සෙට්ඨිභරියාදිවත්ථුකථා
“පිසතෙන” එක් අතළොස්සක් පමණ. “පිචුනා” පුලුන් රොදකින්. “යත්‍ර හි නාම” යම් තැනැත්තියක් නම් “කිම්පි මායං” මා තොමෝ මට කුමක් දෙන්නීද,
“සබ්බාලඞ්කාරං තුය්හං හොතු” බිම්සර රජතෙමේ ඉදින් මේ ආභරණ ගන්නේනම්, පමණින් යුත් තනතුරක තබන්නෙමි, ඉදින් නොගන්නේනම් ඔහු අභ්‍යන්තරික විශ්වාසවන්තයකු කරන්නෙමි’යි සිතා මෙසේ කීයේය. අභය කුමාරයාහටද නළඟනන්හටද ‘ජීවකතෙමේ මේ ආභරණ රාශිය නොගන්නේ නම්, යෙහෙකැ’යි සිතක් උපන්නේය. ජීවකතෙමේද ඔවුන්ගේ සිත දැන මෙන් ‘දෙවයන් වහන්ස’ මිත්තනියන්ලාගේ මේ පලදනාය, මේ ආභරණ මා ගැනීම නොසුදුසුය’යි කියා “අලං දෙව” යනාදිය කීය. රජතෙමේ පහවූයේ සියලු අයුරින් සම්පූර්‍ණ වූ ගෙයක්ද, අඹඋයනක්ද, අවුරුදු පතා ලක්‍ෂයක් ලක්‍ෂයක් උපදින ගමක්ද මහත් සත්කාරද දී “තෙන හි භණෙ” යනාදිය කීය.
රාජගහසෙට්ඨිවත්ථුකථා
“සිබ්බනිං විනාමෙත්‍වා” මැස්ම විවෘතකොට “සක්‍ඛිස්සසි පන ත්‍වං” ගහපති යනු කුමක් හෙයින් කීද, යත් ඉරියවු පෙරළීමෙහිදී හිස්මොළ නොපිහිටයි. නිසලව හොත්තාවූ මොහුගේ හිස්මොළ තෙසතියකින් පිහිටන්නේය’යි දැන සත් සත් මසක් පිළිදන්වා, සත් සත් දවසක් හොවින්නේනම් ඉතා මැනවැයි ඔහුට මෙසේ කීයේය. එහෙයින්ම පසුභාගයෙහි “අපි ච පටිගච්චෙව මයා ඤතො”යි කියනලදී. “නාහං ආචරිය සක්කොමි” ඔහුගේ සිරුරෙහි මහත් දාහයෙක් උපන්නේය. එහෙයින් මෙසේ කීයේය. “තීහි සත්තාහෙති” තුන්පසින් එක් එක් සතියෙන්
“ජනං උස්සාරෙත්‍වො” ජනයා බැහැර කරවා,
පජ්ජොතරාජවත්ථුකථා
“ජෙගුච්ඡං මෙ සප්පිං” මේ චණ්ඩපජ්ජොත රජතෙමේ ගෝනුස්සෙක්හට දාවූයේය. ගෝනුසු විෂ නැසීම පිණිස ගිතෙල්, බෙහෙත වේ. ගෝනුස්සන්ට ගිතෙල් පිළිකුල්ය. එහෙයින් මට ගින්නෙන් පිළිකුල්යයි මෙසේ කීයේය. “උදෙකං දස්සති” ඔක්කාරය දක්වන්නේය. “පඤ්ඤාසයොජනිකා හොති” පණස් යොදුනක් යන්නට සමර්‍ත්‍ථ වේ. මේ රජහට හුදෙක් සිටියා ඇතින්න පමණක්ම නොවේ. නාලාගිරි නම් ඇත්තෙමේ යොදුන් සියයක් යන්නේය. චෙලකණ්ණ - මුඤ්ජකෙස යන අශ්වයෝ දෙදෙන විසියොදුනක් යන්නාහු. කාකදාසතෙමේ සැට යොදුනක් යන්නේය.
බුදුරජුන් නොඋපන්කල්හි බුදින්නට හුන් එක් කුලපුත්‍රයක්හුගේ ගෙයි දොරකඩ සිට එක් දවසක් පසේබුදුවරයෙක් නික්ම ගියේය. ඔහුට එක් පුරුෂයෙක්, පසේ බුදුවරයෙක් මෙහි ඇවිත් ගියේය’යි කියේය. හෙතෙමේ එය අසා, ‘වහා යව, පාත්‍රය ගෙන එව’යි ගෙන්වාගෙන තමන්ට පිළියෙල කරන ලද සියලු බත්දී යැවූයේය. අනික එය ගෙනගොස් පසේබුදුන්ගේ අතෙහි තබා, ‘ස්වාමීනි’ මම ඔබවහන්සේ කරන ලද මේ කායික වතාවතින් යම්යම් තැනක උපදිම්ද, ඒ හැම තැන වාහනයෙන් යුක්තවෙමි’යි ප්‍රාර්‍ත්‍ථනා කෙළේය. තෙමේ දැන් චණ්ඩපජ්ජොත නම් රජවූයේය. ඒ පැතීමෙන් මේ වාහනසම්පත්තිය වූය.