එහි දූරංගමං යනු සිතෙන් මකුළුනූලක දෙයක් හෝ පෙරදිග ආදි දිසාභාගවලට යෑමක් නැත. කෙතෙක් දුරක වුවද තිබෙන අරමුණු දැනගනී යන අරුතින් දූරංගම නම් වෙයි. සිත් හත අටක් කැණිමඩක පරාල මෙන් පොකුරට එක් ක්ෂණයක උපදින්නට සමාර්ථ නැත. උපදින විට එකම සිතක් උපදී. එය නිරුද්ධ වූ පසු නැවත එකක් නැවත එකක් ලෙස උපදී. එහෙයින් ඒකවර නම් විය. සිතට ශරීර සටහනක් හෝ නීලාදි වශයෙන් වර්ණ භේදයක් හෝ නැතැයි අසරීර නම් විය. ගුහානම් චාතුර්මහාභූත ගුහාවෝයි. මේ සිතද හෘදයරූපය ඇසුරු කොට පවත්නා හෙයින් ගුහාසය යන නම ලැබීය. යෙ චිත්තං යනු යම් කිසි පුරුෂයෝ හෝ ස්ත්‍රීහු හෝ ගිහියෝ හෝ පැවිද්දෝ හෝ නූපන් කෙලෙස්වලට උපදින්ට නොදෙමින් සිහියෙන් උපන් කෙලෙස් හැරදමන්නාහු වෙත් නම් චිත්තං සඤ්ඤමෙස්සන්ති සංයතං අවික්ඛිත්තං කරිස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනාති, යනු ඒ සියලු ක්ලේශයන්ගේ අභාවයෙන් මාරබන්ධන සංඛ්‍යාත ත්‍රිභූමක සංසාර පැවැත්මෙන් මිදෙන්නෝ වෙත්.
දේශනා කෙළවර භාගිනෙය්‍යසංඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටියහ. තවත් බොහෝ අය සෝවාන් ආදි මගඵලවලට පැමිණියහ. මහාජනයාට එම දේශනාව සාර්ථක විය.
සිව්වන භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්ගේ වස්තුවයි.
6-7. චිත්තහත්ථ තෙරුන්ගේ වස්තුව
අනවට්ඨිත චිත්තස්ස ආදි මේ දේශනාව බුදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි චිත්තහත්ථ නම් තෙරනමක් අරභයා දේශනා කරන ලද්දකි.
සැවැත්වාසී එක් කුලපුත්‍රයෙක් නැති වූ ගොනෙක් සොයමින් වනයට ගොස් මද්දහන්වේලාවේ ගොනා දැක ගවරැළ නිසි තැනට පමුණුවා ආර්යයන් වහන්සේලා ළඟින් ආහාර ටිකක් ලබාගනිමියි සිතා බඩසයින් පීඩිත හෙයින් විහාරයට ගොස් භික්ෂූන් ළඟ සිට වැඳ එක්පසෙක සිටියේය.
එකල වනාහි භික්ෂූන්ගේ (අවක්කාරපාති) වළඳා ඉතිරිවන කොටස් දමන භාජනවල බත් ඇත. භික්ෂූහු ඒ ආහාර බඩසයින් පෙළෙනවුන් දැක මෙයින් බත් ගෙන කවයි කීහ. බුද්ධකාලයෙහි නොයෙක් සුපව්‍යංජන සහිතව බත් ලැබුණේය. හෙතෙම එයින් තමන් යැපෙන පමණක් රැගෙන අනුභව කොට වතුර බී අත් සෝදාගෙන භික්ෂූන් වැඳ ස්වාමීනි, අද ආර්යයන්වහන්සේලා ආරාධනා කළ දානයකට වැඩියාහුදැයි ඇසීය. උපාසකය නැත. භික්ෂූහු මේ ආකාරයෙන් හැමදාම දානය ලබත්යයි ප්‍රකාශ කළහ. හෙතෙම, අපි නැගිට උත්සාහයෙන් රෑදාවල් නිතර වැඩ කළත් මෙවැනි මිහිරි ව්‍යංජන සමග බත් නොලබමු. මේ භික්ෂූහු මෙබඳු බතක් වළඳති. මට මේ ගිහිකමෙන් පලක් නැත. භික්‍ෂුවක් වන්නෙමියි සිතා, භික්ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලා සිටියේය. පසුව භික්ෂූහු යහපත උපාසකයයි පැවිදි කළාහුය.
හෙතෙම බුදුන්ට උපන් ලාභසත්කාරයෙන් කිහිප දිනකින්ම ස්ථුල සිරුරක් ඇත්තකු බවට පත්විය. ඉන්පසු ඔහු, මෙසේ පිඬුසිඟා වළඳන ජීවිතයෙන් පලක් නැත. ගිහියකු වන්නෙමියි සිතීය. ඔහු ගෙදර ගියේය. ගෙදර කටයුතු කරන ඔහුගේ ශරීරය කීප දිනකින්ම මළානික විය. හෙතෙම මට මේ දුක්බර ජීවිතයෙන් කුමන ඵලයක්දැයි සිතා නැවත ගොස් පැවිදි විය. හෙතෙම කීප දිනක් ගතකොට නැවත කලකිරී උපැවිදි වූයේය. උපැවිදි ව සිටින කාලයේ ඔහු භික්ෂූන්ගේ උපස්ථායකයකු විය. හෙතෙම නැවතද කීප දිනකින්ම ම කලකිරී මට මේ ගිහි ජීවිතයෙන් වැඩක් නැතැයි භික්ෂූන් වෙත ගොස් වැඳ පැවිද්ද ඉල්ලා සිටියේය. භික්ෂූහු ඔහුට උපකාර වශයෙන් පැවිදි කළහ. මෙසේ ඔහු හයවරක් පැවිදිවී ගිහි වූයේය. භික්ෂූන්වහන්සේලා, මොහු සිතට වසීවී වසන්නෙකියි චිත්තහත්ථ යයි නම් කළහ.
පැවිදි වෙමින් ගිහි වෙමින් මෙසේ කාලය ගත කරන ඔහුගේ බිරිය මේ අතර ගැබිණියක් වූවාය. ඔහු සත්වෙනි වාරයෙහි ගිහි බවට පැමිණ වනයට ගොස් ගොවි උපකරණත් රැගෙන ගෙට ගොස් උපකරණ තබා තමන්ගේ කහවත් ගන්නෙමියි ඇතුළුගෙට ගියේය. ඒ වේලාවෙහි භාර්යාව වැදහෙව නිදා සිටියාය. ඈ හැඳිසළු සිරුරින් ඉවතට ගොස් කටෙන් කුණුකෙළද පිටවෙයි. නාසයෙන් ගුරුගරු හඬ පිටවෙයි. කට විවෘතය. ඈ දෙස බැලූ ඔහුට ඉදිමීගිය සිරුරක් මෙන් වැටහිණ. හෙතෙම, අනේ, අනිච්චං දුක්ඛං යි කියා, මම මෙතෙක් කල් මෑ නිසා පැවිදිවී සිටිනු නොහැකිව ගිහිවීමි. කහවත රැගෙන එහි කෙළවර උදරයේ බඳිමින්ම නික්මී ගියේය.
ඉන්පසු අල්ලපුගෙදර සිටි ඔහුගේ නැන්දණිය ගෙයින් පිටත්ව යන ඔහු දැක, මේ පිටත්ව යන්නා දැන් මොහොතකට කලින් කැලයේ සිට ආවේය. එසේ ආ හැටියේම කසාවත බඩේ බැඳගෙන ගෙට ගොස් නිදන දුවණිය දැක, ඔහු මැය දැක කලකිරී යන්ට ඇතැයි, දුවට පහරක් ගසා, කාලකණ්ණිය, නැගිටුව, තීගේ සැමියා තී නිදා සිටින හැටි දැක කලකිරී ගියේය. මින්පසු නම් තිට ඔහු ලැබෙන්නේ නැතැයි කීවාය. අම්මා, නිකම් ඉන්න, ඔහුගේ යාමක් කොයින්ද? දවස් කීපයකින් නැවත ඔහු ආපසු එනවා ඇතියි කීවාය. හෙතෙමේ අනිච්චං දුක්ඛං යයි කියමින් යන ගමනේදීම සෝවාන්ඵලයට පැමිණියේය. ඔහු ගොස් භික්ෂූන් වැඳ පැවිද්ද ඉල්ලීය. ඔබ පැවිදි කරන්ට අපට බැරිය. ඔබට පැවිදි බවක් කොයින්ද? ඔබේ ඔළුව අපේ කරකැති මුවහත් තබන ගලක් වැනිය. ස්වාමීනි, මා තව එක වරක් පැවිදි කරන්න. භික්ෂූහු ඔහුට උපකාර වශයෙන් පැවිදි කළහ. හෙතෙම කීප දිනකින්ම සිව්පිළිසිඹියා සමග රහත් බවට පැමිණියේය.