9. තොදෙය්ය මාණවක පෘච්ඡා වර්ණනා
යස්මිං කාමා යනු තොදෙය්ය සූත්රයයි. එහි විමොක්ඛා තස්ස කීදිසො මෙබඳු කෙනෙකුගේ මැනවින් මිදීම කෙබඳු අයුරින් බලාපොරොත්තු විය යුතුදැයි අසයි. මීළඟට භාග්යවතුන් වහන්සේ ඔහුට (ඔහු අදහස් කළ මිදීම නොව) වෙනත් මිදීමක්, නිදහසක් ගැන දෙවන ගාථාවෙන් කීහ. විමොක්ඛා තස්ස නාපරො ඔහුට වෙනත් මිදීමක් නැත.
මෙසේ ‘තණ්හාව නැති කිරීම මිදීම’ යැයි කීවත්, ඒ කරුණ නොසලකා ‘ඒ තැනැත්තාට ආසා නැත්ද, නැතිනම් යම් දෙයකට බලාපොරොත්තු නැත්දැයි නැවත විචාරයි. උද පඤ්ඤකප්පී නැතහොත්, සමවත් නුවණ ආදියෙන් තණ්හා හැඟීම්, දැකීම් හෙවත් මතවාද මගින් ගොඩනගා ගන්නා සංකල්පවලින් (වෙලී) සිත සිතා සිටීද? එවිට භාග්යවතුන් වහන්සේ එය පැහැදිලි කරමින් දෙවන ගාථාව වදාළහ. එහි කාමභවෙ කාමයෙහිද භවයෙහිද ඉතිරි කරුණු පැහැදිලිය.
මෙම සූත්රයද භාග්යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දෙසූහ. දේසනය අවසානයෙහි පිරිස පෙර කී පරිදි දහම් අවබෝධ කළේය.
තොදෙය්ය සූත්ර විස්තරය නිමි.
10. කප්පමාණවක පෘච්ඡා වර්ණනා
මජ්ඣෙ සරස්මිං යනු කප්ප සූත්රයයි. එම ගාථාවේ මජ්ඣෙ සරස්මිං මුල, අවසන් කෙළවර නොපෙනෙන මැද කොටසක් ලෙස සසර යැයි කියන ලදී. තිට්ඨතං සිටිනු ලබන, යථයිදං නාපරං සියා යම් සේ මේ දුක නැවත ඇති නොවන්නේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එම කරුණු පැහැදිලි කරමින් ගාථා තුනක් වදාළහ. අකිඤ්චනං සතුරුවන කිසිවක් නැති, (කෙලෙස් රහිත) අනාදානං අල්ලා ගැනීම හෙවත් තණ්හාවෙන් ඉවත්වුණු, තණ්හාවෙන් කිසිවක් නොගැනීමෙන් සැනසුනු බව කියන ලදී. අනාපරං මීට සමාන වෙනත් රැකවරණ සහිත තැනක් (දිවයිනක්) නැත. (එය) උසස් යැයි ද කියන ලදී. න තෙ මාරස්ස පද්ධගූ ඔව්හු මාරයාගේ පා සෙවනෙහි හැසිරෙන, මාරයා පිරිවරා ඇති සිසුවෝ නොවෙති. (මාර වසඟයට පත් වූවෝ නොවෙති.) ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.
අරහත් බව කුළුගන්වා මෙම දේසනයද භාග්යවතුන් වහන්සේ වදාළහ. දේසනය අවසානයේ පෙර සඳහන් වූවාක් මෙන් බොහෝ පිරිසක් දහම් අවබෝධය ලැබීය.
කප්ප සූත්ර විස්තරය නිමි.
11. ජතුකණ්ණීමාණවක පෘච්ඡා වර්ණනා
සුත්වාන හං යනු ජතුකණ්ණ සූත්රයයි. සුත්වාන හං විරමකාමකාමී මම ඒ භාග්යවතුන් වහන්සේ, මේ ගුණවලින් යුතු, කාමයන් නොකැමති, වීරවත් වූ, කාමයන් අත්හළ බව අසා, අකාමමාගමං කාමරහිත වූ භාග්යවතුන් වහන්සේගෙන් ඇසීමට පැමිණියෙමි. සහජනෙත්ත නුවණැස පහළවීමත් සමගම සියල්ල දන්නා, යථාවබෝධය ලද, යථා තච්ඡං ඇති සැටියෙන්, බ්රෑහි මෙ නැවත කියාදෙන ලෙස ඉල්ලමින්, ඉල්ලා සිටින්නේ නම් (තථාගතයන් වහන්සේ) දහස් වරක් වුවත් කියන්නාහ. දෙවරක් ඉල්ලීම ගැන කියනුම කවරේද? තෙජී තෙජසා තේජසින් යුතු, අභිභුය්ය, යම්හං විජඤ්ඤං ජාති ජරාය ඉධ විප්පහාණං මම ඉපදීම - ජරාවට පත්වීම නැතිකිරීමට හේතුවන කරුණු මෙතැනදීම දැනගන්නෙමි.
එවිට භාග්යවතුන් වහන්සේ ගාථා තුනකින් ඒ කරුණු පැහැදිලි කළහ. නෙක්ඛම්මෙ දට්ඨුං ඛෙමතො නිවනද, නිවනට මග පිලිවෙත ද ‘බිය රහිත’ යැයි දැක, උග්ගහිතං තණ්හා දිට්ඨි ලෙසින් දැඩිව ගන්නා ලද නිරත්තං වා ඉවත් කළයුතු, අත්හළ යුතු යැයි කියන ලදී. මා තෙ විජ්ජිත්ථ ඔබට නොවේවා! කිඤ්චනං රාගාදී අවහිරතා ඔබට නොවේවා! පුබ්බෙ අතීතයේ කළ කී දේ අනුව හටගන්නා කෙලෙස්, බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ ඡතුකණ්ණි අමතති. ඉතිරි කරුණු පැහැදිලිය.
මෙම සූත්රයද භාග්යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දෙසූහ. පෙර පරිදිම දේසනය අවසන බොහෝ දෙනාට දහම් අවබෝධ විය.
ජතුකණ්ණි සූත්ර විස්තරය නිමි.
12. භද්රාවුධමානවක පෘච්ඡා වර්ණනා
ඔකං ජහං යනු භද්රාවුධ සූත්රයයි. ඔකං ජහං ගිහිගෙයි ආසාව දුරලූ, තණ්හච්ඡිදං සිරුර හා බැඳි සය ආකාර තණ්හාව නසන ලද, අනෙජං ලෝ දහමෙහි කම්පා නොවන, නන්දිං ජහං අනාගතයෙහි රූප ආදී බලාපොරොත්තු හැර දැමූ, තණ්හාව නම් වූ එකම කරුණ ගැන (තථාගතයන් වහන්සේ විසින් පැවසීම) අගය කිරීමේ අදහසින් මෙසේ නොඑක් ආකාරයෙන් පවසන ලදී. කප්පං ජහං තණ්හා දිට්ඨි කල්පනා දුරලන ලද, අභියා චෙති වෙසෙසින් අයදිමි. සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො අති උතුම් වූ භාග්යවතුන් වහන්ස, ඔබවහන්සේගේ මේ පාසාණක චෙතිය (පෙදෙසින්) බොහෝ ජනයා පැමිණෙතැයි අදහස් වේ. ජනපදෙහි සංගතා අංග ආදී ජනපදවලින් මෙහි රැස්වූ, වියාකරොහි දහම් දෙසනු මැනවි.