අධිකරණවූපසමවග්ගවණ්ණනා
අධිකරණවූපසම වර්‍ගයෙහි - “පුග්ගලගරු හොති” ‘මෙතෙමේ මාගේ උපාද්ධ්‍යායය, මෙතෙමේ ආචාර්‍ය්‍ය, යනාදිය සිතා ඔහුට ජය කැමැත්තේ ‘අධර්‍මය ධර්‍මය’යි දක්වයි. -පෙ- “සඞ්ඝගරු හොති” ධර්‍මයද විනයද නොමුදා විනිශ්චය කරන්නේ සඞ්ඝගරු නම් වේ. සිවුරු ආදිය ගෙණ විනිශ්චය කරන්නේ ආමිසගරු නම් වේ. ඒ සිවුරු ආදිය නොගෙන ධර්‍මය ලෙසින් විනිශ්චය කරන්නේ සද්ධම්මගරු නම් වේ.
“පඤ්චහි උපාලි ආකාරෙහි” කරුණු පසකින් “සඞ්ඝො භිජ්ජති කම්මෙන උද්දෙසෙන වොහරන්තො අනුසාවණෙන සලාකග්ගාහෙන” යන මෙහි “කම්මෙන” අපලොකනාදී වූ චතුර්විධ කර්‍මයන් අතුරෙහි එක්තරා කර්‍මයකින්. “උද්දෙසෙන” පස්වැදෑරුම් වූ ප්‍රාතිමොක්‍ෂාද්දෙශයන් අතුරෙහි එක්තරා උද්දෙශයකින්. “වොහරන්තො” කියමින් ඒ ඒ උපත්තීන්ගෙන් ‘අධර්‍මය ධර්‍මය, යනාදී වූ අටළොස් භෙදකර වස්තූන් දක්වමින්. “අනුසාවණෙන” ‘මා උසස් කුලයෙන් නික්ම පැවිදි වූ බව, මාගේ බහුශ්‍රැතභාවය තෙපි නොදනිහුද, මා වැන්නකු ධර්‍මයෙන් පහවූවක්කොට, විනයයෙන් පහවූවක්කොට ශාස්තෘශාසනය ගන්වන්නේය’යි සිතකුත් උපදවන්නට යුෂ්මතුන්ට සුදුසුවේද, කිම, මට අවීචිය නිලුපුල්වනයක් මෙන් සිහිල් වේද, කිම, මම අපායට බිය නොවෙම්ද, යනාදිනයින් කන්මුල වාග්භෙදකොට ඇස්වීමෙන් “සලාකග්ගාහෙන” මෙසේ අස්වා ඔවුන්ගේ සිත පිටිවහල් කොට අනිවර්‍ත ධර්‍මයන් කොට ‘මේ සලාකය ගණිවු’යි ලහගැන්වීමෙන්.
මෙහිද කර්‍මයම හෝ උද්දෙශය හෝ ප්‍රමාණ වේ. ව්‍යවහාර අනුශ්‍රාවණ - සලාකග්‍රහයෝ වනාහි පූර්‍වභාගයෝය. අටළොස් වස්තු දැක්වීම් වසයෙන් වනාහි ව්‍යවහාර කරන්නහු විසින් එහි රුචිය උපදින පිණිස අස්වා සලාකය ගැන්වූ කල්හිද සඞ්ඝතෙමේ නොබිඳුනේම වේ. යම්කලෙක වනාහි සිවුදෙනෙක් හෝ ඉන් වැඩිදෙනෙක් හෝ සලාක ගන්වා වෙන්ව කර්‍මය හෝ උද්දෙශය හෝ කෙරෙත්ද, එකල්හි සඞ්ඝතෙමේ බිඳුනේ නම්වේ. මෙසේ යමක් සඞ්ඝභෙදක්‍ඛන්‍ධ වර්‍ණනාවෙහි කීමුද ‘මෙසේ අටළොස් වස්තූන් අතුරෙහි යම්කිසි එක් වස්තුවකුදු දක්වා ඒ ඒ කරුණෙන් ‘මේ ගණිවු, මෙය රුචි කරවු’යි හඟවා සලාක ගන්වා වෙන්ව සඞ්ඝකර්‍ම කළ කල්හි සඞ්ඝතෙමේ බිඳුනේ වේ. පරිවාරයෙහි වනාහි ‘පඤ්චහි උපාලි ආකාරෙහි සඞ්ඝො භිජ්ජති”යි වදාරණ ලද්දේය. ඒ පිළිබඳ මෙහි කියනලද මේ සඞ්ඝභෙද ලක්‍ෂණය හා අර්‍ත්‍ථවශයෙන් වෙනසක් නැත්තේය. මෙහි යම් වෙනස්බවක් ඇත්තේද එය එහිම පවසන්නෙමු’යි ඒ මෙය ප්‍රකාශකරණ ලද්දේ වේ.
“පඤ්ඤත්තෙතං” මෙය පණවන ලද්දේය. කොතැන්හි පණවන ලද්දේ ද, වත්තක්‍ඛන්‍ධකයෙහිය. එහි වනාහි කඳුවත් තුදුසෙක් පණවන ලදය. “පඤ්ඤත්තෙතං උපාලි මයා ආගන්තුකානං භික්‍ඛූනං ආගන්තුකවත්තං” යනාදිය එහෙයින් වදාළ සේක. “එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති, නො ච සඞ්ඝභෙදා” මෙපමණකින් වනාහි සඞ්ඝරාජීය පමණක්ම වේ. සඞ්ඝභෙදය වනාහි නොවේ. පිළිවෙළින් වනාහි මේ සඞ්ඝරාජී තොමෝ වැඩෙන්නී සඞ්ඝභෙදය පිණිස පවතී’යි යන අර්‍ත්‍ථයි “යථාරත්තිං” රාත්‍රි ප්‍රමාණයට අනුරූපව, තෙරුන්ට අනුරූපව, යන අර්‍ත්‍ථයි. “ආවෙණිවග්ගං කරිත්‍වා” වෙන්ව ව්‍යවස්ථාකොට. “කම්මාකම්මානි කරොන්ති” අපරාපරසඞ්කර්‍ම නිසා කුඩාවූද මහත්වූද කර්‍ම කරත් මේ අධිකරණ වූපසමවර්‍ගයෙහිද සෙස්ස ප්‍රකටමය.
අධිකරණවූපසම වර්‍ගවර්‍ණනාව නිමි
සඞ්ඝභෙදකවග්ගද්වයවණ්ණනා
සඞ්ඝභෙද වර්‍ගදෙක්හි - “විනිධාය දිට්ඨිං කම්මෙන” මේ අධර්‍මවාදීන් අතුරෙහි අර්‍ධමාදිහු මොවුහු’යි මෙසේ දෘෂ්ටි ඇතියෙක්ව ඒ දෘෂ්ටිය පිහිටුවා ඒ අධර්‍මයන් ධර්‍මාදිවශයෙන් දක්වා වෙන්ව කර්‍මකරයි. මෙසේ යම් දෘෂ්ටියක් පිහිටුවා පවසා කර්‍මකෙරේද, මෙසේ කළ ඒ විනිධාය දෘෂ්ටිකර්‍මය හා පස් අඞ්ගයෝ වෙත්. “ඉමෙහි ඛො උපාලි පඤ්චභඞ්ගෙහි” යන මෙය එක් පඤ්චකයෙක්හි අර්‍ත්‍ථයොජනාය. මේ නයින් සියලු පඤ්චකයෝ දතයුත්තාහ. මෙහිද ව්‍යවහාරාදි අඞ්ගතුන පූර්‍වභාග වශයෙන්ම කියනලදී. කර්‍මොද්දෙශ වශයෙන්ම වනාහි පිළියම් නොකට හැකිබව දතයුතුය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය. මෙහි කිසි පෙරනොකියූ නයක් නැත්තේමය.
සඞ්ඝභෙද වර්‍ගද්වයය.
ආවාසිකවග්ගවණ්ණනා
ආවාසික වර්‍ගයෙහි - යථාභතං නික්‍ඛිත්තො ගෙණවුත් තබන ලද්දක් යම්සේද (එසේය)
“විනයබ්‍යාකරණා” විනයප්‍රශ්නය විසඳීම්ය. “පරිණාමෙති” නියමකරයි. දක්වයි. කියයි. මෙහි සෙස්ස ප්‍රකටමය.
ආවාසික වර්‍ගයය.
කථිනත්ථාරවග්ගවණ්ණනා
කඨිනත්‍ථාර වර්‍ගයෙහි - “ඔතමසිකො” අඳුරට පැමිණියෙක්. ඔහුට වඳින්නහුගේ නලළ ඇඳපා ආදියෙහි හැපෙන්නේය. වදින්නේය. “අසමන්නාභරන්තො” කටයුතුවල ව්‍යාවෘත වූ බැවින් වැඳීම නොසලකන්නේ. “සුත්තො” නින්දට බැස්සේ. “එකාවත්තො” එක්ක ගති පක්‍ෂයට පෙරළුනේ. සතුරු පක්‍ෂයෙහි සිටි වෛරී විෂභාගපුද්ගල තෙමේ කියනු ලැබේ. මෙතෙමේ නොවැඳිය යුත්තේය. මෙතෙමේ වනාහි නැමී වඳිනු ලබන්නේ පාදයෙනුදු ගසන්නේය. “අඤ්ඤවිහිතො” අනිකක් සිතන්නේ.
“ඛාදන්තො” පිටිකැවිලි ආදිය කරන්නේ. මල-මූත්‍ර කරන්නේ යන මොවුහු අනවකාශයට ගිය බැවින් නොවැන්ද යුත්තාහ. “උක්‍ඛිත්තකො” ත්‍රිවිධවූද, උත්‍ෂෙපණීය කර්‍මයෙන් උත්ක්‍ෂිප්තක තෙමේ නොවැන්දයුතුය. තර්‍ජනීයාදිකර්‍ම කළ සිවුදෙන වනාහි වැන්දයුත්තාහ. උපෞෂථපවාරණයෝද ඔවුන් හා ලබත්. මුල පටන් කියූ නොවැන්ද යුත්තන් අතුරෙහි නග්නයාහටද උත්ක්‍ෂිප්තකයාහටද වඳින්නහුටම ඇවැත් වේ. අන්‍යයන්හට වනාහි නොසරුප් තැන්හිද අතරැකියූ කරුණෙන්ද වැදීම ප්‍රතික්‍ෂෙප කරණලදී. මෙයින් අන්‍යය, පසුව උපසම්පන්නාදීවූ දසදෙන ආපත්තිවස්තුභාවය නිසාම නොවැන්දයුත්තාහ. ඔවුන් වඳින්නහුට වනාහි නියමයෙන්ම ඇවැත් වේ. මෙසේ මේ පඤ්චක පසෙහි තෙළෙස් දෙන වඳින්නහුට ඇවැත් නොවේ. දොළොස් දෙනා වදින්නහුට වැඳීම නිමිතිකොට ඇවැත් වේ.