අධිකරණභෙදං
උක්කොටනභෙදාදිවණ්ණනා
අධිකරණභෙදයෙහි “ඉමෙ දස උක්කොටා” අධිකරණයන්ගේ උගුළුවීම කියා නැවැත අධිකරණයන්ගේ උගුළුවීමෙන් සමථයන්ගේ උගුළුවීම දක්වන්නට “විවාදාධිකරණං උක්කොටෙන්තො කති සමථෙ උක්කොටෙති” යනාදිය කීහ. එහි “විවාදාධිකරණං උක්කොටෙන්තො ද්වෙ සමථෙ උක්කොටෙති”යි සම්මුඛාවිනයද යෙභුය්‍යසිකයද යන මේ දෙක උගුල්වාලයි. වළකාලයි. ප්‍රතික්‍රොෂණය කෙරේය යන අර්‍ත්‍ථයි. “අනුවාදාධිකරණං උක්කොටෙන්තො චත්තාරො”යි සම්මුඛාවිනයද සතිවිනයද අමූළ්හවිනයද තස්සපාපිය්‍යසිකයද යන මේ සිවු සමථයන් උගුල්වාලයි. “ආපත්තාධිකරණං උක්කොටෙන්තො තයො”යි සම්මුඛාවිනයද පටිඤ්ඤාතකරණයද තිණවත්‍ථාරකයද යන මේ තුන් සමථයන් උගුල්වාලයි. “කිඤ්චාධිකරණං උක්කොටෙන්තො එකං”යි සම්මුඛාවිනය යන මේ එක් සමථයක් උක්කොටනය කරයි.
“කති උක්කොටා” යනාදි පෘච්ඡාවන්ගේ විසඳීමෙහි වනාහි දොළොස් උක්කොට අතුරෙහි “අකතං කම්මං” යනාදීවූ උක්කොට තුනක් විශෙෂයෙන් දෙවන අනුවාදාධිකරණයෙහි ලැබෙත්. “අනීහතං කම්මං” යනාදීවූ තැන ප්‍රථමවිවාදාධිකරණයෙහි ලැබෙත්. “අවිනිච්ඡිතං” යනාදී වූ තුන තෙවන ආපත්තියි කරණයෙහි ලැබෙත්. “අවූපසන්තං” යනාදීවූ තුන සිවුවන කිච්චාධිකරණයෙහි ලැබෙත්. තවද උක්කොට දොළොසම එක් එක් අධිකරණයෙහි ලැබෙත්මය.
“තත්‍ථ ජාතකං අධිකරණං උක්කොටෙති” යම් විහාරයෙක්හි ‘මොහු විසින් මාගේ පාත්‍රය ගන්නා ලද්දේය, සිවුරක් ගන්නා ලද්දේය, යනාදි නයින් පාසිවුරු ආදිය පිණිස අධිකරණයක් උපන්නේවේද, එම විහාරයෙහිම ආවාසිකයෝ රැස්ව ‘ඇවැත්නි’ පාසිවුරු ආදිය නිසා ඩබර කිරීමෙන් කම්නැතැ’යි විවාදාදියෙහි දොස් දැක්වීම පමණකින් තම සතුරන්ට හඟවා ඔවුනොවුන් කමාකරවා පාලිමුක්තක විනිශ්චයෙන්ම ඒ අධිකරණය සන්සිඳවත්ද, මේ තත්‍ථජාතකඅධිකරණ තම. යම් විනිශ්චයකින් සන්හිඳවන ලද්දේද, හෙද එක් සමථයෙක්මය. මේ අධිකරණය උගුළුවන මහණහුටද පාචිත්තිය වේ.
“තත්‍ථ ජාතකං වූපසන්තං” ඉදින් ඒ අධිකරණය නෙවාසිකයෝ සන්සිඳවන්නට නොහැකි වෙත්ද, නැවැත අන් විනයධරයෙක් තෙමේ අවුත් ‘කිම, මේ විහාරයෙහි උපෞෂථය හෝ පවාරණය හෝ සිටියාහුදැ’යි විචාරාද, ඔවුන් විසින්ද ඒ කාරණය කියූකල්හි ඒ අධිකරණය ඛන්‍ධකයෙන්ද පරිවාරයෙන්ද ගෙණ සූත්‍රයකින් විනිශ්චයකොට සන්සිඳුවයි. මෙය තත්‍ථ ජාතක අධිකරණය සන්සිඳුනේ නම.
“අන්තරාමග්ගෙ” ඒ තම සතුරෝ ‘අපි මොහුගේ විනිශ්චයෙහි නොසිටුම්හ, මෙතෙමේ විනයෙහි දක්‍ෂනොවේ, අසුවල් නම් ගමෙහි විනයධර තෙරහු වසත්, එහි ගොස් විනිශ්චය කරන්නෙමු’යි යන්නාහු අතරමගදීම කරුණ සලකා ඔවුනොවුන් හෝ හඟවත්ද, අන්‍යයෝ හෝ ඒ මහණුන්ට අවබෝධ කරවත්ද, මෙය සන්සිඳුනේම වේ. අතරමගදී මෙසේ සන්සිඳුනු අධිකරණය යමෙක් තෙමේ උගුළුවාද, ඔහුටද පාචිත්තියම වේ.
“අන්තරාමග්ගෙ වූපසන්තං” ඔවුනොවුන්ට හැඟීමෙන් හෝ සභාග භික්‍ෂූන්ගේ අවබෝධ කරවීමෙන් හෝ සන්සිඳුනේ නොමවේද, එතකුදු වුවත් පෙරමගට එන්නා වූ එක් විනයධරයෙක් තෙමේ ඔවුන් දැක ‘ඇවැත්නි’ කොතැන්හි යහුදැ’යි විචාරා අසුවල් ගමටය, මෙනම් කරුණ නිසාය’යි කියූකල්හි ‘කම් නැත. ඇවැත්නි’ එහි යෑමෙන් කිම්දැ’යි එහිදීම ධර්‍මයෙන් විනයෙන් ඒ අධිකරණය සන්සිඳවාද, මෙය අතරමගදී සන්සිඳුනේ නම. මේ අධිකරණය උගුළුවන මහණහුටද පාචිත්තියම වේ.