කොසම්බකක්ඛන්ධ වර්ණනාව
කොසම්බකවිවාදකථා
කොසම්බකක්ඛන්ධකයෙහි - “තං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසු” යන මෙහි පිළිවෙළ කතාය. විනයධරය, සූත්රාන්තිකදැයි භික්ෂූහු දෙනමක් එක් ආවාසයෙක වසත්. ඒ දෙනම අතුරෙහි සූත්‍රාන්තික භික්ෂුතෙමේ එක් දවසක් වැසිකිළියට පිවිසියේ, මලසෝදා ඉතිරි වූ සෙසු ජලය බඳුනෙහි තබාම වැසිකිළියෙන් නික්මුනේය. විනයධර තෙමේ වැසිකිළියට පසුව පිවිසියේ, ඒ ජලය දැක නික්ම අවුත් ‘ඇවැත’ තා විසින් මේ ජලය තබන ලදදැ’යි ඒ මහණහු අතින් විචාළේය. ‘ඇවැත’ එසේය’යි කීය. තෝ මෙහි ඇවැත්බව නොදනිහිදැ’යි ඇසීය. ‘එසේය නොදනිමි’යි කීය. ඇවැත ‘මෙහි ඇවැත්වේ’යි කීය. ඇවැත්වේනම් දෙසන්නෙමි’යි කීය. ඇවැත ඉදින් තා විසින් නොසිතා නොසිහියෙන් කරන ලද්දේ නම්, ඇවැත් නැත්තේය’යි කීය. ඒ සූත්‍රාන්තික තෙමේ ඒ ඇවැතෙහි ඇවැත් නැතැයි යන දෘෂ්ටි ඇත්තේවීය.
විනයධරතෙමේද තමන්ගේ නිශ්ශ්රිතකයන්ට ‘මේ සූත්‍රාන්තික භික්ෂුතෙමේ ඇවතට පැමිණෙන්නේද නොදන්නේය’යි දන්වා සිටියේය. විනයධර භික්ෂූහුගේ ඒ අතවැස්සෝ ඒ සූත්‍රාන්තික භික්ෂූහුගේ අතවැසියන් දැක ‘තොපගේ උපාද්ධ්‍යායතෙමේ ඇවැතට පැමිණද ඇවැත්බව නොදනීය’යි කීහ. ඔවුහු ගොස් තමන්ගේ උපාද්ධ්‍යායයාහට සැලකළහ. හෙතෙමේ ‘මේ විනයධරතෙමේ පෙර අනාපත්තියි කියා දැන් ආපත්තියි කියයි, මෙතෙමේ මුසාවාදීයි මෙසේ කීය. ඔවුහු ගොස් තොපගේ උපාද්ධ්‍යාය තෙමේ මුසාවාදියි කීහ. මෙසේ ඔවුනොවුන් කලහ වැඩූහ. ඉක්බිති විනයධර තෙමේ අවකාස ලබා ඒ සූත්‍රාන්තික භික්ෂූහට ඇවැත් නොදැක්මෙහි උත්ක්‍ෂෙපණීය කර්මය කෙළේය. එහෙයින් “තං භික්ඛුං ආපත්තියා අදස්සනෙ උක්ඛිපිංසු”යි වදාරනලදී.
“භින්නො භික්ඛුසඞ්ඝො භින්නො භික්ඛුසඞ්ඝො” මෙහි මෙතෙක් නොබිඳුනේය. එහෙත් වැසිවට කල්හි අවශ්‍යයෙන්ම ඒ සස්‍ය නිපැදෙන්නේයයි දැන දැන් සස්‍ය නිපැදුනේය’යි යම්සේ කියනු ලැබේ, එපරිද්දෙන්ම මේ කාරණයෙන් මත්තෙහි ඒකාන්තයෙන් බිඳෙන්නේය. ඒ වනාහි කලහ වසයෙන් වේ. සඞ්ඝභෙද වසයෙන් නොවේ. එහෙයින් බිඳුනේයයි වදාරනලදී. සම්භ්රම අර්ත්ථ වශයෙන් මෙහි ආමෙණ්ඩිතය දතයුතුය.
“එතමත්ථං භාසිත්වා උට්ඨායාසනා පක්කාමි” කුමක්හෙයින් මෙසේ වදාරා වැඩිසේක්ද, යත්: ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘නොකරුණහි තොප විසින් ඒ මහණ නෙරපන ලදැ’යි උක්ඛෙපකයන්ට වදාරන්නාහු හෝ ‘තෙපි ඇවතට පැමිණියහු’යි උක්ඛිත්තානුවත්තකයන්ට වදාරන්නාහු හෝ ‘භාග්‍යවතුන් වහන්සේ මොවුනට පක්ෂයහ, භාග්‍යවතුන් වහන්සේ මොවුනට පක්ෂයහ’යි කියා ආඝාත බඳින්නාහුය. එහෙයින් පෙළ පමණක් තබමින් මේ කරුණ වදාරා හුනස්නෙන් නැගිට වැඩිසේක.
“අත්තනාව අත්තානං” යන මෙහි යමෙක් සඞ්ඝයා විසින් උත්ක්‍ෂෙපණීය කර්මය කරණ ලද අධර්මවාදීන්ගේ පක්ෂයෙහි හුන්නේ, ‘තෙපි කුමක් කියවුදැ’යි ඔවුන්ගේද අන්‍යයන්ගේද ලබ්ධිය අසා ‘මොවුහු අධර්මවාදීහුය, අන්‍යයෝ ධර්මවාදීහුයයි සිත් උපදවාද, මෙතෙමේ ඔවුන්ගේ මද්ධ්යයෙහි හුන්නේම මොවුන්ට නානසංවාසකයෙක් වේ. කළකර්මය කොප්ය කෙරේ. අන්‍යයන්ගේද අත්පසට නොපැමිණි බැවින් කර්මය කොප්ය කෙරේ. මෙසේ තෙමේම තමන් නානාසංවාසකයෙකු කරයි. “සමානසංවාසකං” යන මෙහිද යමෙක් අධර්මවාදීන්ගේ පක්ෂයෙහි හුන්නේ ‘මේ භික්ෂූහු අධර්මවාදීහුය. අන්‍යයෝ ධර්මවාදීහුය’යි ඔවුන්ගේ මැදට පිවිසේද, යම් ඒ ධර්මවාදීන්ගේ හෝ අධර්මවාදීන්ගේ හෝ පක්ෂයෙක්හි හුන්නේ ‘මොවුහු ධර්මවාදීහුය’යි ගනීද, මෙතෙමේ, තෙමේම තමන් සමානසංවාසකයෙකු කෙරේය’යි දතයුතුය.
“කායකම්මං වචීකම්මං” යන මෙහි කයින් පහර දෙන්නාහු කායකර්මය පවත්වත් පරොස්බස් කියන්නාහු වාක්කර්ම පවත්වත්යි දතයුතුය. “හත්ථ පරාමාසං කරොන්ති” ක්‍රොධ වශයෙන් අතින් ඔවුනොවුන් පරාමර්ෂණය කරත් “අධම්මියමානෙ” අධාර්මික කෘත්‍යයන් කරන කල්හි “අසම්මොදිකා වත්තමානාය” නොසතුට පවත්නා කල්හි. මේ පාඨයම හෝවේ. “අසම්මො දනාකථාය අවත්තමානාය” නොසතුටුකථාව නොපවත්නා කල්හිය, යන අර්‍ත්‍ථයි. “එත්තාවතා න අඤ්ඤමඤ්ඤං” මෙහි පඞ්කති දෙකක්කොට උපචාරය මුදා හිඳිය යුතුය. ධාර්මික, කෘත්‍යය පවත්නා කල්හි සතුටුකථා පවත්නා කල්හි අසුනට අසුන අතර තබා හිඳිය යුතුය. එක් එක් අසුන අතරකොට හිඳිය යුතුය.