කථිනත්ථාරවග්ගවණ්ණනා
කඨිනත්ථාර වර්ගයෙහි - “ඔතමසිකො” අඳුරට පැමිණියෙක්. ඔහුට වඳින්නහුගේ නලළ ඇඳපා ආදියෙහි හැපෙන්නේය. වදින්නේය. “අසමන්නාභරන්තො” කටයුතුවල ව්යාවෘත වූ බැවින් වැඳීම නොසලකන්නේ. “සුත්තො” නින්දට බැස්සේ. “එකාවත්තො” එක්ක ගති පක්ෂයට පෙරළුනේ. සතුරු පක්ෂයෙහි සිටි වෛරී විෂභාගපුද්ගල තෙමේ කියනු ලැබේ. මෙතෙමේ නොවැඳිය යුත්තේය. මෙතෙමේ වනාහි නැමී වඳිනු ලබන්නේ පාදයෙනුදු ගසන්නේය. “අඤ්ඤවිහිතො” අනිකක් සිතන්නේ.
“ඛාදන්තො” පිටිකැවිලි ආදිය කරන්නේ. මල-මූත්ර කරන්නේ යන මොවුහු අනවකාශයට ගිය බැවින් නොවැන්ද යුත්තාහ. “උක්ඛිත්තකො” ත්රිවිධවූද, උත්ෂෙපණීය කර්මයෙන් උත්ක්ෂිප්තක තෙමේ නොවැන්දයුතුය. තර්ජනීයාදිකර්ම කළ සිවුදෙන වනාහි වැන්දයුත්තාහ. උපෞෂථපවාරණයෝද ඔවුන් හා ලබත්. මුල පටන් කියූ නොවැන්ද යුත්තන් අතුරෙහි නග්නයාහටද උත්ක්ෂිප්තකයාහටද වඳින්නහුටම ඇවැත් වේ. අන්යයන්හට වනාහි නොසරුප් තැන්හිද අතරැකියූ කරුණෙන්ද වැදීම ප්රතික්ෂෙප කරණලදී. මෙයින් අන්යය, පසුව උපසම්පන්නාදීවූ දසදෙන ආපත්තිවස්තුභාවය නිසාම නොවැන්දයුත්තාහ. ඔවුන් වඳින්නහුට වනාහි නියමයෙන්ම ඇවැත් වේ. මෙසේ මේ පඤ්චක පසෙහි තෙළෙස් දෙන වඳින්නහුට ඇවැත් නොවේ. දොළොස් දෙනා වදින්නහුට වැඳීම නිමිතිකොට ඇවැත් වේ.
“ආවරියො වන්දියො” ප්රව්රජ්යාචාර්ය්ය උපසම්පදාචාර්ය්ය-නිඃශ්රයාචාර්ය්ය උද්දෙශාචාර්ය්ය-අවවාදාචාර්ය්ය යන මේ පස්වැදෑරුම්වූද ආචාර්ය්ය තෙමේ වැඳිය යුතුය. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
කඨිනර්ත්ථාර වර්ණනාව නිමි
උපාලි පඤ්චක වර්ණනාව නිමි.
ආපත්තිසමුට්ඨානවණ්ණනා
“අචිත්තකො ආපජ්ජති” යනාදි තන්හි සහසෙය්යාදි ප්රඥප්තිවද්ය ඇවැතට නොසිතා පැමිණෙන්නේ අචිත්තකව පැමිණේ. දෙසන්නේ සචිත්තකව නැගී සිටියි. යම්කිසිවකට සිතා පැමිණෙන්නේ සචිත්තකව පැමිණේ. තිණවත්ථාරක සමථයෙන් නැගී සිටින්නේ අචිත්තකව නැගී සිටියි. සහසෙය්යාදිප්රඥප්තිවද්යය පෙරකියන ලද්දේමය. තිණවත්ථාරක සමථයෙන් නැගී සිටින්නේ අචිත්තකව පැමිණේ. අචිත්තකව නැගී සිටියි. අන් සචිත්තක ඇවැත දෙසන්නේ සචිත්තකව පැමිණේ. සචිත්තකව නැගී සිටියි. “ධර්මදානය කරමි”යි පදවසයෙන් ධර්මය කීම් ආදිය කරන්නේ කුසල්සිත් ඇතිව පැමිණේ. ‘බුදුරජුන්ගේ අනුශාසනය කරමි’යි ඔදවැඩි සිත් ඇතිව දෙසන්නේ කුසල සිත් ඇතිව නැගීසිටියි. දොම්නස් ඇතිව දෙසන්නේ අකුසල සිත් ඇතිව නැගීසිටියි. තිණවත්ථාරක සමථයෙන් නිද්රාගතව නැගී සිටින්නේ අව්යාකෘත සිත් ඇතිව නැගී සිටියි. බිය ගැන්වීම් ආදිය කොට ‘බුදුරජුන්ගේ අනුශාසනාව කරමි’යි සොම්නස් ඇතිව දෙසන්නේ අකුසල සිත් ඇතිව පැමිණේ. කුසලසිත් ඇතිව නැගී සිටියි. දොම්නස් ඇතිවම දෙසන්නේ අකුසල සිත් ඇතිව නැගී සිටියි. කියූනයින්ම තිණවත්ථාරක සමථයෙන් නැගී සිටින්නේ අව්යාකෘත සිත් ඇතිව නැගී සිටියි. නිද්රාවට බටකාලයෙහි සහාගාරසෙය්යාට පැමිණෙන්නේ අව්යාකෘත සිත් ඇතිව පැමිණේ. මෙහි කියූනයින්ම “කුසලචිත්තො වුට්ඨාති” යනාදිය දතයුතුය.
“පඨමපාරාජිකං කතීහි සමුට්ඨානෙහි” යනාදිය පෙරකියූ නය ඇති බැවින් ප්රකටමය.
“චත්තාරො පාරාජිකා තීහි සමුට්ඨානෙහි” යනාදි තන්හි උත්කෘෂ්ට පරිච්ඡෙදයෙන් යම් යම් සමුට්ඨානයෙන් යමක් යමක්හට ලැබේද, ඒ සියල්ල කියනලද්දේම වේ.
අපරදුතියගාථාසඞ්ගණිකං
(1) කායිකාදිආපත්තිවණ්ණනා
“කති ආපත්තියො කායිකා” යනාදි ගාථාවන් විසඳීමෙහිදී “ඡ ආපත්තියො කායිකා” යන අන්තරපෙය්යාලයෙහි සිවුවැනි ආපත්ති සමුට්ඨානයෙන් ඇවැත් සයකට පැමිණේ. “භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවති, ආපත්ති පාරාජිකස්ස” යනාදිනයින් කියන ලද ආපත්තීහුය. කායද්වාරයෙහි උපන්බැවින්ම මොවුහු කායිකයි කියනුලබත්. “ඡ වාචසිකා” ඒ අන්තරපෙය්යාලයෙහිම පස්වැනි ආපත්තිසමුට්ඨානයෙන් ඇවැත් සයකට පැමිණේ. “භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො” යනාදිනයින් කියනලද ආපත්තීහුය. “ඡාදෙන්තස්ස තිස්සො” පාරාජිකවරද වසන මෙහෙණහට පාරාජිකය. මහණහුට සඞ්ඝාදිසෙසය වැසීමෙහි පාචිත්තියයි. තමන්ගේ දුට්ඨුල්ලාපත්තිය වැසීම නිමිතිකොට දුක්කටය. “පඤ්ච සංසග්ග පච්චයා” මෙහෙණහට කායසංසර්ගය නිමිතිකොට පාරාජිකය. මහණහුට සඞ්ඝාදිසෙසය. කයින් කය ප්රතිබද්ධයෙහි ථුල්ලච්චයය. නිසගියකින් කය පිළිබඳයෙහි දුක්කටය. අඞ්ගුලිපතොදකයෙහි පාචිත්තිය, යන මේ ඇවැත්හු කායසංසර්ගප්රත්යයයෙන් වෙත්.