සුමුදු බොදු බවුන් මග - ගොඩ්වින් සමරරත්න 1997.pdf

කතෘ :
ගොඩ්වින් සමරරත්න
ප්‍රකාශිත වර්ෂය :
2011
මුද්‍රිත වර්ෂය :
2011
පිටු ගණන :
268
බාගත කිරීම් ගණන :
565
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-09-05
ගොනුවේ ප්‍රමාණය :
61 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 135

සුමුදු බොදු බවුන් මග (The Gentle Way of Buddhist Meditation) යනු ප්‍රකට භාවනා ගුරුවරයෙකු වූ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ ගොඩ්වින් සමරරත්න මහතා විසින් 1997 වසරේදී හොංකොංහි (Hong Kong, 1997) පවත්වන ලද භාවනා වැඩසටහන් ඇසුරින් ජීන් මේනට් (Jeanne Mynott) විසින් සම්පාදිත දේශනා එකතුවක සිංහල පරිවර්තනයයි. මෙම පරිවර්තනය ඩී. බී. කුරුප්පු මහතා විසින් සිදු කර ඇත.

මෙහි ගොඩ්වින් සමරරත්න මහතාගේ සුවිශේෂී මෘදු සහ ප්‍රායෝගික භාවනා ඉගැන්වීම් අන්තර්ගත වන අතර, භාවනාව එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්නා ආකාරය, ආවේග සහ සිතුවිලි පාලනය, ශ්වසනය පිළිබඳ සිහිය හා මෙත් වැඩීම ආදී විෂයයන් සාකච්ඡා කෙරේ. එසේම ගොඩ්වින් සමරරත්න මහතාගේ චරිතාපදානය හා මතක සටහන් පිළිබඳ වටිනා හැඳින්වීමක් (පූජ්‍ය එස්. ධම්මික හිමියන්ගේ දේශනයක් ඇසුරින්) පෙරවදනෙහි ඇතුළත් වේ.

  • භාවනාව හඳුනා ගනිමු (අප භාවනා කළ යුත්තේ ඇයි?, දැනුවත් වීමේ වැදගත්කම, ධර්මයේ වැදගත්කම, ශ්වසනය, මෛත්‍රී භාවනාව, ආවේග)
  • භාවනාව අත්දැකීම (දෛනික ජීවිතයේ භාවනාව)
  • භාවනාව සමග ක්‍රියා කිරීම (වැඩ සටහන තුළ අත්දැකීම් බෙදා ගැනීම, ආවේග සහ සිතුවිලි, සමාප්තිය)

මෙම කෘතිය 2011 නොවැම්බර් මස නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය මගින් නොමිලේ බෙදාහැරීම පිණිස මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දකි.

ස්තුතිය....

ඉංග්‍රීසි පොත සම්පාදනය කළ ජීන් මේනට් මියට පරිවර්තනය කළ ඩී.බී. කුරුප්පු මහතාට සිංහල පිටපත නැවත සැකසූ යසවතී මැණිකේ මියට පරිගණක අකුරු කළ රුචිරා ඒකනායක මියට සහ එම්. එස්. ක්‍රියේෂන්ස් කාර්ය මණ්ඩලයට මුද්‍රණය සඳහා පොත සකස් කළ නිමල් දිසානායක මහතාට කුමාරි විජේවර්ධන මියට මුද්‍රණය කරදුන් තරංජී ප්‍රින්ටර්ස් ආයතනයට සහ මුදලින් ආධාර කළ සැමට

පූර්විකාව

ගොඩ්වින් සමරරත්නගේ අභාවයට ආසන්න අවදියේ ඔහු විසින් භාවනා වැඩමුළුවලදී පවත්වන ලද දේශනවල ලිඛිත සටහන් පළමුවරට අන්තර් ජාලයේ පළ කළ යුක් චිං, පෝල් බුරාන් සහ ගොඩ්වින්ගේ හොංකොං මිතුරු කැල ද අපේ ප්‍රශංසාව හිමිකර ගත්තෝය. ඒ 2000 දීය. වසර තුනක් යන තෙක් ම ගොඩ්වින්ගේ ඉගැන්වීම් පිළිබඳ ලද හැකි වාර්තා වශයෙන් තිබුණේ එපමණකි. ඒ වාර්තා භාවනාව කෙරෙහි ගොඩ්වින් විසින් අනුගමනය කළ සුවිශේෂ ප්‍රවේශය අගය කළවුන්ටත් ඔහුගේ ඉගැන්වීම් ගැන අවබෝධ කර ගන්නට රිසි වූවන්ටත් අගනා මූලාශ්‍රයක් විය.

එහෙත් ඉන් පසු, ජර්මනියේ දී ගොඩ්වින් විසින් පවත්වන ලද දේශනා සංග්‍රහ දෙකක් සංස්කරණය කිරීමෙන් අනතුරුව, මා අදහස් කළේ යට කී හොංකොං දේශනා යළිත් කියවා ඔහුගේ ඉගැන්වීම් වෙත සිත් යොමු කරන්නන්ගේ පහසුව තකා ඒවා එකමුතු කොට සකස් කිරීම අවශ්‍ය බව ය.

හොංකොං චී ලින් භික්ෂුණී ආශ්‍රමයේ දී ගොඩ්වින් විසින් පවත්වන ලද පළමු දේශනා පන්තිය සම්බන්ධයෙන් කළ යුතු වූයේ වියරණ නිදොස් කොට සුළු සංස්කරණයක් පමණි. පුනරුක්ති මග හරිමින් ගොඩ්වින් අපේක්‍ෂා කළ ආකාරයේ පහසුවෙන් ගලා යන ලිඛිත වාර්තාවක් සකස් කිරීම මෙහි ලා අවශ්‍ය විය.

දෙවැනි දේශනා පන්තිය පවත්වන ලද්දේ ආශ්‍රමයේ ම කරන ලද එක් දින වැඩසටහනක දී ය. උදේ වරුවක් පමණක් පැවති සැසි වාරවල කියැවුණු දේ මෙහෙයවනු ලබන භාවනාවන්ගෙන් පසු එකී භාවනාවන්ට අදාළ ප්‍රශ්නෝත්තර ඉදිරිපත්වන ආකාරයට යළි සකස් කිරීමේ නිදහස හා වගකීම මට ම පවරා ගතිමි. මෙ මගින් මෙහි දැක්වෙන කරුණු එක් මාතෘකාවකින් ඊළඟ මාතෘකාවට එකමුතුව ගලා යනු ඇතැයි සිතමි. හැන්දෑවේ පවත්වන ලද ධර්ම දේශනා ද මඳක් සංස්කරණය කරන ලද්දේ ඉහත කී අනුපිළිවෙල රැක ගනු පිණිසය.

තුන්වැනි දේශනා මාලාව සහ සාකච්ඡාව ලබා ගත්තේ ෆා යිම් කොක්හි පවත්වන ලද සත් දින භාවනා වැඩ සටහනකිනි. සුපුරුදු සංස්කරණ ක්‍රියාවලියට අමතරව මෙහි ලා අපගේ දැනුම් සම්භාරයට වැදගත් යමක් එක් කරන්නට සමත් නොවන හෙයින් අනවශ්‍ය යයි සලකන ලද කොටස්; විශේෂයෙන් ම සාකච්ඡා වාර්තාවෙන් ඉවත් කළ යුතු බව මට පෙනී ගියේ ය. ගොඩ්වින් විසින් ඉදිරිපත් කරන ලද තර්ක හා අදහස් පැහැදිලි කරනු වස් තැනෙක වගන්ති හා වාක්‍ය ලියන්නට ද මට සිදු විය.

නැවත වරක්, ගොඩ්වින්ගේ හොංකොං ඉගැන්වීම් පිළිබඳ මුල් වාර්තා ප්‍රකාශයට පත් කිරීමට ක්‍රියා කළ සියලු දෙනාටම මගේ කෘතඥතාව පළ කරනු කැමැත්තෙමි. ආනන්ද ජෝති භික්ෂූන් වහන්සේට, www.godwin-home-page.net වෙබ් අඩවියට සහ මේ පොතේ සැකසුම බාරව කටයුතු කළ සුනන්ද, එච්. ඊ. ලිම්ට ද මගේ කෘතඥතාව හිමි වෙයි. නොමිලේ බෙදාහැරීම සඳහා වූ මේ පොතට අනුග්‍රහය දැක්වූ සියලු දෙනාට ද කෘතඥ වෙමු. මෙසේ නැවත වතාවක් ඉදිරිපත් කරනු ලබන ගොඩ්වින්ගේ ඉගැන්වීම් තවදුරටත් පාඨකයා ප්‍රබෝධයට පත් කිරීමට සමත් වනු ඇතැයි විශ්වාස කරමි.

ජීන් මේනට්
2004 ජූනි.

ගොඩ්වින් සමරරත්න අනුස්මරණය

එස්. ධම්මික හිමියන් විසින් ගොඩ්වින්ගේ අභාවයේ සිවුවැනි සංවත්සරය නිමිත්තෙන් නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලද දේශනයක් අනුව සකස් වූවකි.

ගොඩ්වින් සමරරත්න 1932 සැප්තැම්බර් 6 වැනි දින මහනුවර දී උපත ලද්දේය. මහනුවර ආසන්නයේ පිහිටි හන්තාන කඳුයායේ පිහිටි තේ වත්තක ප්‍රධාන ලිපිකරු වූයේ ඔහුගේ පියා ය. මව උඩ රට චාම් ගෘහිනියක් වූවාය. ඔහුට සොහොයුරෝ තිදෙනෙක් සහ සොහොයුරියෝ සිවු දෙනෙක් සිටියහ. ඔහුගේ නැගණියක ළමා කාලයේදීම මිය ගිය අතර සහෝදරයෙක් තමාගේ විවාහය දා රිය අනතුරකින් මිය ගියේය. දැනට ජීවතුන් අතර සිටින සොහොයුරියෝ තිදෙනා ඩොරති, මැටිල්ඩා සහ ලක්ෂ්මී නමින් හඳුන්වනු ලබති. ජීවතුන් අතර සිටි සොහොයුරන් දෙදෙනා වූයේ ගොඩ්වින් හා ෆිලික්ස්ය. ඒ පවුල වාසය කළේ මහනුවර නගරයේ සිට පයින් යා හැකි තරම් දුරක පේරාදෙණිය පාරේ පිහිටි සාමාන්‍ය විදියේ නිවසකය. ළමා වියේ පටන් ම ගොඩ්වින් බුදු දහම පිළිබඳ උනන්දුවක් දැක්වූ බව සියල්ලෝම පිළිගනිති. එයට ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ ශ්‍රද්ධා සම්පන්න මවගේ ආදරයයි. සෑම පොහොය දිනකම මව සමග පන්සල් යන ඔහුට එහි වාඩි වී බණ ඇසීමට අනිත් ළමයින් සමග සෙල්ලම් කිරීමට වඩා රුචි විය. දිනක් ඔහු ගෙදර ආවේ කාගේදෝ කොටුවකින් හොරෙන් කඩා ගත් බටු ගෙඩි දෙකක් ඇතැතිවය. ඔහුත් කැටුව එළවළු අයිතිකරුගේ නිවසට ගිය ඔහුගේ මව එය ආපසු දෙන්නට ඔහුට බල කර සිටියාය.

උසස් පාසලේ දී ගොඩ්වින්ගේ කුළුපග මිතුරා වූ සිරි ගුණවර්ධන පසුව සීවලී නමින් පැවිදි වී ගෞරවයට පාත්‍ර වූ භාවනා ගුරුවරයෙක් වශයෙන් ප්‍රසිද්ධ විය. පාසැල් සිසුවකුව සිටිය දී ද කිහිප වතාවක් ම කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට යාමට පුරුදු වූ ගොඩ්වින් පසුව මව ද කැටුව එහි ගියේය. ඉගෙනීමට දක්ෂ වුවද සාමාන්‍ය මට්ටමේ ශිෂ්‍යයෙක් වූ ගොඩ්වින් අධ්‍යාපනය හමාරකොට 1956 දී කෑගල්ලේ මහජන පුස්තකාලයේ රැකියාවක් ලබා ගත්තේය. ඒ අවදියේ වුවද ඔහුගේ තැන්පත් කාරුණික ගතිගුණ ඉස්මතුව පෙනිණ. එක් දිනක් පුස්තකාලයේ රාත්‍රී මුරකරු නිදා ගන්නට අන් තැනක් නැති නිසා පුස්තකාලය ඇතුළේ නිදා ගන්නට ඔහුගෙන් අවසර ඉල්ලීය. ඔහු ගැන අනුකම්පා කළ ගොඩ්වින් එයට ඉඩ දුන්නේය. පසුදා වැඩට එන විට මුරකරු අතුරුදහන් ව තිබුණේ පුස්තකාල පොත් රැසක්ද සමග ය. නැති වූ පොත් තමාගේ වැටුපෙන් මිලට ගෙන බාර දීමට ගොඩ්වින්ට සිදු විය. පසුව ඔහු මහනුවර ඩී.එස්.සේනානායක පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපති ධුරයට පත් විය. ඔහු නියමිත කාලයට පෙර විශ්‍රාම ගියේ එහි සේවය කරමින් සිටියදී ය. ඒ 1979 දිය.

උසින් අඩි 5 කුත් අඟල් 10 ක් පමණ වූ ගොඩ්වින් සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරකින් හෙබි පුද්ගලයෙක් විය. ඔහුට තිබුණේ කළු පැහැ සෘජු කෙස් කලඹකි. වයසට යත්ම හිස කෙස් පැසී රිදී පැහැ ගැන්වී තිබුණේය. මඳක් ඉදිරියට නැමුණු උරහිස් සහිත ඔහුගේ කඳය වයසට යන විට තවත් පෙනෙන්නට විය. හිස කෙස් පැතලි කරන්නට වාගේ හිස පිරිමැදීම ඔහුගේ පුරුද්දක් විය. තවත් පුරුද්දක් වූයේ වමතින් දකුණු වැලමිට අල්ලාගෙන දකුණතින් කම්මුල අතගෑමය. සමහර විට පැය ගණනක් මේ ඉරියව්වෙන් සිටීමට ද ඔහු පුරුදුව සිටියේ ය. තවත් විටක තමාම වැළඳ ගන්නාක් මෙන් දෑත් ඉදිරියෙන් එකට බැඳ ගෙන සිටීම ද ඔහුගේ ලක්ෂණයක් විය. බොහෝ විට පුද්ගලයන් සමග කතා කරන විටත්, ඔවුන්ට සවන් දෙන විටත් හිඳගෙන සිටින විටත් දෙනෙත් පියා ගැනීම ද ඔහුට පුරුදු වූවකි. ඒ සියල්ලට ම වඩා ගොඩ්වින්ගේ කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ ඔහුගේ මන බඳින මඳ සිනාවය. බොහෝ විට එය විකට සිනාවකට හෝ හඬ නගා සිනාසීමකට ද හැරෙනු ඇත. පිරිසිදුවට ප්‍රිය මනාප විදියට සිටිනවා හැරෙන්නට තමාගේ පෙනුම ගැන සිතීමට ගොඩ්වින් පුරුදුව සිටියේ නැත. ගෙදරදී හා භාවනා මධ්‍යස්ථානයේ දී පමණක් නොව පිටරට ගමන් යන විට පවා චාම් ඇඳුමෙන් සැරසී සිටීම ඔහුගේ පුරුද්ද විය. බොහෝ විට ඒවා මැද ගන්නට පවා ඔහු කල්පනා කරන්නේ නැත.

1996 දී මා හොංකොංහි නැවතී සිටින අතරේ විදේශ සංචාරයකින් පසු පෙරළා ශ්‍රී ලංකාවට ආපසු එන්නට කලින් එහි නවතින්නැයි ඔහුට ආරාධනා කළෙමි. ඒ යටත් විජිතයේ මගේ මිතුරන්ට ඔහු ගැන කියා තිබුණු හෙයිනි. ඔවුහු ඔහුගේ දේශනා අසන්නට උනන්දුවක් දැක්වූහ. ඔවුන්ගෙන් පහළොස් දෙනෙක් පමණ ගොඩ්වින් පිළිගනු වස් මා සමග ගුවන් තොටුපළට ගියහ. ඔහු මගීන් පැමිණෙන ස්ථානයෙන් මතු වූයේ අපිළිවෙල ඇඳුමින් සැරසී පරණ සෙරෙප්පු කුට්ටමක් පය ලාගෙන කබල් බෑගයක් ද ඔසවාගෙන ය. ඒ ඔහුට පුරුදු පිළිවෙල ය. මගේ මිතුරන් මවිත වී බලන සැටි මම දුටුමි. ‘ඒ අර මනුස්සයා දැයි’ එක් පුද්ගලයෙක් මගේ කනට කොඳුළේය. ඔහුගේ මුහුණට නැඟුණේ සැක සහිත බැල්මකි. ඔවුන් තුළ ඔහු ගැන පැහැදීමක් ඇති නොවූ බව පැහැදිලි ය. එහෙත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඔවුහු ඔහු කෙරේ ලෙන්ගතු බවක් පාමින් පැහැදීමක් ඇතිකර ගන්නට සමත් වූහ. මිනිසුන්ගේ සිත් දිනාගනු වස් විවිධ වූ රණ මහා පරිමාණ නිල නම් හෝ මහජන සම්බන්ධතා උපක්‍රම ගොඩ්වින්ට අවශ්‍ය නොවේ ය. ඔහු සතු වූ අතිශය අගනා ගතිගුණ හඳුනා ගන්නට කෙනකු ගත කළ යුතු වූයේ සුළු වේලාවක් පමණි.

ගොඩ්වින්ගේ ආධ්‍යාත්මික වර්ධනය කෙරෙහි ආභාසයක් ඇති කළ තිදෙනෙක් වූහ. අති පූජ්‍ය ඥාණපෝණික ස්ථවිරයන් වහන්සේ, සුප්‍රකට බෞද්ධ විද්වතකු හා දාර්ශනිකයකු වූ කේ. එන්. ජයතිලක සහ ජේ. ක්‍රිෂ්ණමූර්ති යන තිදෙනාය. ළමා වියේ පටන්ම භාවනාව පිළිබඳ උනන්දුවක් දැක්වුවද, තමාට වටහා ගත හැකි අන්දමින් එය පැහැදිලි කර දීමට සමත් කෙනෙකු සොයා ගැනීම ගොඩ්වින්ට ප්‍රශ්නයක් විය. 1960 ගණන්වලදී අලුතින් පටන් ගන්නා ලද මහනුවර බෞද්ධ ප්‍රකාශන සංගමයට ගොස් පූජ්‍ය ඥාණපෝණික හිමියන්ට සහ එවක සිටි ප්‍රධාන ලේකම් රිචඩ් අභයසේකර මහතාට ද සහාය වීමට පටන්ගත් ගොඩ්වින් කාර්යාලයේ ඒ වැඩ කරමින්, අමුත්තන් පිළිගනිමින් පසුව ඥාණපෝණික හිමියන් සමග භාවනාව සහ මනෝ විද්‍යාව ගැන සාකච්ඡා කිරීමට ද පුරුදු විය. අනුක්‍රමයෙන් ඥාණපෝණික හිමියන් කෙරෙහි ඉමහත් ගෞරවයක් දක්වන්නට වූ ඔහු හැම විට ම උන්වහන්සේගේ ‘භාවනාවේ හදවත’ සහ ‘සමාධියේ බල මහිමය’ යන පොත් නිර්දේශ කිරීමට ද පුරුදු විය.

ඔහු මහාචාර්ය ජයතිලක මුණ ගැසී මා සමග මිතු වූයේ ද මේ අවදියේම වාගේ ය. ‘දැනීම පිළිබඳ ආදි බෞද්ධ න්‍යාය’ නම් පොත සම්පාදනය කරන ලද්දේ මහාචාර්ය ජයතිලක විසිනි ය. නිතර ඔහුගේ නිවසට යාමට පුරුදුව සිටි ගොඩ්වින් ඔහු සමග බෞද්ධ දර්ශනය සහ විශේෂයෙන් අපරදිග දර්ශනයට එහි ඇති සබඳතා ගැන සාකච්ඡා කිරීම ද සිරිතක් කොට ගත්තේ ය. පාර මනෝ විද්‍යාව පිළිබඳ මුල දී ගොඩ්වින් තුළ උනන්දුවක් ජනිත කරවන ලද්දේ මහාචාර්ය ජයතිලක විසින් බව වරක් ඔහු මා සමග පැවසුවේ ‘මම මහාචාර්ය ජයතිලකගෙන් සිතන්නට ඉගෙන ගත්තා’ යනුවෙනි. ‘ඥාණපෝණික හිමියන් මට සූත්‍ර දේශනා කියවන්නට උනන්දුවක් ඇති කළා. ක්‍රිෂ්ණමූර්තිගේ ලිපි ලේඛන, ඒ සියල්ල ගැනම තේරුම් ගන්නට මට උදව් වුණා.’

ගොඩ්වින්ගේ හිත වඩාත් ඇදී ගියේ ක්‍රිෂ්ණමූර්තිගේ සම්මත විරෝධී වූත් ව්‍යුහගත නොවූත් ආධ්‍යාත්මික ප්‍රවේශයටයි. විටක ඔහු එය හැඳින්වූයේ ‘බුද්ධාගම රහිත ධර්මය’ යනුවෙනි. විශේෂයෙන්ම ඔහුගේ සිත් ගත්තේ ක්‍රිෂ්ණමූර්තිගේ විකල්ප විරහිත දැනුවත් වීම, ආත්ම ප්‍රතිරූපයක් නැති බව සහ අපේක්ෂා විරහිත බව ය. ක්‍රිෂ්ණමූර්ති කෙරෙහි දක්වන ලද ප්‍රසාදය එබඳු වූවත් ඔහු 1980 දී ශ්‍රී ලංකාවට පැමිණි කල්හි ඔහුගේ දේශනවලට සවන් දීමට ගොඩ්වින් කොළඹ ගියේ නැත. නොයන්නේ ඇයි දැයි මා විමසූ විට ඔහු පිළිතුරු වශයෙන් කියා සිටියේ තමා ක්‍රිෂ්ණමූර්තිගේ ඉගැන්වීම් ගැන දන්නා හෙයින් යාම අනවශ්‍ය බවය. ඔහු දැකීමෙන් ලද හැකි අමතර දෙයක් නැති බවය. තම ශ්‍රාවක පිරිසට දොස් පවරමින් විටක තමා කියන දේ වැටහුණා නම් නැවත නැවතත් ඔවුන් තමා වෙත නොඑන බව කියන්නට ක්‍රිෂ්ණමූර්ති පුරුදුව සිටියේ ය. ගොඩ්වින් ඔහුගේ දැනුම වටහා ගත්තවුන් අතරින් කෙනෙකු බව කීම නිවැරදි යයි සිතමි.

තරුණ කාලයේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට ගිය කිහිප විටක හැරෙන්නට, විධිමත් ආකාරයට එරමිණිය ගොතා ගෙන වාඩි වී විශේෂ විධි ක්‍රමයක් අනුව භාවනා කිරීම සැබැවින් ම ගොඩ්වින්ගේ සිරිතක් නොවී ය. ඔහු ගතානුගතික පිළිවෙළට භාවනා කරන්නෙක් නොවී ය. සැබැවින්ම ඔහු අනායාසයෙන් භාවනාවට හැඩ ගැසුණෙක් විය. ඥාණපෝණික හිමියන්ගෙන් සහ ක්‍රිෂ්ණමූර්තිගෙන් උගත් දෙයින් හා කියවූ සූත්‍ර දේශනා විසින් දිරිගන්වනු ලැබූ ගොඩ්වින් තුළ ස්වභාවික සිහි කල්පනාවක් හා තැන්පත්බවක් ජනිත කරන විදියේ දැනුවත්කමක් අනායාසයෙන් ම හට ගත්තේ ය. එසේම ඔහු අසල සිටින විට පුද්ගලයන්ට හැඟී ගිය ප්‍රබල හෘදයාංගමතාව සහ කරුණාව ද විරාගත මෛත්‍රී භාවනාව ඔස්සේ ඇති කර ගන්නා ලද ගුණාංග නොවේ. ඒවා ඔහු තුළ පිහිටි කිසියම් සහජ ලක්ෂණයකින් උද්ගත වූවාක් බඳු විය.

මම වරක් ගොඩ්වින් ඒ විදියට හැඩ ගැසුණේ කෙසේදැයි ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. ‘මම ඇත්තටම දන්නෙ නැහැ ස්වාමින් වහන්ස, ඒක ඉබේම සිද්ද වෙච්ච දෙයක්. මගේ කලින් ජීවිතයේදි මා බොහොම භාවනා කරන්නට ඇතී.’ යනුවෙනි ඔහු පිළිතුරු දුන්නේ. එසේ කියා ඔහු සිය සුපුරුදු විකට සිනහව පිට කළේය. වෙනත් අවස්ථාවක මා ඔහුගෙන් ඇසුවේ ඔහු කිසිවිටෙක ගැහැනුන් පිළිබඳ උනන්දුවක් දැක්වූවාද කියා ය. තමාට වරක් පෙම්වතියක සිටි බව ඔහු මා සමග කීවේය. ‘ඉතින් මොකද වුණේ?’ යයි මම ප්‍රශ්න කළෙමි. ඔහුගේ පිළිතුර මෙසේ විය. ‘ඒ මට වයස විසි ගණන්ත්ව තිබිය දී. ඒ දවස්වල තරුණ තරුණියන්ට රහසේ මුණ ගැසෙන්නට ඉඩ තිබුණා. අපි කිසියම් තැනක දී මුණ ගැහෙන්න කතා වෙනවා. සමහර දාට ඇය එන්නේ නැහැ. ඇය නොආ දවසට හරි පමා වූ දාට හරි මට කොයි තරම් වේදනාවක් දැනෙනවා ද කියා මට වැටහුණා. ඒ නිසා මා ඇය මුණ ගැහෙන්න යාම නැවැත්තුවා. ඇයත් ඒම අත්හැරලා දැම්මා.’

1977 දී මා පළමු වරට ගොඩ්වින් මුණ ගැසෙන විටත් ඔහු සිටියේ පේරාදෙණිය පාරේ නිවසේ සිය මවත්, සොයුරිය හා ඇගේ පවුලේ අයත් සමගය. ඔහු තමාගේ බෑනා වූ පාලිත සමග එකම කාමරයේ ලැඟුම් ගත්තේය. කාමරය අඩු වැඩියෙන් පිරි තිබිණ. හැම දෙයක්ම වසාගෙන මහ පාරෙන් මතුවන දූවිල්ලය. බිත්ති දෙකක්ම වසා ගෙන සිලිම තෙක් උස පොත් රාක්කය. ඒවා පිරී තිබුණේ පොත් පත්, සඟරා ලිපිවල ඡායා පිටපත් සහ වසිවාරන සඟරා ආදියෙනි. කාමරයේ පෙනුම ගොඩ්වින්ගේ මනසේ ස්වභාවය පෙන්නුම් නොකළ ද, ඔහු කියවන පොත්වල අන්තර්ගතය එය පිළිබිඹු කිරීමට සමත් විය. පුළුල් පරාසයකට අයත් ඒ විෂයමාලාවෙහි කැපී පෙනෙන මාතෘකා වූයේ මනෝ විද්‍යාව, පාර මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව හා බෞද්ධාගමය. සිරිත් පරිදි ගොඩ්වින්ගේ ඇඳ වැසී ගියේ පොත්, පුවත් පත් සහ සඟරාවලින්ය. තමා හමුවන්නට එන කවරකුට වුවද ඇඳේ කොනක වාඩිවී කතා කරන්නටය ඔහු ඇරයුම් කළේ. එසේ කතා කරන අතර ඔහු විටක ඒ පොත් පත් ගොඩ අවුස්සා හෝ පොත් රාක්කයෙන් පොතක් රැගෙන හෝ එයින් ඡේදයක් ආගන්තුකයාට පෙන්වන්නේය. නැතහොත් රැගෙන ගොස් කියවීමට දෙන්නේය. ඔහුගෙන් ඉල්ලාගත් පොත් කියවා ආපසු දීමට මා අමතක නොකළ ද ඔහු මගෙන් පොතක් ආපසු දුන්නාදැයි කිසිවිට ඇසූ බවක් මතක නැත.

ගොඩ්වින්ගේ ඒ අවුල් සහගත සුවිසල් පුස්තකාලය එක් රැස් කර ගන්නා ලද්දේ වසර ගණනාවක් තිස්සේ හඳුනාගත් විදෙස් මිතුරන්ගේ මාර්ගයෙනි. වර්ජිනියා සරසවියේ සුප්‍රකට පාර මනෝ විද්‍යාඥයකු වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ද ඒ අතර විය. ඔහු 1968 දී මුල්වරට ශ්‍රී ලංකාවට ආවේ අතීත ජන්ම සිහිපත් කිරීමට සමත් දරුවන් පිළිබඳ අධ්‍යයනයකටය. මෙහි සිටියදී ඔහුට සහාය වූයේ ගොඩ්වින්ගේ මිතුරන් දෙදෙනෙකු වූ ෆ්‍රැන්සිස් ස්ටෝරි සහ වී.එෆ්. ගුණරත්නය. 1970 දී නැවත වරක් පැමිණි විට ෆ්‍රැන්සිස් ස්ටෝරි විසින් ඔහු ගොඩ්වින්ට හඳුන්වා දෙනු ලැබිය. ඉන් පසු ගොඩ්වින් මහාචාර්යවරයාගේ භාෂා පරිවර්තකයා බවටත් මිතුරා සහ නැතුවම බැරි පර්යේෂණ සහකාරයා බවටත් පත්විය. අතීත ජන්ම ස්මරණ සහිත දරුවන් ගැන අසන්නට ලැබුණු විගසින් තොරතුරු රැස් කළ ගොඩ්වින් ඒ පිළිබඳ සවිස්තර වාර්තා ස්ටීවන්සන්ට යැව්වේය.