අපත්තකාදිවත්ථුකථා
“අපත්තකං -පෙ- හත්ථෙසු පිණ්ඩාය චරති” යම් පිණ්ඩයක අත්වලින් ලබාද, ඒ පිණිස හැසිරේ. “සෙය්යථාපි තිත්ථියා” ආජීවකනම්වූ තීර්ථකයෝ යම්සේද එසේ සූපබ්යඤ්ජනයන් හා මිශ්රකොට අත්හි තැබුවත්ම භික්ෂූහු අනුභව කරත්. “ආපත්ති දුක්කටස්ස” මෙසේ පාත්රය නැතියහු උපසපන් කරන්නහුටම ඇවැත් වේ. කර්මය වනාහි කොප්ය නොවේ. අචීවරතාදී වස්තූන්හිද මේ නයමවේ.
“යාචිතකෙන” යම්තාක් උපසම්පදා කරමුද, ඒතාක් දෙවු’යි ඉල්ලා ගන්නා ලද පාත්රයෙන් තාවකාලිකයෙන්ය යන අර්ත්ථයි. මෙබඳුවූ පාත්රය කරණකොට හෝ චීවරය කරණකොට හෝ, පාත්රචීවර කරණකොට හෝ උපසපන් කරන්නහුටම ඇවැත් වේ. කර්මය කොප්ය නොවේ. එහෙයින් පිරිපුන් පා සිවුරු ඇත්තේම උපසපන් කටයුතුය. ඉදින් ඒ උපසම්පදාපෙක්ෂකයාහට නැත්තේද, ආචාර්ය්ය උපාද්ධ්යායයෝ මොහුට දෙනු කැමැත්තාහු වෙත්ද, අන්ය භික්ෂූහු හෝ දෙනු කැමැත්තාහු වෙත්ද, අපෙක්ෂාරහිතවූ අන්ය භික්ෂූන් විසින් නිසදා ඉටීමට පොහොනා සිවුරු දියයුත්තේය. ප්රව්රජ්යාපෙක්ෂක පණ්ඩුපලාසයා ඉල්ලාගත් පාසිවුරු කරණකොට පැවිදි කිරීම වටියි. සභාගස්ථානයෙක්හි විශ්වාසයෙන් ගෙනද පැවිදි කිරීම වටියි.
ඉදින් නොපැසවූ පාත්රයද සිවුරට සුදුසු වස්ත්රද ගෙන ආයේ වේනම්, යම්තාක් පාත්රය පිසනු ලැබේද, සිවුරු කරත්ද, ඒතාක් විහාරයෙහි වසන්නහුට ඉඳුල්නොකළ පිණ්ඩපාතය දියයුතුය. තලියෙහි බුදීම වරද නොවේ. පෙරබත සාමණෙර කොටස සමානවූ ආමිසකොටසක් දිය යුතුය. සෙනසුන් ගැන්මද ලහබත්ද උදෙසූ බත්ද නිමන්තන බත් ආදියද නොවටියි. පසුබතද සාමණේර කොටස සමානවූ තෙලමධුඵාණිතාදි භෛෂද්යභාගයද දියයුතුය. ඉදින් පණ්ඩුපලාසයා ගිලනෙක් වේනම්, මොහුට බෙහෙත් කිරීම වටියි. හෙරණහුට මෙන් සියලු පිළිදැගුම්කම් කළයුතුය.
මාතුඝාතකාදිවත්ථු නිමි.
හත්ථච්ඡින්නාදිවත්ථුකථා
හස්තච්ඡින්නාදි වස්තූන්හි “හත්ථච්ඡින්නො” යමක්හුගේ අත්ලෙහි හෝ මැණික්කටුවෙහි හෝ වැලමිටෙහි හෝ යම්කිසි තැනක එක් අතක් හෝ දෙඅත හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. “පාදච්ඡින්නො” යමක්හුගේ පාඅග හෝ ගොප්මසෙහි හෝ කෙණ්ඩයෙහි හෝ යම්කිසි තැන එක්පයක් හෝ දෙපය හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. “හත්ථපාදච්ඡින්නො” යමක්හුගේ කියූලෙසින්ම සිවුඅත්පා අතුරෙහි දෙකක් හෝ තුනක් හෝ සියලුම අත්පා හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. “කණ්නච්ඡින්නො” යමක්හුගේ කන්මුල හෝ කන් හැකිල්ලෙහි හෝ එක් කනක් හෝ දෙකන හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. යමක්හුගේ කන් කොඩොල් ආදිය තැබීම පිණිස සිදුරු කළකල්හි සිඳෙත්ද, ගැටීමට හැක්කේද හෙතෙමේ කන් ගටා පැවිදි කටයුතුය. “නාසච්ඡින්නො” යමක්හුගේ එලුපාසටහන් ඇති පෙදෙසෙහි හෝ අඞ්ග හෝ එක් නාස්පුඩුවෙක හෝ යම්කිසි තැනක නාසය සිඳුනී වේද, යමහුගේ නාසය ගටන්ට හැක්කේද හෙතෙමේ එය පහසුකොට පැවිදි කටයුතුය. “කණ්ණනාසච්ඡින්නො” දෙදෙනහුගේ වසයෙන් දතයුතුය. “අඞ්ගුලිච්ඡින්නො” යමක්හුගේ වනාහි නියසේසයක් නොදක්වා එක් ඇඟිල්ලක් හෝ බොහෝ ඇඟිලි හෝ සිඳුනාහුවෙත්ද, හෙතෙමේය. යමක්හුගේ හූතැන් පමණ නමුදු නියසේසයක් පෙණේද, ඔහු පැවිදිකරන්නට හැක්කේය. “අලච්ඡින්නො” යමක්හුගේ සිවු මාපටැඟිලි කෙරෙහි ඇඟිල්ලෙහි කියූනයින්ම එකක් හෝ බොහෝ මාපට ඇඟිලි හෝ සිඳුනාවෙයිද, හෙතෙමේය. “කණ්ඩරච්ඡින්නො” යමක්හුගේ කණ්ඩර නම්වූ මහානහර ඉදිරියෙහි හෝ පස්සෙහි හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. යම් ඒ නහර අතුරෙහි එකකුදු සුන්බැවින් පාඅගින් හෝ සක්මන් කෙරේ. පාතබන්නට නොහැකිවේ.
“ඵණහත්ථකො” යමක්හුගේ වවුලු පියාපත් මෙන් එකට බැඳුනාහු වෙත්ද, හෙතෙමේය. මොහු පැවිදිකරනු කැමැත්තහු විසින් ඇඟිලි අතර පලා අතර වූ සියලු සම් පහකොට, පහසුකොට පැවිදි කටයුතුය. යමක්හුගේ අතෙහි ඇඟිලි සයක්වේද, ඔහු පැවිදි කරනු කැමැත්තහු විසින් වැඩි ඇඟිල්ල සිඳ පහසුකොට පැවිදි කටයුතුය.
“ඛුජ්ජො” යමෙක් තෙමේ උදරය හෝ පිට හෝ එක් පසක් හෝ ඉදිරියට නෙරාසිටි බැවින් කුදු සිරුර ඇත්තේවේද, හෙතෙමේය. යමක්හුගේ වනාහි කිසියම් කිසියම් අඟපසඟක් මඳක් වක්වේද, ඔහු පැවිදි කිරීම වරද නැත්තේය. මහාපුරුෂ තෙමේම බඹහුගේ මෙන් සෘජුවූ ශරීරාවයව ඇත්තේය. කුදුනොවූ සෙසු සත්ත්වයෙක් නම් නැත්තේය.
“වාමනො” කෙණ්ඩවලින් මිටිවූවෙක් හෝ කටියෙන් මිටිවූවෙක් හෝ එදෙකින් මිටිවූවෙක් හෝ වේ. කෙණ්ඩවලින් මිටිවූවහුගේ කටියෙහි පටන් යටසිරුර මිටිවේ. උඩසිරුර පරිපූර්ණ වේ. කටියෙන් මිටිවූවහුගේ උඩසිරුර මිටිවේ. යටසිරුර පරිපූර්ණ වේ. කෙණ්ඩාවලින් හා කටියෙන් මිටිවුවහුගේ උඩයටි සිරුරදෙකම මිටිවේ. යම් කෙනෙකුන්ගේ මිටි බැවින් භූතයන්ගේ මෙන් හාත්පසින් වටවූ මහත්කුසක් ඇති කළගෙඩියක් සමානවූ ආත්මභාවයෙක් වේද, තෙවැදෑරුම්වූම ඔහු පැවිදි නොකළ යුතුය.
“ගලගණ්ඩි” යමක්හුගේ බෙල්ලෙහි කොමඩුවක් මෙන් ගණ්ඩයක්වේද, හෙතෙමේය. මෙද දෙශනා මාත්රයෙක්මය. යම්කිසි සිරුරු පෙදෙසක ගණ්ඩයක් ඇති කල්හි පැවිදි නොකටයුතුය. එහි විනිශ්චය, “න භික්ඛවෙ පඤ්චහි ආබාධෙහි ඵුට්ඨො පබ්බාජෙතබ්බො” යන මෙහි කියූ නයින්ම දතයුතුය. ලක්ඛණාහත කසාහත ලිඛිතකයන් කෙරෙහි යමක් කියයුතුනම් එය “න භික්ඛවෙ ලක්ඛණාහතො” යනාදියෙහි කියන ලද්දේමය.
“සිපදී” බරවාපය ඇතියේ කියනු ලැබේ. යමක්හුගේ පාදය මහත්වේද, හටගත් පිළිකා ඇත්තේද, රළුවේද, හෙතෙමේ පැවිදි නොකටයුතුය. යමක්හුගේ මහත්පාදය, ඒතාක් රළුබව නොගණීද වහන්බැඳ මලානික කරන්නට හැක්කේද, දියවළෙක බහා දියෙන් හා වැලියෙන් පුරවා යම්සේ නහරපෙණේද, කෙණ්ඩද තෙල්නළක් මෙන්වේද, මෙසේ මලානික කරන්නට හැක්කේද, ඔහුගේ පාදය මෙබඳුකොට පැවිදිකරන්නට හැකිය. ඉදින් නැවත වැඩේනම් උපසම්පදා කරන්නන් විසින්ද එසේ කොටම උපසපන් කටයුතුය.
“පාපරොගී” අරිසස් භගන්දර පිත්තසෙම්හොකාසසොසොදීන් අතුරෙහි යම්කිසි රෝගයකින් නිත්යාතුරවූයේද, පිළියම් නොකටහැකි රෝග ඇත්තේවේද, පිළිකුල් කටයුත්තේද, මනවඩන්නෙක් නොමවේද, මෙතෙමේ පැවිදි නොකටයුතුය.
“පරිසදූසකො” යමෙක්තෙමේ තමන්ගේ විරූපත්වයෙන් පිරිස දුෂිත කෙරේද හෙතෙමේය. ඉතාදිග්වූයේ හෝ වේ. අන්යයන්ගේ හිස පමණ නැබ පෙදෙස ඇත්තේය. කෙණ්ඩාවලින් හා කටියෙන් මිටිවූ භූතරූපයක් මෙන් ඉතා මිටි හෝවේ. දවන ලද කෙතක කණුවක් මෙන් ඉතා කලු හෝවේ. දී-මෝරු ආදියෙන් මදිනලද මටවූ තඹලොහ පැහැ ඇත්තේ ඉතා සුදුපැහැ ඇත්තේ හෝ වේ. මදවූ මස්-ලේ ඇති ඇට නහර සමින් යුත් සිරුරු ඇතියකු මෙන් ඉතා ක්රැශවූයේ හෝ වේ. එල්බෙන මස් ඇතියේ ඉතා තරවූයේ හෝ වේ. මහාභූතයකු සමාන වූයේ මහත් උදර ඇත්තේ හෝ වේ. පැසක් හිසෙහි කොටසිටියකු මෙන් ඉතාමත් හිස ඇත්තේ හෝ වේ. ඉතා කුඩා හිස ඇත්තේ හෝ සිරුරට නොසුදුසුවූ ඉතා කුඩා හිසින් යුක්තවූයේ වේ. තල්ගෙඩිවල්ලක් සමාන වූ හිසින් යුක්තවූයේ කුළුහිස් ඇත්තේ හෝ වේ. උඩට පිළිවෙළින් තුනීවූ හිසින් යුක්තවූයේ කඳුමුදුනක් වැනි හිස් ඇත්තේ හෝ වේ. මහත් හුණපුරකක් සමානවූ හිසින් යුක්ත වූ හෝ නැළිහිස් ඇත්තේ හෝ වේ. චතුර්විධ පාර්ශවයන් අතුරෙහි යම්කිසි පාර්ශවයකින් නැමුනු හිසින් යුක්තවූයේ බෙදුනු හිස් ඇත්තේ හෝ, ඉදිරියට නෙරූ හිස් ඇත්තේ හෝ වේ. වණහිස් ඇත්තේ හෝ කුණුහිස් ඇත්තේ හෝ පණුවන් විසින් කන ලද කුඹුරෙහි සස්ය සමානව ඒ ඒ තැන නැගි කෙස්වලින් යුක්තවූයේ කර්ණකශීර්ෂ ඇත්තේ හෝ වේ. ලොම් නැති හිස් ඇත්තේ හෝ තල්ඉරටු සමාන කෙසින් යුක්තවූයේ දළ තදකෙස් ඇත්තේ හෝ වේ. උපතින් පැසුනු සුදු කෙස් ඇත්තේ හෝ වේ. ඇවිලගත්තක් වැනි කෙසින් යුක්ත වූයේ, ප්රකෘතියෙන් තඹවන් කෙස් ඇත්තේ හෝ වේ. ගෙරින්ගේ සිරුරෙහි සුළි සමාන වූ උඩබැලු අග් ඇති කෙස් සුළිවලින් යුක්තවූයේ ආවර්තශීර්ෂ ඇත්තේ හෝ වේ. දැලින් බැඳුනක් වැනි නළලින් යුක්ත වූයේ එකට බැඳුනු බැමලොම් ඇත්තේ හෝ වේ.