අතිරෙකචීවරාදිකථා
“අහතකප්පානං” එක්වරක් සේදූ. “උතුද්ධමානං” සෘතුවෙන් දිගුකලකින්, උදුරණලද, කල්ඉකුත්වූ වස්ත්‍ර පිළිබඳව දිරාගිය වස්ත්‍ර පිළිබඳවයි කියන ලද්දේ වේ. “පාපණිකෙ” කඩපිළෙන් වැටීතිබූ දිරාගිය රෙදිකඩින් කළ සිවුරෙහි. “උස්සාහො කරණීයො” සෙවීම කටයුතුය. පිරිසිඳීමෙක් වනාහි නැත්තේය. පටසියයක්ද වටියි. මේ සියල්ල ඉවසන මහණහුගේ වසයෙන් වදාරණලදී. “අග්ගලං තුන්නං” මෙහි දුර්‍වල ස්ථාන උදුරා බැහැරකොට එහි අණ්ඩයක් වසයෙන් අලවන රෙදිකඩ අග්ගල නම. හුයින් එල්ලන ලද්දේ මසන ලද්දේ තුන්න නම. විදකිරීම වැටිකොට මැසීම ඔවට්ටිකා නම. මුදුපටි මැසීම කෑලිපිට කෑලි ඇල්ලීම කණ්ඩූසකයි කියනු ලැබේ. “දළ්හීකම්මං” නොඋදුරාම ආධාර වසයෙන් අලවන රෙදිකඩ දැඩි කිරීම.
විසාඛවස්තුව ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. එයින් අන්‍යය පෙර විනිශ්චය කරන ලද්දේය.
[missing trans]
පච්ඡිමවිකප්පනුපගචීවරාදිකථා
“පංසුකූලකතො” කළ පංසුකූලය ඇත්තේය. “ගරුකො හොති” දිරූ දිරූ තන්හි අණ්ඩ ඇල්ලීමෙන් බරවූයේ වේ. “සුත්තලූඛං කාතුං” නූලෙන්ම අණ්ඩ දැමීමට යන අර්‍ත්‍ථයි. “විකණ්ණො හොති” නූල් ඇද මහන සිවුරුවල එක් සඞ්ඝාටි කොනක් දිග්වේ. “ඔකිරීයති” සිඳිනලද කොනින් වැගිරේ. “අනුවාතං පරිභණ්ඩං” නුවාවද පරිභණ්ඩයද “පත්තා ලුජ්ජන්ති” මහත්වූ පත්මුවෙහි දෙනලද නූල් ගැලවී යත්. එයින් රෙදිපටිද ඉගිලී වැටෙත්. “අට්ඨපාදකං කාතුං” අටපද වූපොරූ ආකාරයෙන් පත්මුව මහන්නට.
“අන්‍ධාධිකම්පි ආරොපෙතුං” ආගන්තුකපත්‍ර දෙන්නට. මේ වනාහි නොපොහොනා තන්හි නැගිය යුතුය. ඉදින් පොහොනේනම් ආගන්තුක පත්‍රදීම නොවටියි. සිඳිය යුතුමය.
“න භික්‍ඛවෙ සද්ධාදෙය්‍යං” මෙහි ගිහින් විසින් සැදැහයෙන් දෙනලද දෙය. මවුපියන් හැර සෙසු නෑයන්ට දෙන්නේ විනිපාතනය කෙරේමය. මවුපියෝ රාජ්‍යයෙහි සිටියාහු නමුදු පැවිදි දරුවන්ගෙන් ප්‍රත්‍යය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්නම්, දියයුතුය.
“ගිලානො” ගිලන්බැවින් සඟළ සිවුරු හෝ උතුරුසඟළසිවුරු හෝ අඳන සිවුර හෝ ගෙන හැසිරෙන්නට නොසමත්වේද, මේ සියලුම ගිලාන වස්සිකසංකෙත නදීපාරගමන අත්‍ථත කඨිනය යන භාවයන්හි සිවුරු අගුලුලා රකින්නට හැකි වෙහෙරෙක තැබීමම ප්‍රමාණය. රකිනලද විහාරයෙකම තබා පිටතයෑම වටියි. නොරකින ලද වෙහෙරෙහි තබා පිටතයෑම නොවටියි. අරන්වැසි මහණහුගේ විහාරය මැනවින් ගොපනය කරන ලද්දේ නොවේ. ඔහු විසින් බඩුලන සැළකලා ගල්සිදුරු රුක්සිදුරු ආදිවූ සුපිළිපන් තැනක තබා යායුතුය.
සඞ්ඝිකචීවරුප්පාදකථා
“තුය්හෙව භික්‍ඛු තානි චීවරානි” අන් තැනක ගෙන යන ලද ඒ සිවුරු තොටමය. ඒ සිවුරුවලට අන්කිසිවෙක් ඊශ්වර නොවේ. මෙසේද කියා අනාගතයෙහිද කුකුස් නැත්තාහුයි දක්වන්නට. “ඉධ පන” යනාදිය වදාළ සේක. “තස්සෙව තානි චීවරානි යාව කඨිනස්ස උබ්හාරාය” ඉදින් ගණපූරක භික්‍ෂූන් ලැබ කඨිනය අතුළේවේද, පස්මසෙහි නොඅතුළේවේද, එක් චීවරමාසයකට යම් යම් සිවුරු වස්විසූ සඞ්ඝයාට දෙමුයි කියා හෝ දෙත්ද, සඞ්ඝයා උදෙසා දෙමුයි කියා හෝ දෙත්ද, වස්වසා නිමකළ සඞ්ඝයාට දෙමුයි කියා හෝ දෙත්ද, වස්සාවාසිකය දෙමු’යි කියා හෝ දෙත්ද, ඉදින් මතකචීවරය නොබෙදා එය විහාරයට ඇතුල් කෙරෙත්ද, ඒ සියල්ල ඒ මහණහුටම වේ. ඒ මහණතෙමේ වස්විසීම පිණිස වැඩෙහි යොදා තැබූ දෙයින් හෝ එහි උපන් දෙයින් හෝ යම් වස්සාවාසිකයක් ගනීද, සියල්ල මොනවට ගන්නා ලද්දේම වේ. මේ මෙහි ලක්‍ෂණයයි. ‘යම් අයුරකින් සඞ්ඝයාට උපන් වස්ත්‍රය ඇතුරු කඨිනය ඇත්තහුට පස්මසෙක්හිද නොඇතුරූ කඨිනය ඇත්තහුට එක් චීවරමායෙක්හිද පැමිණේ. යම් සිවුරක් වනාහි ‘මේ වස්ත්‍රය මෙහි වස්විසූ සඞ්ඝයාට දෙමු’යි කියා හෝ ‘වස්සාවාසිකය දෙමු’යි කියා හෝ දෙන ලද්දේ ද, ඒ සිවුර නොඇතුරූ කඨිනය ඇත්තහුටද පස්මසෙක්හි පැමිණේ. ඉන් පසුව උපන් වස්සාවාසිකය ‘කිම, මේ වස්සාවාසිකය, ඉකුත් වසෙහිද, නොහොත් අනාගත වසෙහිදැ’යි විචාළ යුතුය. කුමක්හෙයින යත්:- පිට්ඨිසමයෙහි උපන් බැවිනි.