බෝසත් ඔවාමිණි - කන්දේගෙදර සෝභිත හිමි 2021.pdf
- කතෘ :
- කන්දෙගෙදර සෝභිත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2021
- මුද්රිත වර්ෂය :
- 2021
- පිටු ගණන :
- 82
- බාගත කිරීම් ගණන :
- 2,321
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2022-11-17
- ගොනුවේ ප්රමාණය :
- 16 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බෝසත් ඔවාමිණි යනු ආචාර්ය ශාන්තිදේව පාදයන්ගේ ප්රකට මහායාන කෘතියක් වන ‘බෝධිචර්යාවතාරය’ ඇසුරින් රාජකීය පණ්ඩිත කන්දෙගෙදර සෝභිත හිමියන් විසින් සම්පාදිත උපදේශාත්මක ධර්ම ග්රන්ථයකි. බෝධිසත්ත්ව ගුණධර්ම සහ උසස් මානුෂීය ප්රතිපත්ති ගිහි-පැවිදි සැමට සරලව අවබෝධ කරදීම මෙහි අරමුණයි.
මහාචාර්ය මොරටුවේ සාසනරතන නාහිමියන්ගේ බෝධිචර්යාවතාර සංස්කරණය (1966) ආශ්රය කරගනිමින්, මාතෘකා 50ක් යටතේ ථේරවාදී මූලාශ්රයන් ද උපයෝගී කරගෙන විවරණ සහිතව මෙම කෘතිය රචනා කර තිබේ. රත්මලාන ශ්රී ජයසුමනාරාම මහා විහාරවාසීව වැඩ විසූ අපවත් වී වදාළ කිරිඔරුවේ ශ්රී සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ පනස් වන ගුණානුස්මරණය (2021) නිමිත්තෙන් උන්වහන්සේට උපහාරයක් ලෙස මෙම කෘතිය එළිදක්වා ඇත.
මෙහි අන්තර්ගත ප්රධාන මාතෘකා කිහිපයක් මෙසේය:
- බෝධිසත්ත්ව ප්රතිපදාව පිළිබඳව සංක්ෂිප්ත හැඳින්වීමක්
- ‘මගේ සතුරෝ බුදු වෙත්වා!’
- පින් කිරීමට ඇති කාලය ඉතා සීමිත ය
- සද්ධර්මය මෙන් සතුරා පිදිය යුතුය
- අනුන්ගේ ගුණයන්ට ඊර්ෂ්යා නොකරන්න
- ක්රෝධ සිත නැසුවොත් සියලු සතුරෝ නැසෙන්නාහ
මෙම පොත 2021 වසරේදී කර්තෘ ප්රකාශනයක් ලෙස පිටකෝට්ටේ විදුරවි ප්රින්ටර්ස් ආයතනයෙන් මුද්රණය කර බෙදාහරින ලද්දකි.
පිදුම
අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සුභරතාදි ගුණ
ස්වාර්ථයෙහිලා සාධනය කොටැ
ස්වකීය කාය-චිත්ත වෙහෙස පරාර්ථය පිණිස මැ
කැප කළ පරම පූජනීය
කිරිඔරුවේ ශ්රී සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ
ශ්රී නාමයට කෘතඥතා පූර්ව ප්රණාමයෙනි.
පෙරවදන
යමක් එකහෙළා ප්රතික්ෂේප කිරීම හෝ එක හෙළා පිළිගැනීම, යම්කිසි දෙයක සැබෑම යථාර්ථය තේරුම් ගැනීමට බලවත් ම බාධාවක් ය. එබැවින් යමක් ප්රතික්ෂේප කිරීමට හෝ පිළිගැනීමට හෝ පෙර ඒ පිළිබඳ නුවණින් විමසා බලා, එය තමාට යහපත පිණිස වන්නේ ද, අයහපත පිණිස වන්නේ ද, යනාදිය පිළිබඳ විමර්ශනශීලී වීම ඉතා ම වැදගත් ය. මහායාන බෞද්ධ සම්ප්රදායට ඇති තදබල විරුද්ධ මතවාදයන් නිසා මෙලොවට-පරලොවට පමණක් නොව, නිවන් අවබෝධයට ද මහෝපකාරී වන ජීවිතෝපදේශයන් පිරි ‘බෝධිචර්යාවතාරය’ නම් වටිනා කෘතිය ද ප්රතික්ෂේප වී තිබීම මහත් අභාග්යයක් යැයි සිතමි.
ආචාර්ය ශාන්තිදේව හිමියන් විසින් රචනා කරන ලද ‘බෝධිචර්යාවතාරය’ අත්යුත්තම උපදේශයෙන් යුතු වටිනා කෘතියෙකි. එම ග්රන්ථය කියවීමෙන් සත්පුරුෂත්වය පිළිබඳ මහත් සංවේදී හැඟීමක් අපට පහළවිය. එනිසා ම එහි පෙන්වා දෙන උසස් මානුෂීය ගුණ, සුවිශේෂී සත්පුරුෂ ගුණ, උතුම් බෝසත් ගුණ ආදිය ශාස්ත්රීය පොත-පත පරිශීලනයක් නොමැති, කුශලච්ඡන්දය ඇති සත්පුරුෂයන්ට බොහෝ උපකාරවත් වනු පිණිස, ඉතා සරලව සම්පාදනය කරන්නට අදහස් කළෙමි.
මෙවැනි බෝසත් ගුණ අගයන කෘතියක් සම්පාදනය කරවා, සත්පුරුෂ පින්වතුන් අතට පත්කිරීමට ඉතා සුදුසු ම අවස්ථාව ලෙස, අප ජයසුමනාරාම විහාරවාසීව වැඩ විසූ පරාර්ථකාමී බෝධිසත්ත්ව ගුණයෙන් විභූෂිත වූ පරම පූජනීය කිරිඔරුවේ ශ්රී සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ පනස් වන ගුණානුස්මරණ අවස්ථාව (2021-08-01) ඉතා යෝග්ය යැයි අදහස් කොට, ඒ මහෝත්තමයන් වහන්සේ තුළ ඉතිරි පැවැති උතුම් පරාර්ථචර්යාව සඳහා අපට දැක්විය හැකි ගෞරවෝපහාරයක් ලෙසින් කල්පනා කොට, මේ කෘතිය සැකැසුවෙමි. මෙහිලා මා ආචාර්යෝත්තම රත්මලාන ජයසුමනාරාම පුරාණ මහා විහාරාධිපති, කොළඹ සල්පිටි කෝරළයෙහි ප්රධාන අධිකරණ සංඝනායක, විශ්රාමික පාඨශාලාචාර්ය, ශාස්ත්රපති අතිපූජනීය කිරිඔරුවේ ධම්මසිරි නායක ස්වාමීන්ද්රයන් වහන්සේගෙන් ලැබුණු අවවාද, අනුශාසනා සහ මඟපෙන්වීම ඉතා කෘතඥව සහ ගෞරවයෙන් සිහිපත් කරමි.
තවද මේ මාහැඟි දහම්-ගත මුද්රණය කරවා, පතුරුවාලීමට ස්වකැමැත්තෙන් ම ඉදිරිපත් වූ ඇතුල්කෝට්ටේ පදිංචි අප කළ්යාණමිත්ර දුලීප විජේතිලක මහාත්මා සහ ඉවෝන් වික්රමසිංහ මහත්මිය යන පින්වත් දෙපළට ද පින් පවරමි.
මහාචාර්ය මොරටුවේ සාසනරතන නාහිමියන්ගේ බෝධිචර්යාවතාර සංස්කරණ (1966 මුද්රණය) කෘතිය ආශ්රය කරගනිමින්, මාතෘකා 50 ක් පිළිබඳ කෙටි විවරණයක් ද සහිතව මෙම කුඩා ග්රන්ථය රචනා කළෙමි. මාතෘකාවට අදාළ කෙටි විවරණ සඳහා, ථේරවාදී මූලාශ්රයන් ම යොදාගන්නට ලැබීම විශේෂ කරුණක් සේ සලකමි. තවද මේ උතුම් බෝසත් සිතුවිලි ‘මහායාන’ පොතක තිබුණාය කියා, ප්රතික්ෂේප කිරීම අසාධාරණ වන අතර, ගුණදම් වැඩෙන සෑම සුභාෂිතයක් ම බුද්ධ දේශනාවට සාධාරණ බැවින්, ඥානවන්තයෝ සිහිනුවණින් කියවා බලා ගුණ-නුවණින් වැඩෙත්වා ! මාගේ මේ ව්යායාමයෙහි යම් දෝෂයක් ඇතොත් නුවණැති උතුමෝ අප කෙරෙහි ක්ෂමා කරත්වා !
සියලු සත්ත්වයෝ බෝසත් ගුණයන්ගෙන් පෝෂණය වෙත්වා !
රාජකීය පණ්ඩිත, කන්දෙගෙදර සෝභිත හිමි
ජයසුමනාරාම මහා විහාරය,
ජයසුමනාරාම පාර,
රත්මලාන.
2021.07.20
අති පූජනීය කිරිඔරුවේ ශ්රී සෝමානන්ද නායක ස්වාමීන්ද්ර පනස් වන ගුණානුස්මරණය
වනාන්තරයෙහි බොහෝ ගස් ඇති නමුත් සඳුන් ගස් ඉතා දුර්ලභ ය. පොළොවෙහි බොහෝ ගල් කැබලි ඇති නමුත් මැණික් ගල් ඉතා දුර්ලභ ය. බොහෝ අලි-ඇතුන් ඇති නමුත් ගජමුතු ඇතුන් දුර්ලභ ය. එසේම ලෝකයෙහි බොහෝ මිනිසුන් ඇති නමුත් බෝසත් ගුණැති සත්පුරුෂයෝ ඉතා ම දුර්ලභ ය. කලයක් තුළ පහනක් දල්වා පහන් එළිය සඟවන්නා සේ, එබඳු දුර්ලභ සත්පුරුෂයන් සතු උදාර ගුණ සඟවා තැබීම හෝ ගුණ කිවයුතු අයගේ ගුණ මකා දැමීම (මක්ඛ) ලෝකයාට කරන මහත් අපරාධයකි. අං. නිකායේ, චතුක්ක නිපාතයේ, පෝතලිය සූත්රයෙහි සඳහන් වන ආකාරයට බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ ‘ගුණවත් පුද්ගලයාගේ ඇති ගුණ සුදුසු අවස්ථාවෙහි ප්රකට කිරීම’ ද උතුම් ගුණයක් ලෙස ය.
ශීලාදි ගුණයන්ගෙන් සුපේශල ශික්ෂාකාමී වූ ද පරාර්ථය පිණිස ස්වකීය කාය-චිත්ත වෙහෙස කැප කළා වූ ද, රත්මලාන ශ්රී ජයසුමනාරාම මහා විහාරවාසී සහ ශ්රී මිහිඳු දහම් පාසලේ ආදි කර්තෘවර පරම පූජනීය කිරිඔරුවේ ශ්රී සෝමානන්ද නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේ අපවත් වී පනස් වසක් සපිරෙන අද දින (2021 අගෝස්තු 01) උන්වහන්සේගේ ශාසනික හා ජාතික යුග මෙහෙවර පිළිබඳව ඉතා සංක්ෂිප්තව නමුත් ගුණ සටහනක් තැබීම අපගේ යුතුකමකි.
ඌව පළාතේ, බදුල්ල දිස්ත්රික්කයේ, සොරණාතොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාරිසරික සෞන්දර්යයෙන් රමණීය වූ ‘කිරිඔරුව’ නම් ග්රාමය ස්වකීය ජන්ම භූමිය කොටගත්, කිරිඔරුවේ ශ්රී සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ පින්වත් මව්පිය දෙපල වූයේ, තත් ග්රාමයෙහි ප්රභූවරයෙකුව සිටි රත්නායක මුදියන්සේලාගේ තිසාහාමි මහතා සහ රත්නායක මුදියන්සේලාගේ කුමාරිහාමි මහත්මිය යන දම්පතීහු ය. වර්ෂ (1914) මැයි මස (13) වන දින ජන්ම ලාභය ලද මුන්වහන්සේ ගිහි කල ‘රත්නායක’ යන නමින් කාගේත් ආදරයට පත් වූහ.
රත්මලාන ශ්රී පුෂ්පාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ පරම පූජනීය මාදම්පේ ශ්රී ධම්මාධාර මහා ස්වාමීන්ද්රයාණන් වහන්සේගේ ජ්යෙෂ්ඨ ශිෂ්යවරයෙකු ලෙස වැඩ විසූ පරම පූජනීය බදුල්ලේ (මීගහවෙල) සුමනජෝති නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේ වෙත එවකට රත්මලාන ගොනාකෝවිල ප්රදේශයේ විසූ පල්ලගේ රොමානිස් සිල්වා, සිංහාරගේ රොමානිස් සිල්වා සහ සිංහාරගේ ජුවානිස් සිල්වා යන සැදැහැති දානපතීන් තිදෙනා ඇතුළු ප්රදේශයේ විසූ සැදැහැතියන් විසින් රූඪ 1 යි පර්චස් 16 ක පමණ ඉඩමක් මිලට ගෙන පූජා කරන ලදහ. ඒ අනුව රත්මලාන ගොනාකෝවිල ප්රදේශයේ වර්ෂ 1910 පෙබරවාරි මස 15 වන දින ‘ජයසුමනාරාම මහා විහාරය’ ආරම්භ කරන ලදි. ශ්රී ජයසුමනාරාම මහා විහාරයෙහි නිර්මාතෘවර සහ විහාරාධිපතිව වැඩ විසූ පරම පූජනීය බදුල්ලේ (මීගහවෙල) සුමනජෝති නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේගේ ජ්යෙෂ්ඨ ශිෂ්යරත්නය වූ පරම පූජනීය කිරිඔරුවේ ශ්රී ධම්මානන්ද නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේ විසින් කුඩා කල සිට ම මාපිය ඇසුරේ ගුණධර්මයන්ගෙන් සුශික්ෂණය වූ රත්නායක නම් වූ කුලදරුවාගේ සුශාන්ත ඇවතුම්-පැවතුම් කෙරෙහි පැහැදී, රත්මලාන ශ්රී ජයසුමනාරාම මහා විහාරයට කැඳවාගෙන අවුත්, වර්ෂ 1927 මැයි මස 12 වන දින බදුල්ලේ (මීගහවෙල) ශ්රී සුමනජෝති නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේගේ උපධ්යායත්වයෙන් ‘කිරිඔරුවේ සෝමානන්ද’ යන නමින් පැවිදි දිවියට ඇතුළත් කරන ලදි.
1928 වර්ෂයේ දී රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනට ඇතුළත් වී සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් අධ්යයනය කරමින් පිළිවෙලින් මූලික පිරිවෙන් අධ්යාපනය සාර්ථකව නිමා කළහ. 1934 ජූනි මස 26 වන දින අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ අති ගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්රයාණන් වහන්සේ ඇතුළු තත් නිකායික මහා සංඝරත්නය වෙතින් පාරිශුද්ධෝපසම්පදාව ලැබූහ. කිරිඔරුවේ සෝමානන්ද ස්වාමීන්ද්රයාණන් වහන්සේගේ බලවත් අභිලාෂයක් වී තිබුණේ ත්රිපිටකය පුළුල් ව අධ්යයනය කිරීමට ය. ඒ අනුව උන්වහන්සේ කොළඹ පර්යාප්ති ධර්ම හිත සමිතිය මගින් බුරුම රට ත්රිපිටක ධර්ම පරීක්ෂණයට සම්බන්ධ වී 1951 (බු.ව 2495) වර්ෂයේ දී ත්රිපිටක පරීක්ෂණයෙන් ත්යාග සහිතව උසස් සාමාර්ථයක් ලැබීමටත් ‘විනයාචාර්ය’ උපාධිය ලබාගැනීමටත් සමත් වූහ.
අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සුභරතා, සුවචතා, නිවාතතා ආදි උසස් ශීලාදි ගුණයන් ස්වාර්ථයෙහිලා සාධනය කොටගත් සෝමානන්ද නායක ස්වාමින් වහන්සේගේ ශාසනික සහ ජාතික යුග මෙහෙවරෙහි විශිෂ්ඨතම ගුණාංගය ලෙස හැඳින්විය හැක්කේ පරාර්ථකාමීබව හෙවත් අනුන්ගේ යහපත උදෙසා සිය ජීවිතය කැප කිරීමේ බෝධිසත්ත්ව ගුණයයි. “හොඳ අදහසින් කරන කිසිම දෙයක අඩුපාඩුවක් සිදු වන්නේ නැහැ” මේ සෝමානන්ද හිමිපාණන් වහන්සේගේ මුවින් නිතර ම පිට වූ සුභාෂිත වදනකි. පරාර්ථය ස්වාර්ථයට බාධාවක් නොකොටගත් මුන්වහන්සේ ස්වකීය ආචාර්යෝත්තමයාණන් වහන්සේ වන කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමීන්ද්රයාණන් වහන්සේ වයෝවෘද්ධ තත්ත්වයේ පසු වූයෙන්, උන්වහන්සේ උදෙසා කළ යුතු සියලු ඇප-උපස්ථාන කටයුතු තමන් වහන්සේගේ අතින් ම නොපිරිහෙලා ඉටු කළහ. ස්වකීය ආචාර්යෝපාධ්යායන් වහන්සේලා විසින් බොහෝ බාධක හමුවේ ආරම්භ කළශ්රී ජයසුමනාරාම මහා විහාරය ක්රමයෙන් දියුණු කරවීම සඳහා උන්වහන්සේ සිදු කළ කැපවීම අනුපමේය ය. දිවාරෑ නොතකා අනුන් වෙනුවෙන් ම වෙහෙසුණු මුන්වහන්සේ රෝගී තත්ත්වට ද පත් වූ නමුත් සිය රෝගී තත්ත්වය ද නොසලකා විහාරස්ථානයේ දියුණුව පිණිස කැප වී ක්රියා කළහ. ආරම්භක විහාරාධිපති ධුරය දැරූ පරම පූජනීය බදුල්ලේ (මීගහවෙල) සුමනජෝති නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේගේ කාලය අවසන් වන විට කුඩා ආවාස කුටි තුනක් සහ පොල් අතු සෙවිලි කොට කරන ලද කුඩා ධර්ම ශාලාවකට පමණක් ජයසුමනාරාම විහාරස්ථානය සීමා වී තිබුණි. විහාරස්ථානයක තිබිය යුතු ප්රධාන විහාරාංග වන ත්රිවිධ චෛත්යාංග ඉදි වනු ලබන්නේ, එවකට විහාරාධිපති පූජනීය කිරිඔරුවේ ධම්මානන්ද නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ, පූජනීය කිරිඔරුවේශ්රී සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ අප්රතිහත ධෛර්යය සහ නොපසුබට වීර්යය නිසා ම ය. ඒ අනුව වර්ෂ 1953 ඔක්තෝම්බර් මස 30 වැනි දින දුටුවන්ට සිත් නිවාලන උපශාන්ත බුද්ධ ප්රතිමා වහන්සේ නමක් සහිතව විහාර මන්දිරය පල්ලගේ පැලිස් සිල්වා සැදැහැති දානපතිතුමා විසින් මෙම විහාරස්ථානය ආරම්භ කිරීමට මුල් වූ සිය පියාණන් වන පල්ලගේ රොමානිස් සිල්වා දන්පතීන්ට පිං පිණිස පූර්ණ දායකත්වයෙන් ඉදි කර පූජා කරන ලදි. ඉන් අනතුරුව පැලිස් සිල්වා දන්පතීන් ඇතුළු ප්රදේශයේ සැදැහැතියන් විසින් ශ්රී සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්ව්ය යටතේ ධර්ම ශාලා මන්දිරයක් ද චෛත්යරාජයාණන් වහන්සේ ද ඉදි කරන ලදුව වර්ෂ 1962 දී චෛත්යරාජයාණන් වහන්සේගේ කොත්පළඳවා එහි වැඩ අවසන් කරන ලදි. ලිලිනෝනා උපාසිකාවගේ මැණියන් වූ දසසිල් මාතාව විසින් අනුරාධපුරයේ ශ්රී මහා බෝධීන් වහන්සේගේ ප්රශාඛා බෝධ්යංකුරයක් වැඩම කරවා රෝපණය කරවීමෙන් පසු ශ්රී ජයසුමනාරාම විහාරස්ථානයෙහි ත්රිවිධ චෛත්යස්ථානයන් ම ඉතා කෙටි කාලයකින් ම සම්පූර්ණ විය. මේ කාලය තුළදී ම මෝනිස් මුදලාලි නම් සැදැහැති උපාසකතුමන්ගේ මූලිකත්වයෙන් සංඝාවාස කුටියක ද ඉදිකරවා පූජා කිරීම තුළින් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට ජයසුමනාරාම විහාරස්ථානය පත්විය. ඒ සඳහා ප්රධාන ම ශක්තිය වූයේ පරම පූජනීය කිරිඔරුවේ ශ්රී සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ සතු කැපවීම, උනන්දුව, වීර්යය සහ අව්යාජ වූ පරහිතකාමී සත්භාවයයි.
පහසුකම් ඉතා දුෂ්කර වූ ඒ කාලයේ ආවාට වසරක් පාසා ම සිය දායක පිරිස ලක්දිව ඉපැරණි වෙහෙර-විහාරයන් වෙත වන්දනාවෙහි රැගෙන ගොස් එම ස්ථාන වැඳපුදා ගැනීමට අවස්ථාව සලසාදීම අනෙකාගේ සතුට-සැනසුම දකිනු කැමති පූජනීය සෝමානන්ද ස්වාමින් වහන්සේ සතු ප්රකට ගුණයක් විය. ඉතා සිත සතුටින් සිදු කළ’ආගන්තුක සත්කාරය’ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ ජීවන චරිතයෙන් ඉස්මතු වුණු බෝසත් ගුණයකි. ඒ කාලයේ උඩරට ප්රදේශයේ සිට කොළඹට පැමිණෙන ගිහි-පැවිදි කාගෙත් සිත්ගත් නවාතැන්පොළ වූයේ ජයසුමනාරාම විහාරස්ථානයයි. භෞතික සැප පහසුකම් ඉතා සීමිත වුවත්, ගිහි-පැවිදි කොයිකවුරුත් මෙම ස්ථානයට ප්රිය කළේ තමන්ට අනුභව කරන්නට තියෙන දේ වුවත්, ආගන්තුකයාට සිත සතුටින් පරිත්යාග කොට හෘදයාංගමව සතුටු වීමේ බෝසත් ගුණයක් සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ ආභරණයක්ව කොට සිටි බැවිනි.
භෞතික වශයෙන් දියුණු වූ විහාරාරාමයකටත් වඩා ආධ්යාත්මික ගුණයෙන් සුපෝෂිත ශිෂ්යයවත් සමාජයක් ගොඩනැඟීම උත්තුංග කොට සැලකූ මුන් වහන්සේ විසින් ජයසුමනාරාම විහාරයෙහි 1944 ජනවාරි 16 වන දින ‘ශ්රී මිහිඳු දහම් පාසල’ ආරම්භ කරන ලදි. ශ්රී මිහිඳු දහම් පාසලේ ආරම්භය වනාහි ශ්රී ජයසුමනාරාම විහාරස්ථ ඉතිහාසයෙහි සුවිශේෂී පරිච්ඡේදයකි. ‘හැදෙන ළමයාට අතහිත දිය යුතු ය.’ මේ සෝමානන්ද හිමිපාණන් වහන්සේගේ මුවගින් නිතර ම පිට වූ තවත් සුභාෂිත වදනකි. එකල රත්මලාන ප්රදේශයේ ප්රධානතම දහම් පාසල් අතුරෙන් එකක් වූ ශ්රී මිහිඳු දහම් පාසලෙන් ‘බෞද්ධාචාර්ය’ විභාගය විශාල පිරිසක් සමත් වූහ. ප්රදේශයෙහි දරුවන්ට අකුරු ශාස්ත්රය හුරු කරවා ඉගෙනීමට මගපාදා දීම, දරුවන් දුසිරිතෙන් ගලවා සුසිරිතෙහි යෙදවීම, ලේඛන සහ කථික හැකියාවන් ඇති දරුවන් දිරිමත් කොට ඔවුන්ගේ දියුණුවට මගපාදා දීම මිහිඳු දහම් පාසල මගින් සිදු වූ අමිල සේවාවන් ය. මිහිඳු දහම් පාසලෙන් දහම් අධ්යාපනය ලබා අද වන විට ලොව පුරා විවිධ ක්ෂේත්රයන්හි ඉහළට ම ගිය බොහෝ පිරිසක් සිටිති. එක් පහනක් දල්වා ඒ පහනෙන් තව සියදහස් ගණනක් වුව පහන් දල්වා මුළුමහත් ප්රදේශයක අන්ධකාරය දුරුකරන්නාක් වැනි වූ එක් ශාස්ත්රස්ථානයක් අරඹා ගුණ-නැණින් ආලෝකවත් මිනිස් සමාජයක් බිහි කිරීමේ දූරදර්ශී ගුණය ශ්රී මිහිඳු දහම් පාසල ආරම්භ කිරීම තුළින් සෝමානන්ද හිමිපාණෝ ඉටු කරගත්හ.
අවස්ථා කිහිපයකදී ම දඹදිව පූජනීය ස්ථාන ද දැක-බලා වැඳපුදා ගත් සෝමානන්ද හිමිපාණන් වහන්සේ ශ්රද්ධාදි සේඛ ගුණයන්ගෙන් පිරුණු යතිවරයෙකි. පරිත්යාගශීලීබව, ශීලවත් බව, නුවණැති බව, ධෛර්යසම්පන්න බව, ඉවසීම, අනතිමානී බව, සත්යවාදී බව, මෛත්රී සහගත බව සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ ජීවන චරිතයෙන් මොනවට ඔප්නැංවුණු බෝසත් ගුණාංගයෝ ය. යහපත් චේතනාවෙන් අනුන් උදෙසා කැප වී ක්රියා කළ ද මුන්වහන්සේට ඇතැම් අසත්පුරුෂ මිනිසුන්ගෙන් බොහෝ කරදර හිරිහැර ද සිදු නොවුණා නොවේ. නමුත් තමන් වහන්සේ සඳුන්ගස කපන විට, ඒ පොරෝ තලයෙහි පවා සඳුන් සුවඳ තවරන සඳුන් ගසක් මෙන් ම ස්වකීය සත්පුරුෂ ගුණයෙන් ම අසත්පුරුෂයන්ට පවා සංග්රහ කරන්නට තරම් සුගුණවත් වූහ. සුණාපරන්ත පුණ්ණ මහරහතන් වහන්සේලා වැනි උත්තමයන්ගෙන් හැමූ ගුණ සුවඳ කිරිඔරුවේ සෝමානන්ද ස්වාමීන්ද්රයාණන් වහන්සේගේ ජීවන චරිත තුළ ද තැවරී තිබුණි.
තමන් වහන්සේගෙන් පසු ස්වකීය ශාසනික හා ජාතික කාර්යයභාරය ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම දැරීමට සුදුසු වූ කුලදරුවෙකු පැවිදි කරවීම ද උන්වහන්සේගේ වගකීමක් වූ බැවින්, සිය ග්රාමයෙහි ම ඤාති කුලදරුවෙකු වූ වත්මන් ජයසුමනාරාම මහා විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ කොළඹ සල්පිටි කෝරළයේ ප්රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්රපති කිරිඔරුවේ ධම්මසිරි නායක හිමිපාණන් වහන්සේ පරම පූජනීය කිරිඔරුවේ ධම්මානන්ද නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේගේ උපධ්යායත්වයෙන් පැවිදි කරවූහ. ස්වකීය ආචාර්යෝපාධ්යායන් වහන්සේලාගෙන් පසු වර්තමාන ශ්රී ජයසුමනාරාම මහා විහාරයෙහි දියුණුව උදෙසා වත්මන් විහාරාධිපතීන් වහන්සේ කැප වී ක්රියාකරමින් වැඩ සිටිති. වර්තමානය වන විට සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ යටතේ ඉදි කෙරුණු උපශාන්ත බුද්ධ ප්රතිමා වහන්සේත්, චෛත්යයරාජයාණන් වහන්සේත් හැර අන් සියලු ම විහාරාංග වත්මන් විහාරාධිපතීන් වහන්සේ විසින් වැඩි දියුණු කරවා රමණීය විහාරස්ථානයක් බවට පත් කරන ලදි. දැන් රත්මලාන ශ්රී ජයසුමනාරාම මහා විහාරය වසර 111 ක අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියනා ‘පුරාණ’ විහාරස්ථානයකි.
දශක හතරකට වැඩි කාලයක් ස්වකීය පැවිදි ජීවිතය බොහෝ පරාර්ථය පිණිස වෙහෙසවා වසර (58) ක් තරම් වූ ආයුෂයක් ගෙවා උත්සන්න වූ රෝගී තත්ත්වයන් නිසා 1971 අගෝස්තු මස 1 වෙනිදා කිරිඔරුවේශ්රී සෝමානන්ද නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේ අපවත් වූහ. මුන් වහන්සේගේ පරාර්ථකාමී චර්යාව වඩාත් සුවිශේෂී වන්නේ අනේක වූ අභියෝග-බාධක ගණනාවක් තනිව ම බිඳ දමමින්, තමන් වහන්සේගේ ගුණවත් බව ද රැකගෙන ම අන් අයට ද බොහෝ උපකාර කළ බැවිනි. අපවත් වීමෙන් පනස් වසක් සපිරෙන අද දවසට ද උන්වහන්සේගේ ශික්ෂාකාමී වූත් පරාර්ථකාමී වූත් බෝසත් ගුණැති ජීවන චරිතය වර්තමානයට බොහෝ පාඩම් කියාදෙයි.
පරම පූජනීය බෝධිසත්ත්ව ගුණෝපේත කිරිඔරුවේ සෝමානන්ද නායක ස්වාමීන්ද්රයාණන් වහන්සේ ප්රාර්ථනා කළ බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!
ශ්රී ජයසුමනාරාම පුරාණ විහාරවාසී,
රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්රවේදී, ශාස්ත්රපති,
කන්දෙගෙදර සෝභිත ස්වාමින් වහන්සේ.