කෙසේද යත්:- ඒ (යෝගාවචර) තෙමේ එක් එක් ස්කන්ධයක් අනිත්‍යය අන්තකොට ඇති හෙයින් (අශාස්වත හෙයින්) හා ආදි - අන්ත යන දෙක ඇති හෙයින් අනිත්‍ය වශයෙන්ද, උදය-ව්‍යය යන දෙකින් නිරන්තරයෙන් පෙළෙන හෙයින් හා දුකට වස්තු වූ හෙයින් දුඃඛ වශයෙන්ද (ආහාර ආදී) ප්‍රත්‍යයයෙන් නිරන්තරයෙන් යැපියයුතු වන හෙයින් හා රෝගයනට මුල්වන හෙයින් රෝග වශයෙන්ද, දුක්ඛතා රුජායෙන් යුක්ත වූ හෙයින් හා කෙලෙස් නමැති අසූචි වැගිරෙන හෙයින්ද, උත්පාද-ජරා-භංග යන මෙයින්ද ඉදිමුම්, පැසවීම් බිඳිම් ස්වභාව ඇති හෙයින් ගඬක් වශයෙන්ද, පීඩාජනක වන හෙයින්ද, ඇතුළත රිදවන හෙයින් හා දුක සේ බැහැර කළ යුතු වන හෙයින් ශල්‍යයක් වශයෙන්ද, ගැරහිය යුතු වන හෙයින්ද, අවැඩ ගෙන දෙන හෙයින් හා විපතට වස්තු වන හෙයින් අඝ වශයෙන්ද ස්වෛරීභාවය නැති කරන හෙයින් හා ආබාධයනට වස්තු වන හෙයින් ආබාධ වශයෙන්ද, තමා වශයෙහි නොපැවැත්විය හැකි හෙයින් හා විධානයෙහි හැසිරවිය නොහැකි හෙයින් පර වශයෙන්ද, ව්‍යාධි, ජරා, මරණ යන මෙයින් පලුදුවන හෙයින් පලෝක (බිඳෙන සුලු) වශයෙන්ද, නොයෙක් ව්‍යසනයන් එළවන හෙයින් ඊති (අන්තරාය) වශයෙන්ද, ඇඟවීමක් නැතිවම ඉමහත් අනර්ත්ථයන් ගෙන දෙන හෙයින් හා සියලු උවදුරුවලට වස්තුවන හෙයින් උපද්‍රව වශයෙන්ද, සියලු භයට ආකර වන හෙයින් හා දුක්ඛුපසම (දුක් සමනය කිරීම) යයි කියනු ලබන පරමසුඛයට (නිවණට) ප්රතිපක්ෂ වූ හෙයින් භය වශයෙන්ද, අනේක වූ අනර්ත්ථයන් විසින් ලුහු බඳනාලද හෙයින්ද දෝෂයන්ගෙන් ගැවසීගත් හෙයින් හා පීඩාවක් සෙයින් නො-ඉවසිය හැකි වන හෙයින් උපසග්ග (වසන්ගත රෝග) වශයෙන්ද, ව්‍යාධි, ජරා, මරණ යන මෙයින් හා ලාභ, අලාභ ආදී අෂ්ටලෝක ධර්මයන්ගෙන් සැලෙන හෙයින් චල වශයෙන්ද, උපක්‍රමයෙන් මෙන්ම ස්වභාව සිද්ධ වශයෙන්ද භංගයට යන සුලු හෙයින් පභංගු වශයෙන්ද, කවර අවස්ථාවෙක වුවද ගිලිහී යාහැකි හෙයින් හා ස්ථිර භාවයක් නොමැති හෙයින් අද්ධුව වශයෙන්ද, අනාරක්ෂිත භාවයෙන් හා ක්ෂේමභාවයක් නොලද හැකි වන හෙයින් අත්තාණ වශයෙන්ද, සැඟවීගත නොහැකි වන හෙයින් හා සැඟවී සිටිනවුනට පවා රැකවරණ කිසක් නොසැපයෙන හෙයින් අලේණ වශයෙන්ද, ඇසුරු කළවුන්ගේ භය දුරුකළ නොහැකි හෙයින් අසරණ වශයෙන්ද, පෘථග්ජනයන් විසින්) පරිකල්පනය කරන ලද පරිදි ධුව-සුභ-සුඛ-අත්තභාවයක් නැති හෙයින් රික්ත වශයෙන්ද, රික්ත (හිස්) භාවය නිසාම, නැතහොත් ලාමක භාවය නිසා තුච්ඡ වශයෙන්ද, ලෝකයෙහි අල්ප (ලාමක) වූ දෙය තුච්ඡ කොට වහරනු ලැබේ, ස්වාමියකු, නිවාසියකු, කාරකයකු (කරවන්නකු), වේදකයකු (විඳින්නකු), අධිට්ඨායකයකු (අධ්යක්ෂකයකු) නැති හෙයින් ශුන්‍ය වශයෙන්ද, තමාද අස්වාමික භාවාදියෙන් යුක්ත වූ හෙයින් අනාත්ම වශයෙන්ද, පැවැත්ම දුක්සහිත වන හෙයින් හා දුක්ද ආදීනව වන හෙයින් ආදීනව වශයෙන්ද, නොහොත්, ආදීන (බැගෑ) බව වෙත ළං වෙති’යි. යෙති’යි, පවතිතියි ආදීනව නමි; මෙය දුගී මිනිසාට අධිවචනයෙකි; ස්කන්ධයෝද කෘපණයෝ (දුගියෝ)ම වෙති’යි - දුගියන් හා සමාන වන හෙයින් ආදීනව වශයෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද යන දෙ-අයුරෙකින් පරිණාමයට යන සුලු හෙයින් විපරිණාම ධර්ම වශයෙන්ද දුබල බැවින් හා හරයක් නැති බැවින් කොටදිඹුලා ශාකය මෙන් පහසුවෙන් කඩා දැමිය හැකි වන හෙයින් අසාර වශයෙන්ද, පවට මුල් වන හෙයින් අඝමූලක වශයෙන්ද, මිතුරු වෙසින් සිටින සතුරකු සෙයින් විශ්වාසය කඩ කරන වධකයකු වශයෙන්ද, වැඩීමක් නැති හෙයින් හා විභව (විනාශ)යෙන් හටගත් හෙයින් විභව වශයෙන්ද, ආශ්රවයනට පදනම් වන හෙයින් සාශ්‍රව වශයෙන්ද, හේතු ප්‍රත්‍යයෙන් සැකසුණ හෙයින් සංඛත වශයෙන්ද, මෘත්‍යුමාර, ක්ලේශ මාරාදීනට ගොදුරු වන හෙයින් මාරාමිස වශයෙන්ද, ජාති-ජරා-ව්‍යාධි මරණයන් ස්වභාව කොට ඇති හෙයින් ජාති-ජරා-ව්‍යාධි මරණ ස්වභාව වශයෙන්ද, සෝක-පරිදේව උපායාසයනට හේතුවන හෙයින් සෝක-පරිදේව-උපායාස ස්වභාව වශයෙන්ද, තෘෂ්ණාදෘෂ්ටි- සංක්ලේශයනට විෂයවන ස්වභාව ඇති හෙයින් සංක්ලේශික ස්වභාව වශයෙන්දැ’යි මෙසේ ප්‍රභේද වශයෙන් දක්වන ලද අනිත්‍යාදී සම්මර්ශන වශයෙන් සම්මර්ශනය කරයි.
මෙහි අනිත්‍ය වශයෙන්, පලෝක වශයෙන්, චල වශයෙන්, පභඞ්ගු වශයෙන්, අද්ධූව වශයෙන්, විපරිණාම ධර්ම වශයෙන්, අසාර වශයෙන්, විභව වශයෙන්, සංඛත වශයෙන්, මරණ ස්වභාව වශයෙන්දැ’යි මෙසේ එක් එක් ස්කන්ධයෙක්හි දශයක් දශයක් බැගින් අනිච්චානු පස්සනා පණසක්ද, පරවශයෙන්, රික්ත වශයෙන්, තුච්ඡ වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්දැ’යි මෙසේ එක් එක් ස්කන්ධයෙක්හි පසක් පසක් බැගින් අනිත්‍යානු පස්සනා විසිපහක්ද, දුඃඛ වශයෙන් රෝග වශයෙන් ආදී වූ ඉතිරි අනුපස්සනා අතුරෙන් එක් එක් ස්කන්ධයෙක්හි පස්විස්සක් පස්විස්සක් බැගින් දුක්ඛානුපස්සනා එක්සිය විසිපහක්ද වේ.
මෙසේ මේ දෙසියක් ආකාරයෙන් අනිත්‍යාදී සම්මර්ශනයෙන් පංචස්කන්ධයන් සම්මර්ශනය කරන මේ යෝගියාහට ‘නය විපස්සනා’ යයි කියනු ලබන අනිත්‍ය-දුඃඛ-අනාත්ම සම්මර්ශනය තිර බවට යෙයි. මේ වනාහි, පෙළනය අනුව, මෙහි අනිච්චානුපස්සනාදී වශයෙන් සම්මර්ශනාරම්භය පිළිබඳ විධානයයි.
ඉන්ද්රියතික්ඛකාරණනවකකථා
මෙසේ නය විපස්සනා පිණිස යෝග කිරිමෙන් පවා යම් යෝගාවචරයකුහට නයවිපස්සනාව සිද්ධ නොවෙතොත්, ඔහු විසින්:- “නව ආකාරයෙකින් (ශ්‍රද්ධාදී) ඉන්ද්රියයෝ තියුණු වෙති, උපනූපන් සංස්කාරයන්ගේ ක්ෂයවීම දකියි, තවද එහිදී මනාසේ ක්‍රියා කරයි, සතතයෙන් ක්‍රියා කරයි, සප්පාය ලෙස ක්‍රියා කරයි, සමාධිය පිළිබඳ නිමිති ගැනීමෙන්ද (ක්‍රියාකරයි), බොජ්ඣංගයන් අනුව පැවැත්මෙන් (ක්‍රියා කරයි), කය හා ජීවිතය පිළිබඳව නිරපේක්ෂතාවට එළඹෙයි, එහිදී නෛෂ්ක්‍රම්‍යයෙන් (කය හා ජීවිතය පිළිබඳ අපේක්ෂාවන්) මැඩලයි, අතරතුර කඩ නොවනසේ (ක්‍රියා කරයි)’ යනුවෙන් මෙසේ කියන ලද නව ආකාරයෙන් ඉන්ද්රියයන් තියුණු කොට (ඉහත) පඨවිකසිණ නිද්දේසයෙහි දක්වන ලද නයින් සප්ත-අසත්ප්‍රායයන් දුරු කොට සප්ත ස්ත්ප්රායයන් සෙවුමින් වරෙක රූපස්කන්ධයද, වරෙක අරූප ස්කන්ධයන්ද සම්මර්ශනය කළයුතුය. රූපස්කන්ධය සම්මර්ශනය කෙරෙමින් රූපයෙහි උපත දැකිය යුතුය,
රූපනිබ්බත්තිපස්සනාකාරකථා
ඒ මෙසේයි:- ‘මේ රූපස්කන්ධය වනාහි කර්ම ආදී කරුණු සතරෙකින් උපදියි, සියලු සත්වයන්ගේ රූපය උපදින විට, පළමුකොට කර්මයෙන් උපදියි, ප්රතිසන්ධි ක්ෂණයෙහිදීම, පළමු කොට ගර්භශායී සත්වයනට, වත්ථු, කාය, භාව යන දශක සංඛ්‍යාත වූ සන්තති තුනක් වශයෙන්, රූප තිසක් උපදියි; ඒ රූප තිස ප්රතිසන්ධි චිත්තය උපදින කෙණෙහිම උපදියි; උත්පාදක්‍ෂණයෙහි යම්සේද, ස්ථිති ක්ෂණයෙහි හා භංගක්ෂණයෙහිද එසේය.
එහිදී රූපයෙහි නැවැත්ම ලැසිව සිදුවේ; පරිණාමය මන්දගාමී වේ; චිත්තයෙහි නැවැත්ම වහා සිදු වේ, පරිණාමය යුහුව සිදු වේ. එහෙයින් වදාළහ:- “මහණෙනි, මේ චිත්තය තරම් යුහුව පෙරළෙන අන් කිසිදු ස්වභාවයක් මම නොදක්නෙමි” යනුයි. රූපය තිබියදීම භවාංග චිත්තය සොළොස් වරක් ඉපිද නිරුද්ධ වේ. චිත්තයෙහි උත්පාද ක්ෂණයද ස්ථිති ක්ෂණයද, භංගක්ෂණයද එකසමාන (සමප්‍රමාණ) වේ; රූපයෙහි වනාහි උත්පාද ක්ෂණය හා භංගක්ෂණය යුහු වේ, ඒ දෙක පමණක් සමප්‍රමාණ වේ; ස්ථිති ක්ෂණය වනාහි වැඩිතරම් වේ, සිත් සොළොසක් ඉපිද නිරුද්ධ වන තෙක් පවතියි. ප්රතිසන්ධි චිත්තය උපන් කෙණෙහිම ඉපිද තැන්පත් වූ, එහෙයින් පුරේජාත (පළමුව උපන්) යයි කිවයුතු හෘදය වස්තුව නිසා දෙවන භවාංග චිත්තය උපදියි, ඒ දෙවන භවාංග චිත්තය හා සමග ඉපිද තැන්පත් වූ, පුරේජාත වූ හෘදය වස්තුව නිසා තුන්වන භවාංග චිත්තය උපදියි; මේ නයින් චිත්ත ප්‍රවෘත්තිය (සිතෙහි පැවැත්ම) ආයුෂ ඇති තෙක් වෙතැ’යි දතයුතුය. මරණාසන්න වූවහුට වනාහි තැන්පත් වූ එකම හෘදය වස්තුව නිසා සිත් සොළොසක් උපදියි.