒ ආපත්තීන්ගේ විනයපෘච්ඡාවයි. විනීත විනය වූපසමය යන මේ වනාහි අර්‍ත්‍ථවශයෙන් එකෙක විනීතයෝම විනීතවස්තූහුයි යනු මෙහි මේ පදාර්‍ත්‍ථය වේ. දැන් යමක් ඇති කල්හි ආපත්තීහු වෙත්ද, නැති කල්හි ආපත්තීහු නොවෙත්ද ඔවුන් දක්වාලන්නට “කති අගාරවා”යි පෘච්ඡා දෙකෙකි. “විනීතවත්‍ථූනි” යන මෙය ඒ අගෞරවයන්ගේ විනයවිචාරීමය. යම්හෙයකින් ඒ ආපත්තීහු විපත්තියට පැමිණියාහු නම් නැත්තාහුද, එහෙයින් “කති විපත්තියො” යන මෙය ආපත්තීන්ගේ විපත්තිභාවය විචාරීමය. “කති ආපත්තිසමුට්ඨානානි” යනු ඒ ආපත්තීන්ගේම සමුට්ඨාන විචාරීමය. “විවාදමූලානි අනුවාදමූලානි”යන මොවුහු “විවාදාධිකරණං අනුවාදාධිකරණං”යි ආවාවූ විවාදානුවාදයන්ගේ මුල් විචාරීමය. “සාරාණියා ධම්මා” යනු විවාදානුවාදමූලයන්ගේ අභාවකර ධර්‍මයන් පිළිබඳ විචාරීමය. “භෙදකරවත්‍ථූනි” යන මෙය “භෙදනසංවත්තතිකං වා අධිකරණං” යනාදිතන්හි වදාළ භෙදකිරීම් විචාරීමය. “අධිකරණානි” භෙදකරවස්තූන් ඇතිකල්හි උපදින ධර්‍මවිචාරීමය. “සමථා” ඔවුන් සන්සිඳීම වන ධර්‍මවිචාරීමය. “පඤ්ච ආපත්තියො” මාතෘකාවෙහි ආ ධර්‍මයන්ගේ වසයෙන් කියනලද්දාහුය. “සත්තා” යනු විභඞ්ගයෙහි ආගත වසයෙන් කියන ලද්දාහුය.
මේ පඤ්චොපත්තිකන්‍ධන්ගෙන් දුරුව ඇලේනුයි “ආරති” නම. නොහොත් තදින් ඇලේනුයි “ආරති” නම. මොවුන් කෙරෙන් වෙන්ව ඇලේනුයි “විරති” නම. වෙන් වෙන්ව, වෙන් වේනුයි “පටිවිරති” නම. රාගාදි අකුශල පක්‍ෂය වනසානුයි “වෙරමණී” නම. මේ ආපත්ති ස්කන්‍ධයෝ මේ කරණකොටගෙණ කරවනු නොලබන්නහුයි “අකිරිය” නම. මේ අක්‍රියාව නැති කල්හි යම් ආපත්තිස්කන්‍ධයන්ගේ කිරීමෙක් උපදින්නේ නම් එයට ප්‍රතිපක්‍ෂ හෙයින් “අකරණ” නම. ආපත්තිස්කන්‍ධයන්ට පැමිණීමට ප්‍රතිපක්‍ෂ හෙයින් අනජ්ඣාපත්ති නම. වනසන වන බැවින් “වෙලා” නම. වනසන හෙයින්ය යන අර්‍ත්‍ථයි. නිවනට පිවිසීම බඳියි වළකානුයි “සෙතු” නම ආපත්තිස්කන්‍ධයන්ට මේ නමෙකි. ඒ සෙතුව මේ ප්‍රඥප්තියෙන් නසනු ලබානුයි “සෙතුඝාත” නම. සෙසු විනීතවස්තු නිර්‍දෙශයන්හිද මෙම නයවේ.
“බුද්ධෙ අගාරවා” යනාදිතන්හි යම් මහණෙක් තෙමේ බුදුරජුන් දිවමන් කල්හි උපස්ථානයට නොයේද, පිරිනිවී කල්හි චෛත්‍යස්ථානයට බොධිස්ථානයට නොයේද, චෛත්‍යය හෝ බොධිය හෝ නොවදීද, චෛත්‍යාඞ්ගණයෙහි සැත්වහන් සහිතව හැසිරේද, මේ මහණහුට බුදුරජුන් කෙරෙහි ගෞරවයෙක් නැත්තේයයි දතයුතුය. යමෙක් තෙමේ හැකිවන්නේම ධර්‍ම ශ්‍රවණයට නොයේද, ස්වරය විහිදුවා මිහිරිහඬින් දහම් නොදෙසාද, ධර්‍මකථා නොකියාද, බොහෝ දෙන එකතුවහිද දහම් අසන කල්හි ඒ ධර්‍මශ්‍රවණසමාගම කෝපකොට බිඳ නැගිටයේද, වික්‍ෂිප්ත සිත් ඇත්තේ හෝ ආදර රහිතව හෝ හිඳීද, මේ මහණහුට ධර්‍මය කෙරෙහි ගෞරවයෙක් නැත්තේය. යමෙක් තෙමේ ස්ථවිර නවක මද්ධ්‍යමයන් කෙරෙහි බුහුමන් නොඑළවාද, උපොසථාගාර විතක්කමාලාකාදීන්හි කායක්‍රියාවන්හි බුහුටිබව දක්වාද, වැඩිමහලු පිළිවෙළින් නොවදීද, මේ මහණහුට සඞ්ඝයා කෙරෙහි ගෞරවයක් නැත්තේය. ත්‍රිවිධ ශික්‍ෂා සමාදන්ව නොහික්මෙනුයේ ශික්‍ෂාවෙහි අගෞරවය ඇත්තේයයි දතයුතුය. ප්‍රමාදයෙහිද ස්මෘති විප්‍රවාසයෙහි සිටියේම අප්‍රමාද ලක්‍ෂණය නොවඩනුයේ අප්‍රමාදයෙහි ගෞරවය නැත්තේයයි දතයුතුය. එසේ ආමිෂ ප්‍රතිසන්‍ථාරය ධර්‍මප්‍රතිසන්‍ථාරය නොකරණුයේම ප්‍රතිසන්‍ථාරයෙහි ගෞරවය නැත්තේයයි දතයුතුය. ගෞරව නිර්‍දෙශයෙහි උක්තවිපර්‍ය්‍යයෙන් අර්‍ත්‍ථය දතයුත්තේය.
“විවාදමූල” නිර්‍දෙශයෙහි “සත්‍ථරිපි අගාරවො” යනාදීන්ගේ අර්‍ත්‍ථය. බුදුරජුන් කෙරෙහි අගෞරවාදීන්හි කියූ නයින්ම දතයුතුය. “අප්පතිස්සො” යටත් පහත් පැවැතුම් නැත්තේ ශාස්තෲන් වහන්සේ දෙටුකොට නොවසයි. “අජ්ඣත්තං වා” සිය සතන්හි හෝ තමන්ගේ පක්‍ෂයෙහි හෝය. සිය පිරිසෙහි යන අර්‍ත්‍ථයි. “බහිද්ධා” අන් සතන්හි හෝ පරපක්‍ෂයෙහි හෝය. “තත්‍ර තුම්හෙ” ඒ ආධ්‍යාත්මික බාහිර ප්‍රභෙද පරසන්නානයෙහි හෝ සිය පර පිරිසෙහි හෝ “පහාණාය වායමෙය්‍යාථ” මෛත්‍රීභාවනාදි නයින් ප්‍රහාණය පිණිස වෑයම් කරමු. මෛත්‍රී භාවනාදීනයින් ඒ ෂඩ්විධ විවාදමූලය ආද්ධ්‍යාත්මික වූයේද, බාහිර වූයේද, ප්‍රහීණ වේ. “අනවස්සවායා” නොපැවැත්ම පිණිසය.