එහි “සබ්බෙ ධම්මා” - යනු පඤ්චස්කන්ධයම අදහස් කෙරේ. අනත්තාති - නොදිරවා - මියනොයේවා යනාදී වශයෙන් පැවත්මට නොහැකිය. නොවසන නිසා ආත්ම ශුන්‍යය අස්වාමිකය. නිස්සාරය යන අර්ථයි. අන් විතර පෙරසේමය.
8. පධාන කම්මික තිස්ස තෙරුන් පිළිබඳ කථා පුවත
“උට්ඨාන කාලමහි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරද්දී, “පධාන කර්මික තිස්ස” තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර වාසී සත්සියයක් කුල පුත්‍රයෝ බුදුන් වෙත පැවිදිවි, කර්මස්ථාන ගෙන ආරණ්‍යයට වැඩම කළහ. ඔවුන් අතර එක් නමක් එහිම නැවතුනි. ඉතිරි අය ආරණ්‍යයේ මහණ දම් පුරමින් රහත්බවට පත්වී ලබාගත් ගුණය බුදුන්ට පවසමුයි නැවත සැවත් නුවරට වැඩම කළහ. ඔහු සැවත් නුවරින් යොදුනකට පමණ ඈත. එක් ගමක පිඬු පිණිස හැසිරෙනු දැක එක් උපාසක වරයෙක් කැඳ බත් ආදිය පුදා අනුමෝදනය අසා දෙවන දිනයට ද ආරාධනා කළේය. ඔවුහු එදිනට සැවතට ගොස් පාසිවුරු තබා සවස් කාලයේ බුදුන් වෙත එළඹ වැඳ වාඩි වුහ. බුදුහු ඔවුන් වෙත අතිශය සතුට දන්වමින් පිළිසඳර කථාවෙහි යෙදුනහ.
අනතුරුව නැවතී සිටි භික්ෂුව මෙසේ සිතුවේය. බුදුරජාණන් වහන්සේ මොවුන් සමග පිළිසඳර කරන්නේ මුවනොපොහොනාසේ සතුටු බව පවසති. මම මාර්ගඵල නොලත් හෙයින් මා සමග කථා නොකරති. අද රහත් ඵලයට පත්ව බුදුන් වෙත එළඹ මා සමග කථා කරවමියි සිතුවේය. එම භික්ෂූන් වහන්සේලා ද ස්වාමීනි අප එන අතරමග එක් උපාසකවරයෙකු විසින් හෙට දානය සඳහා ආරාධනා ලදිමු. අළුයම එහි යන්නෙමුයි බුදුන්ගෙන් අවසර ලැබුහ.
මේ අතර උන්වහන්සේලාගේ සහායක භික්ෂුව මුළු රැ සක්මන් කරන්නේ නිදිමතින් සක්මන් මළුවේ කෙළවර එක් ගල්පුවරුවක වැටුනි. උකුල් ඇටය බිඳුනි. ඔහු මහ හඩින් මුරගෑවේය. ඔහුගේ සහායක යතිවරු ශබ්දය හඳුනාගෙන ඔබ මොබ සෙවුහ. පහන් දල්වා ඔහුට කළයුතු කාර්යය කරන්නවුන්ට නොදැනීම පහන් වුනි. උන්වහන්සේලාට යාමට අවකාශ නොලැබුනි. අනතුරුව ශාස්තෲන් වහන්සේ ඔවුන්ගෙන් ඇයි මහණෙනි. භික්ෂාචාර ගමට නොයන්නහුද? ඇසුහ. එසේය ස්වාමීනියි කියා මේ තොරතුරු දැනුම් දුන්හ. මහණෙනි මේ භික්ෂුව දැන් පමණක් නොව පෙරද ඔබ වහන්සේලාගේ ලාභ සත්කාර වැළැක්වී යයි පවසා ඔවුන් විසින් ඉල්ලන ලද්දේ අතීත පුවත ගෙන හැර දැක්වුහ.
යම් කෙනෙක් පළමුව කළ යුතු දේ පසුව කිරීමට කැමති වේද ලුණුවරණ දර තැබු තැනැත්තා සේ පසුව තැවීමට පත්වේ.
එම වරණ ජාතකය විස්තර කර දුන්හ. එදින එම පන්සියයක් භික්ෂූහු තරුණයෝ වුහ. කම්මැලි තරුණයා මේ භික්ෂුවයි. ආචාර්ය වරයා බුදුරජාණන් වහන්සේය.
බුදුහු මෙම දේශනය ගෙන හැර දක්වා මහණෙනි ! යමෙක් උත්සාහවත් කාලයේ උත්සහ නොකර අසම්පන්න සංකස්ස ඇතිව කුසීත වුවේ ධ්‍යාන ආදී භේදයට විශේෂ අධිගම්‍යයකට පත් නොවේයයි පවසා මේ ගාථාව දේශනා කළහ.
වෙර දැරිය යුතුම කල වෙර දිරිය නොදරා
අලසකම පෙර දැරිව තරුණ කල දෙදරා
මග නුවණ නොලබා - දහම් මග අවුරා
කම්මැලිය, මග තැවෙයි කෙලෙස් මල නො උදුරා
වීරිය කළයුතු කල්හී විර්යය නොකොට, තරුණයන් වුයේද ශක්තිමත් කෙනෙක් වුවේද අලස බවින් යුතු වේ නම්, යටපත් කරන ලද තබන ලද සම්‍යසංකල්ප හා සිත් ඇති කුසීතවූ අලසයා නුවණක් දැක්කයුතු ආර්ය මාර්ගය ප්‍රඥාවට උපායක් නො ලබයි.
එහි අනුට්ඨහානො යනු උත්සහ නොවන්නේ වෑයම් නොකරන්නේ, යුවාබලී පඨම වයසේ සිටියේ බල සම්පන්නව සිටි වයසේත් අලසබැවින් යම්සේ වෙයි. ආහාරගෙන නිදාගනී. සංසන්නසඬකප්පමනොති මිථ්‍යා විතර්ක තුනකින් යහපත් සේ අවසන් වු සම්මා සඞ්කප්ප සිත් ඇත්තේ කුසීතො වීර්යය නොමැතිව, අලසේ මහා කම්මැලියෙක්ව පඤ්ඤාය ප්‍රඥාවෙන් දැක්විය යුතු අරියමග්ගං නොදකිනේ - නවින්දති - නොලබන්නේය ආර්ය මාර්ගය යන අර්ථයි.
දේශනය අවසානයේ බොහෝ ජනයා සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
9. සූකර ප්‍රේතයා පිළිබඳ කථා පුවත
“වාචානු රක්ඛී” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී සුකර ප්‍රේතයකු නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් මහ මුගලන් තෙරණුවෝ ලක්ඛණ තෙරුන් සමග ගිජුකුළු පර්වතයෙන් බසිමින් එක් පෙදෙසක දී සිනා පහළ කළහ. මෙහිදී ලක්ඛණ තෙරුන් ඇයි ඇවැත්නි කුමක් නිසා සිනා පහළ කළේ ද යනුවෙන් මුගලන් තෙරුන්ගෙන් විමසුහ. දැන් එයට පිළිතුරු දීමට කාලය නොවේ. මෙය බුදුන් හමුවේදී මගෙන් විමසන්නැයි පැවසීය. මෙලෙස පිළිතුරු දී රජගහ නුවර පිණ්ඩපාතයේ ගොස් පසුව වේළුවනයට පැමිණ බුදුන් වැඳ සිටියාහුය. එහි දී ලක්ඛණ තෙරුන් ඒ කරුණ විමසුහ. මුගලන් තෙරුන් මෙසේ පැවසුහ. ඇවැත්නි මම එක් ප්‍රේතයෙක් දුටුවෙමි. ඔහුගේ සිරුර ගව් තුනක් පමණය. එය මිනිස් සිරුරකට සමානය. හිස ඌරෙකුගේ වැනිය. ඔහුගේ කටේ නගුටක් තිබුනි. එයින් පණුවන් ගිලිහුනි. මම මෙබඳු අයෙකු මින් පෙර නොදුටුවෙමි. ඔහු දැක සිනා පහළ කළෙමි. බුදුහු මහණෙනි මගේ ශ්‍රාවකයින් අතර ඇස් ඇති අය සිටිතියි පවසා මම ද මොහු බෝධි මණ්ඩලයේදී දුටුවෙමි. යම් කෙනෙක් මාව නොපිළිගනියයි එය ඔවුන්ගේ අහිත පිණිස පවතී යයි, අන් අය කෙරෙහි අනුකම්පාවෙන් නොකීවෙමි, දැන් මේ මුගලන් සාක්ෂි ලැබ කියමි. මහණෙනි. මුගලන් සත්‍යයක්ම පැවසුවේය එය අසා භික්ෂුහු බුදුන්ගෙන් විමසුහ. ස්වාමිනි ! ඔහුගේ පුවකමය කුමක්ද? මහණෙනි ! අසාගන්නැයි ඔහුගේ අතීත පූර්ව කර්මය පැවසුහ.