සද්ධිවිහාරිකවත්තකථා
උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයා කෙරෙහි මනා පැවැත්මෙහි “සංගහෙතබ්බො අනුග්ගහෙතබ්බො” උපදෙස්දීම් ආදියෙන් මේ සද්ධිවිහාරිකයාහට සඞ්ග්‍රහයට අනුග්‍රහයද කටයුතුය. “සඞ්ගහෙතබ්බො අනුග්ගහෙතබ්බො” යනාදිතන්හි අනාදරය නිසා ධර්‍මාමිෂයෙන් සද්ධිවිහාරිකයන්හට සඞ්ග්‍රහ නොකරන ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයන්හට වත්බිඳීමෙහි දුක්කටය කියන ලදී. එහි උද්දෙසනම්, පෙළකියවීමය. පරිපුච්ඡා නම් පෙළෙහි අරුත් වැණීමය. ඔවාදනම්, වස්තුව නොබටකල්හි ‘මේ කරව, මෙය නොකරව’යි කීමය. අනුසාසනී නම් වස්තුව බටකල්හි, තවද බටකල්හි හෝ නොබටකල්හි හෝ පළමුකොට කීම අවවාද නම්. නැවත නැවත කීම අනුසාසනී නම්. “සචෙ උපජ්ඣායස්ස පත්තො හොති” ඉදින් වැඩිපාත්‍රයක් වේනම්, සද්ධිවිහාරිකයාහට පාත්‍රයක් නැත්තේද උපාද්ධ්‍යායයාහට වැඩිපාත්‍රයක් වේද ඒ පාත්‍රය සද්ධිවිහාරිකයාහට දියයුතුයයි දන්නේය. සියලු තන්හි මේනයවේ. “පරික්‍ඛාරො” අනිකුදු මහණපිරිකර. උපාද්ධ්‍යායයාහට අන් මහණ පිරිකරක්වේද, සද්ධිවිහාරිකයාහට නැත්තේනම් උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාහට දියයුතුයයි කීයේය. මෙහි සද්ධිවිහාරිකයාගේ පිරිකර සැපයීම් ආදියෙහි උත්සාහය නම්, ධාර්මික නයින් උපදින උපාය සෙවීමය. මෙයින් මතුවෙහි දැහැටිදීම් ආදීකොට වැසිකිළි දියබඳුනෙහි දියවත් කිරීම කෙළවරකොට ඇතිවත්, ගිලන්වූම සද්ධිවිහාරිකයාහට කටයුතුය. අනභිරති සංසිඳවීම් ආදිය වනාහි නොගිලන් සද්ධිවිහාරිකයාහටද කටයුතුමය. “චීවරං රජන්තෙන” ‘මෙසේ රඳන් කරව’යි උපාද්ධ්‍යායයාගෙන් උපාය අසා රඳන් කරන්නහු විසින් සෙස්ස කියූනයින්ම දතයුතුය.
සද්ධිවිහාරිකවත්තකථා නිමි.
නසම්මාවත්තනාදිකථා
“න සම්මා වත්තන්ති” පැණවූ පරිදි උපාද්ධ්‍යායවත නොපුරත්. “යො න සම්මා වත්තෙය්‍ය” යමෙක් තෙමේ පැණවූ පරිදිවත් නොපුරන්නේනම්, හෙතෙමේ දුක්කටයට පැමිණේය, යන අර්‍ත්‍ථයි. “පනාමෙතබ්බො” පැණවූ පරිදි උපාද්ධ්‍යායවත් නොපුරණ සද්ධිවිහාරික තෙමේ පහකට යුත්තේය. “න අධිමත්තං පෙමං හොති” උපාද්ධ්‍යායයා කෙරෙහි අධිකමාත්‍ර වූ ගෘහනිශ්‍රිත ප්‍රේමයක් නොවේද. “නාධිමත්තා භාවනා හොති” අධිකමාත්‍ර වූ මෛත්‍රීභාවනාව නොවේද, කියන ලද්දට ප්‍රතිපක්‍ෂ වශයෙන් ශුක්ල පක්‍ෂය දතයුත්තේය. “අලං පනාමෙතුං” බැහැර කරන්නට සුදුසුය.
“අපනාමෙන්තො උපජ්ඣායො සාතිසාරො හොති” අධිකමාත්‍ර ප්‍රේමය, අධිකමාත්‍ර ප්‍රසාදය, අධිකමාත්‍ර ලජ්ජාව, අධිකමාත්‍ර ගෞරවය, අධිකමාත්‍ර භාවනාව, නැති සද්ධිවිහාරිකයා පහනොකරන උපාද්ධ්‍යාය තෙමේ දොස් සහිත වේ. ඇවැතට පැමිණේ. එහෙයින් නොමනාව පවත්නේ පහකට යුත්තේමය. නොමනාව පැවැත්මෙහිද, සිවුරු රඳන් ගැන්වීම යම්තාක්ද, ඒතාක්වත් නොකරන කල්හි උපාද්ධ්‍යායයාහට පිරිහීම වේ. එහෙයින් ඒ නොකරන නිසෙන් මිදුනහුටද නොමිදුනහුටද ඇවැත්මය. ඇතැම් එකක්හට හෙවත් උපාද්ධ්‍යායයාහට අනභිවෘද්ධිය කැමැත්තහුට පාත්‍රය දීමෙහි පටන් නිසමුක්ත නොවූවහුටම ඇවැත් වේ.
සද්ධිවිහාරිකයෝ පැණවූ පරිදි මනාව පවතිත්. උපාද්ධ්‍යායතෙමේ මනාව නොපවතී. උපාද්ධ්‍යායයාහට ඇවැත් වේ. උපාද්ධ්‍යායතෙමේ මනාව පවතී. සද්ධිවිහාරිකයෝ මනාව නොපවතිත්. ඔවුන්ට ඇවැත් වේ. උපාද්ධ්‍යයයා සද්ධිවිහාරික වත ඉවසන කල්හි සද්ධිවිහාරිකයෝ බොහෝවෙත්ද සියල්ලන්ට ඇවැත් වේ. ඉදින් උපාද්ධ්‍යාය තෙමේ ‘මට උපස්ථායකයෙක් ඇත්තේය, තෙපි තම තමන්ගේ සජ්ඣායන මනසිකාරාදියෙහි යෙදීම කරවු’යි කියානම් සද්ධිවිහාරිකයන්ට ඇවැත් නොවේ. උපාද්ධ්‍යායතෙමේ ඉවසීම හෝ නොඉවසීම හෝ නොදනීද, බාලවේද, සද්ධිවිහාරිකයෝ බොහෝවෙත්ද, ඔවුන් අතුරෙහි එක් වත්තසම්පන්න මහණෙක් තෙමේ ‘උපාද්ධ්‍යායයාගේ කිස මම කරන්නෙමි තෙපි උත්සාහ රහිතව වසවු’යි මෙසේ තමාට භාරකොට අන්‍යයන් හරීනම් ඔහුට භාර කිරීමෙහි පටන් ඔවුන්ට ඇවැත් නොවේ.
න සම්මාවත්තනාදිකථා නිමි.
රාධබ්රාහ්මණවත්ථුකථා
රාධබ්‍රාහ්මණ වස්තුවෙහි - ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් බාරාණසියෙහිදී අනුදන්නාලද ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව දන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඒ ලඝුවූ උපසම්පදාව ප්‍රතික්‍ෂෙපකොට ඤත්තිචතුත්‍ථ කර්‍මයෙන් ගරුකොට උපසම්පදාව අනුදැනීම කැමැතිවූ සේක. එකල්හි ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන ‘ස්වාමීනි’ මම කෙසේ ඒ බමුණු පැවිදි කරම්ද, උපසපන් කරම්දැ’යි විචාළේය. බුදුරජුන්ගේ පිරිස්හු අදහස් දැනීමෙහි දක්‍ෂවෙත්. ඒ ශාරීපුත්‍ර ස්ථවිරතෙමේද, බුදුපිරිසෙහි අග්‍රවේ.