11. ජතුකණ්ණීමාණවක පෘච්ඡා වර්ණනා
සුත්වාන හං යනු ජතුකණ්ණ සූත්රයයි. සුත්වාන හං විරමකාමකාමී මම ඒ භාග්යවතුන් වහන්සේ, මේ ගුණවලින් යුතු, කාමයන් නොකැමති, වීරවත් වූ, කාමයන් අත්හළ බව අසා, අකාමමාගමං කාමරහිත වූ භාග්යවතුන් වහන්සේගෙන් ඇසීමට පැමිණියෙමි. සහජනෙත්ත නුවණැස පහළවීමත් සමගම සියල්ල දන්නා, යථාවබෝධය ලද, යථා තච්ඡං ඇති සැටියෙන්, බ්රෑහි මෙ නැවත කියාදෙන ලෙස ඉල්ලමින්, ඉල්ලා සිටින්නේ නම් (තථාගතයන් වහන්සේ) දහස් වරක් වුවත් කියන්නාහ. දෙවරක් ඉල්ලීම ගැන කියනුම කවරේද? තෙජී තෙජසා තේජසින් යුතු, අභිභුය්ය, යම්හං විජඤ්ඤං ජාති ජරාය ඉධ විප්පහාණං මම ඉපදීම - ජරාවට පත්වීම නැතිකිරීමට හේතුවන කරුණු මෙතැනදීම දැනගන්නෙමි.
එවිට භාග්යවතුන් වහන්සේ ගාථා තුනකින් ඒ කරුණු පැහැදිලි කළහ. නෙක්ඛම්මෙ දට්ඨුං ඛෙමතො නිවනද, නිවනට මග පිලිවෙත ද ‘බිය රහිත’ යැයි දැක, උග්ගහිතං තණ්හා දිට්ඨි ලෙසින් දැඩිව ගන්නා ලද නිරත්තං වා ඉවත් කළයුතු, අත්හළ යුතු යැයි කියන ලදී. මා තෙ විජ්ජිත්ථ ඔබට නොවේවා! කිඤ්චනං රාගාදී අවහිරතා ඔබට නොවේවා! පුබ්බෙ අතීතයේ කළ කී දේ අනුව හටගන්නා කෙලෙස්, බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ ඡතුකණ්ණි අමතති. ඉතිරි කරුණු පැහැදිලිය.
මෙම සූත්රයද භාග්යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දෙසූහ. පෙර පරිදිම දේසනය අවසන බොහෝ දෙනාට දහම් අවබෝධ විය.
ජතුකණ්ණි සූත්ර විස්තරය නිමි.
12. භද්රාවුධමානවක පෘච්ඡා වර්ණනා
ඔකං ජහං යනු භද්රාවුධ සූත්රයයි. ඔකං ජහං ගිහිගෙයි ආසාව දුරලූ, තණ්හච්ඡිදං සිරුර හා බැඳි සය ආකාර තණ්හාව නසන ලද, අනෙජං ලෝ දහමෙහි කම්පා නොවන, නන්දිං ජහං අනාගතයෙහි රූප ආදී බලාපොරොත්තු හැර දැමූ, තණ්හාව නම් වූ එකම කරුණ ගැන (තථාගතයන් වහන්සේ විසින් පැවසීම) අගය කිරීමේ අදහසින් මෙසේ නොඑක් ආකාරයෙන් පවසන ලදී. කප්පං ජහං තණ්හා දිට්ඨි කල්පනා දුරලන ලද, අභියා චෙති වෙසෙසින් අයදිමි. සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො අති උතුම් වූ භාග්යවතුන් වහන්ස, ඔබවහන්සේගේ මේ පාසාණක චෙතිය (පෙදෙසින්) බොහෝ ජනයා පැමිණෙතැයි අදහස් වේ. ජනපදෙහි සංගතා අංග ආදී ජනපදවලින් මෙහි රැස්වූ, වියාකරොහි දහම් දෙසනු මැනවි.
එවිට භාග්යවතුන් වහන්සේ ඔහුගේ සිතට ගැලපෙන පරිදි ගාථා දෙකකින් දහම් දෙසූහ. ආදාන තණ්හං සිතෙහි රූපාදිය රඳවා ගැනීමේ ආසාවෙන්, තණ්හා උපාදානය හෙවත් ආසාවෙහි දැඩිව අල්වාගැනීම ගැන කියන ලදී. යං යං හි ලොකස්මිං උපාදියන්ති පෙරදීත්, මතුවටත් අගය කොට, ආසා කොට සිත රඳවා ගන්නා දේ, තෙනෙව මාරො ජන්තුං ඒවා දැඩිකොට ගැනීමෙන්ම, කරන කියන කටයුතුවල, හටගනු ලබන - එක්රැස්වන පල විපාක අනුව (සසර) පිළිසිඳ ගැනෙන (රූප වේදනාදි) පස්කඳ නම් වූ මාරයා සත්වග අනුව යයි.
තස්මා පජානං එහෙයින් ආදීනව අනිස ලෙසින් හෝ සසර බැඳීම් ලෙස හෝ දැනගැනීමෙන්, ආදාන සත්තෙ ඉති පෙක්ඛමානො පජං ඉමං මච්චුධෙය්යෙ විසත්තං ‘අල්ලා ගත යුතුය’ යන අරුත දනවන රූප ආදී එබඳු දෙයෙහි, මේ ලොව සියළු දෙනාම මාරයාගේ බලපෑම බලා සිටිමින්, එසේ ඒවා දැඩිව ගන්නා ලද සතුන් හෝ, එසේ දැඩිව අල්ලා ගැනීමෙන්, ඊට වසඟව වෙලුනු පුද්ගලයකු හෝ, එසේ දැඩිව ගැනීම නිසා මේ මිනිස් කැලම මරණයෙහි වසඟයට පත්ව - එයින් ඉවත්ව යාමට - ගැලවී යාමට නොහැකි යයි සිතා, කිඤ්චනං සබ්බලොකෙ න උපාදියෙථ ඉතිරි කරුණු පැහැදිලිය.
මෙම සූත්රයද භාග්යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වා දේසනා කළහ. දේසනය අවසානයෙහි පෙර කී පරිදිම බොහෝදෙනා දහම් අවබෝධය ලැබීය.
භද්රාවුධ සූත්ර විස්තරය නිමි.
13. උදයමාණවක පෘච්ඡා වර්ණනා
ඣායී යනු උදය සූත්රයයි. එහි අඤ්ඤවිමොක්ඛං නුවණ බලයෙන් වැටහෙන පරිදි මිදීම-නිදහස ගැන විමසයි. උදය බමුණා සිවුවන දැහැන් ලැබූවෙකු බැවින් ඔහු ලද එම දැහැනට අනුව, නොයෙක් ආකාරයෙන් මිදීම දැනගැනීම පිළිබඳව භාග්යවතුන් වහන්සේ ගාථා දෙකක් වදාළහ. පහාණං කාමච්ඡන්දානං මෙසේ පළමු දැහැන උපදවා ගනු ලබන තැනැත්තා කාමච්ඡන්දය දුරු කරයි. ඒ අනුව අඤ්ඤා විමොක්ඛං පබ්රෑමි මෙසේ සියළුම පදවලට යෙදිය යුතුය.
උපෙක්ඛාසති සංසුද්ධං සිවුවන දැහැනෙහි මැදිහත් බව හා සිහියෙන් මනා පිරිසිදු වූ, ධම්මතක්ක පුරෙජවං මෙයින් ඒ සිවුවන දැහැන් මිදීමෙහි සිට දැහැන්වල ඇතුලත් ඒ ඒ අංග පිළිබඳව විදසුන් වඩා ලබන ලද අරහත් බව (හෙවත් සියළු කෙලෙසුන්ගෙන් මිදීම) සඳහා කියයි. අරහත් වූ විමුක්තියට (අයත්) අරිඅටැඟි මගෙහි යහපත්, නිවැරදි කල්පනා ලෙසින් දහම් විමසා බැලීමට ඉදිරියට ගෙන යයි. එහෙයින් ධම්මතක්ක පුරෙජවං ධර්ම තර්ක සංඛ්යාත සම්යක් සංකල්පය පෙරටුකොට යැයි කීහ. අවිජ්ජාය පභෙදනං ඒ අඤ්ඤවිමොක්ඛ හෙවත් අරහත් බව - අවිජ්ජාව බිඳ දමන ලදුව නිවන නිසා හටගත් බැවින් ඒ කරුණු අනුව එසේ කියා ඇත.
‘අවිජ්ජා’ බිඳ දැමීමෙන් යන වචනයෙන් කියන ලද නිවන අසා ‘ඒ කිනම් දෙයක දුරු කිරීමෙන් වේදැ’යි ‘කිංසු සංයොජනො’ යන ගාථාව වදාළහ. කිංසු සංයොජනො සසර බැඳ තබන බැඳීම් කවරේද? විචාරණං විවරණ කරුණු කිස්සස්ස විප්පහාණෙන කෙබඳු දෙයක් නැති කිරීමෙන්, ඉක්බිති භාග්යවතුන් වහන්සේ ‘නන්දි සංයොජන’ ගාථාවෙන් එය පැහැදිලි කළහ. එහි විතක්කස්ස කාමසිතිවිලි ආදිය ඔහුට ඇතිවෙයි.