චොදනාකණ්ඩං
අනුවිජ්ජකකිච්චවණ්ණනා
දැන් චොදනාවක් උපන්කල්හි විනයධරයා විසින් කටයුතු කෘත්‍යය දක්වන්නට “අනුවිජ්ජකෙන” යනාදිය ආරබ්ධය. එහි “දිට්ඨං දිට්ඨෙන” යන ගාථාවෙහි මේ අර්‍ත්‍ථයි:- එකකු විසින් මාගමක සමග එක් තැනකින් නික්මෙන්නාවූ හෝ පිවිසෙන්නාවූ හෝ එකෙක් දක්නාලද්දේද, හෙතෙමේ ඔහුට පාරාජිකයෙන් චෝදනා කෙරේද, අනිකෙක් තෙමේ ඔහුගේ දැක්ම අනුදනියි. ඒ දැකීම නිසා පාරාජිකයට නොපැමිණේ. නොපිළිදනි. මෙසේ මෙහි ඔහු විසින් යමක් දක්නා ලද්දේද, ඔහුගේ එය “දිට්ඨො මයා” යන දිට්ඨවචනය හා එක්වේ. යම්හෙයකින් අන්‍යතෙමේ ඒ දැකීම නිසා දොසය නොපිළිදනීද, එහෙයින් අපිරිසිදුයයි සැක කරණලද්දේ වේ. මුල්නැතිව සැක කරණලද්දේ වේ යන අර්‍ත්‍ථයි. ඒ පුද්ගලයාගේ ‘මම පිරිසිදුවෙමි, යන ප්‍රතිඥාවෙන් ඔහු සමග උපෞෂථය කටයුත්තේය. සෙසු ගාථා දෙකෙහිද මෙමනය වේ. සෙසු සියලු තන්හි ප්‍රකටමය.
අනුවිජ්ජක කෘත්‍යවර්‍ණනාව නිමි
චොදකපුච්ඡාවිස්සජ්ජනාවණ්ණනා
“චොදනාය කො ආදි” යනාදි පෘච්ඡාවන්ගේ විසර්‍ජනයෙහි “සච්චෙ ච අකුප්පෙ ච” සත්‍යයෙහිද අකොප්‍යයෙහිද පිහිටිය යුතුයි. යමක් කරණලද්දේ හෝ නොකරණලද්දේ හෝ ඒම කියයුතුය. චොදකයා කෙරෙහි හෝ අනුවිජ්ජකයා කෙරෙහි හෝ සඞ්ඝයා කෙරෙහි හෝ කොපය නොඉපදවිය යුතුය. “ඔතිණ්ණානොතිණ්ණං ජානිතබ්බං” චොදක චුදිතක දෙදෙනා විසින් කියූ නොකියූ වචන දැනගත යුතුය. එහිමේ දැනගන්නා විධියයි:- චොදකයාගේ මෙපමණ වූ පූර්‍වකථාය, මෙපමණවූ පශ්චිමකථාය, චුදිතකයාගේ මෙපමණවු පූර්‍වකථාය, මෙපමණවූ පශ්චිමකථායි දතයුතුය. චොදකයාගේ ප්‍රමාණය ගතයුතුය. චුදිතකයාගේ ප්‍රමාණය ගතයුතුය. අනුවිජ්ජකයාගේ ප්‍රමාණය ගතයුතුය. අනුවිජ්ජක තෙමේ ඇවත ටිකකුත් පිරිහෙලනේ නම් ‘ඇවැත’ නොපිරිහෙලමින් සලකා සෘජුකොට ගෙණව’යි කියයුතුය. විනිශ්චස්ථානයට පැමිණි සඞ්ඝයා විසින් මෙසේ පිළිපැදිය යුතුය. “යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්‍ථූසාසනෙන තං අධිකරණං වූපසම්මති” යන මෙහි “ධම්මො” යනු විද්‍යමාන වස්තුවය. “විනයො” යනු චොදනාව හා දොසය සිහිකරවීමය. “සත්‍ථුසාසනං” යනු ඤත්තිසම්පත්තිය හා අනුසාවන සම්පත්තියය. මෙම ධර්‍මයෙන්ද විනයයෙන්ද ශාස්තෘශාසනයෙන්ද අධිකරණය සන්සිඳුවයි. එහෙයින් අනුවිජ්ජකයා විසින් විද්‍යමාන වස්තුවෙන් චොදනාකොට ඇවැත සිහිකරවා ඤත්තිසම්පත්තියෙන්ද අනුසාවනසම්පත්තියෙන්ද ඒ අධිකරණය සන්සිඳවිය යුතුය. අනුවිජ්ජකයා විසින් මෙසේ පිළිපැද්දයුතුය.
“උපොසථො කිමත්‍ථාය” යනාදි පෘච්ඡාවිසර්‍ජනද ප්‍රකටමය. අවසාන ගාථාවන්හි “ථෙරෙ ච පරිභාසති” අවමන් කරමින් ‘මොවුහු කුමක් දනිත්දැ’යි පරිභව කරයි. “ඛතො උපහතින්‍ද්‍රියො” ඒ ඡන්‍දාදියට පැමිණවීමෙන්ද, ඒ පරිභව බිණීමෙන්ද තමන් විසින්ම තමන් කැණූ බැවින්ද, ඛත නමි. ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් නැසූ බැවින් උපහතින්‍ද්‍රිය නමි. “නිරයං ගච්ඡති දුම්මෙධො න ච සික්‍ඛාය ගාරවො” කණින ලද කුසල් මුල් ඇති, නසන ලද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියන් ඇති, ප්‍රඥාව නැති බැවින් දුර්‍මෙධ වූ ත්‍රිවිධ ශික්‍ෂාවන්හි නොහික්මෙන බැවින් ශික්‍ෂාගෞරව නැත්තාවූ හෙතෙමේ කායභෙදයෙන් නිරයටම පැමිණේ. එහෙයින් “න චාමිකං හි නිස්සාය පෙ- යථා ධම්මො තථා කරෙ”යි කියන ලදී. එහි අර්‍ත්‍ථය මෙසේය: ආමිෂය නිසා නොකරන්නේය. චුදිතක-චොදකයන් අතුරෙහි එක්තරා එකකු විසින් දෙන ලද චීවරාදි ආමිෂය ගන්නේ ආමිෂය නිසා කරයි. එසේ නොකරන්නේය. “න ච නිස්සාය පුග්ගලං” ‘මේ මාගේ උපාද්ධ්‍යායයි හෝ ආචාර්‍ය්‍යයි හෝ යනාදිනයින් ඡන්‍දාදියෙන් අගතියට යන්නේ පුද්ගලයා නිසා කරයි. මෙසේ නොකරන්නේය. තවද මේ ආමිෂ පුද්ගල දෙදෙන දුරුකොට යම්සේ විනිශ්චය ධර්‍මය සිටියේද, එපරිද්දෙන්ම කරන්නේය.
“උපකණ්ණකං ජප්පති” මෙසේ කළකල්හි වනාහි ‘මෙසේ කියව, මෙසේ නොකියව’යි කණමුලට කොඳුරයි. “ජිම්හං පෙක්‍ඛති” දොසම සොයයි. “වීතිහරති” විනිශ්චය පිරිහෙළයි. “කුම්මග්ගං පටිසෙවති” ඇවැත සේවනය කරයි. පවසයි.
“අකාලෙනච චොදෙති” අනවකාශයෙහි නො අණවන ලද්දේ චොදනා කරයි. “පුබ්බාපරං න ජානානි” පූර්‍වකථාවද, පශ්චිම කථාවද නොදනියි
“අනුසන්‍ධිවචනපථං න ජානාති” කථානුසන්‍ධිවිනිශ්චයානු - සන්‍ධිවචනපථය නොදනියි. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
චොදනා කාණ්ඩ වර්‍ණනාව නිමි.
චූළසඞ්ගාමො
අනුවිජ්ජකස්ස පටිපත්තිවණ්ණනා
චූලසඞ්ග්‍රාමයෙහි - “සඞ්ගාමාවචරෙන භික්‍ඛුනා” අධිකරණ විනිශ්චය පිණිස සඞ්ඝසන්නිපාතය සඞ්ග්‍රාමයි කියනු ලැබේ. එහි තමන්ගේ සතුරෝද, ශාසනයට සතුරෝද ධර්‍මයෙන් පහවූවක් කොට විනයයෙන් පහවූවක් කොට ශාසනය දක්වමින් රැස්වෙත්. විශාලා නුවරවැසි වජ්ජිපුත්‍රකයන් මෙනි. ඒ මහණතෙමේ ඒ සතුරන්ගේ ලබ්ධිය මැඩ ස්වකීයවාදය දක්වනු පිණිස එහි හැසිරෙයි. වැද විනිශ්චය පවත්වයි. හෙතෙමේ සඞ්ගාමාවචර නම. යස ස්ථවිරයන් මෙනි. ඒ සඞ්ගාමාවචර මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹෙන්නහු නීච සිතින් සඞ්ඝයා වෙත එළැඹිය යුතුය. “නීච චිත්තෙන” මානද්ධජය හෙළ පහවූ මානය ඇති සිතින්. “රජොහරණ සමෙන” පාපිස්නක් සමව රජස් හරණ පාපිස්නට කිලිටිවූ හෝ නොකිලිටිවූ හෝ පය පිස්නා කල්හි රාගයක් නොමවේද ද්වෙෂයක් නොඋපදීද, එසේ ඉෂ්ටානිෂ්ට වස්තූන්හි නොඇලෙන්නහු විසින් දූෂිත නොවන්නහු විසින්ය යන අර්‍ත්‍ථයි. “යථා පතිරූපෙ ආසනෙ” සුදුසු අසුනක් දැන තමාට පැමිණෙන තැන ස්ථවිර භික්‍ෂූන්ට පිටු නොපා හිඳිය යුතුය. “අනානාකථිකෙන” නන්වැදෑරුම් වූ ඒ ඒ අනර්‍ත්‍ථකථා නොකියන්නහු විසින්. “අතිරච්ඡානකථිකෙන” දිට්ඨ-සුත-මුතවූද රාජකථාදිකවූ තිරච්ඡානකථා නොකියන්නහු විසින්. “සාමං වා ධම්මො භාසිතබ්බො” සඞ්ඝසන්නිපාතස්ථානයෙහි කප්පියාකප්පිය නිඃශ්‍රිත වූ හෝ රූපාරූප පරිච්ඡෙද සමථාචාර විදර්‍ශනාචාර ස්ථානනිෂද්‍යා දී නිඃශ්‍රිතවූ හෝ කථාතොමෝ ධර්‍ම නම. මෙබඳු වූ ධර්‍මය තෙමේ තමන් විසින් හෝ බිණිය යුතුය. “පරො වා අජ්ඣෙසිතබ්බො” යම් මහණෙක් තෙමේ එබඳු කථා කියන්නට පොහොනේද, ‘ඇවැත’ සඟමැද ප්‍රශ්නයක් උපන්කල්හි ඔබ කියව’යි හෙතෙමේ කියයුතුය. “අරියො වා තුණ්හීභාවො නාතිමඤ්ඤිතබ්බො” නොබැණ හිඳින ආර්‍ය්‍යයෝ බාලපෘථග්ජනයන් මෙන් නොහිඳිත්. එක්තරා කර්‍මස්ථානයක් ගෙණම හිඳිත්. මෙසේ කමටහන් මෙනෙහි කිරීම් වසයෙන් තුණ්හීභාවය. ආර්‍ය්‍යතුෂ්ණීම්භාව නම. එය ඉක්මවා නොසිතිය යුතුය. ‘කර්‍මස්ථානානුයොගයෙන් කිමැ’යි අවමන් නොකටයුතුය. තමන්ට සුදුසුවූ කර්‍මස්ථානයක් ගෙණම හිඳිය යුතුය, යන අර්‍ත්‍ථයි.