පජ්ජොතරාජවත්ථුකථා
“ජෙගුච්ඡං මෙ සප්පිං” මේ චණ්ඩපජ්ජොත රජතෙමේ ගෝනුස්සෙක්හට දාවූයේය. ගෝනුසු විෂ නැසීම පිණිස ගිතෙල්, බෙහෙත වේ. ගෝනුස්සන්ට ගිතෙල් පිළිකුල්ය. එහෙයින් මට ගින්නෙන් පිළිකුල්යයි මෙසේ කීයේය. “උදෙකං දස්සති” ඔක්කාරය දක්වන්නේය. “පඤ්ඤාසයොජනිකා හොති” පණස් යොදුනක් යන්නට සමර්ත්ථ වේ. මේ රජහට හුදෙක් සිටියා ඇතින්න පමණක්ම නොවේ. නාලාගිරි නම් ඇත්තෙමේ යොදුන් සියයක් යන්නේය. චෙලකණ්ණ - මුඤ්ජකෙස යන අශ්වයෝ දෙදෙන විසියොදුනක් යන්නාහු. කාකදාසතෙමේ සැට යොදුනක් යන්නේය.
බුදුරජුන් නොඋපන්කල්හි බුදින්නට හුන් එක් කුලපුත්රයක්හුගේ ගෙයි දොරකඩ සිට එක් දවසක් පසේබුදුවරයෙක් නික්ම ගියේය. ඔහුට එක් පුරුෂයෙක්, පසේ බුදුවරයෙක් මෙහි ඇවිත් ගියේය’යි කියේය. හෙතෙමේ එය අසා, ‘වහා යව, පාත්‍රය ගෙන එව’යි ගෙන්වාගෙන තමන්ට පිළියෙල කරන ලද සියලු බත්දී යැවූයේය. අනික එය ගෙනගොස් පසේබුදුන්ගේ අතෙහි තබා, ‘ස්වාමීනි’ මම ඔබවහන්සේ කරන ලද මේ කායික වතාවතින් යම්යම් තැනක උපදිම්ද, ඒ හැම තැන වාහනයෙන් යුක්තවෙමි’යි ප්‍රාර්‍ත්‍ථනා කෙළේය. තෙමේ දැන් චණ්ඩපජ්ජොත නම් රජවූයේය. ඒ පැතීමෙන් මේ වාහනසම්පත්තිය වූය.
“සප්පිං පායෙත්‍වා” ගිතෙල්ද පොවා, පරිචාරක ස්ත්‍රීන්ටද ආහාර විහරණවිධිය කියා, [missing trans] “නිච්ඡාරෙසි” විරෙක කෙළේය.
සිවෙය්යකදුස්සයුගකථා
“සීවෙය්යකං” සීවෙය්‍යක නම් උතුරුකුරු දිවයිනෙහි සොහොනෙහි ලන ලද අවමඞ්ගල වස්ත්රයයි. ඒ උතුරුකුරු දිවයිනෙහි මනුෂ්‍යයෝ මළමිනිය ඒ සිවෙය්යක නම් වස්ත්‍රයෙන් වෙළා දමත්. ඒ වස්ත්‍රය මස් වැදැල්ලකැයි සලකා ඇත්ගිජු ලිහිනියෝ ඔසොවාගෙන ගොස් හිමවත් පව්වෙහි තබා වස්ත්‍රය බැහැරකොට කන්නෝය. නැවත වනචරකයෝ වස්ත්‍රය දැක රජහට ගෙනදෙත්, මෙසේ මේ වස්ත්‍රය චණ්ඩපජ්ජොත රජු විසින් ලද්දේය. සිව්රටෙහි දක්ෂ ස්ත්‍රීහු අංස තුනකින් නූල්කටිත්, ඒ නූලෙන් වියූ වස්ත්‍රය මේයයිද කියත්.
සමත්තිංසවිරෙචනකථා
“සිනෙහෙථ” කිම, භාග්‍යවතුන් වහන්සේගේ කය රළුවේද, රළුනොවේද, යත්: භාග්‍යවතුන් වහන්සේගේ ආහාරයෙහි හැමකල්හි දෙවතාවෝ දිව්‍යඔජස් බහාලත්. තෙල්බීම හැමතන්හි දොස් සංසිඳුවයි. නහර මොළොක් කරයි. එහෙයින් මෙතෙමේ මෙසේ කීය. “තීණ උප්පලහත්ථානි” එකක් මහත්දොස් හරිනු පිණිසය. එකක් මද්ධ්‍යම දොස් හරිනු පිණිසයි. එකක් සියුම්දොස් හරිනු පිණිසය. “න චිරස්සෙව පකතත්තො අහොසි” සිරුර දොස සංසිඳී පියවි බවට පැමිණි කල්හි නුවරවැස්සෝ දන් සැපයූහ. ජීවකතෙමේ අවුත් භාග්‍යවතුන් වහන්සේට ‘භාග්‍යවතුන් වහන්ස’ අද නුවර වැස්සෝ ඔබ වහන්සේට දන්දෙනු කැමැත්තාහ. ගම තුළට පිඬුපිණිස නොවඩිනු මැනවැ’යි මෙය කීයේය. මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ, ‘අද කොතැනින් භාග්‍යවතුන් වහන්සේට පළමුකොට පිණ්ඩපාතය ලැබීම වටීදැ’යි සිතූහ. අනතුරුව සොණ සිටුපුත්තෙමේ කෙත පිරියම් කිරීමෙහි පටන් අන්‍යයන් හා අසාධාරණවූ කිරිපැන් ඉසීමෙන් වැඩුනු සුවඳ හැල් සාලේ බත් අනුභව කරන්නේය. එයින් භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතය ගෙන එන්නෙමි’යි සිතූහ. එසේ සිතා සෘද්ධියෙන් ගොස් ඔහුගේ ප්‍රාසාදතලයෙහි තමන් දැක්වූහ. හෙතෙමේ තෙරුන්ගේ පාත්‍රය ගෙන ප්‍රණීත පිණ්ඩපාතය දුන්නේය. තෙරුන් යන අයුරු දැක ‘ස්වාමිනි’ වලඳනු මැනව’යි කීයේය. ස්ථවිරයන් වහන්සේ ඒ කරුණ සැළකළහ. ‘ස්වාමීනි’ වලඳනු මැනව, මම අනික් බතක් භාග්‍යවතුන් වහන්සේට දෙන්නෙමි’යි තෙරුන් වලඳවා, සුවඳ පැනින් පාත්‍රය උළා, සෝදා පිණ්ඩපාතයෙන් පුරවා දුන්නේය. ස්ථවිරයන් වහන්සේ එය ගෙනගොස් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්නූහ.
බිම්සර රජතෙමේද, ‘අද භාග්‍යවතුන් වහන්සේ කුමක් වලඳන සේක්දැ’යි විහාරයට අවුත් වෙහෙරට ඇතුල්වනුයේම පිණ්ඩපාතයෙහි සුගන්ධය ආඝ්‍රාණයකොට අනුභව කරනු කැමැති වූයේය. භාග්‍යවතුන් වහන්සේට සුජාතා තොමෝ යම් පිණ්ඩපාතයක් දුන්නීද, පිරිනිවන්පාන කාලයෙහි චුන්දකර්මාරපුත්ර තෙමේ යම් පිණ්ඩපාතයක් දුන්නේද, බඳුන් ගතවූ ඒ පිණ්ඩපාත දෙක්හිම දෙවතාවෝ දිව්‍ය ඕජස් බහාලූහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ආශාව දැන නොබැනූ දිව්‍යඕජස් ඇත්තාවූම පිණ්ඩපාතය ටිකක් රජුට දෙවූ සේක. රජතෙමේ එය අනුභවකොට ‘කිම, ‘ස්වාමීනි’ උතුරුකුරු දිවයිනෙන් ගෙන එන ලද බොජුනෙක්දැ’යි විචාළේය. ‘මහරජ’ උතුරුකුරු දිවයිනෙන් ගෙන එන ලද්දෙක් නොවේ. තවද මේ භොජනය තොපගේම රටවැසි ගෘහපති පුත්රයකුගේය’යි වදාරා සොණගේ සම්පත්තිය වදාළ සේක. ඒ අසා රජතෙමේ සොණ දකිනු කැමැත්තේ චම්මක්ඛන්ධකයෙහි කියූ ලෙසින් අසූදහසක් කුලපුත්‍රයන් සමග සොණගේ පැමිණීම කෙළේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව අසා සෝවාන් වූහ. සොණ තෙමේ පැවිදිව රහත්බවෙහි පිහිටියේය. භාග්‍යවතුන් වහන්සේද මේ අර්ත්ථය සඳහාම රජහට පිණ්ඩපාතය දෙවූ සේක.