සඞ්ඝිකචීවරුප්පාදකථා
“තුය්හෙව භික්ඛු තානි චීවරානි” අන් තැනක ගෙන යන ලද ඒ සිවුරු තොටමය. ඒ සිවුරුවලට අන්කිසිවෙක් ඊශ්වර නොවේ. මෙසේද කියා අනාගතයෙහිද කුකුස් නැත්තාහුයි දක්වන්නට. “ඉධ පන” යනාදිය වදාළ සේක. “තස්සෙව තානි චීවරානි යාව කඨිනස්ස උබ්හාරාය” ඉදින් ගණපූරක භික්ෂූන් ලැබ කඨිනය අතුළේවේද, පස්මසෙහි නොඅතුළේවේද, එක් චීවරමාසයකට යම් යම් සිවුරු වස්විසූ සඞ්ඝයාට දෙමුයි කියා හෝ දෙත්ද, සඞ්ඝයා උදෙසා දෙමුයි කියා හෝ දෙත්ද, වස්වසා නිමකළ සඞ්ඝයාට දෙමුයි කියා හෝ දෙත්ද, වස්සාවාසිකය දෙමු’යි කියා හෝ දෙත්ද, ඉදින් මතකචීවරය නොබෙදා එය විහාරයට ඇතුල් කෙරෙත්ද, ඒ සියල්ල ඒ මහණහුටම වේ. ඒ මහණතෙමේ වස්විසීම පිණිස වැඩෙහි යොදා තැබූ දෙයින් හෝ එහි උපන් දෙයින් හෝ යම් වස්සාවාසිකයක් ගනීද, සියල්ල මොනවට ගන්නා ලද්දේම වේ. මේ මෙහි ලක්ෂණයයි. ‘යම් අයුරකින් සඞ්ඝයාට උපන් වස්ත්රය ඇතුරු කඨිනය ඇත්තහුට පස්මසෙක්හිද නොඇතුරූ කඨිනය ඇත්තහුට එක් චීවරමායෙක්හිද පැමිණේ. යම් සිවුරක් වනාහි ‘මේ වස්ත්රය මෙහි වස්විසූ සඞ්ඝයාට දෙමු’යි කියා හෝ ‘වස්සාවාසිකය දෙමු’යි කියා හෝ දෙන ලද්දේ ද, ඒ සිවුර නොඇතුරූ කඨිනය ඇත්තහුටද පස්මසෙක්හි පැමිණේ. ඉන් පසුව උපන් වස්සාවාසිකය ‘කිම, මේ වස්සාවාසිකය, ඉකුත් වසෙහිද, නොහොත් අනාගත වසෙහිදැ’යි විචාළ යුතුය. කුමක්හෙයින යත්:- පිට්ඨිසමයෙහි උපන් බැවිනි.
“උතුකාලං” වස්සානයෙන් අනික් කලෙක. “තානි චීවරානි ආදාය සාවත්ථිං ගනත්වා” මෙහි සැවැත් නුවරට ගෙනගිය ඒ සිවුරු ගිය ගිය තැන සඞ්ඝිකම වෙත්. මහණුන් විසින් දුටු පමණම මෙහි ප්රමාණ වේ. එහෙයින් කිසි මහණෙක් පෙරමගට එනුයේ ‘ඇවත’ කොහි යෙහිදැ’යි විචාරා, එකරුණ අසා ‘ඇවැත’ කිම, අපි සඞ්ඝ නොවෙමුදැ’යි එහිදීම බෙදා ගනීනම්, මොනවට ගන්නා ලදහ. ඉදින් මේ මහණතෙමේ මගින් පහව පිඬුපිණිස හැසිරෙනුයේ කිසි වෙහෙරකට හෝ අසුන්හලකට හෝ එක් ගෙයකටම හෝ පිවිසේද භික්ෂූහු ඔහු දැක ඒ කරුණ විචාරා බෙදා ගනිත්ද, මොනවට ගන්නා ලද්දාහුමය.
“අධිට්ඨාතුං” මෙහි ඒ සිවුරු ඉටන්නහු විසින් වත දතයුතුය. ඒ මහණහු විසින් ගෙඩිය ගසා කල් දන්වා මඳක්කල් බලාහිඳ ඉදින් ගෙඩිය ගැසූ සංඥාවෙන් හෝ කාලඝොෂා සංඥාවෙන් හෝ භික්ෂූහු පැමිණෙත්ද, ඔවුන් සමග බෙදිය යුතුය. ඉදින් නොඑත්නම්, ‘මට මේ සිවුරු පැමිණෙති’යි ඉටිය යුතුය. මෙසේ ඉටූකල්හි සියලු සිවුරු ඔහුටම වෙත්. ඨිතිකාවද නොසිටියි.
ඉදින් එක එක උදුරා ‘මේ පළමු කොටස මට පැමිණේ, මේ දෙවන කොටසැ’යි මෙසේ ගනීනම්, ගන්නා ලද්දාහු මොනවට ගන්නා ලද්දාහු වෙත්. ඨිතිකාවද සිටියි. මෙසේ පමණුවා ගන්නහු විසින්ද, ඉටන ලද්දේම වේ. ගෙඩිය ගසා හෝ නොගසා හෝ කල් දන්වා හෝ නොදන්වා හෝ ‘මම පමණෙක්මය, මේ සිවුරු මාගේමයයි ගනීනම්, නොමනා ලෙසින් ගන්නා ලද්දාහුම වෙත්. නැවත අන්කිසිවෙක් මෙහි නැත්තේය, මේ සිවුරු මට පැමිණෙති’යි ගනීද, මැනවින් ගන්නා ලද්දාහු වෙත්.
“පාතිතෙ කුසෙ” එක් කොටසෙක්හි කුසදඬුව හෙළු ඇසිල්ලෙහි භික්ෂූන් දහසක් වේ නම් සිවුර ගන්නා ලද්දේම වේ. නොකැමැත්තෙන් කොටස නොදිය යුතුය. තමන්ගේ කැමත්තෙන් දෙනු කැමැත්තාහු වෙත්ද, දෙත්වා, නැවත දෙන කොටසෙහිද මේනයම වේ.
“සචීවරානි” කාලචීවරයක් නමුදු සඞ්ඝයාට මෙයින්ම දෙන්නෙමු වෙන්ව පිළියෙල කරණකල්හි ඉතා කල්ගතවේයයි වහාම සිවුරු සහිතව බත් පිළියෙල කළහ. “ථෙරෙ ආගම්ම උප්පන්නානි” ඔබවහන්සේලා කෙරෙහි පැහැදීම කරණකොට වහා උපන්හ.
“සඞ්ඝස්ස දෙමාති චීවරානි දෙන්ති” සියලු චීවරකාලයෙහි වහවහා දෙත්මය. පළමු වස්තු දෙක්හි සුන්වූ දන් ඇති බැවින් දුන්හයි කියනලදී. “සම්බහුලා ථෙරා” විනයධරවූ ප්රධාන ස්ථවිරයන් වහන්සේලා මේ වස්තුව, පළමු ද්වෙභාතුක වස්තුව සමග භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උපන්නේය. මේ ස්ථවිරයන් වහන්සේලා තථාගතයන් වහන්සේ දක්නා ලද විරූහ. එහෙයින් පළමු වස්තූන්හි තථාගතයන් වහන්සේ විසින් පැණවූ නයින්ම කීහ.