පබ්බජ්ජාකථා
“පුබ්බානුපුබ්බකානං” ප්රවෙණි වශයෙන් පැරණියන්ට පැරණිවූ යන අර්ත්ථයි. “තෙන ඛො පන සමයෙන එකසට්ඨි ලොකෙ අරහන්තො හොන්ති” පළමු සදෙනය. මේ පස් පනසයයි ඇතුළුවසදීම එක්සැටක් මිනිස් රහත්හු වූහ යන අර්ත්ථයි.
එහි යස ආදී කුලපුත්රයන්ගේ මේ මතු කියනු ලබන්නේ පූර්වප්රයෝගයයි: යටගිය දවස පස්පණස් දෙනෙක් යහලුව වර්ගබන්ධනයෙන් පින් කරණුවෝ පිහිටවන්නකු නැති සිරුරු ගණිමින් පිටතට ගෙනගොස් දවමින් හැසිරෙත්. ඔවුහු එක් දවසක් කලුරිය කළ දරුගැබ් සහිත ස්ත්රියක දැක දවන්නෙමු’යි සොහොනට ගෙන ගියහ. ඔවුන් අතුරෙහි පස් දෙනෙකු ‘තෙපි මේ ස්ත්රී ශරීරය දවාලවු’යි සොහොනෙහි නවතා තබා සෙස්සෝ ගමට පිවිසියහ. යස දාරක තෙමේ ඒ මළසිරුර විද පෙරළ පෙරළා දවාලනුයේ අශුභසංඥාව ලැබුයේය. හෙතෙමේ අනික් සිවුදෙනාහටද ‘පින්වත්නි’ මේ පිළිකුල් අශුචිය බලවු’යි දැක්වීය. ඔවුහුද එහි අශුභසංඥාව ලැබූහ. ඒ පස්දෙනද ගමට ගොස් සෙසු යහලුවන්ට දැන්වූහ. යස දාරක තෙමේ ගෙට ගොස් මවුපියන්ට හා අඹුවටද මෙය දැක්වීය. ඒ සියල්ලෝම අශුභ භාවනාව වැඩූහ. මේ මොවුන්ගේ පූර්වප්රයෝගයයි. එහෙයින් ආයුෂ්මත් යසහට නාටකජනයන් කෙරෙහිද සුසානසංඥාවම උපන. ඒ උපනිශ්රයසම්පත්තියෙන් සියල්ලන්ට විශේෂාධිගමය උපන්නේය.
“අථ ඛො භගවා භික්ඛු ආමන්තෙසි” හාග්යවතුන් වහන්සේ ඉල්මස මැදිපොහොය දක්වා බරණැස වැඩවසමින් එක්දවසක් ඒ රහත් සැටනමක් මහණුන් ඇමතූ සේක.
දෙවියෝ, දිව්යවිෂයයන්හි ලෝභය මලපුඩුකොට ඇත්තාහ. මනුෂ්යයෝ, මානුෂක විෂයයන්හි ලෝභය මලපුඩු කොට සිටියහ. “මා එකෙන ද්වෙ” එක් මගින් දෙදෙනෙක් නොයවු. “අස්සවණතා” නොඅසන බැවින් “පරිහායන්ති” අවබෝධ නොකරණ ලද්දක් අවබෝධ නොකරන්නාහු විශේෂාධිගමයෙන් පිරිහෙත්.
“අන්තකා” ලාමකහීන සත්ත්වයෝ “අන්තලික්ඛචරො” රාගපාශය සඳහා වදාරණ ලදය. හෙතෙමේ ඒවනාහි අහස හැසිරෙන්නෙකැයි දැන කීයේය.
“නානා දිසා නානා ජනපදා” නන් දෙසින්ද, නන් දනව්වෙන්ද, “අනුජානාමි භික්ඛවෙ තුම්හෙවදානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ” යනාදියෙහි ප්රව්රජ්යාපෙක්ෂක කුලපුත්රයා පැවිදි කරන්නහු විසින් ඉදිරියෙහි “න භික්ඛවෙ පඤ්චහි ආබාධෙහි ඵුට්ඨො පබ්බාජෙතබ්බා” යනු ආදිකොට, යම්තාක් “න අන්ධමූගබධිරො පබ්බාජෙතබ්බො”යි මෙසේ ප්රතික්ෂෙප කරණලද යම් පුද්ගලයෝ වෙත්ද, ඔවුන් හැර ප්රව්රජ්යාදොෂවිරහිත පුද්ගල තෙමේ පැවිදි කටයුත්තේය. ඒ පුද්ගල තෙමේද මවුපියන් විසින් අනුදන්නා ලද්දේමය. ඔහු පිළිබඳ අනුජානන ලක්ෂණය, “න භික්ඛවෙ අනනුඤ්ඤාතො මාතාපිතූහි පුත්තො පබ්බාජෙතබ්බො, යො පබ්බාජෙය්ය ආපත්ති දුක්කටස්ස” යන මේ සූත්රයෙහි වර්ණනා කරන්නෙමු.
මෙසේ මවුපියන් විසින් අනුදන්නාලද. පැවිදිදොස් රහිතයකු පැවිදි කරන්නහු විසින්ද, ඉදින් නොසිඳි කෙස් ඇත්තේවේද එක් සීමාවක්හිද, අන්ය භික්ෂූහු ඇත්තාහුද, කෙශච්ඡෙදය පිණිස භණ්ඩුකර්මය විචාළ යුතුය. ඒ පිළිබඳ විචාරණ ආකාරය “අනුජානාමි භික්ඛවෙ සඞ්ඝං අපලොකෙතුං භණ්ඩුකම්මාය” යන මෙහිදී වර්ණනා කරන්නෙමු. ඉඩ ඇත්තේ නම් තමන් විසින් පැවිදි කටයුතුය. උදෙසීම් පිළිවිසීම් ආදියෙහි ව්යවෘත වූයේ ඉඩ නොලබානම් එක් දහර මහණක්හට ‘මොහු පැවිදි කරවා’යි කියයුතුය. නොකියූයේ නමුදු ඒ දහර මහණතෙමේ උපාද්ධ්යායයා උදෙසා පැවිදි කෙරේනම් වරද නැත. ඉදින් දහර මහණෙක් නැත්තේද, හෙරණක්හට නමුදු මොහු ඛණ්ඩ සීමාවට ගෙණගොස් පැවිදිකොට කසටවත් හන්දවා එව’යි කියයුතුය. සරණය වනාහි තමන් විසින් දිය යුතුය. මෙසේ කළ කල්හි මහණහු විසින්ම පැවිදි කරණ ලද්දේ වේ. මහණුන්ගෙන් අන්යයෙක් පුරුෂයකු පැවිදි කරන්නට නොලබයි. මෙහෙණන්ගෙන් අන්යයෙක් මාගමක පැවිදි කිරීම නොලබයි. හෙරණෙක් හෝ හෙරණියක් හෝ ආණත්තියෙන් කසටවත් දීම ලබයි. හිසකෙස් බැම යම් කිසිවකු විසින් කරණ ලද්දේ මනාකොට කරණ ලද්දේම වේ.
ඉදින් භව්යරූප ඇත්තාවූ හෙතු සහිත වූ ප්රසිද්ධ වූ යශස් ඇති කුලපුත්රයෙක්වේද, හෙතෙමේ ඉඩ ගෙන තමන් විසින්ම පැවිදි කටයුතුය. ‘මැටිමිටක් ගෙන ස්නානයකොට කෙස් තෙමාගෙන එව’යි කියාද, නොහැරිය යුතුය. පැවිදිවනු කැමැත්තන්ට වනාහි පළමුකොට බලවත් උත්සාහයක් වේ. පසුව කසටවත්ද කෙස් සිඳින කරයද දැක බියට පැමිණෙත්, තැතිගනිත්. මෙපමණකින්ම පැනයෙත්, එහෙයින් තමන් විසින් නානතොටට පමුණුවා ඉතා ලදරුවෙක් නොවේනම්, ස්නානය කරව’යි කියයුතුය. මොහුගේ කෙස් තමන් විසින්ම මැටිගෙන සේදිය යුතුය. දහරකුමාර තෙමේ තමන් විසින් දියට බැස ගොමින් හා මැටියෙන් ගටා නෑවිය යුතුය. ඉදින් මොහුට කැසීම් හෝ පිළිකා හෝ වේද, මවුතොමෝ පුතුට යම්සේ පිළිකුල් නොකෙරේද, එපරිද්දෙන් පිළිකුල් නොකරන්නහු විසින් මනාකොට අත්පා හිස පටන් ගටගටා නෑවිය යුතුය. කුමක්හෙයින යත්: මෙපමණක්ම උපකාරයෙන් කුලපුත්රයෝ ආචාර්ය්යොපාද්ධ්යයයන් කෙරෙහිද ශාසනයෙහිද බලවත් ස්නේහ ඇත්තාහු, දැඩි ගෞරව ඇත්තාහු, නොනවතින සැහැවි ඇත්තාහු වෙත්. උපන් අනභිරතිය දුරුකොට තෙරබවට පැමිණෙත්. කෘතඥ කෘතවේදීහු වෙත්.